highlights of the week
Home » අපේ ආච්චිගේ ලස්සන බණ කථාව » අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 10

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 10

එදා රාත්‍රී මං අපේ ආච්චි ළඟින් වාඩි වුණේ මගේ සිතේ තිබුණු ප්‍රශ්නයකට පිළිතුරක් සොයා ගන්ටයි. ඉතින් මං ආච්චිට කිට්ටුවෙලා මෙහෙම ඇහැව්වා.

“ආච්චියේ…. දැන් අපි මේ ආත්මේ යම් පිනක් කළොත් ඒ ගැන අපි ගොඩාක් සිතුවේ නැතත් ඒ පිනේ විපාක අපට ලබන ආත්මේ පලදෙනවා ද?”

“ඒක මෙහෙමයි පුතේ… ඕන්න අපි මොකාක් හරි පිනක් කරනවා කියමු. හැබැයි ඒක කොරන්ට ඕනෑ අනුන්ට පෙන්නන්ට නො වේ. තමුන්නේ උජාරුව පාරට්ටු කොරන්ටත් නො වේ. ‘ඕං දැක්කා නොවැ මං කොරාපු පින…. උඹලාට මෙහෙම බෑ නොවැ’ කියලා උඩඟු සිතිනුත් නො වේ… ශ්‍රද්ධාවෙන් ම යි. ඔව් පුතේ… ශ්‍රද්ධාවෙන් ම යි පින කොරගන්ට ඕනෑ. ආන්න ඒ පින නම් තමුන්ට සැප විපාක දෙනවා ම යි.”

“ඉතිං ආච්චි… එහෙම පින් කර ගත්තු අය ගැන කතාවක් අහන්ට මං හරී ම ආසයි ආච්චියේ…”

එතකොට ආච්චි දත් නැති කටින් හරි ම ලස්සනට හිනා වුණා.

“මයෙ පුතා… කතාවක් අහන්ට ආසයි නොවැ. ඕං එහෙනං අහගන්ට හොඳේ.

ඉස්සර පුතේ අනුරාධපුරේ උත්තරෝලි කියලා ගමක් තිබුණා. ඒ ගම ඉහත්තෑවේ හරක් බලන ගොපලු මිනිසුන් ඉන්න ගමකුත් තිබුණා. ඔය ගමේ දිළිඳු අම්මා කෙනෙක් තමුන්නේ පුතාට කලින් දා රෑට කන්ට තම්බාපු කටු අලයක් දුන්නා. “පුතේ… අද වෙන මොකොවත් නෑ. හීලටයි දාවලටයි පිරිමසින්ට මේක ඇන්න පලයං” කියලා.

ඉතිං පුතේ මේ කොලුවත් අර කටුඅලෙත් ඔතාගෙන හරක් පට්ටියට තණකොළ කවන්ට දක්කාගෙන ගියා. එදා දවල් වේගෙන එද්දී ඒ පැත්තෙන් එක්තරා තෙරුන්නාන්සේනමක් වැඩියා. කොලුවට තේරුනා උන්නාන්සේ කුසගින්නේ වඩින වග. ඉතිං මේ කොලුවා බොහෝම ශ්‍රද්ධාවෙන් සිත පහදවාගෙන අර තෙරුන්නාන්සේට වන්දනා කොළා. “අනේ ස්වාමීනී… මගේ ළඟ ඊයේ තම්බාපු කටු අලයක් තියෙනවා. මට අනුකම්පාවෙන් මෙය පිළිගෙන දානය වළඳින සේක්වා” කිව්වා.

එතකොට තෙරුන්නාන්සේ ගස් සෙවණක වාඩිවුණා. කොලුවා කටුඅලේ පූජා කොරගත්තා. උන්නාන්සේ ඒ කටුඅලය පිළිඅරගෙන මෙහෙම කල්පනා කොළා. ‘අනේ… මේ ළමයා මහා දිළිඳුයි. මේ පූජාවෙන් මේ ළමයාට යහපතක් ම සලසන්ට ඕනෑ’ කියලා පාත්තරේ පැත්තකින් තියලා තවදුරටත් භාවනාවේ ම යෙදුනා. බලන්ට පුතේ ආශ්චරිය! ඒ තෙරුන්නාන්සේගේ අනුකම්පාව නිසා ම සිතත් හොඳට ධර්මය අනුව සැකසුනා. රහත් ඵලයට පත්වුණා. ඊට පස්සේ උන්නාන්සේ ඒ කටුඅලය වළඳලා දරුවාට සෙත් පතලා පිටත් වුණා.

ඉතිං පුතේ මේ දරුවා තමුන් කුසගින්නේ සිට පූජා කොරගත්තු දානේ මහත්ඵල ලබා දෙන දෙයක් වුණ බව දැනං හිටියේ නෑ. හැබැයි ඒ ආත්මේ නොවෙයි ඒක විපාක දුන්නේ. ඊ ළඟ ආත්මේ.

මේ දිළින්දා දුක සේ ජීවිකාව ගෙවලා මැරුණා. මැරිලා හිටං ඒ ගමේ ම වෙනත් ඉස්තිරියාවකගේ කුසේ උපන්නා. කටුඅලේ පූජා කොරාපු පින පලදෙන්ට යන්නේ හරි පුදුම විදිහකට. ඔය උත්තරෝලි කියන ගමේ උත්තරෝලි කියලා වැවකුත් තියෙනවා. ඔය වැවේ ලොකු රත්තරන් අලයක් වතුරේ එහාට මෙහාට පෙරලි පෙරලී පාවෙවී තියෙන්ට පටන් ගත්තා.

මේක දැන් හැමෝට ම පේනවා. හැබැයි අල්ලගන්ට බෑ. දවසක් එක ගෑනියක් වතුරේ රැළි අතරේ පෙරලෙන නිධානේ දැකලා පීනාගෙන ගොහින් අතට ගත්තා. එතකොට නිධානෙට අරක්ගත් දේවතාවුන්නාන්සේ ඒක ඈ අතින් ලිස්සලා ගෙනිච්චා. එතකොට ඒ ගෑනු කෙනා ආයෙමත් පැනලා අල්ලාගත්තා. එතකොට ඒ නිධානය ගත්තු අතේ ඇලී ගියා. උන්දෑ හොඳටෝම භය වුණා. භය වෙලා ‘අනේ දේවතාවුන් වහන්ස, ආයෙ නං මං මෙහෙම කොරන්නේ නෑ’ කියාලා තමුන් ඇඳගෙන සිටි දිය රෙද්දෙන් තමන් පැලඳ සිටි කනකර ගලවා ඔතලා, අතේ ඇලවී ගිය නිධානය ඒ රෙද්දෙන් එතුවා. එතකොට නිධානය අර රෙද්දත් එක්ක ම ගැලවිලා වතුරේ කිමිදුනා. උන්දෑ හනිකට නිරුවතින් ම ගොඩට දුවලා ගොඩ තිබුණ අනිත් රෙද්ද ඇඳගෙන ගෙදර දිව්වා.

මේක මුළු ගමට ම ආරංචි වුණා. ගම්මු හැමෝ ම නිධානය බලන්ට දුවගෙන ආවා. දැන් පුතේ කටුඅලය පූජා කොරාපු කොලුවා ආයෙමත් මනුස්ස ලෝකේ ඉපදිලා නොවැ. හැබැයි තවම මව්කුසේ. ඒ අම්මත් තමුන්නේ ලොකු පුතාත් වඩාගෙන නිධානෙ බලන්ට වැවට ආවා. නිධානේ අර රෙද්දත් එක්ක ම වතුරේ පැද්දෙනවා. එතකොට මිනිස්සු නිධානෙ දෙස බලාන මෙහෙම කිව්වා. “අනේ… අපට පිනක් ඇත්නං අපේ ළඟට වඩින්ට” කිව්වා. නමුත් ආවේ නෑ.

දවසක් අර අම්මාත් හොරාට ම වැවට ගියා. ගිහින් ‘අනේ මටත් පිනක් ඇත්නම් මගේ ළඟට වඩින්ට’ කියලා කිව්වා. එතකොට නිධානෙ ළඟට ඇවිත් නැවතුනා. ළං වුණේ නෑ. “අනේ එහෙනම් මං වඩාගෙන ඉන්න මේ දරුවාගේ පිනක් ඇත්නං ළඟට වඩින්ට” කිව්වා. ඒ ආවෙත් නෑ. එතකොට ඈ ‘අනේ මයෙ කුසේ ඉන්න දරුවාගේ පිනක් ඇත්නං නිධානේ ළඟට වඩින්ට’ කිව්වා විතරයි නිධානය පෙරලි පෙරලී ඇවිත් ඒ අම්මාගේ පාමුල නැවතුනා. එතකොට අම්මා කලින් කාන්තාවට වෙච්චි දේ දන්නා නිසා අතින් අල්ලන්ට ගියේ නෑ. “අනේ නිධානේ, තමන්ට සුදුසු තැනකට ගොහින් නවතින්ට” කියලා කිව්වා. එතකොට පුතේ ඒ අම්මා පුදුමයෙන් බලාන ඉන්නැද්දි ඒ රන් ගොබේ පෙරලි පෙරලී උන්දැගේ ගෙදරට ගොහින් ඇඳුම් පෙට්ටියේ තැන්පත් වුණා. මේක ගමේ වෙන කවුරුවත් දන්නේ නෑ. කුසේ ඉන්න දරුවත් ඉපදුණා. හැබැයි අර නිධානෙන් ලැබෙන වස්තුව වියදම් කොරන්ට පුළුවන් ඒ දරුවාට විතරයි.

ඉතින් පුතේ, මේ දරුවාට අවුරුදු පහක් වුණා. ඒ කාලේ ලංකාවේ දරුවන්ට ශිල්ප උගන්වන මංගල්ලේ තියෙන්නේ වයස පහේ දී. අර අම්මා එදා නිධානය එතී තිබුණු වස්ත්‍රය ළමයාට අන්දවා උත්සවයට ගෙන ගියා. කලින් වැවේ නාන්ට ගොහින් ඇඳිවත අහිමි කොරගත්තු ඉස්තිරියාවී තමුන්නේ වස්තරේ හඳුනා ගත්තා.

“හෑ… බොලාට කොහින් ද මේ වස්තරේ… මේක මයේ නොවැ. මේක වැවේ නිධානේ එතිලා තිබුණේ…. බොලාට කොහොමෙයි මේක ලැබුණේ?”

එතකොට දරුවාගේ අම්මා හැම දෙයක් ම ඈට කිව්වා. එතකොට අර ගෑනු කෙනාට මහා ඉරිසියාවක් හටගත්තා.

“හෝ… හෝ… එහෙනං තොපි මේ රජ්ජුරුවෝ සන්තක වස්තුව ඇන්න හොරාට ම සැප විඳිනවා. බොලාට රාජ උදහස් ලැබේවි… හිටිං මං රාජපුරුෂයන්ට තොපි අල්ලා දෙඤ්ඤං” කියලා රාජපුරුෂයන්ට පැමිණිලි කළා.

රාජපුරුෂයෝ අර අම්මයි, දරුවන්වයි නිධානයයි රාජවාසලට ගෙන්නුවා. රජ්ජුරුවෝ නිධානේ අල්ලන්ට හැදුවා. නිධානේ පස්සට පැන්නා.

“හා… මේ නිධානේ මා සතු දෙයක් නො වේ. දරුවෝ… එහෙනම් මට මේකෙන් වස්තුව අරගෙන දීපං බලන්ට.”

“එතකොට පස් හැවිරිදි දරුවා රන් ගොබේට අතින් පැන් ඉස්සා විතරයි. රන් ගොබෙන් සල සල ගාලා රන්කාසි ගොඩාක් එළියට පැන්නා.

“ඕහෝ…. දරුවෝ… මේක තොපගේ පූරුවේ පිනකින් ලැබුණු දෙයක් වෙන්ට ඕනෑ” කියලා පුදුමයට පත්වෙලා ඒ නිධානය දරුවාට ම දුන්නා. ඒ ගමත් තෑගි කොළා. බොහෝ පිරිවරත් දුන්නා.

ඉතිං පුතේ, ඒ දරුවා නිධානේ බලෙන් සැපසේ වාසය කළා. උස මහත් උණාට පස්සේ දරුමල්ලෝ එක්ක බොහෝ දන්පින් කළා. සිල් රැක්කා. ඒ ඇත්තන්ගේ මුළු පවුල ම දෙව්ලොව උපන්නා. දිව්‍යලෝකේ ගිය ඒ ගොපලු දිව්‍ය පුත්‍රයා දිව්‍ය සැප විඳිමින් මෙහෙම ප්‍රීති වාක්‍ය කිව්වා.

සැදැහැ සිතින් කළ පින්කම්වල තෙද බලපන්නේ
නිධන් විලස මා පසු පස සැපයක් ම යි එන්නේ
තම යහපත කැමති කෙනා මා දෙස බලපන්නේ
නුවණැති අය නොකරන පින කුමක් ද කියපන්නේ

(සද්ධර්මාලංකාරය ඇසුරිනි)

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව 11

අනේ මයෙ බුදු අයියණ්ඩි... මට අම්මාටත් තාත්තාටත් ඔයා විතරයි හිටියේ. මේ ඉන්නේ ඔයාගේ බෑණා වන සිඟිත්තෙක්. අනේ නෙළුම් මලක් වගේ ඉන්න මේ දරුවා දිහා බලා මා නොමරා බේරන්ට.” කියා වැඳ වැඳ උන්නා.