ඇත්තෙන්ම කුඩා කල අපට ජීවත් වීම විශාල අරගලයක් විය. දුප්පත්කම නැමැති බලවත් සතුරා සිය අයෝමය අත්වලින් අපව තදින් මිරිකාගෙන සිටියේ ය. ඒ අරගලයට මැදිව වඩාත් පීඩාවට පත්ව සිටියේ අම්මා ය. පවුලේ ආදායමට කීයකින් හෝ සම්මාදන් වීමත්, සොච්චමක් වූ පවුලේ ආදායමෙන් හය දෙනෙකුගේ කුසගිනි නිවීමත් අම්මාට පහසු කටයුත්තක් නොවිණි. එය හබල් නැති කුඩා ඔරුවක නැගී සයුරේ පරතෙර සොයා යන ගමනක් මෙන් විය. තාත්තා ද දිනපතා පවුලේ ආදායමෙන් සැලකිය යුතු මුදලක් බීමට වියදම් කිරීම නිසා තත්ත්වය වඩාත් බරපතළ වුව ද ඒ ගැන විරුද්ධ වූ කිසිවෙක් ද පවුලේ නොවිණ. අම්මා එවැන්නක් කරති’යි මා බොහෝ කලක් බලා සිටිය ද එය කිසිදාක සිදු නොවුණි.

අම්මාගේ නිහඬ ඉවසීම වරෙක මට විසඳාගත නොහැකි ප්‍රහේලිකාවක් විය. වරෙක නොපහන් බවට ද හේතු විය. එහෙත් මා නොසන්සුන් වූයේ වෙනත් දෙයකට ය.

“අම්මානේ පවුලේ ගොඩක් මහන්සි වෙන්නේ. ඉතින් තාත්තාට ඇයි මුලින්ම දෙන්නේ? ගොඩක් බෙදන්නේ? අම්මට අන්තිමට ඉතුරු වෙච්ච දෙයක් තමයි.” මම අම්මා කෙරේ උපන් බලවත් අනුකම්පාවෙන් සහ ආදරයෙන් ඇසුවෙමි.

“කට වහගෙන හිටපං.” මට අම්මාගෙන් ලැබුණේ එය යි. ටික කලක් මම කටවහගෙන සිට නැවත දෙවතාවක් ඒ ගැන ඇසුවෙමි. පිළිතුරේ කිසිදු වෙනසක් නොවුණි. ඉන්පසු මම ඒ ගැන අසන්නට නොගියෙමි.

අම්මාගේ කෑම බෙදිල්ලේ රටාව නිසා හැමදාමත් මට ද අසාධාරණයට මුහුණ පාන්නට සිදු විය. මම පවුලේ බාලයා සහ එකම ගැහැනු ළමයා ද වීමි. තාත්තාගෙන් පසුව අම්මා විසින් කෑම බෙදන්නේ අයියලාට ය. හැමවිටම මට වඩා වැඩි කොටසක් ඔවුන්ට ලැබීම මා රිස්සුවේ ම නැත. කලාතුරකින් උයන මාළු කරවල තබා මා වඩාත් ප්‍රිය කරන වෙළඳපොළේ එතරම් මිල නොවන අර්තාපල් ඉව්වදාටත් එහි වෙනසක් නොවිණි. හැමවිටම මට ලැබුණේ කෑල්ලකි. වැඩිම උනොත් දෙකකි. අයියලාට හතරක් පහක් ලැබීම සිදු විය. බිත්තර තැම්බුවත් මට පළුවකි. අයියලාට එකකි.

“අයියලාගෙන් අඩුකරලා හරි, වැඩියෙන් උයල හරි මට තව අල ඕන.” ඉවසා සිටීම අසීරුම වූ දවසට මම අම්මාට තරමක් තදින් පැවසීමි.

“කට වහගෙන කාපං.” අම්මා මට ඊටත් වඩා තදින් කීවා ය. අයියලා තමන්ට වැඩිපුර ලැබුණ අල කැබලි මට දිගු කරමින් තවත් මාව කේන්ති ගැස්සූහ. බත් පිඟානට වැටුණු කඳුළුත් එකතුකර මා බත් කෑ වාර ගණන මට මතක නැත.

මට අවුරුදු ආවේ එක වතාවකි. අයියලාට දෙකකි. එනම් අයියලාට ජනවාරි පළමුවෙනිදාත්, සිංහල අවුරුද්දටත් වශයෙන් දෙවතාවක දී අලුත් ඇඳුම් ලැබුණි. මට ලැබුණේ සිංහල අවුරුද්දට පමණි. එය ද ඉස්තරම් වර්ගයේ එකක් නොව චීත්ත රෙද්දෙන් මැසූ කුඩා රේන්දයක් ඇල්ලූ ගවුමකි.

“හැමදාම මට විතරක් මේ වගේ බාච්චු අරන් දෙන්නේ මොකද?” ලොකු හැඩයක්, විලාසිතාවක් නැති ගවුමක් මට අරන් දුන් අවුරුද්දක එම ගවුම පැත්තකට විසිකරමින් මම අම්මාගෙන් ඇසුවෙමි.

“කට වහගෙන ඇඳගනිං.” අම්මා කීවේ එපමණකි. මට වෙන කරන්නට දෙයක් නැති නිසා මම එසේ කළෙමි.

බොහෝ විට අයියලාගේ ඇඳුම් සේදීමට ද මට සිදු විය. මා එය කිසිදාක කැමැත්තකින් කළ දෙයක් නොවිණි. ඊර්ෂ්‍යාව හෝ ඒ හා සමාන හැඟීමක් මා තුළ විය.

“මට බෑ. ඇයි මං වැඩකාරි ද?” දවසක් මම ලොකු අයියා මට සේදීමට දුන් ඇඳුම් ගුලි කොට ඔහුට ම දමා ගසමින් පැවසීමි.

“කට වහගෙන හෝදපං.” ලොකු අයියා මගේ කට තදින් මිරිකමින් කීවේ ය. මට හැඬුණි. ඔය විදිහට මා හඬමින් අයියලාගේ ඇඳුම් සේදූ වාර ගණන් ද මට මතක නැත.

ගෙදර වියදම් ඉහළ ගියේ අප උස්මහත් වෙනවාටත් වඩා වේගයෙනි. වියදම් ඉහළ ගියාට ආදායම් ඉහළ ගියේ ද නැත. අප හතර දෙනෙකුට ම පාසල් යාම සඳහා අවම පහසුකම්වත් සපයා දීම අම්මාට දුෂ්කර විය. ඊට ගොදුරු වූයේ මා ය. “සුදු මැණිකේ ව නවත්තමු. ගෑනු ඉගෙන නොගත්තට ලොකු පාඩුවක් නැහැ.” තාත්තා අනුකම්පා විරහිත ලෙස මගේ අධ්‍යාපනය බිල්ලට දෙමින් කීවේ ය. කළ යුතුව තිබුණේ ඔහුගේ බේබදුකම නවතා ඒ මුදලින් මාව පාසල් යැවීමයි.

“මට බෑ… මට බෑ… මට ඉස්කෝලේ යන්න ඕන..” මගේ බලවත් විරෝධය මා තාත්තා ඉදිරියේ පල කළේ හඬමිනි. තාත්තා එක්වර ම කිසිත් නොකීවෙන් මම හිතට වෙර ගෙන අඩි පොළවේ හප්පමින් මට පාසැල් යාමට අවශ්‍ය ම බව පුන පුනා කීවෙමි.

“කට වහගෙන හිටපං.” තාත්තා ගෙබිම වියළි මැටි පවා හෑරෙන තරමට අඩි පොළවේ හප්පමින් කීවේ අවසාන තීරණය දෙමිනි. හිතේ දුක වැඩිකමට ඉන්පසු කිසිදා මම ගමේ පාසල දෙස බැලූ වගක් නම් මතක නැත.

කාලය සෙමෙන් ගතව ගියේ මා දුකින් සිටි නිසා ය. දිගු කලකට පසු මා ලොකු ළමයෙක් විය. රෙදි නැන්දාට පණිවිඩයක් යැවූ අම්මා මාව ගෙයි මුල්ලකට කර තැම්බුම් හොද්දක් හදාගෙන ආවා ය. දුර දී ම සුදුලූණු ගඳ දැනුණෙන් මට වමනය ආවේ ය. මම එක අතකින් කට වහගෙන අනිත් අතින් ‘එපා’ යැයි අම්මාට හැඟවීමි.

“මොකක්ද?” අම්මා ඇසුවේ මාව නොතේරී ය.

“මට එපා මිරිස් හොදි.” මම කීවෙමි.

“කට වහගෙන බීපං.” මම එසේ කළෙමි. බඩයි පපුවයි හිතයි ඔක්කොම පිච්චුනි.

රෙදි නැන්දා ද ටිකකින් පැමිණියා ය. පොල් මලක් දිගහැර කළයට දැමූ ඕ ගෙයි මුල්ලක් හොඳින් ආවරණය කර මගේ ගවුම දෙස ගිජු ලෙස බැලුවා ය. මට කාරණය තේරුණි. මට මේ ලෝකේ තිබුණ වටිනා ම වස්තුව මගෙන් පැහැර ගන්නට සූදානම් වන බවකි මට දැනුණේ. ඒ ගවුම කොළඹ වැඩකාරකමට ගිය අපේ ඥාතිවරියක් මට දුන්න බේබි කෙනෙකුගේ පරණ ගවුමකි. මඳක් පරණ වුවත් එය මා ළඟ තිබුණ ඒවාට වඩා හොඳ ය.

“මේක අරන් යන්න.” මම මගේ පරණ ම ගවුම දිගු කරමින් රෙදි නැන්දාට කීවෙමි. ඕ අම්මාට ඒ බව සැල කළේ නොසතුටෙනි.

“ඒ වෙලාවෙදි ඇඳන් හිටපුව නොදුන්නොත් කළුකුමාරයා දිෂ්ටි දානවා. ඔන්න මට මොකුත් කියන්න එපා.”

“කටවහගෙන ගලවල දීපං.” අම්මා කීවේ මදෙස රවා බලමිනි. කළුකුමාරයා ගැන ඇසූ විට මම ද බය වීමි. මම ඉක්මනින් ගවුම ගලවා රෙදි නැන්දාට දුන්නෙමි.

ගෙයි මුල්ලකට කොටුව ගෙවන ජීවිතය මට දෙවන දවස වෙද්දී ම එපා විය. කෑමට ලැබුණ දේ ද අන්තිම නීරස ය. දෙවන දා රාත්‍රියේ දී මම අම්මාට පමණක් ඇසෙන්නට මගේ අපහසුව පැවසීමි.

“කට වහගෙන නිදා ගනිං.” අම්මා හැමෝටම ඇහෙන්නට කීවා ය. වෙනදා නොදැණුන ලැජ්ජාවක් මට දැණුනෙන් මම නිදාගන්නට උත්සාහ කළෙමි.

උත්සවයක් නොගත්තත් මගේ කොටහළුවේ සිරිත් විරිත් සිදු විය. පාන්දර හතරයි විස්සට පිළිකන්නේ කොස් ගහ යට දී මාව නෑව්වේ රෙදි නැන්දා ය.

“සීතලයි…. සීතලයි…” වතුර හීතල වැඩිකමට මම කිව්වා නොව මට කියවිණි.

“කට වහගෙන නාපං.” කලින් දවසේ දී මා සමඟ ඇතිකර ගත් තරහත්, කොටහළුවේ ප්‍රධාන භූමිකාවට ඇති බලතලත් දෙක ම එකතු කොට ගමේ කාටත් ඔළුව පාත් කරන නිවට ගැහැනිය වූ රෙදි නැන්දා ද මට කීවා ය.

මා වටා තරමක් ඈතින් සිටි අනෙක් ගැහැනුන්ට එය නෑසීම වාසනාවක් කොට සිතූ මම සීතල වතුරෙන් භාගෙට නා ගතිමි.

“මට තාම දහසයයිනේ… අනෙක හිච්චි අයියව… මට බෑ මට තව ටික කාලයක්වත් තාත්තල එක්ක ඉන්න ඕන…”

තාත්තාගේ වැඩිමහල් සහෝදරියගේ පුතෙකුව මට කසාදයට තීන්දු කර තිබුණේ තාත්තා විසිනි. හිච්චි අයියා පිළිබඳ සහෝදරයෙකුට එහා ගිය වෙනස් හැඟීමක් මසිත නැති වග දන්නා මම තාත්තා ඉදිරියේ අසරණව කීවෙමි.

“කටවහගෙන කසාද බැඳපන්.”

ඇත්තටම මම කසාද බැන්දා නොව මාව බැන්දුවා පමණකි.

කසාදයට මාස හතරක් වෙද්දී හිච්චි අයියා බලවත් ලෙස බීමට ඇබ්බැහි විය. තාත්තාගේ බේබදු බවින් හෙම්බත්ව සිටි මට එය මගේ කසාදයටත් වඩා දුකක් ඇති කළේ ය.

“හිච්චි අයියට බොන එක නතර කරන්න කියන්න.” මම ඒ ගැන නැන්දාට කීවෙමි.

“කට වහගෙන ටිකක් ඉවසපං.” නැන්දා කීවේ සැහැල්ලුවෙනි. අපේ අම්මා කළ දේ මටත් කරන්නට සිදු විය.

මගේ කුසට දරුවෙක් ආවේ ඔය අතර ය.. පළමු මාස දෙක පුරාවට මට වමනය යෑම සිදු විය. වමනය සමඟ විවිධ ශබ්ද මගෙන් පිට විය.

“කටවහගෙන වමනෙ දානවකෝ.” හිච්චි අයියා කීවේ තරහිනි. එවෙලෙහි ඔහු බීමත්ව සිටියේ නම් මට ඉවසන්නට හැකි ය. මම සියදිවි නසා නොගත්තේ කුසෙහි දරුවා නිසාවෙනි.

ඊළඟට දරු ගැබට මාස හතර වෙද්දී මගේ දිවියේ නපුරු ම නපුරු වචන මගේ කනට වැටුණි.

“කෙල්ල හිච්චිය භදුලගේ ගෙදර රිංගනවා. රෑ හත අට වෙද්දි ගියොත් අතටම අල්ලගන්න පුළුවන්.” සොපි නැන්දාගේ වචනවලින් මගේ තරහා ගින්න ඇවිළිණි. මම භදුලගේ නිවසට ගියේ දර පළන පොරවක් අරගෙන ය.

“දොර ඇරපන් ගෑනියේ මම පොරවත් අරගෙනයි ආවේ.” මම දොරට පොරෝ පහරක් ද ගසමින් කීවෙමි. දොර ඇරියේ භදා නොව හිච්චි අයියා ය. මගේ අතින් පොරව ගිලිහුණේ ය. මට දැනුන දුක…

“කට වහගෙන ගෙදර පලයන්.” දරුවා නිසා මට එසේ කරන්නට සිදු විය. දවසක් දෙකක් නොව වසර පහළොවක් මට එසේ කරන්නට සිදු විය. ඒ පියුමි.., මගේ දියණිය වෙනුවෙනි.

එහෙත් මගේ දුක අවසන් නොවිණි. පියුමි සම වයසේ පිරිමි ළමයෙකුට යැවූ කෙටි පණිවිඩ කිහිපයක් ඇගේ ජංගම දුරකථනයේ සටහන්ව තිබී මට කියවන්නට ලැබුණි. මගේ දෑස් අන්ධව තිබුණා නම් වඩා හොඳ ය. ඒ පණිවිඩ ඒ තරම් අසික්කිත ය. මම ඒ ගැන පියුමිගෙන් ඇසුවේ කෝපයෙනි.

“කට වහගෙන පාඩුවේ ඉන්න.” මටත් වැඩිය කෝපයෙන් පියුමි කීවා ය. මෙවර දුක දැණුනේ සිතට නොව මගේ හදවතට ය.

මොහොතක දී එය පුපුරා ගියේ ය. මගේ මුව සදහට ම නිහඬ විය.

“අනේ අම්මේ කථා කරන්නකෝ.” මගේ මිනිය අදිමින් ගම දෙවනත් වෙන්න මුලින් ම කෑ ගැසුවේ පියුමි ය.

“දුවේ…. දුවේ… කථා කරපං.” නැන්දා (නැන්දම්මා) මගේ හොස්ස මිරිකමින් කීවේ අනාදරයෙන් නොවේ. මගෙන් වචනයක් පිටකර ගන්නට ය.

“කථා කරන්න සුදු මැණිකේ. අනේ මාව දාලා යන්න එපා.” සීතල වෙමින් පැවති මගේ මළමිනිය තුරුල් කරගෙන හිච්චි අයියා කීවේ වෙරිමතින් නොවේ.

“උඹව මැරුව ද සුදූ? මුන් උඹව මැරුව ද? ඔව් ද නැද්ද කියලා විතරක් කියපං. මං උඹව මුන්ගේ ලේවලින් නාවනවා.” කිණිස්සකුත් අතැතිව පැමිණි ලොකු අයියා මා වෙනුවෙන් මහ විශාල දෙයක් කරන්නට කෑ ගැසුවේ ය.

“මාව මෙහෙ දාලා මට ඉස්සර වෙලා උඹ ගියේ මොකද කියල කියපන් දුවේ…” ජීවිතේ පළමු වතාවට තාත්තාගේ ඇස්වල කඳුළු කාටත් පෙනුණි. “මගේ පුතේ කතා කරපන් වස්තුවේ, ඇයි උඹ කට වහගෙන ඉන්නේ මගේ රත්තරනේ?” මිනිය වළදාන තෙක්ම දින තුනක් ම අම්මා හැඬුවේ එසේ කියමිනි. මැරුණු මාව ඈට පුතෙක් වී ඇත. වස්තුවක් වී ඇත.

බොරුවක්…… මැරුණට පස්සේදි මෙහෙමත් බොරුවක්…! මට මනුස්ස ලෝකෙ තව තවත් තිත්ත විය…

සුමුදු පෙරේරා.