පින්වතුනේ, පින්වත් දරුවනේ,

අකීකරුකම නිසා අද පවා ගොඩාක් අයගේ ජීවිත වැනසී යනවා. මෙයත් එබඳු කතාවක්.

ඒ දිනවල අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩ වාසය කොට වදාළේ සැවැත්නුවර ජේතවනයේ. ඔය කාලේ එක්තරා තරුණයෙක් ජේතවනයට ඇවිත් ගෞතම බුදු සසුනේ උතුම් පැවිද්ද ලබා ගත්තා. ටික දවසක් ගියාට පස්සේ මේ භික්ෂුව තමන්ගේ ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාගේ වචනයට ඇහුම්කන් දුන්නේ නෑ. වැඩිහිටි භික්ෂූන් වහන්සේගේ වචනය ගණන් ගත්තේ නෑ. තමන්ට හිතුමනාපෙට ජීවත්වෙන්ට පටන් ගත්තා. අවවාද දෙන්ට කවුරුන් හෝ කතා කළොත් ඒ භික්ෂුවගේ ඇඟට කඩා පනිනවා.

එතකොට භික්ෂූන් වහන්සේලා මේ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ ළඟට අකැමැත්තෙන්ම අරගෙන ගියා. භික්ෂූන් වහන්සේලා මේ භික්ෂුව අකීකරු දුර්වච කෙනෙක් ය කියා සැළකොට සිටියා. “හැබෑද භික්ෂුව… ඔබ කාගෙවත් වචන නොපිළිගන්නා දුර්වච කෙනෙක් ද?” කියා භාග්‍යවතුන් වහන්සේ අසා වදාළා. “එසේය ස්වාමීනී” කියා මොහු පිළිතුරු දුන්නා. එතකොට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා. “භික්ෂුව… ඔබ කලින් ආත්මෙත් කාටවත් අවනත වුනේ නෑ. තමන්ගේ මතයේ ම ජීවත් වූ කෙනෙක්. නුවණැත්තන්ගේ වචනය නොඅසා කටයුතු කොට අන්තිමේදී උස්සද නිරයේ උරචක්‍ර මාලාව දමාගෙන මහා දුකකට පත්වුනා” කියා මේ අතීත කතාව ගෙනහැර දක්වා වදාළා.

“මහණෙනි, අතීතයේ තථාගත අරහත් කාශ්‍යප සම්බුදුරජුන්ගේ කාලයේ බරණැස්නුවර මිත්තවින්දක නමින් මහා ධනවත් සිටුපුත්‍රයෙක් සිටියා. මොහුගේ මව් – පිය දෙන්නා ම සෝවාන් ඵලයට පත් ආර්යශ්‍රාවකයෝ. නමුත් මොහු ශ්‍රද්ධාවක් නැති, සීලයක් නැති හිස් පුද්ගලයෙක්. දවසක් මොහුගේ මව් මොහුට කහවණු දහසක් දෙන පොරොන්දුවට වෙහෙරට ගොසින් බණ අසා එන්ට කීවා. මොහු උදේ ආහාර අනුභව කොට සවස් වන තුරු විහාරයේ දවස ගෙවා ගෙදර ගිහින් කහවණු දහස අරගෙන වෙළඳාමක් පටන් ගත්තා. ටික කලකින් කහවණු විසිදහසක් උපයා ගත්තා.

ඊට පස්සේ මොහු නැව් නැග වෙළඳාම් පිණිස විදේශ රටකට යන්ට සූදානම් වුනා. එකම පුතා නිසා සිටුපවුලේ සියලු ධනය මොහුට නිසා විදේශ ගමන් නොයන ලෙස මව් බලකර සිටියා. මවගේ වචනය නොපිළිගෙන යන්ට සූදානම් වෙද්දී “අනේ පුතේ යන්ට එපා” කියා මව් මේ පුද්ගලයාගේ අතින් ඇද්දා. එතකොට අත ගසා දමා තම මව්ට පහර දී පෙරලා දමා නැව් නැග පිටත්ව ගියා.

නැව මුහුද මැද නැවතුනා. මේ නැවේ කවුරුහරි පව්කාරයෙක් ඇති. ඒකාව සොයා ගන්ට ඕනෑ කියා නැව් කප්පිත්තා තුන්ඩු ඇද්දා. තුන් වතාවේ ම ඒ තුන්ඩුව ඇදුනේ මේ මිත්තවින්දකටයි. එතකොට නැව් කප්පිත්තා මොහුට පහුරක් දී මුහුදට බැස්සුවා. එසැණින් නැව පිටත්ව ගියා.

මොහු පහුරේ නැගී පා වෙවී යද්දී පළිඟු විමානයකට පැමිණියා. එහි විමාන ප්‍රේතියන් සතර දෙනෙක් සිටියා. ඒ ප්‍රේතියන් සතියක් සැප විඳිනවා. සතියක් දුක් විඳිනවා. මොහු ඔවුන්ගේ සැප විඳින සතියේ ඔවුන් සතර දෙනා සමඟම පවුල් කෑවා. දුක් විඳින සතිය ආවා. එතකොට මොහු පහුරේ නැග ආයෙමත් මුහුදේ පාවී ගියා.

ඊට පස්සේ මොහු රිදී විමානයකට ආවා. ඒ රිදී විමානේ ප්‍රේතියෝ අට දෙනෙක් සිටියා. මොහු ඔවුන් අටදෙනා සමඟම පවුල් කෑවා. එතනිනුත් සෑහීමකට පත් නොවී මොහු ඊළඟට මැණික් විමානයකට සේන්දු වුනා. ඒ මැණික් විමානේ ප්‍රේතියෝ දහසය දෙනෙක් උන්නා. මොහු ඒ දහසය දෙනාම සමඟ එකට ජීවත් වුනා. මොහුගේ ආශාව තව තවත් වැඩි වුනා.

ඊට පස්සේ මොහු රන් විමානයකට සේන්දු වුනා. ඒ රන් විමානේ ප්‍රේතියෝ තිස්දෙකක් ඉන්නවා. මොහු කාම උමතුවෙන් යුක්තව ඒ ප්‍රේතියෝ තිස් දෙන්නා එක්කම කාම සේවනය කළා. මොහුගේ ආශාව තවත් වැඩි වුනා. එතකොට මොහු එතැනින් නික්මිලා පහුරේ පාවී යද්දී ප්‍රාකාරයෙන් වට වී ඇති නගරයක් දැක්කා. ඒ උස්සද නිරයයි. මෙතැනත් මට ගොඩාක් ස්ත්‍රීන් ලැබේවි කියා ඉහවහා ගිය කාම උමතුවෙන් නගරයට ඇතුළු වුනා. මොහුට මේ නිරය පෙනුනේ නගරයක් වගේ.

‘හරි… මං මෙහේ රජකොම ගන්නවා’ කියා වටපිට බලද්දී එතකොට එක්තරා නිරිසතෙක් ඛුරචක්‍රයක් හිසේ වැටී මහත් දුකින් හඬ හඬා සිටියා. ඛුරචක්‍රය කියන්නේ දැලිපිහිය වගේ තියුණු වහා කැපෙන රවුම් වළල්ලක්. එය නිරිසතාගේ හිසේ තදට හිර වී තිබෙනවා. එය කර්ම විපාකය අවසන් වන තුරු ගැලවෙන්නේ නෑ. මේ නිරිසතා මරලතෝනි දෙන එක මිත්තවින්දකට ඇසුනේ මධුර වූ ගී රාවයක් ලෙසයි. මොහු දෙස බලද්දී පෙනුනේ නෙලුම් මල් මාලාවක් හිස මත පැළඳ සිටින බවයි.

එතකොට මොහු එතැනට ගියා. “ෂා! හරි අගෙයි නොවැ. මටත් ඔවැනි මාලයක් ගන්ට බැරිද!”

“මොනවා… අයියෝ මේක ඛුරචක්‍රයක්!”

“හනේ… බොරු නොකියා ඉන්ට. ඔහේ මොකෝ ඉරිසියා ද මෙවැනි ලස්සන මාලයක් මං හිස පැළඳ ඉන්නවාට?”

එතකොට නිරිසතාට මෙහෙම සිතුනා. ‘හෝ මගේ කර්ම විපාකය ඉවරයි වගේ. මොහුත් මං වගේ මව්ට පහර දීපු කෙනෙක් වෙන්ටැ. ඔව්… අනේ මං ඉක්මනින් ම දෙන්ට ඕනෑ” කියා හිස මත තිබූ ඛුරචක්‍රය අල්ලපු ගමන් ගැලවුනා.

“හා… හා… එන්න… එන්න… මේක එහෙනම් ඔයා ගන්ට” කියා මිත්තවින්දකට දෙන්ට සූදානම් වුනා. එතකොට මිත්තවින්දක හිනැහි හිනැහි හිස පාත් කළා. හිස මත තිබ්බා විතරයි “අයියෝ මේක මට එපා… අයියෝ… මේක අරගනින්” කියා කෑ ගැසුවා. කර්මවිපාකය අවසන් වූ ඒ නිරිසතා එතැනින් නොපෙනී ගියා.

එදා මහාබෝධිසත්වයෝ දේවපුත්‍රයෙක් ව ඉපදිලා කර්මානුරූපව සත්වයන් දුක් විඳින ආකාරය දකින්ට උස්සද නිරයේ නිරිසතුන් දකින්ට ගොස් සිටියා. දිව්‍ය පුත්‍රයාව දැකගත් මිත්තවින්දක හඬ හඬා මේ ගාථාව පැවසුවා.

(1)

අනේ දෙවියනේ මං ඔබතුමන් හට
– මොන වරදක් කළා ද මේ දුක දෙන්ට
මා අතින් කවර පාපය උනාට ද
– මෙලෙසින් මහා දුක් විඳ විඳ වැලපෙන්ට
අයියෝ තියුනු දැලිපිහි ඇති වළල්ල
– නොනැවතී ම මයෙ හිස මත කැරකෙනවා
ඉවසා ඉන්ට බෑ මගෙ හිස පුපුරනවා
– අවසානයක් නැති මේ දුක විඳවනවා
මිත්තවින්දකගේ මේ ගාථාව ඇසූ බෝධිසත්වයෝ මේ ගාථාවෙන් පිළිතුරු දුන්නා.

(2)

ඇයි තොප පළිඟු විමනක රිදී විමනක
– මැණික් විමනක රන් විමානෙක
විනෝද වුනා නේ කම්සුවය විඳ විඳ
– ඒවා අතැර ඇයි මේ නිරයට ආවේ
බෝධිසත්වයන්ගේ ගාථාව ඇසූ මිත්තවින්දක මේ ගාථාවෙන් පිළිතුරු දුන්නා.

(3)

අනේ දෙවියනේ මං විඳි සැපට වඩා
– විඳින්ට වැඩි සැපය මෙහි තියේවී කියලා
කාම උමතුවෙන් මගෙ සිත අන්ධ වෙලා
– ආවා නොවැ මෙහෙට මං සිත මුලාවෙලා
මා දෙස බලනු මැන විඳිනා හැටි මෙදුක
– වැඩි සැප සොයන්නට ඇවිදින් විඳින දුක
එතකොට බෝධිසත්වයෝ මේ ගාථාවලින් පිළිතුරු දුන්නා.

(4)

ගෑණු සිව් දෙනෙක් ලැබී සෑහීමට පත් නොවී –
දෙවනුව අට දෙනෙක් ලැබී සෑහීමට පත් නොවී
තෙවනුව දහසයක් ලැබී සෑහීමට පත් නොවී –
සිව්වෙනුව තිස් දෙකක් ලැබී සෑහීමට පත් නොවී
තව වැඩිපුර සැප සොයා –
දමාගත්ත නේද හිසේ ඛුරචක්‍රය
තණ්හාවෙන් වැනසුන පුරුෂයාගෙ හිස මත –
දැන් දැළිපිහි වළල්ල කැරකේ

(5)

මිත්තවින්දකය එහෙනම් අසාගන්ට මෙය –
තණ්හාවේ සීමාවක් සොයාගන්ට බෑ
එය තව තව පුළුල්ව පැතිරෙනවා –
මහ සයුර වගේ කිසිදා පුරවන්නට බෑ
දකින, අසන, සිඹිනා, රස විඳින –
පහස ලබන හැම තැන තණ්හා පැතිරෙනවා
එයට ම ගිජු වී දිගට ම යන්ට ගියොත් –
ඔහුගේ හිස මතට ඛුරචක්‍රය වැටෙනවා

බෝධිසත්වයෝ මිත්තවින්දක සමඟ කතා කරමින් සිටියදී ඒ චක්‍රය ඔහුගේ හිසමත කැරකි කැරකී පහළට බැස්සා. එතකොට ඔහුට කතා කරන්ට බැරිව ගියා. බෝධිසත්වයෝ තමන් සිටි දෙව්ලොව ගියා.

මහණෙනි, එදා මිත්තවින්දක වෙලා මහා දුක් වින්දේ මේ දුර්වච භික්ෂුව. දිව්‍ය පුත්‍රයාව සිටියේ මම යි” කියා භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකය නිමවා වදාළා.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ.