ජීවිතයක් වෙනස් වන්නට දිගු කලක් අවැසි නොවේ. එක් නිමේෂයක් තුළ සැප මෙන් ම දුක ද අප කරා පැමිණිය හැකි ය. ඉන් බලාපොරොත්තු නොවූ අයුරකින් ජීවිතය වෙනස් වී යන්නට පුළුවන. මේ කියන කෙනාගේ ජීවිතය වෙනස් වන්නට විශාල කාලයක් ගත වූයේ නැත. මහත් සැපයක් විඳිමින් සිටි ඔහුට ඒ සියල්ල අහිමි වන්නටත්, එයටත් එහා ගිය උත්තරීතර සැපයක් සාක්ෂාත් කර ගන්නටත් ගත වූයේ මොහොතක් පමණි. සැබවින්ම එය ද අසිරිමත් වෙනස් වීමකි. ඒ උත්තම වෙනසට අවශ්‍ය වූයේ එක ම එක දහම් පදයක් වීම තවත් අසිරියක් ම ය.

කොසොල් මහ රජතුමාට අතිදක්ෂ ඇමතිවරයෙක් වූයේ ය. ඔහු හැඳින්වූයේ ‘සන්තති අමාත්‍යතුමා’ ලෙසිනි. දිනක් කොසොල් රාජධානියේ ඈත ප්‍රදේශයක කැරැල්ලක් හට ගත්තේ ය. එම කැරැල්ල මැඩ පවත්වා එන ලෙස රජතුමා සන්තති මහ ඇමතිවරයාට භාර කළේ ය. සන්තති අමාත්‍යතුමා තම රාජකාරිය මැනවින් ඉටුකොට ආපසු පැමිණියේ ය. රජතුමාට මහත් සතුටක් ඇති විය. ඒ නිසාම රජතුමා සත් දවසක් සන්තති අමාත්‍යා හට රජෙකුට වගේ සැලකිලි සම්මාන දක්වන්නට නියෝග නිකුත් කළේ ය. නැටුම් ගැයුම්වලට දක්ෂ ඉතා සුරූපී ස්ත්‍රියක් ඔහුගේ උපස්ථානයට ලැබුණි. ඔහු රජෙක් වගේ සැප වින්දේ ය. කෙමෙන් සත්වෙනි දවසත් පැමිණුනි. එදා අවසාන දවස නිසා ඔහු ඇති පදමට මත්පැන් බීවේ ය. රජ ඇඳුමින් ම සැරසී ඇතා පිට නැගී නාන්නට පිටත් විය.

ඇමතිතුමා යන මොහොතේ අපගේ ශාස්තෘන් වහන්සේ ද පිඬුසිඟා වැඩි සේක. නාන්න ඇතු පිටින් යන සන්තති අමාත්‍යයා හට භාග්‍යවතුන් වහන්සේ මුණගැසුණි. ඔහු සිටියේ හොඳටම මත් වීගෙන ය. නමුත් ඇතා පිට සිටියදීම අප භාග්‍යවතුන් වහන්සේ දෙසට හිස පාත් කොට නැමුවේ ය. වන්දනා කර පිටත් වූයේ ය. මෙය දුටු භාග්‍යවතුන් වහන්සේ සිනහවක් පහළ කළහ. නිකරුණේ බුදුරජාණන් වහන්සේලා සිනහ පහළ නොකරන හෙයින් ආනන්දයන් වහන්සේ මේ මොහොතේ සිනහ පහළ කරන්නට හේතුව විමසා සිටියහ.

“ස්වාමීනී සිනහ පහළ වෙන්නට සිදු වූ දෙය කුමක්ද?” ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

“පින්වත් ආනන්ද, ඔය යන සන්තති අමාත්‍යයා දෙස බලන්න. අද ඔය ආභරණ පිටින් ම තථාගතයන් සමීපයට එන්න සිද්ධ වෙනවා. ගාථා පද හතර ඇසෙද්දී මොහු අරහත්වයට පත් වෙනවා. අහසට පැන නැගී අද ම පිරිනිවන් පානවා.”

පුද්ගලයකුගේ ජීවිත වෙනස් වීමක් බුදුවරයෙකුගේ ශ්‍රී මුඛයෙන් අසන්නට ලැබීම මොනතරම් වාසනාවක් ද… තවත් සුළු කාලයක් තුළ තමන්ගේ ජීවිත ඉරණම වෙනස් වන බව සන්තති අමාත්‍යතුමා නොසිතුවේ ය. නොදන්නේ ය. සියල්ල දන්නේ භාග්‍යවතුන් වහන්සේ පමණි. අහෝ බුදුවරුන්ගේ ස්වභාවය ආශ්චර්යක් ම ය.

තම ජීවිතයට සිදුවන්නට යන කිසි දෙයක් නොදන්නා ඇමතිවරයා මැනැවින් නා ගත්තේ ය. නාගෙන උයනට විත් ශාලාව මැද්දේ වාඩි විය. සත්කාරයෙහි සත්වෙනි දවස නිසා තවත් නොයෙක් වර්ගයේ ප්‍රණීත ආහාරපාන ලැබුණි. ඔහුත් කැවිලි ජාති කමින් නැටුම් බලන්නට පටන් ගත්තේ ය. දවස් හතක් සඳහා වැටුප් ලබා තිබුණ අර ස්ත්‍රිය ද ‘හත්වෙනි දවසේ ඇමතිතුමා වැඩිපුර පහදවන්න ඕන’ කියා සිතා වේග-යෙන් නටන්නට පටන් ගත්තා ය. හදිසියේම ඇයට හෘදයාබාධයක් වැළඳුණි. සුළු මොහොතින් සියල්ලෝම බලා සිටින විටම ඇය එතනම මැරී වැටුණා ය. මෙය දුටු සන්තති අමාත්‍යතුමාට නිකන්ම නැගිටවිණි.

“අන්න මගේ නළඟන වැටුණා. ඉක්මනට මැයව ගනිල්ලා.. මොකක්ද වුණේ බලාපල්ලා.” යි කියමින් ඔහු මොර දෙන්නට විය. සේවකයෝ විගස පැමිණ බැලූහ.

“අනේ ඇමතිතුමනි.. මෑ.. මෑ… මැරිලා…!”

සන්තති අමාත්‍යතුමාට ඉහළට ගත් හුස්ම පහළට ගන්නටත් අසීරු විය. වෙරි හිඳී ගියේ ය. ඔහු මහා හයියෙන් විලාප දෙන්නට පටන් ගති. ඇමතිතුමාට සියල්ල එපා විය.

“අයියෝ! මේ මොකක්ද වුණේ” කියමින් තව තවත් වැළපුණේය. හදිසියේම ඔහුට භාග්‍යවතුන් වහන්සේ සිහිපත් වුණි.

“භාග්‍යවතුන් වහන්සේ හැර මේ දුකින් මාව ගලවා ගන්නට කෙනෙක් නෑ… මට මේවයින් කිසි ඵලක් නෑ… මාව හණිකට භාග්‍යවතුන් වහන්සේ ළඟට එක්ක පලයල්ලා…” ඔහු සේවකයන්ට කියා සිටියේ ය.

තවත් එක්තරා ජීවිතයක් වෙනස් වන මොහොත පැමිණ තිබුණි. තමන්ගේ ජීවිතයට කුමක්ද සිදු වන්නට යන්නේ කියා ඔහු කිසිත් නොදත්තේ ය. එහෙත් සසරේ රැස් කළ පින් බලය ඔහුට තිබුණි. මේ වන විට ඒ පින් බලය හොඳින් මෝරා ගොස් හමාර ය. විලේ නෙළුම ජලයෙන් උඩට විත් හිරු කිරණ වැටෙන තෙක් බලා සිටින්නා සේ සන්තති ඇමති නම් පියුම පිපෙන්නට සූදානම් විය. මේ බව නොදත් ඔහු ශෝක හුල උදුරා දමන්නට මහා ශල්‍ය වෛද්‍යවරයා මුණගැසෙන්නට පිරිස සමඟින් ගියේ ය. සියල්ල දන්නා භාග්‍යවතුන් වහන්සේ රෝගයට නිසි ඔසුව දුටු සේක.

“පින්වත, ඔබ ඔය ස්ත්‍රිය ඔය අයුරින් මිය ගිය අනේක ආත්මවලදී හැඬූ කඳුළු සාගර ජලයට වඩා වැඩියි” යැයි පවසා ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන මේ උත්තම ගාථා රත්නය වදාළ සේක.

යං පුබ්බේ තං විසෝසේහි – පච්ඡා තේ මාහු කිඤ්චනං
මජ්ඣේ චේ නෝ ගහෙස්සසි – උපසන්තෝ චරිස්සසි

“යමක් වූයේ නම් කලින් – වියළා දමන්න සහමුලින්
අනාගතයේ ඇතිවන – කෙලෙස් ඔබ නොගනීවා
මේ මොහොතේ දී කිසිවක් – ඔබට පැටලී නැතිනම්
උපශාන්තව සැබැවින් – හැසිරෙනු හැකිය මැනැවින්

සැබවින්ම ඒ ජීවිතය වෙනස් විය. කොයිතරමට වෙනස් වී ගියා ද කියතොත් රජ ඇඳුම පිටින් සිටි සන්තති මහා අමාත්‍යතුමා සියලු කෙලෙස් හුල් උදුරා දමා උත්තම අරහත්වයට පත් වූයේ ය.

ජීවිත වෙනස් වීම නම් මෙයම නොවේ ද? මෙයටත් වඩා විස්මිත වෙනස් වීම් ලොව තිබේ ද? එක ම එක ධම්ම පදයෙන් සැනසුණ ජීවිතයක්…!

ඒ මොහොතේ සන්තති රහතන් වහන්සේට ස්වකීය ආයුෂ අවසන් වී ඇති බව වැටහුණි. උන්වහන්සේ, “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මට පිරිනිවන් පෑමට අවසර දෙන සේක්වා” යි ඉල්ලූහ. එවිට භාග්‍යවතුන් වහන්සේ, “එසේ නම් ඔබ මෙවැනි වූ විස්මිත අරහත්වයක් ලබන්නට කළ පින ගැන අහසට ගිහින් කියන්න. එතකොට හැමෝටම පිනෙහි වටිනාකම තේරේවි.” යි යනුවෙන් වදාළ සේක.

සන්තති රහතන් වහන්සේ ආභරණ පිටින් ම අහසට පැන පළඟක් බැඳ වාඩිවුණා.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මා පෙර කළ පින අසා වදාරණ සේක්වා. මෙයින් කල්ප අනූ එකකට පෙර විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයේ මං බන්ධුමතී නගරයේයි ඉපිද සිටියේ. කාටවත් වරදක් නැතිව, හිංසාවක් පීඩාවක් නැතිව ජීවත් වෙන්න මං කල්පනා කළා. ඊට පස්සේ මං තෝරා ගත්තේ බණ කීම. මහජනයාට මං දහම් කරුණු කියා දෙනවා.

‘පින්වත්නි, පින් කරන්න. සිල් රකින්න. දන් දෙන්න. ධර්මය අහන්න. තුනුරුවනට ගෞරව කරන්න’ ආදිය කියමින් නොයෙක් ස්ථානවලට ගියා.

ඒ විපස්සී බුදුරජාණන් වහන්සේගේ පියාණන් වන බන්ධුමතී මහ රජුට මං ගැන අසන්නට ලැබුණා. මාව කැඳෙව්වා.

‘දරුව, තොප කුමක්ද ඔය කරමින් සිටින්නේ?’

‘දේවයන් වහන්ස, මං තුනුරුවනේ ගුණ කියමින් මහජනයාව පිනට යොමු කරනවා.’

‘කෙසේ ද එය කරන්නේ?’

‘දේවයන් වහන්ස, මං පයින් ඇවිද ගිහින් තමයි ඒක කරන්නේ.’

‘දරුව එහෙම යන්න ඕනේ නෑ. මල් මාලයක් පැලඳගෙන අශ්වයා පිටේ නැඟලා ගිහින් කියන එකයි හොඳ.’ කියලා එතුමා මල් දන් දුන්නා. හීලෑ අශ්වයෙකුත් දුන්නා.

ඉතින් ස්වාමීනි, මං ඒ විදිහට දහම් ඝෝෂාව කරගෙන ගියා. ආයෙමත් රජතුමා මාව කැඳෙව්වා. කැඳවලා මෙහෙම කිව්වා.

‘දරුව අශ්වයා ගැළපෙන්නේ නෑ. මං අශ්ව කරත්තයක් දෙන්නම්.’ කියලා සෛන්ධව අශ්වයන් හතර දෙනෙක් බැඳපු අශ්ව රථයක් දුන්නා. මං ඒකේ නැඟලා තමයි ඊට පස්සේ බණ කිව්වේ.

රජතුමා ආයෙමත් මාව කැඳෙව්වා. කැඳවලා මට සැප සම්පත් දීලා, මාලිගාවකුත් දීලා, ඇතෙකුත් දුන්නා. මම සියලු ආභරණවලින් සැරසිලා ඇතා පිට නැගිලා අවුරුදු අසූහාරදහසක් මිනිසුන්ව පිනට යොමු කළා.

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, එතෙක් මෙතෙක් කාලයක මගේ ශරීරයෙන් ගලන දහඩියෙන් දුගඳ හමන්නේ නෑ. සඳුන් සුවඳ හමනවා. මුඛය ගඳ ගසන්නේ නෑ. මහනෙල් මල් සුවඳයි. මේ තමයි මා කළ පින්කම.”

මේ අයුරින් වදාළ සන්තති රහතන් වහන්සේ අහසේ වැඩ සිට තේජෝ ධාතුවට සමවැදී පිරිනිවන් පා වදාළහ. උන්වහන්සේගේ ශරීරය ගිනිගෙන දැවී සමන් මල් මිටක් වාගේ ධාතූන් වහන්සේලා ඉතිරි විය.

භාග්‍යවතුන් වහන්සේ සුදු වස්ත්‍රයක් බිම එළන්නට යැයි කී සේක. ඒ වස්ත්‍රයට ධාතූන් වහන්සේලා වැඩම කළහ. මහජනයාට වන්දනා කොට පින් කරගැනීම උදෙසා ඒවා තැන්පත් කොට ස්ථූපයක් කරවන ලදී.

ඒ යුගය මොන තරම් නම් සුන්දර ද? අපට අද ඇත්තේ ඒ ගැන සිහිපත් කොට සිත, පහදවා ගැනීමයි.

ඇත්තෙන් ම…

“සුඛෝ බුද්ධානං උප්පාදෝ”

බුදුවරුන්ගේ උපත සැපයකි.

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.