වෛරස් රෝග ගැන අපි කොතෙකුත් අසා ඇත්තෙමු. වෛරස ගැන මෑතකාලීන කථාබහ ඇති වූයේ ලොව පුරා අන්තර්ජාල පද්ධතිවලට පිවිස ඒවායේ අන්තර්ගත දත්ත සඟවා දමා ඒවා නැවත යාවත්කාලීන කිරීමට කප්පම් ඉල්ලන ‘වොනක්‍රයි’ නම් වූ ‘සයිබර් වෛරසය’ නිසා ය.

මෙම සයිබර් වෛරස මැඩපැවැත්වීමට ‘වෛරස් ගාඩ්’ භාවිතයෙන් නිතර පරිගණක පද්ධතිය පිරික්සා බැලිය යුතු බවට පරිගණක භාවිතකරුවන්ට උපදෙස් ලැබුණි. එසේ කිරීමෙන් තම පරිගණක දත්ත සුරක්ෂිත කරන්නට හැකි වීම ඔවුන්ට නොමඳ අස්වැසිල්ලක් වන්නට ඇත.

‘සුරක්ෂිත භාවය’ ගැන අප සැලකිලිමත් විය යුත්තේ අප පරිහරණය කරන උපකරණ සම්බන්ධයෙන් පමණක් නො වේ. සසරේ අප ව ගෙන ආ, අපට අපමණ පහර දීම් සිදු කළ ප්‍රහාරකයෙක් කෙලෙස් සේනාවන් යොදාගෙන නිරන්තයෙන් අප ව ආක්‍රමණය කරමින් සිටී. ඒ කෙලෙස් සතුරන්ට දිනිය නො හැකි බලවත් බවක් අප තුළ ඇති කර ගැනීම අප ව සසර අනතුරෙන් නිදහස් කරවයි.

සත් ධර්මයකින් මනා කොට රැකවල් කරන ලද, සිව් වැදෑරුම් ආහාර නිදුකින් ලබන නගරය බාහිර පසමිතුරන්ට දිනිය නො හැක්කේ යම් සේ ද සත් ධර්මයකින් ද සතර ධ්‍යානයන්ගෙන් ද යුතු ආර්ය ශ්‍රාවකයා අනතුරට පත් කරලන්නට පාපී මාරයාට නො හැකි බව සම්බුදුරජාණන් වහන්සේ වදාළේ නගරූපම සූත්‍රයේ දී ය.

නගරයට රැකවරණය පිණිස නැගී සිටින, පොළොවෙන් ඉහළට නැගුනු පමණට සමාන ප්‍රමාණයක් පොළොවෙන් පහළට ද ගිල්වා ඇති, මහා චණ්ඩ මාරුතයකින් වුව නොසෙල්වෙන ඒෂිකා ස්ථම්භය යම් සේ ද ආර්ය ශ්‍රාවකයාගේ ශ්‍රද්ධාව එබඳු ය.

නගරය වටා පිහිටා රැකවල් සදන ගැඹුරු, පුළුල් දිය අගල යම් සේ ද ආර්ය ශ්‍රාවකයා තුළ පවතින පවට ඇති ලැජ්ජාව එබඳු ය.

නගරය වටා කරවූ උස් වූ, පළල් වූ මහා පවුර වටා ඇවිද ගිය හැකි අනුපරියාපථය යම් සේ ද ආර්ය ශ්‍රාවකයා තුළ පවෙහි විපාකයට ඇති බිය එබඳු ය.

නගරයේ සුරක්ෂාව පිණිස ආයුධ බොහෝ රැස් කොට තබන ලද ආයුධ ගබඩාව යම් සේ ද ආර්ය ශ්‍රාවකයා තුළ පවත්නා දහම් දැනුම එබඳු ය.

බොහෝ බල සේනාවන්ගෙන් නගරය රැකවරණය ලබන්නේ යම් සේ ද ආර්ය ශ්‍රාවකයා තුළ කෙලෙස් මැඩලීම පිණිසත්, කුසල් සම්පාදනය පිණිසත් පවත්නා වීරිය එබඳු ය.

නගරයට නොදන්නවුන් ඇතුළු වීම වළක්වන, දන්නවුන් පමණක් පිවිසවන නුවණැති, බුද්ධිමත් දොරටුපාලකයෙකුගේ ආරක්ෂාව සැලසෙන්නේ යම් සේ ද ආර්ය ශ්‍රාවකයා තුළ පවතින සිහිය එබඳු ය.

නගරය වටා පිහිටි උස් වූ පළල් වූ මැනැවින් හුණු පිරියම් කළ ප්‍රාකාරය යම් සේ ද සරු දෙය නිසරු දෙය තෝරා දෙන, තියුණු අවබෝධය ඇති කරලන ආර්ය ශ්‍රාවකයාගේ ප්‍රඥාව එබඳු ය.

එසේ සත් කරුණකින් සුරක්ෂිත වූ නගරය තෘණ, දිය හා දැව, යව හා සහල්, තල, මෑ සහ මුං ආදිය, බොහෝ බෙහෙත් ඖෂධ රැස් කිරීමෙන් පහසු විහරණය ලබන්නේ යම් සේ ද ආර්ය ශ්‍රාවකයා පළමුවන, දෙවන, තුන්වන, සතරවන ධ්‍යානයන් උපදවා ගැනීමෙන් මාර බලය නසා රැකවරණය ලබයි.

බාහිර සතුරන් නසන සුරක්ෂිත නගරයක සැකැස්ම උපමා කොට දක්වමින් අපගේ ශාස්තෘන් වහන්සේ මේ වදාළේ අප ව ආධිපත්‍යයට නතු කොට ගන්නා පාපී බලවේගය ඉක්මවා රැකවරණය ලබන ආකාරය යි. මේ අයුරට අප තුළ දහම් නගරය ගොඩනැගිය හැකි නම් ලෝකපාලක ඒ පවිටු බලවේගයටවත් අපට අනතුරක් කළ නො හැක. අප නිසැකයෙන් ම සියලු ප්‍රහාරන්ගෙන් ආරක්ෂිත ය.