‘අත්තානං ධාරෙන්තේ චතුසු අපායේසු වට්ටදුක්ඛේසු ච අපතමානේ කත්වා ධාරේතීති ධම්මෝ’ යනුවෙන් දැක්වෙන පරිදි ‘ධර්ම’ යන්න ‘දරන්නා වූ’ යන අර්ථය ගෙන දේ. දැරීම නම් සතර අපායට වැටෙන්නට නො දී, සසර දුකට වැටෙන්නට නො දී රැකීමයි. පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ වශයෙන් ධර්මය තුන් ආකාර වේ. පර්යාප්ති ධර්මයෙන් කෙරෙන්නේ සත්වයා හට දුකින් මිදීමේ මාර්ගය පෙන්වීමයි. ප්‍රතිපත්ති ධර්මයෙන් සත්වයා අපායෙන් මුදවා සුගතියට පැමිණවීමත්, මාර්ග ඵල නිර්වාණයත් ලබා දීම සිදු කරයි. ධර්මයට අනුව පිළිවෙත් පුරන්නෝ ද ලෝකෝත්තර ධර්මය ප්‍රතිවේධ කරන පුද්ගලයෝ ද ධර්මය දරන්නෝ ය.

පිටක තුනකි ධර්මය

ලොවෙහි තතු සියල්ල ම දැනගත්තා වූ, මහා කාරුණික වූ භාග්‍යවතුන් වහන්සේ විසින් ලෝකානුකම්පාවෙන් හතලිස් පස් වසරක් මුළුල්ලේ ඒ ඒ තැන්වල දී වදාළ සුපිරිසිදු බ්‍රහ්මචරිය පිළිබඳ ව පෙන්වන්නා වූ බුද්ධ වචන රාශිය පර්යාප්ති ධර්ම නමින් හඳුන්වනු ලබයි. බුදුවදන් සියල්ල ම විනය, සූත්‍ර, අභිධර්ම පිටක වශයෙන් තුන් වැදෑරුම් වේ. එමෙන් ම එය නිකාය වශයෙන් ද දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, ඛුද්දක නිකාය වශයෙන් බෙදා දක්වා ඇත. දීර්ඝ සූත්‍රයන්ගෙන් දීඝ නිකාය සමන්විත ය. මධ්‍යම ප්‍රමාණ සූත්‍රයන් මජ්ඣිම නිකාය ලෙසටත්, දේවතා සංයුත්තය ආදි වශයෙන් සූත්‍ර හත්දහස් හත්සිය හැට දෙකක් සංයුත්ත නිකාය ලෙසටත් ඇත. එක් එක් අංග වශයෙන් සූත්‍ර නව දහස් පන්සිය පනස් හතකින් සමන්විත සංග්‍රහය අංගුත්තර නිකාය නම් වේ. එම නිකාය හතර හැර ඉතිරි බුදු වදන් සියල්ල ම ඛුද්දක නිකායට අයත් ය.

නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය

බුද්ධ වචනය නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය ලෙසට ද ප්‍රචලිත ය. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් යන මාර්ග සතරත්, ඵල සතරත්, නිර්වාණ ධාතුවත් නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයෝ ය. බුද්ධ ශ්‍රාවකයෙක් සෝවාන් ඵලය උපදවාගත්තේ නම් සක්කාය දෘෂ්ටි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන මතු අපායෙහි උපදින්න ම හේතුවන ක්ලේෂ ධර්ම දුරුවී නැවත කිසිකලෙක අපායෙහි නූපදින පුද්ගලයෙකු වෙයි. ඔහු සසර පමා වූවත් ජාති සතක දී සියලු ම කෙලෙසුන් නසා අරහත්වයට පැමිණ නිවනට පැමිණෙයි. සකෘදාගාමී පුද්ගලයා කාම ලෝකයට එක්වරකට වඩා නො පැමිණ නිවනට පැමිණෙති. අනාගාමී නම් වූ තුන්වන ලෝකෝත්තර ඵලයට පැමිණි පුද්ගලයා නැවත කාමලෝකයට නො පැමිණ සුද්ධාවාස බඹලොව ගොස් එහිදී පිරිනිවන් පායි. අරහත් ඵලයට පැමිණි උතුමා ඉතිරි සියලු කෙලෙසුන් ප්‍රහීණ වී නැවත සසර නූපදින ලෙස කළ යුතු සියලු කෘත්‍යය නිම වී නිවන් සුවයෙන් සැනසීම ලබයි.

ධර්මරත්නයේ ගුණ
ධර්මරත්නයේ ගුණ සයකි.
ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ – භාග්‍යවතුන් වහන්සේ විසින් අවබෝධ කළා වූ ධර්මය මුල මැද අග යන තුන් තැනෙහි ම යහපත් ලෙස, මනාකොට දේශනා කරන ලද්දේ ය. ධර්මයේ ගුණයන් අතරින් ස්වාක්ඛාත ගුණය පිළිබඳ ව බොහෝ කොට ඇත්තේ පර්යාප්ති ධර්මය යි. ලෝකයේ නොයෙකුත් ශාස්තෘවරුන්ගේ දේශනා තුළ එකිනෙකට වෙනස් වූ ධර්ම බොහෝ ය. යම් ශාස්තෘවරයෙකුගේ ධර්මයෙහි ඇතැයි කී දෙය ඒකාන්තයෙන් ඇති නම් නැතැයි දැක්වූ දෙය ඒකාන්තයෙන් නැති නම් යමක් නිසා සිදුවෙතැයි දැක්වූ ඉෂ්ට වූ හෝ අනිෂ්ට වූ ඵලයන් ඒ ලෙසට ම සිදු වේ නම් පුරවන්නට අඩු තැන් නැති නම්, වැරදුන තැන් නැති නම් ඒ ධර්මය ඒකාන්ත සත්‍ය ධර්මයකි. තථාගතයන් වහන්සේ විසින් දේශිත ධර්මය මෙසේ විය හැකි යැයි අනුමානයෙන් දේශනය කරන ලද්දක් නොව සර්වඥතා ඥානයෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන, දැක දේශනා කරන ලද්දකි.

සන්දිට්ඨිකෝ – මෙම ගුණයෙහි තේරුම අනුන් කියනු අසා එබඳු දෙයක් ඇතැයි අනුමානයෙන් සිතාගන්නා දෙයක් නොව මේ නවලෝකෝත්තර ධර්මය තම තමන් විසින් ම දැක, තමාට ම ප්‍රත්‍යක්ෂ කර ගත හැකි, මේ ජීවිතයේදී ම ප්‍රතිඵල ලැබිය හැකි ධර්මයක් යන්නයි.

අකාලිකෝ – එම ධර්මය තුළ පෙන්වා දෙන සත්‍යය කලින් කලට වෙනස් නොවන අකාලික සත්‍යයකි. එම ධර්මය පිළිපදින්නා වූ සත්පුරුෂයනට කල්නොයවා එකෙණෙහි ම එහි ගුණ ලැබිය හැකි ය.

ඒහිපස්සිකෝ – මෙම ධර්මය “මේ සසුනට පැමිණ පිළිවෙත් පුරා බලන්න”යි නිර්භය ව අන්‍යයන්ට කිව හැකි වන්නේ ය.

ඕපනයිකෝ – මෙම ධර්මය දැකිය යුත්තේ තමන් තුළිනි. පුරුදු කළ යුත්තේ තමා විසිනි.

පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී – මෙම ධර්මය නුවණැති සත්පුරුෂයන්ට තම තමන්ගේ ප්‍රඥාවේ පමණට අවබෝධ කරගත හැකිය.

සුගතයන් වහන්සේ විසින් දෙසන ලද මේ ධර්මය සසර සයුරෙන් එතෙර වීමට ඇති පහුර ය. මෙම ධර්මය තුන්ලොව ඇති උත්තම රසයන් අතුරෙන් අග්‍ර රසය ය.

බුදුරජාණන් වහන්සේ දිනක් ගෝතමක චේතිය නම් ස්ථානයේදී තමන් වහන්සේ දේශනා කරන ලද ධර්මය මෙසේ සහතික කොට වදාළ සේක.

“මහණෙනි මම ස්කන්ධ ධාතු ආයතන ආදි ධර්මයන් ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දැන ම දේශනා කරමි. නොදැන දේශනා නො කරමි. හේතු සහිත ව දේශනා කරමි. හේතු රහිතව නො දෙසමි. ප්‍රාතිහාර්ය සහිතව දේශනා කරමි. ප්‍රාතිහාර්ය රහිතව නො දෙසමි. මහණෙනි, මේ අයුරින් ධර්මය දේශනා කරන්නා වූ මාගේ අවවාදය පිළිපැදිය යුතු ය. මහණෙනි, ඔබට භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධ ය, ධර්මය ස්වක්ඛාත ය, සංඝයා සුපටිපන්න ය යැයි සතුටු වීම සුදුසු ය.”

මේ දේශනාව අවසානයේ දස දහසක් ලෝක ධාතු කම්පා විය.

තථාගත ධර්මය අනුව පිළිපැදීමෙන් දෙවි මිනිස් සැප හා නිවන් සැප ලැබුවෝ බොහෝ ය. පිළිපැදීමක් නැතිව පහන් සිතින් එම ධර්මය ඇසීම් මාත්‍රයකින් පවා දෙව් මිනිස් සැප ලැබූ තිරිසන් සතුන් පිළිබඳ කථා ද බෞද්ධ සාහිත්‍යයෙහි දක්නට ලැබේ. මේ එයින් කථා කිහිපයකි.

මණ්ඩුක දේවපුත්‍ර:- භාග්‍යවතුන් වහන්සේ චම්පා නුවර ගග්ගරා පොකුණ සමීපයේ දහම් දෙසූ අවස්ථාවක, ඒ පොකුණෙහි විසූ මැඩියෙක්, ගොඩට පැමිණ, දහම් අසන පිරිස කෙලවර බුදුරජුන්ගේ මිහිරි දහම් හඬට කන් දීගෙන සිටියේය. කෙවිටක් ද අතේ ඇතිව ගොපල්ලෙක් එහි පැමිණ සන්සුන් ව දහමට කන් දී සිටින මහපිරිස දැක, ඔහු ද කෙළවරට ගොස් කෙවිට බිම ඇණ එහි නැවතිණි. ඔහුගේ කෙවිට කොණ පිහිටියේ බණට කන් දී සිටින මැඬියාගේ හිස මත ය. ඌ එකවර ම මැරී බණට කන් දී සිටීමේ පිනෙන් තව්තිසා දෙව්ලොව දොළොස් යොදුන් රන් විමනක උපන්නේ ය.

තමාට මේ මහත් වූ සම්පත්තිය කෙසේ ලැබුණේදැ’යි විමසන්නේ බණ ඇසීමේ පිනෙන් ලැබුණ බව දැනගෙන ඉමහත් සතුටට පැමිණ, එම කරුණ බුදුරජුන්ට දන්වා සිටීමට එකිණෙහි ම විමානයත් සමඟ ම මිනිස් ලොවට පැමිණියේ ය. මහජනයා බලා සිටිය දී ම තම පිරිවරත් සමඟ විමානයෙන් බැස, භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා වඳිමින් තමා හඳුන්වා දුනි. බුදුරජාණන් වහන්සේ ඔහුට ධර්මය දේශනා කළ සේක. මණ්ඩුක දෙව්පුතු සෝවාන් ඵලයෙහි පිහිටියේ ය. ඒ මොහොතේ අසූහාර දහසක් සත්වයෝ ද ධර්මාවබෝධය කළාහු ය.

බණ ඇසූ ගැරඬියා

ලක්දිව රුහුණු ජනපදයෙහි මාගම කාවන්තිස්ස රජතුමා රාජ්‍ය කරන සමයේ කලංගරතිස්ස පර්වතවාසී මහාධම්මදින්න තෙරුන් වහන්සේ මහාරබ්භක නම් ලෙනෙහි වාසය කළහ. ඒ ගල්ලෙන සමීපයෙහි තුඹසක ගැරඬියෙක් වාසය කළේ ය. කාලයක් ඉක්ම ගිය පසු ඌ දෙනෙත් අන්ධව තුඹසින් පිටතට වී ගොදුරු සොයා යාගත නො හැකි ව නිරාහාර ව දරණ ගසාගෙන සිටියේ ය. මහාධම්මදින්න තෙරුන් වහන්සේ එසේ සිටින අසරණ සතා දැක අනුකම්පාවෙන් ඌට ඇසෙන සේ මහා සතිපට්ඨාන සූත්‍ර ධර්මය සජ්ඣායනා කළහ. අසරණ සතා ඒ හඬට සිත පහදාගෙන ඇසුවේ ය. ඒ මොහොතේ එතැනට පැමිණි කබරගොයෙක් අසරණ සතා මරාගෙන කෑවේ ය. බණට සිත පහදාගෙන සිටි පිනෙන් ගැරඬියා අනුරාධපුරයේ දුටුගැමුණු රජතුමාගේ ඇමතිවරයෙකුගේ නිවසෙහි ඉපදුණේ ය. ඔහු තිස්ස නම් විය. ඔහු බොහෝ සම්පත් ඇතිව ජීවත් වී බොහෝ පින්කම් කොට ආයුෂ කෙළවර තව්තිසා දෙව්ලොව උපන්නේ ය.

සාදුකාර දීමේ පින

සැවැත්නුවර විසූ එක් රූමත් කාන්තාවකගේ සැමියා තථාගතයන් වහන්සේගෙන් බණ අසා, ගිහිව සිටිමින් ධර්මයට අනුව පිළිපදිනවාට වඩා පැවිද්ද උතුම් යැයි සිතා විහාරයට ගොස් එක් පිණ්ඩපාතික තෙරුන් වහන්සේනමක් සමීපයෙහි පැවිදි විය. පසේනදී කොසොල් රජතුමා හිමියා නැති කාන්තාව තමන්ගේ අන්තඃපුරයට ගෙන්වා ගත්තේ ය. දිනක් රජතුමා නිල් මානෙල් මල් මිටියක් ගෙන අන්තඃපුරයට ගොස් ස්ත්‍රියකට එක මල බැගින් දුන්නේ ය. ඉහත කී කාන්තාවට මල් දෙකක් ම ලැබුණි. ඇය ඉමහත් ප්‍රීතියෙන් ඒ මල් ගෙන සිප ගත්තා ය.

ඒ මොහොතේ ඇය මුවින් මහනෙල් මල් සුවඳ විහිදෙන පෙර සැමියා සිහිවී හඬන්නට වූවා ය. රජතුමා ඇයගේ ක්‍රියාව දැක ඊට හේතුව විමසුවේ ය. ඒ මොහොතේ ඇය සියලු විස්තර කීවා ය. රජතුමා එය පිළිනොගත්තේ ය. දෙතුන් වරක් කීවත් පෙර සැමියාගේ මුවින් මහනෙල් මල් සුවඳ විහිදෙන බව රජු විශ්වාස නො කළේ ය. රජතුමා ඇගේ කීම විමසා බලනු පිණිස පසුදින සියලු ම සුවඳ වර්ග මාලිගාවෙන් ඉවත් කරමින් ආසන පනවා බුදුරජුන් ඇතුළු මහා සංඝයාට දන් පිළිගැන්වූහ. දන් වළඳා අවසානයේ ස්ත්‍රියගෙන් ඇයගේ සැමියා පිළිබඳ ව අසා දැනගෙන බුදුරජාණන් වහන්සේ වෙතට ගොස් “ස්වාමීනී, අපට අනුමෙවෙනි බණ කීමට අසවල් භික්ෂූන් වහන්සේ නවතා යන සේක්වා” යි දැන්වී ය. භාග්‍යවතුන් වහන්සේ එම භික්ෂුව නවතා අනෙක් භික්ෂූන් වහන්සේලා සමඟ විහාරයට වැඩම කළ සේක. තෙරුන් වහන්සේ දහම් දේශනාව ආරම්භ කරනවාත් සමඟ ම මුළු මාළිගාව ම සුවඳ ද්‍රව්‍යවලින් පිරී ගියාක් මෙන් විය. රජතුමා කාන්තාවගේ කීම සැබෑ බව පිළිගෙන පැහැදී පසු දින භාග්‍යවතුන් වහන්සේ හමුවිය. රජතුමා බුදුරජුන්ගෙන් එම භික්ෂුවගේ මුවින් සුවඳ විහිදීමට හේතුව විචාළේ ය.

“මහරජ ඒ භික්ෂුව අතීතයේ දී දහම් අසමින් ප්‍රීතියෙන් සාදුකාර දුන්නේ ය. ඒ පිනෙන් එම භික්‍ෂුවගේ මුවින් සුවඳ විහිදෙන්නේ ය.” යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

සද්ධම්ම දේසනා කාලේ – සාධු සාධූති භාසතෝ
මුඛතෝ වායතේ ගන්ධෝ – උප්පලං ව යථෝදකේ

තථාගත ධර්මය ඇසීම් මාත්‍රයෙන් හා සාදුකාර දීමෙන් පවා එසේ කරන්නවුන්ට නොයෙක් ආනිශංස ලැබෙන්නේ එම ධර්මය මනා කොට, යහපත් ලෙස දේශනා කර ඇති බැවිනි.

(පොතපත ඇසුරිනි)

– සටහන මානෙල් පොඩිමැණිකේ.