අප ගත කරමින් සිටින මේ මහා භද්‍ර කල්පයෙහි සිව්වැනි වරට ලොව පහළ වුණ ආශ්චර්යවත්, උතුම් මනුෂ්‍යරත්නය වූ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ දහමට අනුව දිවි ගෙවූ ලොව යම් ජනකායක් දෙදහස් පන්සිය වසරක දීර්ඝ කාලයක් මුළුල්ලේ උතුම් මානුෂීය ගුණාංගවලින් සිය දිවි මඟ සඵල කොට ගත්තේ නම් ඒ සිංහල ජාතිය පමණක් යයි කිව හැකි ය. කලින් කල මිථ්‍යා දෘෂ්ටික සමයන් අප සංස්කෘතියට බලපෑ හේතුව නිසාත්, සමාජ පරිසරයේ විචල්‍යතා නිසාත්, සිංහලයන්ගේ ජීවිත පැවැත්මෙහි යම් වෙනස්කම් ඇති වුව ද චිරකාලීනව පැවතගෙන ආ අධ්‍යාත්මගත ජාතික උරුමයන් නොසිඳ පවත්වා ගැනීමට ශක්තිය ලැබුණේ බුදුදහම විසින් ලක්වැසි ජනතාව තුළ ප්‍රගුණ කරන ලද ශික්ෂණය නිසා ය.

ලෝක ආගම් අතුරෙන් මානුෂීය නිදහස හෙවත් මානව වර්ගයාගේ අදීනත්වය අරභයා දේශනා කරන ලද උදාරතර අනුශාසනය දක්නට ලැබෙන්නේ බුදු සමයෙහි පමණක් බව ‘ආසියාවේ ආලෝකය’ නමැති බුද්ධ චරිත කාව්‍යය ලියූ ශ්‍රීමත් එඩ්වින් ආර්නෝල්ඩ් පඬිතුමා එහි ප්‍රස්තාවනාවෙහි ලා පෙන්වා දුන්නේ ය. මානව වර්ගයා බුදු දහම නිසා ලද එම අදීනත්වය තිරසර ලෙස මුල් බැස ගත්තේ සිංහල සභ්‍යත්වය තුළ ය. ගොවිතැන මුල් කොටගත් සාමුහික ජීවන ක්‍රමය ඊට හේතු විය. එකී කෘෂි සමාජයේ ගෘහිණීන්ට වැදගත් තැනක් හිමිවූ බව පරමත්ථ ජෝතිකා අටුවා ග්‍රන්ථය, සද්ධර්මාලංකාරය ආදී ඉපැරණි කෘතිවලින් අනාවරණය වෙයි.

වෛදික සමයේදී පිරිමින්ට වඩා පහත් යයි සම්මත කොට නොතකා හරින ලද කාන්තාවට සමාජයේ උසස් තැනක් හිමි කර දෙන ලද්දේ බුදුරජාණන් වහන්සේ විසිනි. මාතෘත්වයේ අගය පෙන්වා දුන් උන්වහන්සේ තරුණ වියට පත්වන දැරියන් වෙනුවෙන් විශේෂ උපදෙස් මාලාවක් හඳුන්වා දුන්නේ ගෘහස්ත ජීවිතයේ සාර්ථකත්වය රඳා පවත්නේ කාන්තාවන්ගේ පැවැත්ම මත බව දන්නා හෙයිනි. ඒ අරභයා වූ හොඳම නිදසුන දක්නට ලැබෙන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ උග්ගහ සූත්‍රයෙහි ය. දෙමව්පියන්ගෙන් සමුගෙන වෙනත් කුල ගෙයකට පිවිසෙන කුල කුමරියන් පිළිපැදිය යුතු මහඟු උපදෙස් රැසක් එම සූත්‍රයෙහි අන්තර්ගත වෙයි. එහි සරල භාවය මෙසේ ය.

සැමියන් වෙත යන කුමාරිකාවන් සියල්ලන්ටම පළමුව පිබිද සියල්ලන්ට පසුව නින්දට යා යුතු ය. සැමියාට කීකරු වීම, ප්‍රිය වචන කතා කිරීම, ගරු සැලකිලි දැක්වීම, මහණ බමුණන්ට ගරු කිරීම හා පුද සත්කාර පැවැත්වීම, ගෙදර දොර කටයුතු සොයා බලා ක්‍රියා කිරීම, සේවකයන් වෙතොත් ඔවුන්ට යුතුකම් ඉටුකිරීම, ගිලානෝපස්ථානය, සැමියා විසින් උපයනු ලබන ධනය මනාව ආරක්ෂා කොට ප්‍රයොජනයට ගැනීම, පවත්නා දේපළ වැනසී යා නොදී සුරැකිව තබා ගැනීම යන කරුණු යහපත් ගෘහිණියක ලෙස ජීවත් වීමට ඉවහල් වන ආකාරය උග්ගහ සූත්‍රයෙන් පෙන්වා දී තිබෙයි. මවක පුතකු රක්නා සේ ඉතා ළැදිව ස්වාමි පුරුෂයාත්, ධනයත් රකින කාන්තාව ශ්‍රේෂ්ඨ බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සේක.

මීට දශක පහකට හයකට පෙර යුගයේ දී අප රටේ දරුවන් සහ දෙමාපියන් පරිශීලනය කළ උපදේශ කවි ගී ඇතුළත් සාහිත්‍ය ග්‍රන්ථයන්හි පවා උග්ගහ සූත්‍රයෙන් හඳුන්වා දුන් උපදේශයන් හා අවවාද ඇතුළත්ව තිබුණි. ඊට හොඳම නිදසුන ලෙස කෝට්ටේ පූර්ව යුගයේ දී රචිත ‘කාව්‍ය ශේඛරය’ මහා කාව්‍යයේ දසවැනි සර්ගයේ 16 වැනි පද්‍යයේ සිට තිස් වැනි පද්‍යය දක්වා වූ උපදෙස් මාලාව පෙන්වා දිය හැකි ය. ආවාහ පත්ව කුලගෙදරට යන තරුණ දුවට පියා විසින් දුන් අවවාද එහි ඇතුළත් ය. ජන කාව්‍ය සාහිත්‍යයේ ප්‍රශස්ත ග්‍රන්ථයක් වන සිංහල මාල කවි සංග්‍රහයේ ඇතුළත් ‘දැනමුතුමාලය’, ‘සුසිරිත් මාලය’, පියකු තම දූ දරුවන්ට දුන් අවවාද ඇතුළත් ‘සිංහල සිරිත් මාලය’ ආදී ජන කාව්‍යයන්ට වස්තු වී ඇත්තේ වසර දෙදහසකට අධික ඒ සා දිගු ඉතිහාසයේ දී ලාංකේය කාන්තා පරපුර රැකගෙන ආ ඒ මහඟු වත් පිළිවෙත් සමූහය යි.

ගුණවත් දුවක හදා වඩා ගැනීම පිළිබඳව වැඩිහිටියන් දක්වන ඉමහත් සැලකිල්ල අදට වඩා එදවස සිය සිය ගුණයෙන් වැඩී පැවතුණ අයුරු මින් දශක පහකට හයකට පෙර නිර්මාණය වූ කවි ගී සාහිත්‍යයෙන් අනාවරණය වෙයි. එච්.එම්.වී. ග්‍රැමෆෝන් තැටියකට නඟන ලදුව රුක්මණී දේවිය ගායනා කළ දුවකට දුන් අවවාද ඇතුළත් ගීතය එක් උදාහරණයක් සේ දැක්විය හැකි ය.

‘ලොවේ දසත පූජිත ගරු සිංහල ජාතියේ උපන්න
දුවේ නුඹට මං දෙන මේ ඔවදන් ටික සිතට ගන්න’

යන දෙපාදයෙන් ඇරඹෙන මේ ගීතය, වැඩිවියට පත් දුවක තම පරපුරේ ගෞරවය රැකගෙන සිංහල සිරිත් විරිත් අනුගමනය කරමින් ගෙදර දොර හා අවට සමාජයේ හැසිරිය යුතු ආකාරය ගැන වටිනා ඔවදන් සමූහයක් ගැබ් වූවකි. අපරදිග සිරිත් විරිත් අන්ධව අනුගමනය කළ සමාජය ඉන් මුදවා ගැනීමට මෙබඳු උවදෙස් ඇතුළත් කවි ගී එදවස මහෝපකාරී විය.

බුදු දහමින් ඔපවත් වූ දෙදහස් වසරක ප්‍රෞඪ ලාංකේය ඉතිහාසය ගුණ දහමින් සුපෝෂණය කළ සිංහල කුල ගෙයක ඇති දැඩි වුණ දුවක සුදුසු කුල පුතකුට ආවාහ කොට දෙන දිනයේ පියකුගේ මුවින් නැගුණු අභිෂ්ට උදානයක් බඳු ගීතයක ප්‍රතිරාව නඟන සිංහල ජාතියේ අභිමානය මූර්තිමත් කොට දැක්වීම සඳහා ය පූර්වෝක්ත පූර්විකාව ඉදිරිපත් කරන ලද්දේ. තම දියණිය කුල කුමරුවකු හට භාර දෙන මොහොතක දී පියකු තුළ ඇතිවන අධ්‍යාත්ම ප්‍රමුදිත භාවය හා අභිමානය ලාංකේය ඉතිහාසයේ කලාතුරකින් වුව ද අසන්ට නොලැබුණු ඉතා විරල අවස්ථාවකි. එදා මෙදා තුර ඉපිද මිය ගිය අසංඛෙය්‍ය පියවරු ඒ උද්දාමය පිට කළේ වදනින් නොව අභිමාන මාත්‍රයෙනි. ඒ සියලු පියවරුන්ගේ උදානය මෙකල වෙසෙන ජනකායට ඇසෙන්ට, හැඟෙන්ට අවස්ථාව උදා කර දෙන ලද්දේ මෑත යුගයේ පහළ ව සිටින විශිෂ්ට කලාකරුවන් තිදෙනෙකුගේ සමවායේ ප්‍රතිඵලයක් වශයෙනි.

බණ්ඩාර ඇහැලියගොඩ ගී පද රචකයාණන්ගේ පරිකල්පනයෙන් බිහි වුණ සිය ගණනින් යුතු ගැමි අධ්‍යාත්ම ගී සංකල්පනා අතුරෙන් ‘දුවේ නුඹ මගේ ප්‍රාණය යි’ නම් වූ ගීතය, පීතෘ අධ්‍යාත්මය පිළිබිඹු කරන විශිෂ්ටතම ගීතයකැයි හඳුන්වා දිය හැකි ය. සිංහල ජනකායගේ ප්‍රෞඪ අතීතය ප්‍රතිරාව නංවන ගාම්භීර නින්නාද ස්වරයෙන් යුතුව එම ගීතයට හඬ පෞරුෂය ගෙන දෙන ලද්දේ විසාරද සුනිල් එදිරිසිංහ ගායන ශිල්පියාණන් විසිනි. ඊට අනුගත ස්වර සංගති මුසු කොට සංගීතය සපැයුණේ ආචාර්ය රෝහණ වීරසිංහයන්ගෙනි. එම සුවිශිෂ්ට ගීතයේ පදමාලාව මෙසේ වෙයි:

“දුවේ නුඹ මගේ ප්‍රාණය යි
සැබෑ වුණ සුබ සීනය යි
සෙනෙහසින් කුලගෙට පිය නඟන්නේ
සනුහරේ අභිමානය යි…

මං මලක් ලෙස නුඹ නොහැදුවේ
පෙති හැලී පරවෙන නිසාම යි…
දුක දිනා හිනැහෙන හැටි ලොවේ
නුඹ දැන උගත් පාඩම එයයි
මිල මුදල නිලබල යා නොදෙයි…//
කළ හොඳ ම විතරක් ඉතුරු වෙයි…//
දුවේ නුඹ මගේ ප්‍රාණය යි…

අප මී මුතුන් මිත්තන් එදා
සිය ලේ කඳුළු දහදිය පුදා
පරපුරෙන් පරපුරට රැගෙන ආ
ඒ ගෞරවය මගෙ දුව තමයි
නුඹ යන්නේ හිස් දෑතින් නොවේ…//
ගෙනියන්නේ ඒ අභිමානයයි…

දුවේ නුඹ මගේ ප්‍රාණය යි…”

ගුණ යහපත් දුවක හදා වඩා සුදුසු කුල කුමරුවකු හට සරණ පාවා දෙන දිනයේ දී පියකු තුළ ඇතිවන අනිර්වචනීය අභිමානය හැඟුම් පිරිපුන් වදන් වැල් විස්සකට අමුණා ඉදිරිපත් කිරීම සිංහල ගී රචනා කලාවේ ප්‍රාතිහාර්යයක් වැන්න. එබඳු සංකල්පනා දහරාවක් සිංහල ගීත සාහිත්‍යයේ පිළිබිඹු වූ පළමු අවස්ථාව මේ ගීතය යයි හැඟේ.

සිය දුව කෙරෙහි පවත්නා අසීමිත සෙනෙහස ද ඇයට සුදුසු කුල කුමරුවකු හමුවීමේ ප්‍රීතිය ද සිතින් විඳින පියා තම පරපුර සතු අවිච්ඡින්න නිකැලැල් උරුමය ගැන උද්දාමයට පත් වෙයි. සනුහරේ අභිමානය වූ කලී ගුණ යහපත් පරපුරක පැවැත්ම ස්වකීය දරුවන්ට ද උරුම ව තිබීම යි. එබඳු තැනකට දරුවන් රැගෙන ඒමට තමා කළ වෑයම පියා සිහිපත් කරයි.

මං මලක් ලෙස නුඹ නොහැදුවේ
පෙති හැලී පරවෙන නිසාම යි…

අසීමිත සැප සම්පත් ලබා දෙමින් හදා වඩා ගන්නා දරුවන් නොමඟ යාමේ ප්‍රවණතාව වැඩි ය. ජීවිතයේ බැරූරුම් බව තේරුම් නොගන්නා ඔවුහු අකාලයේ නොයෙක් දුක් ගැහැට හා විපත්වලව ගොදුරු වෙති.
එම නියාමය සොබා දහම හා ගළපා මෙම ගීතයෙන් ඉදිරිපත් කළ අයුරු ප්‍රශස්ත ය. ලොවේ දුක දිනා හිනැහෙන හැටි නොදත් දරුවෝ දිවි සටනින් පැරදී අකාලයේ විපත්වලට මුහුණ දෙති. මිල මුදල් හා නිලබල හඹා නොගිය පියා ගුණ යහපත් දුවක් හදා ඇය දීග දෙන දිනයේ දී උද්දාමයට පත් වෙයි.

දුක දිනා හිනැහෙන හැටි ලොවේ
නුඹ දැන උගත් පාඩම එයයි…

අපගේ අතීත මී මුතුන් මිත්තන් රට ජාතිය වෙනුවෙන් සිය ජීවිත පූජා කොට, අපමණ දුක් වේදනා විඳ වෙහෙස මහන්සි වී රැක ගත්තේ නිකැලැල් ජීවිතය යි, පරමාදර්ශී ආත්ම ගරුත්වය යි. අතීත යුගයේ සිට පරපුරින් පරපුරට රැගෙන ආ ඒ ගෞරවයේ වර්තමාන සජීව සංකේතය වූ කලී දීගෙක යන තුරා සිය බඹසර රැකගත් දියණිය යි. ඇය මව්පිය නෑසියන්ගේ ආශීර්වාද මැද කුලගෙදරට නික්ම යන්නේ ඒ පාරම්පරික අභිමානය මහා දායාදයක් වශයෙන් හද තුළ රඳවා ගනිමිනි. උදාර පියෙකුගේ මේ උදානය වූ කලී දෙදහස් වසරක් පුරා පරපුරෙන් පරපුරට රැගෙන ආ සිංහල ජාතියේ ම අභිමානය වන්නේ ය.

මගෙ දුවේ,
නුඹ යන්නෙ හිස් දෑතින් නොවේ,
ගෙනියන්නෙ ඒ අභිමානය යි…

සටහන – දයාපාල ජයනෙත්ති.