highlights of the week
Home » Archives » ගුණයෙන් ලොව ආනන්දයට පත් කළ ආනන්ද මහරහතන් වහන්සේ

ගුණයෙන් ලොව ආනන්දයට පත් කළ ආනන්ද මහරහතන් වහන්සේ

වැරදි කරන ස්වභාවයෙන් සිටින අප අතින් වරදක් වුණා ම ඒ වරද අනිත් කවුරුන් හෝ දැන නොගන්නවා නම් තමයි හොඳ කියලා හිතෙනවා. කවුරු හරි දැන ගත්තත් වෙන අයට නො කියා මගෙන් ම අහනවා නම් තමයි හොඳ කියලත් හිතෙනවා. ඔන්න ඔය සිතුවිලි අයිති වෙන්නේ සිතේ උපදින ළාමක ආශාවන්ටයි. ඒ අපේක්ෂා කළ දේ සිදු නොවුණොත් එහෙයින් ම සිතේ අමනාපයකුත්, තරහවකුත් හට ගන්නවා. ඒ අමනාපයත්, තරහවත් අයිති වන්නේ උපක්ලේශයන්ට යි.

කළ වරදට චෝදනා ලැබෙද්දී ඒ ආකාරයෙන් අකුසල උපදිනවා නම් නො කළ වරදකට චෝදනා ලැබෙද්දී මොනවා නො වේවි ද? අකුසලය විසින් යටපත් කරලන අපට එසේ වූවාට ගුණයෙන් පිරිපුන් උතුමන් තුළ එවැනි ළාමක චිත්ත ස්වභාවයන් හට ගන්නේ නැහැ. මේ නිකිණි පුන් පොහෝ දිනය එසේ මහත් වූ ගුණයෙන් ගෞතම සම්බුදු සසුන අප්‍රමාණ ව ශෝභමාන කරමින් වැඩ සිටි ආනන්ද ස්වාමීන් වහන්සේ අරහත්වය සාක්ෂාත් කළ පොහොය දිනය යි.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසක් ගෙවී යන විට එළඹි නිකිණි පුන් පොහෝ දිනයක ගෞතම සම්බුදු සසුනේ තෘතීය ශ්‍රාවක වූ, සසුන් බර දරා වැඩ සිටියා වූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රමුඛ කොට ගත් නිකෙලෙස් හද මඩුලු දරා වැඩ හුන් රහතන් වහන්සේලා හාරසිය අනූ නමනමක් වේහාර පර්වත පාමුල සප්තපර්ණී ගල් ගුහා ද්වාරයෙන් පිවිසෙමින් සම්බුදු මුව මඬලින් සුදේශිත ඒ අමා දම් පද එකින් එක අමුණමින් උතුම් ශ්‍රී සද්ධර්මය සජ්ඣායනා කරන්නට සූදානම් වුණා. පෙර දින මධ්‍යම රාත්‍රිය වන තුරු ම අරහත්වය පිණිස පධන් වෙර වඩමින් නුවණ මෙහෙයවා ඉලක්කය සාක්ෂාත් නො වූ විට විවේකය පිණිස සැතපෙන්නට සූදානම් ව දෙපා පොළොවෙන් මුදා හිස යහන වෙත යොමු කරන විට සිරුර පිහිටි ඉරියව්වේ දී සියලු කෙලෙසුන් කෙරෙන් නිදහස් ව අරහත්වයට පත්වූ ආනන්ද මහරහතන් වහන්සේ එහි වැඩම කළේ පොළොවේ කිමිද ධර්මාසනය අබිමුවෙන් නැගෙමිනුයි.

මාස හතක් මුළුල්ලේ සම්බුද්ධ භාෂිතයන් සංගායනා කොට අවසන ආනන්ද මහරහතන් වහන්සේ සම්බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ බව ප්‍රකාශ කළා.

“ආකංඛමානෝ ආනන්ද සංඝෝ මමච්චයේන ඛුද්දානුඛුද්දකානි සික්ඛාපදානි සමූහනන්තු.”

“පින්වත් ආනන්ද, ඉදින් සංඝයා කැමති නම් මාගේ ඇවෑමෙන් කුඩා, අනුකුඩා ශික්ෂාපදයන් වෙනස් කර ගත හැක්කේ ය.”

මේ මොහොතේ සංගීතිකාරකයන් වහන්සේලා ඛුද්දානුඛුද්දක ශික්ෂාපද පිළිබඳ ව විවිධ මත ඉදිරිපත් කළා. එහෙත් ඒ පිළිබඳ ව අවසන් නිගමනයකට එළඹිය හැකි වූයේ නැහැ. සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ විගස ම ශික්ෂාපද වෙනස් කිරීම නුසුදුසු බව දැක ‘පනවන ලද සියලු ශික්ෂාපද මතුවටත් ඒ අයුරින් ම පවතීවා!’ කියා උන්වහන්සේලා තීරණය කළා. එහෙත්, එම ශික්ෂාපද කවරේ ද යන්න අසා දැන නොගැනීම යන කරුණ ද ඇතුළත් ව කාරණා පහකින් ස්ථවිර භික්ෂූන් වහන්සේලා ආනන්ද මහරහතන් වහන්සේට චෝදනා කළා.

ඒ චෝදනා එකින් එක නැගෙද්දී එක එකක් පාසා මහරහත් පිරිවර අබිමුවේ නැගී සිටි ආනන්ද මහරහතන් වහන්සේ තමන් වහන්සේ එය වරදක් ලෙස නොදකින්නට හේතු පවසා එසේ වූවත් සංඝයා කෙරෙහි ගෞරවයෙන් එය වරදක් ලෙස පිළිගන්නා බව පවසා සිටියා.

“ආනන්ද, ඔබ ඛුද්දානුඛුද්දක ශික්ෂා පද මොනවා ද කියා සම්බුදුරජුන් වෙතින් නො ඇසීමෙන් කරනු ලැබුවේ වරදක්.”

“ස්වාමීනී, සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානා බව අසා මා සිටියේ මහත් සංවේගයෙන්. බලවත් දුකට පත්වයි මා සිටියේ. ඒ නිසා මට එය අසන්නට නො හැකි වුණා. අතිමහත් වූ සංවේගය නිසා ඒ ගැන අසන්නට නොහැකි වීම මා වරදක් කියා දකින්නේ නෑ. එහෙත් ඔබ වහන්සේලා එය වරදක් කියා චෝදනා කරනවා නම් ඔබ වහන්සේලා කෙරෙහි අප්‍රමාණ ගෞරවයෙන් මා එය වරදක් ලෙස පිළිගන්නවා.”

“ආනන්ද, ඔබ එක් අවස්ථාවක සම්බුදුරජාණන් වහන්සේගේ වැසි සළුව පයින් පාගාගෙන මසනු ලැබුවා. එය වරදක්.”

“ස්වාමීනී, එදා සහයට කිසිවෙකු සිටියේ නැහැ. ඒ නිසා මට වැසි සළුව පයින් පාගාගෙන මසන්නට සිදු වුණා. මා එසේ කළේ සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි අගෞරවයකින් නෙවෙයි. මා එය වරදක් ලෙස දකින්නේ නෑ. එහෙත් ඔබ වහන්සේලා එය වරදක් කියා චෝදනා කරනවා නම් ඔබ වහන්සේලා කෙරෙහි අප්‍රමාණ ගෞරවයෙන් මා එය වරදක් ලෙස පිළිගන්නවා.”

“ආනන්ද, ඔබ පිරිනිවන් පෑ සම්බුදුරජාණන් වහන්සේගේ දේහය මුලින් ම ස්ත්‍රීන් ලවා වන්දවනු ලැබුවා. එය වරදක්.”

“ස්වාමීනී, එදින අධික පිරිසක් අතරේ ඒ කාන්තාවන් බොහෝ දුරබැහැර සිට පවා පැමිණ සිටියා. සවස් කාලය යි ගත වෙමින් තිබුණේ. රෑ යම අවේලාව වන්නට පළමු ඔවුන් නිවෙස් බලා පිටත් විය යුතු වූ නිසයි මා එසේ කළේ. මා එය වරදක් ලෙස දකින්නේ නෑ. එහෙත් ඔබ වහන්සේලා එය වරදක් කියා චෝදනා කරනවා නම් ඔබ වහන්සේලා කෙරෙහි අප්‍රමාණ ගෞරවයෙන් මා එය වරදක් ලෙස පිළිගන්නවා.”

“ආනන්ද, සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානා බව අඟවද්දී ආයුෂ කල්පයක් වැඩ සිටින්න කියා ඔබ ඇරයුම් කළේ නෑ. එය වරදක්.”

“ස්වාමීනී, මාර වසඟයෙන් නිදහස් වී නො තිබූ මසිත නිසා ඒ මොහොතේ ආරාධනා කළ නො හැකි වුණා. මා එය වරදක් ලෙස දකින්නේ නෑ. එහෙත් ඔබ වහන්සේලා එය වරදක් කියා චෝදනා කරනවා නම් ඔබ වහන්සේලා කෙරෙහි අප්‍රමාණ ගෞරවයෙන් මා එය වරදක් ලෙස පිළිගන්නවා.”

“ආනන්ද, සම්බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනු ලබද්දීත් ස්ත්‍රීන්ට පැවිද්ද අනුදන්නා ලෙස ඔබ තුන්වරක් ම ඉල්ලා සිටියා. එය වරදක්.”

“ස්වාමීනී, මහාප්‍රජාපතී ගෝතමිය සම්බුදුරජුන් කුඩා කල සිට හැදූ වැඩූ මෑණියන්. ඒ ගැන ගෞරවයෙනුයි මා තුන්වරක් ම කාන්තාවන්ට පැවිද්ද අනුදන්නා ලෙස ඉල්ලා සිටියේ. මා එහි වරදක් දකින්නේ නෑ. එහෙත් ඔබ වහන්සේලා එය වරදක් කියා චෝදනා කරනවා නම් ඔබ වහන්සේලා කෙරෙහි අප්‍රමාණ ගෞරවයෙන් මා එය වරදක් ලෙස පිළිගන්නවා.”

බලන්න උතුම් සිත් මඬලක් දරා වැඩසිටිනා මුනිවරුන්ගේ නිහතමානී ගුණ ශෝභාවය. තිබෙනා ම වූ වරද පවා පෙන්වා දෙද්දී ඒ කෙරෙහි ගැටෙන ‍දොස් පවරන ලෝකයක මේ ගුණය කෙසේ නම් ප්‍රමාණ කරන්න ද? අපමණ ගුණ දරා ලෝකය සුවඳ කළ අපගේ ආනන්ද මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!!!

සටහන – උදුලා පද්මාවතී

One comment

  1. සාදු සාදු සාදූ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

පරම්පරා ගණනාවක් මුඛ සෞඛ්‍ය සුරැකි හෙළ වෙදකමේ දන්ත චිකිත්සා විධි

"නොයෙකුත් ඖෂධීය දැහැටි වර්ග නිරතුරුව දත් හා විදුරුමස්වල ගැටීම නිසා ඒ සම්බන්ධ මාංශපේශී හා ස්නායූන්ගේ මනා ක්‍රියාකාරීත්වයක් ඇතිවී ඇස්, කන්, නාස්, මොළය හා ඌර්ධවගත ඉන්ද්‍රියයන්ගේ ප්‍රකෘති පැවැත්මට ලබාදෙන්නේ මනා පිටුවහලකි. වර්තමානයේ කෘත්‍රිම ද්‍රව්‍යයන්ගෙන් නිපදවා ඇති දත් බුරුසුව දැහැටි දණ්ඬේ ඖෂධීය ශක්තියට සම කිරීමට හැකිදැයි විමසීම ඔබට භාරය."