වලාකුළු පහව ගිය පසළොස්වක රාත්‍රියේ, අහස්කුස මැවෙන චමත්කාරය ඔබ කෙදිනක හෝ අත්විඳ තිබේ ද….? සැනසිලිදායක සුවයකින් ගත සිත ප්‍රබෝධවත් වූවා ඔබට මතක ඇති. එකදු වලාකුළක්වත් නැති නිලඹර පුරාවට බබළන තරු කැට දහස් ගණනින්. ඒ සියලු තරුමල් පිරිවරාගෙන අහස්කුස රජකරන පිරුණු සඳමඬලේ සෞම්‍ය සඳ කිරණින් මුළු අහස්කුස ම නැහැවිලා. ඒ සඳත්, තරුත් කිසිවකට නොඇලී, නො බැඳී ලෝකයට ආලෝකයත්, සිසිලසත් ලබා දිලා. කවරෙක් නම් ප්‍රිය නො කරන දසුනක් ද…? ‘සොබාදහම මවන මනස්කාන්ත ම දර්ශනයයි ඒ…’ කියල සමහරවිට ඔබට හිතෙන්නට ඇති. බොහෝ දෙනාගේ සිත් තුළ පිබිදෙන කවි සිතුවිලිවලට සඳ තරු පිරි පසළොස්වක අහස්කුස උපමාවට ගැණුනේ ඒ නිසා වෙන්න ඇති. නමුත් පෘථග්ජන සිත් තුළ මැවෙන ඒ කිසිදු සිතුවිල්ලකට පෝදා අහස්කුසේ සුන්දරත්වයට සැබෑම වටිනාකම ලබා දෙන්නට බැරිවුණා කියලා ඔබට සිතෙන්නේ නැද්ද… ?

ලොව පහළ වූ ප්‍රඥාවන්ත මුනිවරුන් විසින් නම් පවසා තිබෙන්නේ ඒ සොඳුරු උපමාව මනා කොට ගැළපී යන්නෙ බුදු සසුනේ අසිරියට ම යි කියලයි. දුරාතීතයේ පටන් බුදු සසුන, සසුනඹර යනුවෙන් හැඳින්වෙන්නේ ඒ නිසා. ඒ සසුනඹර ශෝභමාන කරමින් පායා දිලෙන තරුකැට තමයි රහතන් වහන්සේලා. රහතුන් පිරිවරාගෙන තේජසින් බබළන ධර්මරාජයාණන් වහන්සේ තමයි සසුනඹරේ පායා දිලි සඳමඬල. සඳත්, තරුත් බැබළුනේ වලාකුළු පහව ගිය නිසා. ඒ වගේ ම නිකෙලෙස් මුනිවරු බැබළුණේ අකුසල් පහව ගිය පිරිසිදු ජීවිත නිසා. සඳ තරු වගේ ම කිසිවකට නො ඇලී, නො බැඳී නිකෙලෙස් මුනිවරු ලොවට ම ආලෝකය ලබාදුන්නා නො වේ ද…? මීටත් වඩා ඇගයීමක් සඳ තරු පිරි අහසට ලබාදෙන්න පුළුවන් ද…?

සසුනඹර පායා දිලි ඒ සොඳුරු තරු කැට සඳමඬලේ සිසිලසට පුද කළ තුති ගී ගැන ඔබ අසා තිබේ ද…? ලෝකයේ යමෙකුට පුදකළ හැකි පරම පිවිතුරු ම තුති ගීය එයයි. ලෝකයේ පහළ වී වදාළ ශ්‍රේෂ්ඨතම ගුරුවරයා වෙත ලෝකයේ පහළ වී වදාළ ශ්‍රේෂ්ඨතම ශිෂ්‍යයන් විසින් ගැයූ ලෝකයේ ශ්‍රේෂ්ඨතම තුති ගීය එයයි. උත්තම මුනිවරුන්…. උත්තම ඍෂිවරුන් විසින් කීර්තනය කරන ලද මහාමුනි වූ මහාඍෂි වූ සම්බුදුරජුන්ගේ ගුණකඳ පිළිබඳවයි මේ සුන්දර හෙළිදරව්ව. තථාගත අනුජාත පුත්‍ර වූ, ඕරස පුත්‍ර වූ ඒ නිකෙලෙස් මුනිවරුන් තරම් සම්බුදු ගුණයේ මහිමය අපි කෙසේ නම් දනිමු ද?

ගෞතම සසුනඹර තුළ ප්‍රතිභාවේ රශ්මියෙන් අගතැන්පත්ව බැබළුන වංගීස නම් වූ මුනිවරයාණන් වහන්සේ දුටු සඳේ සිසිලසයි මේ…

ලොකු වැහි වලාකුළු සැඩ සුළංවලින් ගහගෙන යනවා වගේ, හිතේ උපදින කෙලෙස් බුදු සමිඳුන් ප්‍රහාණය නො කළා නම් මුළු ලෝකය ම වැහිලා තියෙන්නේ අඳුරින් විතරයි. එහෙම වුණා නම් කවදාවත් නුවණින් බබළන මිනිස්සු පහළ වෙන්නෙ නෑ.

ලෝකය එළිය කරන්නේ මුනිවරු විසිනුයි. බුදු සමිඳුනි, ඔබවහන්සේ ගැන මට හිතෙන්නේ ඒ විදිහට ම යි.

වලාකුළු නැති අහසේ පුන්සඳ මඬල බබළනකොට හරි ම ලස්සනයි. හැම බාධාවක් ම ඉවත් කළ හිරුමඬල බබළනකොටත් ලස්සනයි. අංගීරස වූ මහා මුනිවරයාණනි, ඔබ වහන්සේත් ඒ වගේ ම යි. හැම දෙයක් ම අභිබවා බබළනවා.
බුදු සමිඳුන් දෙස බලනු මැනවි. උන්වහන්සේ මාරයාගේ කෙලෙස් මාර්ගය වහලා දැම්මා. කෙලෙස් මුල් නැතිකළා. නිදහසේ හැසිරෙන්නේ. විස්තර විභාග වශයෙන් සදහම් කියලා දෙනවා. හැම බන්ධනයෙන් ම නිදහස් කරවලා මේ සත්වයන් ව කෙලෙස්වලින් මුදවනවා.

ඒ මිහිරි හඬින් අර්ථ රස වැගිරෙනවා. ඉතා රසවත් විදිහටයි ඒ වචන එකතු වෙන්නේ. මිහිරි නාදයෙන් යුක්ත ඒ ස්වරයෙන් ධර්මය වදාළ මැනව. හංසයෙක් බෙල්ල ඔසවල කූජනය කරනව වගේ , මිහිරි හඬින් යුක්ත ඒ ලස්සන වචනවලින් අපට කියාදෙන්න. සිත් ඍජු කරගෙන අපි අහගෙන ඉන්නම්.

හිරුගොත් වංශයෙන් උපන් දහම් ඇස් ඇති බුදු සමිඳුන් ලෝකයට මහත් අනුකම්පාවෙන් ම යි මේ චතුරාර්ය සත්‍යය ධර්මය දේශනා කළේ.

නිවන් මගට බැසගත් ඒ භික්ෂු භික්ෂුණී පිරිස ඒ අමා නිවන සාක්ෂාත් කළා නම් ඔවුන්ට හිතසුව පිණිස ම යි බුදු සමිඳුන් සම්බුද්ධත්වයට පත්වුණේ.

(වංගීස මහරහතන් වහන්සේ – ථේරගාථා පාළි)

සඳ සිසිලසින් නැහැවී අහස්කුස දිලි තවත් එක් තරුකැටයක් වන්, සසුනඹර මත පායා දිලෙන්නට වූ සේල නම් වූ රහතන් වහන්සේ ධර්මරාජයාණන් වහන්සේ වෙත පළ කළ නිර්මල තුති පූජාවයි මේ….

“මහාවීර වූ භාග්‍යවත් මුනිඳුනි, ඔබවහන්සේට තියෙන්නේ පරිපූර්ණ ශරීරයක්. ලස්සන ම ලස්සන රූපයක්. සුන්දර උපතක්. සුන්දර පෙනුමක්, රත්තරං පාට සිරුරක්. සුදෝ සුදු දත් දෙපළක්.

වාසනාවන්ත උපතක් ලබපු කෙනෙකුගේ ශරීරයේ ඒ ගැන උතුම් සලකුණු තියෙනවා. ඔබවහන්සේගේ ශරීරයේ ඒ උතුම් මහා පුරුෂ ලක්ෂණ තියෙන බව මට පේනවා.

ඔබ වහන්සේගේ ඇස් දෙක හරි ම ලස්සනයි. මුව මඬල හරි ම සුන්දරයි. උස මහත බ්‍රහ්මයෙකුගෙ වගෙයි. ශ්‍රමණයන් වහන්සේලා මැද ඔබවහන්සේ වැඩසිටින කොට හිරුමඬල බබළනවා වගෙයි.

පින්වත්නි, සදහම් ඇස් ඇති මුනිඳුන්, මේ පවසන සුන්දර වචන හොඳට අහගන්න. උන්වහන්සේ සත්වයන්ගේ සිත්වලින් කෙලෙස් හුල් උදුරා දමන ශල්‍ය වෛද්‍යවරයෙක්. මහා වීරියවන්තයෙක්. වනාන්තරයේ නද දෙන සිංහරාජයෙක් වගෙයි.

උන්වහන්සේ ශ්‍රේෂ්ඨත්වයෙන් නිර්මාණය වෙලා තියෙන්නෙ, අසහාය කෙනෙක්. මාර සේනා පරදවල ජය ලැබූ කෙනෙක්. මේ බුදු සමිඳුන් දකින විට ඕනෑම තරාතිරමක කෙනෙක් නො පහදින්නේ කොහොම ද …?

සදහම් ඇස් ඇති මුනිඳුනි, ඇත්තෙන්ම අපි මේ උතුම් තිසරණයට පැමිණියේ දවස් අටකට කලින්. භාග්‍යවතුන් වහන්ස, දවස් හතක් ඇතුළත අපි ඔක්කොම සදහට ම දමනය වුණා.

ඇත්තෙන්ම, ඔබ වහන්සේ බුදුකෙනෙක් ම යි. සැබෑම ශාස්තෘන් වහන්සේනමක් ම යි. මාරබලය අභිබවා ගිය මුනිවරයා ම යි. සියලු කෙලෙස් සිඳගෙන සසරින් එතෙරට වැඩි ඔබවහන්සේ අපවත් මේ සංසාරයෙන් එතෙර කළා.

ඔබවහන්සේ සියලු කෙලෙස් ඉක්මවා ගියා. ආශ්‍රවයන් වැනසුවා. හැම භවයක් ම නැතිකරල දැම්මා. උපාදාන රහිත වුණා. ඇත්තෙන්ම ඔබවහන්සේ සිංහරාජයෙක් වගෙයි.

මහා වීරියවන්ත මුනිඳුනි, තුන්සීයක් භික්ෂූන් වහන්සේලා මේ වැඳගෙනයි ඉන්නේ. ඔය සිරිපා යුගල දිගුකළ මැනව. මේ ඇතුන් පිරිස ශාස්තෘන් වහන්සේගේ සිරිපතුල් වඳිත්වා…”

(සේල මහරහතන් වහන්සේ – ථේරගාථා පාළි)

උදායී නම් තෙරුන් වහන්සේත් ගෞතම සසුනඹර නිකෙලෙස් බවේ ආලෝකයෙන් හැඩ කළ තවත් එක් රහතන් වහන්සේනමක්. දිනක් මහජනයා විසින් මහත් හරසරින් කතාබස් කළ හස්තියෙකු පිළිබඳ ව උන්වහන්සේට අසා දැනගන්නට ලැබිණි. අහෝ…! මේ මහජනයා තිරිසන්ගත හස්තියෙකු වර්ණනා කරති. මහා හස්තියෙකු වූ බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා නො කරති. ඒ නිසා මම බුද්ධ නම් වූ මහා හස්තියාගේ ගුණයන් ප්‍රකට කරන්නෙමි යි සිතූ උන්වහන්සේගේ හද මඬලේ පැන නැගි බුද්ධාලම්භන ප්‍රීතිය යි මේ…

“වතුරේ හටගත්ත සුදු නෙළුම් මල පිපුණා ම හරි ම ලස්සනයි. සුවඳ හමනවා. නමුත් ඒ මල තියෙන්නේ වතුරේ ගෑවී ගෑවී නො වෙයි.

මිනිස් ලොව පහළ වී වදාළ බුදු සමිඳුත් අන්න ඒ විදිහට ම යි, මේ ලෝකයේ වැඩවසන්නේ. වතුර නො ගෑවෙන නෙළුම් මලක් වගේ. උන්වහන්සේගේ ජීවිතය සමඟ ලෝකයට අයිති කිසිවක් ගෑවෙන්නේ නෑ.

බුදු සමිඳුන් හරියට ගල් පර්වතයක් මුදුනින් නිදහසේ බිම වැටෙන රත්තරං ආභරණයක් වගේ. උන්වහන්සේ ඇත්තෙන්ම, ලෝකයේ ඉන්න ලස්සන ම හස්තියා වගේ. හැම පර්වතය ම පරදවපු ලස්සන හිමාල පර්වතය වගේ.

සියලු දෙනා අතර හස්තියෙක් වගේ. අතිශයින් ම ශ්‍රේෂ්ඨයි. උන්වහන්සේට පැවසිය යුතු නම “සත්‍යය” යනුයි.

(උදායි මහරහතන් වහන්සේ – ථේරගාථා පාළි)

නිකෙලෙස් මුනිවරුන්ගේ පිවිතුරු සිත් තුළ පැනනැගුණු නිරාමිස උදානයන් තුළ ශාස්තෘන් වහන්සේ කෙතරම් නම් වර්ණනාවට පාත්‍ර වෙලා තියෙනව ද…? මෙහි දැක්වූයේ අරහත් මුනිවරුන් තුන්නමකගේ බුදුගුණ වැනුම්වලින් කොටසක් පමණි. සම්බුදුරජාණන් වහන්සේ නැමැති සූර්යාලෝකය නිසා විකසිත වූ දසත පැතිරි සියපත් වන් සියලු රහතන් වහන්සේලාගේ බුදුගුණ වැනුම් එකතු කළොත් එය කෙතරම් වේවි ද…? එනමුදු, බුදුගුණය නම් පවසා අවසන් කළ නො හැක්කේ ම ය. එතරම් ම අනන්ත ය…! අප්‍රමාණ ය…!, ඔබ අප සරණ ගිය ශාස්තෘන් වහන්සේගේ අපරිමිත ගුණකඳ. ඒ නිසා ම යි සියලු නිකෙලෙස් මුනිවරුන් එක නදින් සිහනද පතුරුවන්නේ (නදන්ති තේ සීහනාදං – බුද්ධා ලෝකේ අනුත්තරාති) ලෝකයෙහි බුදුරජාණන් වහන්සේලා ඒකාන්තයෙන් ම අනුත්තරයි කියලා.

රහතන් වහන්සේලා මෙම ගාථාවල පවසා ඇති අන්දමට සඳ මඬල, හිරු මඬල, මහා සුදු නෙළුම, සිංහරාජයන්, හස්තිරාජයන් ආදී ලොව පවතින ශ්‍රේෂ්ඨ උපමාවන් සියල්ල ම මනා කොට ගැළපී ගියේ බුදුගුණය ඉස්මතු කිරීම පිණිස ම යි. නමුත් සමස්ත බුදුගුණය ප්‍රකට කිරීම පිණිස උපමාවක් නම් ලොව නැත්තේ ම ය.

එසේ නම් වෙසක් පෝ දින සඳ තරු පිරි නිලඹර දෙස බලා ඔබ ම තීරණය කරන්න.

අහෝ…! ඒකාන්තයෙන් ම පසළොස්වක අහස නම් බුදු සසුන වගේ ම නො වේ ද කියලා. සසුනඹරේ පායා දිලි සුපුන් සඳ වූ අපගේ ශාස්තෘන් වහන්සේට නමස්කාර වේවා…! සසුනඹර හැඩ කළ තරු කැට වන් සම්බුදු ළය මඬලේ උපන් නිකෙලෙස් මුනිවරුන් වහන්සේලාට නමස්කාර වේවා..!

ඇසුර – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පරිවර්තනය කරන ලද “ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා – ථේරථේරී ගාථා” ග්‍රන්ථ රත්නය.

මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.