පාර හරහා ලහිලහියේ ඇදෙන රැහැනක සුදු කොඩියකි. බොහෝ දෙනෙකු විමසිලිමත්ව යමක් විමසන බව පෙනේ. කරුණ ඉතා පැහැදිලි ය. කවුරුන් හෝ මරණයට පත්ව ඇත. මේ අතර ඇතැමෙකු යුහුසුළුව එදෙසට දිව යනු පෙනේ. සන්සුන්ව තිබූ වටපිටාව ක්‍ෂණිකව වෙනස් වී ඇත. ඈතින් අසෙන විලාප නංවන හඬ ගම්දොර සිසාරා පැතිර යමින් බොහෝ දෙනෙකු සිදු වූ දෙයින් වික්‍ෂිප්තභාවයට පත්කොට ඇත. දෙඅත් කම්මුලට තබාගත් පිරිසක් පුදුමයෙන් යුතුව බලා සිටිති. ඒ කිසි කලකත් සිදු නොවිය යුතු දෙයක් සිදුවූවා නො වේ දැයි අසන්නාක් මෙනි. තවකෙකු පැවසුවේ ගහක් ගලක් මෙන් සිටි හෙතෙම මෙසේ අකල් මරණයකට පත් වීම තවමත් අදහාගත නො හැකි බව ය. එසේ නම් මෙකී සමාජය මරණය කිසි විටකත් අපේක්‍ෂා නො කළ දෙයක් ද? මේ පිරිස කවර දිනක හෝ තමන් කරා මරණය පැමිණෙන බව නො දැන සිටි පිරිසක් ද? එසේ නැතහොත් ඕනෑම මොහොතක ඕනෑම මිනිසෙකු හෝ සත්වයෙකු මරණයට පත්විය හැකි බව නො අදහන පිරිසක් ද? එහෙත් මේ සියල්ලට ම පිළිතුරු වශයෙන් ‘නැත’ යන්න මේ ඕනෑම කෙනෙකුගේ මුවින් නිරායාසයෙන් ම නැගෙනු ඇත. නමුදු ඒ පිළිතුර මෙකී හැසිරීම් රටාව තුළ ප්‍රායෝගික භාවිතයක් නොවන බව නම් ඉතා පැහැදිලි ය. එසේ නම් මේ ද්විත්ව රංගනයේ අවබෝධයට අවැසි දේ නොමැති බව මුලින් ම පසක් කර ගත යුතු ය. එසේ ම පෘථග්ජන සමාජය වෙතින් මේ අසරණ භාවය මනා කොට දැකිය හැකි ය. එහෙත් ඒ තිසරණය සරණ ගිය උතුම් ආර්ය ශ්‍රාවකයන් වනාහී පෘථග්ජන භාවය ඉක්මවා ගිය හෙයින් ඉහත පැනයන්ට පිළිතුරු වශයෙන් ‘නැත’ යන්න පවසා ඊට අනුරූප වූ හැසිරීම් රටාවෙන් ද යුක්ත වන බව කිව යුතු ය.

වර්තමාන සමාජ ගමන්මග තුළ අවිද්‍යාව නිසා ම සැකසුණු තවත් එක් සම්මත හැසිරීම් රටාවක් මළ ගෙදරට ද උරුම වී ඇත. එහි දී බොහෝ දෙනෙක් අපේක්‍ෂා කරන්නේ ශෝකී බවින් මිරිකී ගිය කඳුළු පිරුණු දෑසින් යුතු මළානික මුහුණු ය. එසේ ම මියගිය පුද්ගලයාගේ සමීප ඥාතීන්ගේ නිරන්තර විලාපයන් ය. යන එන පිරිස සියලු දෙනාම පාහේ මළ ගෙදර තුළ දී හැසිරිය යුත්තේ තවත් එක් ලෝක ස්වභාවයක් උපේක්‍ෂාවෙන් යුතුව දකිනා පිරිසක් වශයෙන් නොව මහත් අභාග්‍යසම්පන්න වූ සිදුවීමකින් වික්‍ෂිප්ත භාවයටත් ශෝකයටත් පත්ව සිටින පිරිසක් ලෙසිනි. එය එසේ නො වන්නේ නම් මළ ගෙදරකට තරම් නොවන බව බහුතරයකගේ පිළිගැනීම ය. මරණ බැනරයක අපගේ බලවත් ශෝකය යනුවෙන් සටහන් කිරීමට ද අමතක නො කරන්නේ එහෙයිනි. මේ සියල්ලෝ ම යථාර්ථය පිළිගැනීමට මැලිකමක් දක්වති. තම සන්නිවේදනය තුළ පවා එය සෘණාත්මක දෙයක් ලෙස හුවාදක්වමින් සැඟවීමට උත්සාහ දරති. එහෙත් සත්‍ය නම් කිසිවෙකුටත් මරණය මගහැර යා නො හැකි වීම ය. මේ හැමවිටක දී ම ඔවුන් භාග්‍යවතුන් වහන්සේ වදාළ අමා දහමෙහි සන්දිට්ඨික බව දැකිය හැකි කදිම අවස්ථාවක් මගහැර ගනිති. එය ජීවිතාවබෝධය පිණිස උපකාර කර ගැනීමට තරම් දක්‍ෂ නො වෙති. එහෙත් ආර්ය ශ්‍රාවකයා එය ජීවිතාවබෝධයට උපකාර කර ගන්නා නිමිත්තක් බව දැන වඩ වඩාත් අප්‍රමාදී වෙයි. අප්‍රමාදය තුළින් උපේක්‍ෂාවට පත්ව අවබෝධයෙන් යුතුව ශෝක වැළපීම් ඉක්මවා ගිය සුව පහසුවෙන් වාසය කරයි. ඔහුගේ හෝ ඇයගේ හැසිරීම පෘථග්ජන ලෝකයට නම් ප්‍රශ්නාර්ථයක් සේ ම අවිෂය කරුණකි. නමුදු යම් අවස්ථාවක දී ආර්ය ශ්‍රාවකයන් ද සිහි නුවණින් තොරවූ විටක පමණක් අන් අයගේ වියෝව හමුවේ ශෝක කරන අවස්ථා ඇත. එහෙත් එය යළි සිහි නුවණ පිහිටුවාගන්නා තෙක් පමණක් ම බවත් නුදුරු දිනක මේ ශෝක වැළපීම් සියල්ල යළි හට නො ගන්නා ලෙස නිරුද්ධ කොට දැමිය හැකි බවත් ඔවුන් හොඳින් දනිති. එබැවින් නුවණැත්තෝ ඒ අමා දම් සොයා වෙහෙසෙති.

අන්‍යයන්ගේ මෙන් ම අපගේත් සමීපතමයන්ගෙන් කෙදිනක හෝ වෙන්වීමට සිදුවීම සනාතන සත්‍යයක් නම් ඒ කරුණ තුළ ඇතිකර ගනු ලබන ළාමක හැසිරීමෙන් හෝ ශෝක වැළපීම් සුසුම් හෙළීම් තුළින් ලැබිය හැකි ප්‍රතිලාභයක් නැත. මේ කරුණ අප මනා නුවණින් යුතුව සිහි කළ යුතු ය. අඳ බාල ජනයා ශෝකී මුහුණින් යුතුව ශෝක කරන තැන ඒ ශෝකය ඉක්මවා යමින් ජීවිතාවබෝධයට සමීප වීම ආර්ය ශ්‍රාවකත්වයට ම අදාළ කරුණකි. එය ලොවට හිත පිණිස යළිත් සමාජගත කළ යුතු ය. එය ලෝකය වෙත කරනු ලබන වටිනා ම ආයෝජනයකි. මන්දයත් ඕනෑම ජාතියක, ආගමක, කුලයක පිරිසක් වුවත් මේ සනාතන ලෝක ස්වභාවය උරුම කොට සිටින බැවිනි.
අතීතයේ නම් මරණයක් සිදු වූ කල සිරුර විගසින් සොහොනට බැහැර කිරීම සිදු විය. එකල අද මෙන් දින ගණනාවක් මළ සිරුර ප්‍රදර්ශනය කිරීමක් නො තිබිණි. එහෙත් එකල මිනිසුන් ඒ සුළු කාලය තුළ පවා මරණය ඔස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය නුවණින් මෙනෙහි කරමින් නිවනට සමීප වූහ. නමුදු අද තත්ත්වය ඊට හාත්පසින් ම වෙනස් ය. අද මරණයක අවසන් කටයුතු සිදුකිරීම යන්න ඉතා සංකීර්ණ වූ, කිසිසේත් ප්‍රායෝගික නොවන සමාජ සන්දර්ශනයකි. ඊට නියම වුණු තක්සේරුවක් සමාජය තුළ ප්‍රකාශිත ය. සියල්ලෝ ම අවබෝධයෙන් තොරව ඒ තක්සේරුව හඹා යාමට පෙළ ගැසී සිටිති. බොහෝ විට මේ හරහා එකිනෙකාගේ තරාතිරම පෙන්වීමට ගන්නා උත්සාහයක් දැකිය හැකි ය. ඒ සියල්ලෝ ම මේ හිස් ගමන තුළ පුරාජේරු කථාවලට හා සෝ සුසුම්වලට තම ධර්මාවබෝධය පිණිස පවතින වටිනා, කෙටි කාලය මිඩංගු කරමින් පිරිහී යති. ආර්ය ශ්‍රාවකයා මේ සියල්ල දෙස අනුකම්පා සහගතව බලා සිටිනුයේ අවබෝධයෙන් යුතු ප්‍රණීත සුවපත් මනසකිනි.

මෙය අතීත මළ ගෙදරක මතකාවර්ජනයකි. එහි පවතින අර්ථාන්විත බවට හේතුව භාග්‍යවතුන් වහන්සේනමක් වදාළ අකාලික දහම තුළ ඒ නිවැසියන් හික්මී සිටීම බව ඕනෑම අයෙකුට මොනවට පසක් වනු ඇත. මෙහි දී මතුවන සුවිශේෂී ම කරුණ නම් මරණයට පෙර ගත කරන උතුම් ධාර්මික ජීවිතය යි. මරණයට ඒ වැදගත්කම ලබා දී නැත. එහෙත් එය වර්තමාන ලෝකය තුළ දැකිය හැක්කේ උඩු යටිකුරු වීමෙනි. එයින් ම මේ ගමන් මග නුවණැත්තන් හට විනිශ්චය කළ හැකි ය. ඒ හැකියාව ඉතා ම දුෂ්කර මොහොතේ දී පවා උපදවා ගත් කිසාගෝතමිය වැනි වූ ආර්ය ශ්‍රාවිකාවන් ද අපට සිතන්නට බොහෝ දේ ඉතිරි කොට ඇත.

ඒ භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩවසන කල්හි එක් උපාසකයෙකු අරභයා මේ දේශනාව වදාළ සේක.

සැවැත් නුවර එක් උපාසකයෙකුගේ පුතෙකු හදිසියේ මරණයට පත් වූ අතර ඒ සොවින් ඔහු බොහෝ දුකට පත්ව සියලු කටයුතු පසෙකලා නිවෙස තුළට ම වී සිටියේ ය.

ශාස්තෘන් වහන්සේ අලුයම ලෝ බලා වදාරන කල්හි ඒ උපාසක තැන දැක පෙරවරුවේ පා සිවුරු ගෙන ඔහුගේ නිවසට වැඩි සේක. මහත් ගෞරවයෙන් භාග්‍යවතුන් වහන්සේ පිළිගත් ඔහු ආසනයක් පනවා වැඩ සිටින්නට සැලැස්වී ය.

“උපාසකය, ඔබ ශෝකයෙන් පීඩිතව සිටින්නේ කුමක් නිසා ද?”
“ස්වාමීනි, මාගේ ප්‍රිය පුතණුවන් මියගිය සොවින් සිටිමි.”
“එසේ ද උපාසකය? එසේ නම් මෙයත් අසන්න.”
එසේ පවසා භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ ශෝකය දුරු කරනු පිණිස උරග ජාතකය වදාළ සේක.

**********************************************************************

ඈත අතීතයේ කාසි රට බරණැස් නුවර ධර්මපාල නම් බමුණු පවුලක් වුණා. එහි බ්‍රාහ්මණයා ද බැමිණිය ද පුතා, ලේලිය සහ දියණිය ද දාසියක් ද මනා කොට මරණානුස්සති භාවනාව පුරුදු කරමින් සිටියා. එක් දිනක් බ්‍රාහ්මණයා සහ පුත්‍රයා කුඹුරේ සී සාමින් සහ වියළි තණකොළ ගිනි තබමින් සිටින අතර ගසක සිටි නාගයකු දැවිල්ල නිසා රුක් සිදුරෙන් එළියට පැමිණ බ්‍රාහ්මණ පුතුට දෂ්ට කළා. බලවත් විසෙන් ඔහු එතැන ම මරණයට පත් වුණා. දෙව් ලොව සක් දෙවිඳුන් ව උපන්නා. බ්‍රාහ්මණයා පුතු මළ බව දැන කුඹුර අසලින් යන්නෙකුට කථා කොට “මගේ ගෙදරට ගොස් බිරිඳට පවසනු මැනවි හොඳින් දිය නා පිරිසිදු ඇඳුම් ඇඳ එක් අයෙකුට පමණක් බත් ද මල්මාලා සහ සුවඳ වර්ග ද ගෙන එන්න කියා.” යි පණිවුඩයක් යැව්වා. පණිවුඩය ලත් නිවැසියන් ද බ්‍රාහ්මණයා කී පරිද්දෙන් ම සිදු කොට කුඹුරට පැමිණියා. බ්‍රාහ්මණයා ද නා, බත් ද අනුභව කොට පිරිස සමඟින් මළ සිරුර දර සෑයට නංවා ගිනි තබා ශෝක රහිතව අනිත්‍ය සිහිකරමින් සිටියා.

එකල්හි සක් දෙවිඳුන් ව උපන් පුතු තම පෙර පින් බලය සිහි කරන අතර පියාට ද නෑයන්ට ද අනුකම්පාවෙන්, බමුණු වෙස් ගෙන තම චිතකය දවන ස්ථානයට පැමිණියා. ඔහු ශෝක නො කරන නෑයන් දැක, “පින්වත්නි නුඹලා දවන්නේ මුවෙක් ද? එසේ නම් මටත් මස් ටිකක් දුන මැනවැ.” යි කියා පියාගෙන් ඉල්ලා සිටියා.

“බමුණ මේ මුවකු නොව මනුෂ්‍යයෙකි.”

“මේ දවන තැනැත්තා ඔබේ සතුරෙක් ද?”

“නැත බමුණ. මේ අපගේ එක ම පුතුයි. ඔහු මහත් ගුණසම්පන්න නැණවත් තරුණයෙක්.”

“කුමක් පවසන්නේ ද? එවන් පුතු වෙනුවෙන් ඔබ ශෝක නො කරන්නේ මන්ද?”

“සර්පයා කරනුයේ තම දිරාගිය හැව ශරීරයෙන් බැහැර කරන එකයි. එමෙන් ම කෙනෙකුට මේ ශරීරය ප්‍රයෝජනයට ගත නො හැකි කල අත්හැර කළුරිය කරනවා. ගින්නෙන් පිච්චෙන ඒ මළ සිරුරට ඥාතීන්ගේ වැළපීම නො තේරෙන කල අපගේ හැඬුම්වලින් ඇති ඵලය කුමක් ද? ඔහුට යන්නට යම් ගමනක් තියෙනවා නම් ඔහු ඒ ගමන ගියා.”
තම පියාගේ සිහිනුවණ ගැන සතුටු වූ සක් දෙවිඳුන් බැමිණිය වෙත ගියා.

“මෑණියනි, මේ මියගිය තැනැත්තා ඔබගේ ඥාතියෙක් ද?”

“බමුණ, මේ දස මසක් කුස හොවා බිහිකර ලේ කිරි කර පෙවූ මගේ එක ම පුතු ය.”

“මෑණිවරු වනාහි තම පුතුට දැඩි ස්නේහයක් දක්වන්නියෝ ය. එවැනි වූ ඔබ නො හඬා සිටින්නේ කුමක් නිසා ද?”

“එයා පරලොවින් මෙලොවට අවේ අපි අඬ ගහලා නො වෙයි. ගියෙත් අපිට කියලා නො වෙයි. යම් විදියකින් ආවා ද ඒ විදියට ම ගියා. ඉදින් එහෙම එකේ අපි හඬන එකේ තේරුම කුමක් ද? ගින්නෙන් පිළිස්සෙන ඒ මළ සිරුරට ඥාතීන්ගේ වැළපීම් අවබෝධ වෙන්නේ නැහැ.”

සතුටු වූ සක් දෙවිඳු සහෝදරිය වෙත ගියා.
“නැගණියනි, මේ මියගිය තැනැත්තා ඔබගේ කවුරුන් ද?”

“බමුණ, මේ මගේ එක ම සොහොයුරායි.”

“සහෝදරියන් සහෝදරයන්ට සෙනෙහස දක්වන්නියෝ ය. ඔබ නො හඬන්නේ කුමක් නිසා ද?”

“මම හඬන්නට ගියොත් වෙන්නේ කෙට්ටු වෙන එක විතරයි. ඒ හැඬීමෙන් කුමන ඵලක් ද? අපේ නෑදෑ හිතමිතුරන්ටත් ඇතිවන්නේ නොඇල්ම පමණයි. ගින්නෙන් දැවෙන ඒ මළ සිරුරට ඥාතීන්ගේ වැළපීම දැනෙන්නේ නැහැ. එයාගේ ගමන එයා ගියා.”

සක් දෙවිඳු තම බිරිඳ වෙත ගියා.

“මියගිය පුද්ගලයා ඔබගේ කවුරුන් ද?”

“බමුණ මේ මගේ ප්‍රියාදර සැමියා යි.”

“ස්ත්‍රීන් තම සැමියාට බොහෝ සෙනෙහෙවන්තයි. සැමියා අහිමි වී වැන්දඹු වූ ඔබ නො හඬා සිටින්නේ මන්ද?”

“පොඩි දරුවෙක් ඉන්නවා. එයා ආකාසයේ ඇති සඳ ඉල්ලා හඬනවා. යමෙක් මියගිය අය වෙනුවෙන් අඬනවා නම් එයත් ඒ වගෙයි. ගින්නෙන් පිච්චෙන ඒ මළ සිරුරට ඥාතීන්ගේ වැළපීම් අවබෝධ වෙන්නේ නැහැ. ඔහුට යන්න තිබුණ ගමන ගියා.”

ඊ ළඟට දාසිය වෙත ගිය සක්දෙවිඳුන් මෙසේ විමසුවා.

“නැගණියනි, මියගිය අය ඔබගේ කවුරුන් ද?”

“බමුණ, මා ඔහුගේ දාසියයි. ඔහු ඉවසන මෙත් සිතින් යුතු කෙනෙක්.”

“එසේ නම් ඔබ නො හඬා සිටින්නේ කෙසේ ද?”

“පින්වත, මැටි කළයක් බිඳුණු කල යළි එය පරණ ලෙස ම සැකසිය නො හැකියි. යමෙකු මියගිය කෙනෙකු වෙනුවෙන් හැඬීමත් නිශ්ඵල දෙයක්. ගින්නෙන් පිච්චෙන මළ සිරුරට ඒ ඥාතීන්ගේ වැළපීම දැනෙන්නේ නැහැ. ඒ නිසා මම හඬන්නේ නැහැ. එයාගේ ගමන එයා ගියා.”

සක් දෙවිඳුන් ඔවුන්ගේ ධර්ම කථාවට පැහැදී “ඔබලා මරණානුස්සතිය මනා කොට වඩා තිබෙනවා” යි පවසා, “මෙතැන් සිට ඔබලා ගොවිතැන් කළ යුතු නැතැ” යි සත්රුවනින් නිවස පුරවා, තමා ද හඳුන්වා දී දන් දෙමින් සිල් රකිමින් වාසය කරන ලෙස ඉල්ලා පිටත්ව ගියා.

ශාස්තෘන් වහන්සේ මෙම සිදුවීම ගෙනහැර දක්වමින් උපාසකයාගේ ශෝකය සහමුලින් ම උදුරා දමා දහම් දෙසූ කල ඔහු උතුම් වූ සෝවාන් ඵලයට පත් වුණා.

**********************************************************************

ඉදින් ශෝක මුල් සහමුලින් ම උදුරා දැමීමට කැමති පින්වතුනි, මේ ගෞතම බුදු සමිඳුන්ගේ යුගය යි. මනා කොට මරණානුස්සතිය වඩමු. අප්‍රමාදී වෙමු.

සටහන – රොහාන් ඉන්ද්‍රජිත් එදිරිසිංහ