පාලි භාෂායෙන් ‘වේසාඛ’ කියනුයේ වෙසක් මාසයට ය. සංස්කෘත භාෂායෙන් ‘වෛශාඛ’ කියාත්, හෙළ බසින් ‘වෙසක්’ කියාත් එය ව්‍යවහාර කෙරේ. මෙකල අතිශයින් ම ප්‍රකට ව පවතිනුයේ ‘වෙසක්’ යන නාමය යි. එය ඒ මාසයට කියන නම ය. ඒ මාසයේ එළඹෙන පුන් පොහොය ද වෙසක් නමින් හැඳින්වෙනුයේ ඒ නිසා ය. එසේ නැතිව වේශයක්, වෙනසක්, විශේෂයක්, වෙනස් බවක් යන අරුතක් එහි නැත්තේ ය. දඹදිව හෙවත් ඉන්දියාවෙහි වෙසක් මාසය අයත් වනුයේ ග්‍රීෂ්ම කාලයට ය. එනම් ගිම්හාන ඍතුවට ය. මින් දෙදහස් පන්සිය වසරකට පෙර ඉන්දියාවෙහි ගයා පෙදෙස, විශේෂයෙන් උරුවේල ජනපදය මහා වන ගහනයකින් හෙබි පෙදෙසකි. උරුවේල දනව්ව මැදින් ඉතා පිවිතුරු දිය ඇති නදියක් ගලා ගියා ය. නේරංජරා නදිය යනු එය ය. ඒ නදියෙහි එක් පෙදෙසක පුළුල් ව පැතිර ගිය වැලිතලාවෙහි ද ඒ අසල කඳු වළල්ලෙහි පිහිටි ගුහාවෙහි ද වසමින්, ඒ අවට සැරිසරමින් කඨෝර තපස් චර්යාවන්හි යෙදුණු මහා ශ්‍රමණයෙක් වාසය කළේ ය. සය වසක පමණ කලක් ඔහු එහි වසමින් කරන ලද බිහිසුණු කටුක යෝගාභ්‍යාසයන් ගැන මෙකල සිතීම පවා රෝමෝද්ගමනය කරවනසුලු ය. එතරම් ම අදහාගත නොහැකි දෙයකි!

බඹයක් පමණ උස ඒ මහා ශ්‍රමණයන් මේ පෙදෙසට ආ මුල් කල වීරෝදාර පෙනුමකින් යුතු, ඉතා කඩවසම්, ගරු ගාම්භීර තැනැත්තෙකි. මහත් කාන්තියකින් බබළන රන්වන් සිරුරක් ඔහුට තිබුණි. ඝෝර තපස් චර්යා හේතුවෙන් ඒ සිරුර කාලවර්ණ විය. තල් ඇට දෙකක් ගෙන කෙස් දැඩිව අල්ලා ඉදිරීම හේතුවෙන් වියළී ගිය ලබු ඵලයක් සේ ඔහුගේ හිස දිස් විය. ඉල්පගිය නහර ඇති, ඉතා කෙසඟ සිරුරක් ඇති ඔහු නදී තෙර වැලිතලායෙහි සක්මන් කරන විට දිස් වූයේ ඇවිදින ඇටසැකිල්ලක් ලෙස ය. ඇඟෙහි මස් ඇති බවක් දකින්ට නොලැබුණි. ඔහුගේ නෙතු සඟල යටට ගිලී ගොස් තිබුණේ ය. එහෙත් ඒ ගිලී ගිය නෙතු සඟල අද්භූත දීප්තියකින් බැබළුණි.

කිඹුල්වත් නුවර ශාක්‍ය රජු වන සුදොවුන් මහරජහුගේ පුත්‍ර වූ ක්ෂත්‍රීය මහා රාජවංශයේ චක්‍රවර්ති යෝගයෙන් උපන් රාජකුමාරයා මොහු බව උරුවෙල් දනව් වැස්සෝ නොදත්හ. අඳුරෙහි දිලෙන පහන් සිළක් සේ අඳුරෙහි පවා රුවින් බබළන යශෝධරා නම් රූපශ්‍රීයෙන් අගපත් බිරිඳක් මොහුට සිටි වග කිසිවෙක් නොදත්තේ ය. මොහුට දාව රන්වන් සිඟිති පුත්රුවනක් උපන් වගත්, ඒ සියලු දෑ අත්හැර සංසාර විමුක්තිය සොයමින් ආර්ය පර්යේෂණයක යෙදී සිටින වගත් ඔවුහු නොදත්හ.

මොහුගේ බිහිසුණු තපස් චර්යාවන් දෙස විමසිල්ලෙන් බලා සිටින තවත් ශ්‍රමණවරු පස්දෙනෙක් මොහු අසල ගැවසුණෝ ය. ඔවුහු කවරහු ද? කුමන පෙදෙසකින් පැමිණ මොහු වටා සිටින්නාහු ද? යි දන්නා කිසිවෙක් සේනානි ගම්වැසියන් අතර නොසිටියේ ය. ඔවුන් දැන සිටියේ කඨෝර තපස් චර්යාවන්හි යෙදෙන ශ්‍රමණවරුන් මේ පෙදෙසෙහි සැරිසරන බව පමණි.

ඒ මහා ශ්‍රමණයන් දින ගණන් නිරාහාර ව සිටින බවක් පෙනේ. භාවනාවෙන් වාඩි වී ඉහළට ගන්නා හුස්ම පහත නොහෙළා හෝරා ගණන් මොහු සිටිනා අයුරු කිසිවෙකුට වටහාගතනොහැකි ය. රුක් සෙවණේ වැලිතලා මත පද්මාසනයෙන් වාඩි වී කය ඍජු කොට දෑස් පියා, ඇටසැකිල්ලක් බඳුව සිටිනා මේ ශ්‍රමණයා දුටුවිට තැති නොගන්නෝ කවරහු ද? ඊළඟ මොහොතේ මොහු මිය යා නොහැකි ද? සිහිසුන් ව ඇදවැටිය නොහැකි ද? මොහුට කුමකින් කුමක් වේදෝ යි දන්නා කෙනෙක් නොසිටියේ ය.

අධික ලෙස දුහුවිලි පතුරු බැඳී ගිය සිරුරෙන් යුතුව නේරංජරා නදිය අසබඩ වැලිතලාව මත හිඳ බොහෝ ඈත බලා සිටිනා මොහු සිතනුයේ සාමාන්‍ය දෙව් මිනිසුන් සිතන දේ බඳු දෙයක් විය නොහැකි ය. කයෙහි ඇති අධික දුබලතාව හේතුවෙන් විටෙක මොහු ඇද වැටේ. නැවත නැගිට වාඩි වේ. නැවතත් ඇද වැටේ. එවිට හේ වැතිර සිටියදී ම කිසියම් ප්‍රබෝධවත් කල්පනාවක යෙදේ. දෙවියෝ ද වරින් වර පැමිණ මොහු හා කතාබස් කරති. නිරාහාරව සිටීමෙන් වළකින්නැයි ආයාචනා කරති. වරෙක එක්තරා බලවත් මහා දෙවියෙක් පැමිණ මොහුට ව්‍යාජ කරුණාවක් පෑවේ ය. බිහිසුණු තපස් චර්යා අත්හැර සාමාන්‍ය ජීවිතයක් ගෙවන ලෙස තරයේ ඉල්ලා සිටියේ ය. ඇස, කන, නාසය, දිව, කය, මනස යන ආධ්‍යාත්මික ආයතන සයත්, රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු යන බාහිර ආයතන හයත් ඒ දෙවියාගේ ආනුභාවයට යටත් බවත්, අන්තරීක්ෂයෙහි හැසිරෙන කිසියම් බන්ධනයකින් ඒවා ගැටගසා ඇති බවත්, එනිසා භව පැවැත්මෙන් නිදහස් වෙන්ට උත්සාහ දැරීම නිරර්ථක දෙයක් බවත්, කිසි ජයක් නොලබා නිකරුණේ මැරෙන්ට සිදුවන හෙයින් උත්සාහය අත්හැර දමන ලෙසත් දිගින් දිගට ම අවවාද කරන්ට පටන් ගත්තේ ය.

එහෙත් මේ මහා ශ්‍රමණයා කියා සිටියේ තමා ගන්නා උත්සාහය සත්‍යය වෙනුවෙන් දිවි පිදූ දෙයක් හෙයින් දිවි තිබෙනා තුරා එහි නොකඩවා යෙදෙන බවත්, තමාගේ වීර්යය කෙතරම් අවංක හා ප්‍රබල ද යත්, සිය සිරුර පිස හමා යන සුළඟට මේ ගලාබස්නා නදියේ දියකඳ වියළවා දැමීමට වුව හැකි බවත් ය.

කඨෝර තවුස්දම් පුරමින් සිටි මොහු වසර ගණනක් පුරා මෙසේ කරන ලද අඛණ්ඩ වෑයම පිළිබඳව දිනක් පුනරාවලෝකනයක යෙදුණේ ය. ‘සංසාර විමුක්තිය පිණිස ලෝකයෙහි යමෙක් යම්තාක් කටුක තපස් චර්යාවන් කළ යුතු ද ඒ සියල්ල එකක් නෑර, නොඅඩුව, පරිපූර්ණ වශයෙන්, උග්‍ර ලෙස මවිසින් කරන ලදී. තවදුරටත් මේ තපස් චර්යාවේ යෙදීම නිරර්ථක දෙයක් නොවේ ද? මේ තුළින් තවමත් මා අපේක්ෂා කරන නික්ලේශී බවක් ඇති නොවීය. එනිසා වෙනත් මගක් සෙව්ව මනා ය’ යි සිතන්ට පටන් ගත්තේ ය.

ඉක්බිති මහා ශ්‍රමණයන් හට හුස්ම ඉහළ ගැනීමත්, පහළ හෙළීමත් මනා සිහියෙන් කොට සිත එකඟ ව තබා සිටි ඉතා ළදරු කල සිදුවීමක් සිහිපත් විය. සිය පියරජුගේ වප්මඟුල් උළෙල දා දඹරුක් සෙවණේ දී එසේ ආනාපානසති සමාධිය වැඩූ බව මතක් විය. එවිට ඔහු භාවනාවට වාඩි වී නෙත් සඟල පියා හුස්ම දෙස සිත යොමු කළ නමුත් කයෙහි තිබූ අධික දුබල බව හේතුවෙන් එහි ම ඇද වැටුණේ ය. ඒ සමග ම මෙතෙක් කල් නිරාහාරව ගත කළ යුගය අවසන් කරන්ට තීරණය කළ මොහු අසීරුවෙන් නැගිට, සිවුර පොරවා පාත්‍රය ද ගෙන සේනානි ගමෙහි පිඬු පිණිස පිවිසියේය. ඒ කිසියම් අහරක් වළඳනු පිණිස ය.

මහා ශ්‍රමණ තෙමේ ගමට පිඬු සිඟා ගොස් පාත්‍රයට ලද කිසියම් අහරක් ගෙන නැවත නදී තෙර වනගැබට වැදී රුක් සෙවණක හිඳ වැළඳී ය. නදියෙහි බැස සිහිල් පැන් ස්නානය කළේ ය. සිරුරට ඇලී පතුරු ගැසී තිබූ දුහුවිලි සෝදා හළේ ය. තල් ඇටවලින් කෙස් ඉදිරීම නැවැත්වී ය. මිනීහිසක් මත හිස තබා සොහොනෙහි සැතපීම අත්හළේය. හුස්ම ඉහළට ගෙන කයෙහි රඳවා හෝරා ගණන් කයට දුක් දීම අත්හළේ ය. සිහිල් පැන් කුස පුරා වැළඳී ය.

මොහු දෙස විමසිල්ලෙන් බලා සිටි උපස්ථායක ශ්‍රමණවරු පස්දෙන මහා ශ්‍රමණයන්ගේ වෙනසින් කලබල වූවෝ ය. ජීවිතාවබෝධය ලබන්ට ආසන්න ව සිටියදී ම තෘෂ්ණා වසඟයට පත් මොහු, අහරට ගිජුව කඨෝර තපස් චර්යා අත්හළේ නොවැ යි මහත් කණස්සල්ලට පත් වූහ. මොහු කෙරෙහි තිබූ විශ්වාසය කෙතරම් බිඳුණේ ද යත්, තවදුරටත් මොහු පිළිබඳව අපේක්ෂා තබා ගැනීම අමනෝඥ දෙයකැයි කතිකා කොට ඔවුහු මහා සමණිඳුට නොකියාම ඔහුගෙන් බැහැර ව ගියෝ ය.

දැන් මේ මහා ශ්‍රමණයා මුළුමනින් ම හුදෙකලාවේ වසන්නෙකි. උවටැන් කෙරුමට කිසිවෙකුත් පෙනෙන්ට නැත. ඔවුන් තමා හැර ගොස් ය. එය මොහුගේ සිතට ගැටලුවක් නොවීය. සංසාර විමුක්තියට මගක් සොයාගැනීමේ දැඩි අදිටනින් අතිශයින් ම වෙහෙසකර, භාරදූර, පරම ගාම්භීර කාර්යයක නොනවත්වා යෙදේ. දැන් මොහු දිනපතා සේනානි ගමට පිඬු සිඟා යයි. රුක් සෙවණක හිඳ වළඳයි. ස්වල්ප මොහොතක් කය සතපවා අනතුරුව සක්මන් භාවනාවේ යෙදේ. යළි වාඩිවී පද්මාසනයෙන් හිඳ නෙතු සඟල පියා ගනී. මෙසේ කය ද සිත ද කෙමෙන් සුවපත් වෙමින් පැවති අතර නොබෝ කලකින් සිය කය මුළුමනින් ම ප්‍රකෘතිමත් කරගන්ට මහා ශ්‍රමණ තෙමේ සමත් විය.

එක්තරා ගිම්හාන ඍතුවක වේසාඛ හෙවත් වෙසක් මාසය පැමිණුනේ ය. වෙසක් පුන් පොහෝ දිනයක් ද උදා විය. එදා උදයේ මේ මහා ශ්‍රමණ තෙමේ නුගරුක් සෙවණක පද්මාසනයෙන් හිඳ බවුන් වැඩී ය. කිසිවෙකු එන හඬ ඇසී නෙත් හැර බැලී ය. එක්තරා සිටුදේවියක් සේවිකාවක හා නැමි නැමී වඳිමින් රන්තලියක් ද අතට ගෙන පැමිණේ. ඇය අවුත් මහා ශ්‍රමණයන්ට පසඟ පිහිටුවා වැන්දා ය. “අනේ ස්වාමීනී, මා කෙරෙහි අනුකම්පාවෙන් මවිසින් පිළියෙල කළ මේ කිරිආහාර පිළිගන්නා සේක්වා!” ඒ මොහොතේ මහා ශ්‍රමණයන් ළඟ කිරිආහාර පිළිගැනීම පිණිස බඳුනක් නැති වග දුටු ඕ “ස්වාමීනී, මේ කිරිආහාර පමණක් නොව රන් පාත්‍රය ද මම් නුඹවහන්සේට පුදමි” යි කිරිආහාර පිරවූ රන් පාත්‍රය මහා සමණිඳුට පිදීය. මහා ශ්‍රමණ තෙමේ එයත් රැගෙන නදිය අසලට පැමිණුනි. නදියෙන් ස්නානය කළේ ය. වැලිතලාවේ රුක් සෙවණක හිඳ කිරිපිඬු වැළඳී ය. යළි පාත්‍රය ගෙන නදියට පැමිණියේ ය. ගිම්හාන ඍතුවෙහි ගැඹුරු නොවන නේරංජරා නදියේ ජලය ගලාබැස්සේ දණක පමණ දියෙන් යුතුව ය. හේ නදියට බැස මැදට අවුත් නෙත් පියා කිසිවක් ඉටා නදිය මත රන් පාත්‍රය තැබී ය. අසිරියෙකි! පහළට ගලා යන සැඩපහර බිඳ උඩු අතට පනිමින් යන අශ්වයෙකු සේ ඒ රන් පාත්‍රය ජලපහර බිඳ උඩු අතට පනිමින් ගියේ ය. එය නදිය මැද වූ දියසුළියක කරකැවී යට ගියේ ය. එදෙස බලා සිටි මහා ශ්‍රමණ තෙමේ අනතුරුව නදියෙන් එතෙරට ගියේ ය.

ඒ පෙදෙස ද වැලිතලාව ඇති වනයකි. තැන තැන සුවිසල් නුගරුක්ය. නුගරුකක් වෙත පැමිණි හේ ස්වල්ප මොහොතක් කය සතපවා ඉන් නැගිට දිගටම සක්මන් භාවනාවෙහි යෙදුණේය. එදා මහා ශ්‍රමණයන්ගේ සිතෙහි පැවති කිසියම් තියුණු අදිටනක් නෙත් සඟලින් දිස් විය. තමාගේ තීරණාත්මක දිනය එදින විය යුතු යැයි ඔහු ඉටා සිටි බව පෙනේ. කෙමෙන් හිරු අස්තයට යමින් සිටියේ ය. පෙරදිග පැතිරෙන ළා අඳුර මැඩ වෙසක් පුන් සඳට අහස්කුස ඉඩ සැදීය. සමණිඳු වෙතට පැමිණි කිසිවෙක් කුසතණ මිටි කිහිපයක් දුන්නේ ය. එය ද රැගත් හේ තමා අද බවුන් වැඩිය යුත්තේ කොතැනකදැයි වටපිට බලන කල්හි සුවිසල් ලෙස අතු පැතිර ගිය මහා ඇසතු බෝ රුකක් දුටුවේ ය. ඒ රුක් සෙවණ මත සිනිඳු වැලිතලාවෙකි. එතැනට පැමිණ ඒ රුක් සෙවණ වටා යමින් තමාට බවුන් වැඩීමට සුදුසු තැනක් සෙවූ කල්හි වඩා සිත් ගත්තේ ගලා යන නදිය දෙස බලා වාඩි වීමට ය. ඇසතු බෝරුක් සෙවණේ වැලි තලාව මත අසුනකට සරිලන සේ කුසතණ අතුරා ඒ මත සඟල සිවුර ඇතිරී ය. සත්‍යාවබෝධය නොලබා නැගිටින අදහසක් ඔහු තුළ නොතිබුණි.

‘මේ කයෙහි ලේ මස් වියළී යන්නේ නම්, එසේ වේවා! සම් නහර ඇට ඉතිරි වන්නේ නම්, එසේ වේවා! පුරුෂ පරාක්‍රමයෙන්, පුරුෂ වීර්යයෙන් ලැබිය යුතු යම් සත්‍යාවබෝධයක් වේ ද එය නොලබා මම මේ පළඟින් නොනැගිටිමි’ යි අදිටන් කර ගත්තේ ය.

සුවිසල් ලෙස වටකුරුව දිලෙන පුන්සඳ රන් පැහැයෙන් යුතුව පෙරදිගින් නැගෙමින් තිබුණි. සඳරැස් දහරින් මහසමණිඳුගේ සිරුර නැහැවී ගොස් රන් පිළිමයක් සේ දිලුණේ ය. බැස යන හිරුගෙන් විහිද ගිය රත් පැහැයෙන් බටහිර අහස්කුස දිලෙන ගිනිඅඟුරු පැහැ ගත්තේ ය. ජීවිතාවබෝධය පිළිබඳව සැබෑ තතු අවබෝධ කරගනු වස් නොසැලෙන අදිටනින් භාවනාවෙන් වැඩ සිටීමට බැඳගත් ඒ පළඟට සම කළ හැකි වෙනත් අසුනක් තුන් ලොවෙහි ම නොතිබුණි. රනින්, රිදියෙන්, මුතු මැණිකෙන්, දියමන්තියෙන් කරන ලද සියලු අසුන් අරා සිටි බොහෝ නරපතීහු ජරා මරණයෙන් පහර කා ඒ සියල්ල අත්හැර මිය ගියෝ ය. එහෙත් මේ මහා සමණිඳු කිසිදා ජරා මරණයෙන් පහර නොකනු පිණිස, දුකෙහි නොවැටෙනු පිණිස, මහා වීර්යයකින් යුතුව ඉපදෙන මැරෙන සසරෙන් එතෙර වීම පිණිස දැඩි අදිටනින් හුන් ඒ අසුන මහපොළොව පෙරළී ගිය ද හාත්පස සක්වළ කුඹල්සකක් සේ සැලී ගිය ද නොසැලේ. අනන්ත සසර පුරා පුරන ලද පාරමී බෙලෙන් නිපන් මහා අසුනකි එය. ඒ අසුන වනාහී සත්‍යයට දිවි පුදා භාවනාවට බැඳගත් පද්මාසනය ය. පයෙහි පිටිපතුල උඩට පෙනෙන ලෙස පා නවා, කය ඍජු කොට හිඳගැනීම පද්මාසනය ය. සත්‍යාවබෝධය ලබනතුරු ඒ පද්මාසනයෙන් ඔහුගේ පා යළි දිගහැර පලවා හරින්ට සමත් කිසිවෙක් දෙවියන්, මරුන්, බඹුන් සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ මේ දෙව් මිනිස් ප්‍රජාව තුළ නොසිටියේ ය.

සකල සත්වයාගේ ඇස්, කන්, නාසා, දිව, කය, මනස සිය වසඟයට ගෙන, රිසි සේ භව පැවැත්මෙහි සත්වයා යොදවන ලෝකාධිපති මහා දෙවිතෙමේ පමණක් කෙළ ගණන් සිය බිහිසුණු සේනාව පිරිවරා මහා සමණිඳු එතැනින් නැගිටුවා පලවා හැරීමේ අසාර්ථක කටයුත්තට අතගැසුවේ ය. එදා ඒ අවට සැබැවින් ම බිහිසුණු විය. දරුණු විය. හිංසාජනක විය. දෙවියන්ට බඹුන්ට පවා බලා සිටින්ට නොහැකි තරම් දැඩි විය. රුක් සෙවණක හුදෙකලාවෙහි පද්මාසනයෙන් හුන් එක්තරා මහා ශ්‍රමණයෙක් නෙතු පියා බවුන් වැඩීමට සැරසේ. කෙසේ නම් බවුන් වඩන්ට ද! ඔහු වටා උඩින්, යටින් හා අට දිශාවෙන් දුටු දුටුවන් බියපත් ව මැරී වැටෙන තරම් බිහිසුණු මහා සේනාවෙකි. ඒ මැදින් ඇතෙකු පිට නැගී ආ ලෝකාධිපති, සමණිඳු එතැනින් නැගිටුවන්ට නොකඩවා වෙහෙස ගනී. ඔහුගේ සියලු උත්සාහයන් ව්‍යර්ථ විය. එකල්හි මහා ශ්‍රමණ තෙමේ මෙත් සිතින් යුතුව ඔහු ඇමතී ය. “මාරය, මා සිටින මෙතැන තොප සතු ය, එහෙයින් නැගිට යව යි තොප මට පවසයි. එසේ පවසන තොපට මෙතන සතු බව කිව හැකි සාක්ෂ්‍ය තිබේ ද?” එසැණින් දස දිශාවෙන් බිහිසුණු මරහඬක් නැගුණි. “ඇයි මේ අපි… අපි එයට සාක්ෂි දෙමු!” මහා ශ්‍රමණ තෙමේ නිහඬ විය. එවිට ලෝකාධිපති ඔහු ඇමතී ය. “එම්බා ශ්‍රමණය, තොප මෙතනින් ඉවත් නොවී සිටින්ට මෙතනට ඇති අයිතිවාසිකම පිළිබඳව සාක්ෂි දෙන්ට කිසිවෙක්
සිටී ද?”

එකල්හි මහා ශ්‍රමණ තෙමේ සිවුරු ගැබින් සිය දකුණත මෑත් කොට ඇඟිලි තුඩින් පොළොව ස්පර්ශ කොට මිහිකත ඇමතී ය. “එම්බා මිහිකත, මා මෙතැන වාඩි වීම පිණිස අනේක කල්පයන් පුරා ඉතා වෙහෙසකර කම්කටොලු මැද පුරන ලද දස පාරමී ගැන තී නොදන්නී ද? වහා කියව” යි පැවසී ය.

අසිරියෙකි! එසැණින් මිහිකත ගුගුළාය. මහබෝමැඬ වටා සයුරු රළක් සෙයින් පොළොව උස් පහත් වෙමින් හඬ නැගුවා ය. ඇතා බිම වැටෙනවාත් සමග ලෝකාධිපති ද බිම වැටුණේ ය. සැණෙකින් සියල්ල නොපෙනී ගියේ ය.

මහා ශ්‍රමණ තෙමේ සුවසේ සිව් දැහැන් උපදවා ගනිමින් තමාගේ අතීතය දක්නා පෙර විසූ කඳ පිළිවෙළ දැකිය හැකි නුවණ ඉපිදවී ය. අනතුරුව අන් සියලු සතුන් ද තම තමන් විසින් කරන ලද කර්මයන්ට අනුව උපදින මියයන අයුරු දක්නා චුති උපත පිළිබඳ නුවණ ඉපිදවී ය. අනතුරුව හේතුඵල දහමින් යුතු, අනිත්‍ය දුක්ඛ අනාත්මයෙන් යුතු, ලෝක ස්වභාවයේ සැබෑ තතු දකිමින් චතුරාර්ය සත්‍යාවබෝධය ලබමින්, ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කර ගනිමින්, සියලු කෙලෙසුන්ගෙන් මිදී, තථාගත දසබල ඤාණ, සිව් විශාරද ඤාණ, නව අරහාදී බුදුගුණයෙන් ප්‍රතිමණ්ඩිත ශ්‍රී සම්බුද්ධත්වය සාක්ෂාත් කළේ ය. ඒ වනාහී මේ මහා භද්‍ර කල්පයේ සිව්වැනිව පහළ වූ අපගේ ශාස්තෘවර තථාගත අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ විමුක්ති විජය ශ්‍රී ප්‍රාප්තිය ය.

නැගී සුපුන් වෙසඟ තාරපතී – ගගනෝදර රනින් දිලී ගියේ
හිමාලයේ ගිරිමුදුන් හිසේ – නොකල් කුසුම් රැසින් පිපී ගියේ
වලා පෙළින් පවන් හමා හමා – සුගන්ධ රොන් අවුත් සලා සලා
දෙව් බඹුන්ගෙ ගීතිකා තුතී – රාව දී නැගීය සක්වළේ
සුසීර වස් කුලල් නදින් – ම්රිදංග ගුම් නදින් සිරිවාසව සක් නදින්
නිල්දලා තෙරේ විදුරසුන් අරා– සිටි අපේ සම්මා සම්බුදුන්
පිදුම් ලබත්ලබත් – මහා අසිරියක් තුන් ලොවේ ම දිස් වුණේ
ඒ වෙසක් පුන් පොහෝ දා – අදයි අදයි මටත් සිහි වුණේ