රුබේරු නෝනා හිඳ සිටින්නේ කොහු මෝලේ එළිපත්තේ තබා තිබූ ඇගේ සුපුරුදු පුටුවේ ය. ශාලාවේ ඇතුළු කොටස ගබඩාවක් ලෙසින් පැවතියෙන් ඕ සේවකයන්ගේ කටයුතු නිරීක්ෂණය කරන්නේ මේ පුටුවේ සිට ය. මෙවෙලේ ඇය වරින් වර ඔරලෝසුව දෙසත් සිය වත්තේ ගේට්ටුව දෙසත් බලමින් සිටියේ සේවකයන් කොහුමෝලේ වැඩට එන්නේදැයි දැනගැනීමට ය.

“වැස්ස පායපු එක හොඳයි. නැත්නම් මුන් එනකොට නමයවත් වෙනවා” ශබ්දය පිටනොවෙතත් ඈට කියැවිණි. සුළු වෙලාවක දී කිහිපදෙනෙකු ගේට්ටුවෙන් ඇතුල් ව හදිසි ගමනින් පැමිණෙනු දුටු රුබේරු නෝනා තරමක් කලබලයට පත්වූවාය.

“තාම අටයි කාලයිනෙ. මුන් මොකද අද වේලාසනින් ම. ඊටත් වැඩිය කඩි ගුලක් ඇවිස්සුණා වගේ කලබලයෙන්” හරියට ම උදේ අටයි තිහට ගාට ගාට පැමිණෙන සේවකයින්ව දැක පුරුදු ඇය තමාට ම කියා ගත්තාය.

“මුන්ට ඕන නම් අටට උණත් එන්න පුළුවන්. කොහෙද අපේ මිනිහ මුලදී ම පුරුදු කරගෙන තියෙන්නෙ අටහමාරනෙ. දැන් ඉතින් හදනවා බොරු.” එවර ඇගේ සිතුවිල්ල එසේ විය.

“අද විමලසිරි අයියත් එනව. මොකද දන්නෑ.” රුබේරු නෝනාට සිතුණි. මුළු ගමෙන් ම ඇගේ හිත දිනාගත් එකම මිනිසා වූයේ ඔහු පමණකි. ඒ විශේෂ හේතුවක් නිසා බව දැනසිටියේ ද ඇය පමණකි.

“ඔව් මෙන්න වසරේ වැලිගම අවුරුදු කුමරිය…. කව්රු කියල ද හිතන්නේ” නිවේදක කටයුතු කරන විමලසිරි එකවර ම නම නොකියා පිරිසගෙන් ඇසුවේය. පාසලෙන් ගෙනා ලෑලි බංකු මත පෙළට සිටගෙන සිටි තරගකාරියන්ගේ හදවත් නැවතිණි. නරඹන්නන් කිසිවෙක් නමක් පැවසීමට ඉදිරිපත් නොවූයේ ගමේ අනෙක් අයව තරහ කරගැනීමට අකමැති නිසාවෙනි. පිරිසෙන් අතිශය බහුතරයක් මේ වනවිට අවුරුදු කුමරිය කව්ද කියා නිශ්චය කොට තිබුණි.

“ඉන්ද්‍රා විතාන” යි විමලසිරි කිවේ හැකි උපරිම හඬිනි. බහුතර තීරණය නිවැරදි විය. තමන්ගේ ජයක් ලෙසින් සලකා ඔවුන් අත්පොලසන් දීමටත්, තරුණ පිරිස් සිවුරුහන් බෑමටත් පටන් ගති. විමලසිරි ලවුඩ්ස්පීකරයෙන් ඉන්ද්‍රා විතාන පිළිබඳව මන මෝහනීය විස්තරයක් කළේය.

“ලස්සන නම් තමයි. එයාගෙ කට තමයි බල්ලට වැඩක් නැත්තෙ” තරගයේ දෙවෙනි තැන දිනූ පත්මාවතීගේ මව පැවූසූයේ තරුණයන්ට ඇසෙන්නට ය. තම දියණිය අවුරුදු කුමරිය කොට දෑවැද්දක් නැතිව දීග දීමට බලා සිටි ඇයට ඇත්තට ම ඉන්ද්‍රා පිළිබඳව ඉපදී තිබුණේ කෝපයකි.

“කට කොහොම උණාම මොකද අංගො නැන්දා” යි තරුණයන් අංගොහාමිට හිනාවෙන්න වූයෙන් ඕ තරුණයන්ට ගස්සාගෙන එතැනින් ඉවත් වූවාය.

ඉන්ද්‍රාට තෑග්ගට ලැබුනේ වටිනා තේක්ක කණ්ණාඩි මේසයකි. අවුරුදු කුමරිය වීමටත් වඩා එය ඉන්ද්‍රාට සතුට ගෙනාවේ සිය රූපයෙහි හැඩ වැඩ දැන් ඉතින් සම්පූර්ණයෙන් ම එකවර දැකගත හැකි නිසාවෙනි. මෙතෙක් ඈට තිබුණේ මූණ බලාගැනීමට තරම් ප්‍රමාණවත් කණ්ණාඩියකි.

බංකුවෙන් බැහැපු තැනේ සිට ගමේ තරුණයන් ටික ඉන්ද්‍රා පස්සේ වැටුණි. අංගොහාමි පැවසුවේ බොරුවක් ද නොවන බව දන්නා ඔවුන් වචනය දාන්න ඉක්මන් වූයේ ද නැත. සිරිමල් අන්‍යයන්ට පෙරටු විය. වසර කිහිපයක සිට කොට්ටාපොර තරගයේ ජයග්‍රාහකයා වන ඔහුව මිතුරන් විසින් ඒ සඳහා වඩාත් පොළඹවන ලදී.

“උඹ තමයි හයිහත්තිය ඇති එකා, උඹට කැමති වෙයි.” ඉන්ද්‍රා කඩේ තනියම සිටින මොහොතක් බලා සිරිමල් සිය අදහස පැවසුවේ ද ගැහෙන හදවතිනි. ඉන්ද්‍රාගේ මුවගට අවඥා සහගත සිනාවක් නැගෙනු සිරිමල් එවිට ම දුටුවේය.

“උඹ රෙද්දක් ඇඳගෙන ද මගෙත් එක්ක හාදවෙන්න අහන්නෙ. බලාපිය තොගේ හැටි, හරියට හැලි වඳුරෙක් වගේ” ඉන්ද්‍රා එක පාරට ම සිරිමල්ට කීවාය. සිරිමල් ලැජ්ජාවෙන් බිම බලාගත්තේ පොළොවේ කිමිදෙන්න තැනක් සෙවීමට මෙනි.

“අපේ පුංචි අම්ම තාම ගෙදර, ආතගෙන් අහල බලපන්” ඉන්ද්‍රා හිතේ කේන්තියටත් එක්ක ආයෙම පැවසුවාය. සිරිමල් තම බයිසිකලය මඳ දුරක් තල්ලු කරගෙන ගොස් ඊට නැගී පලා ගියේ ‘ආයෙ කිසිදා ඉන්ද්‍රා දෙස නිකමට හෝ නොබලන්නෙමි’ යි යන අදහසිනි.

“ඌට පිස්සු” ඈත යන සිරිමල් දෙස බලා ඉන්ද්‍රා තමාට ම කියා ගත්තාය.

ලොකුවිතාන තම අදහස දන්වා ඒවා තිබුණේ අසල්වැසි ජයවතී අතේය.

“රෙද්දක් ඇඳගෙන ද එයා මට යෝජනා එවල තියෙන්නෙ. නෑකමටත් මගේ මාමා. මම හිටිය නම් ජයවතීට කියනව උගේ නම ලොකුවිතාන උනාට මට ඌව ලොකු නැහැ කියල” ඉන්ද්‍රා පැවසුවේ ඇයට ජයවතී ගෙනා යෝජනාව ඉදිරිපත් කළ සිය මවට ය. මව ඉන්ද්‍රා දෙස අවඥාවෙන් බැලුවේ දියණියගේ කටේ ඇති අශිලාචාරබව පිළිබඳව කෝපයෙනි; ශෝකයෙනි.

“කට පරිස්සම් කරගනිං. උඹේ ගෑනුකම ගැන අමතක කරන්නෙපා”යි මව පැවසුවේ ඉන්ද්‍රාට තරවටුවක් වශයෙනි.

“ඒව කොහෙද මාත් එක්ක. රෙදි ගලවනවා ඕන එකෙකුගෙ මං”

ඉන්ද්‍රා කණ්ණාඩියට පිටුපා උරහිසට උඩින් හැඩ වැඩ බලමින් පැවසුවාය.

“මම අද කිව්ව කියල උඹ එකක් මතක තියාගනින් දුවේ. ඔය ලස්සනයි කටයි තමයි කවදහරි උඹේ විනාසෙ. කියන්නේ අනුන්ට උනාට කියාපු දේ ලැබෙන්නෙ තමන්ට.”

“හා බලමු” ඉන්ද්‍රා මවට පෙරළා කීවේ සිනාසෙමිනි.

අවුරුදු උත්සවයෙන් මාසයක් ගත වෙන්නටත් පෙර එකොළොස්වෙනි යෝජනාව ආවේ ගමේ ව්‍යාපාරිකයෙකු වූ රුබේරුගෙනි.

“රෙද්දක් ඇඳන් පාරෙ බැහැල යන්න පුළුවන්” ඉන්ද්‍රා රුබේරුගේ යෝජනාවට එක්වර ම කැමති වූයේ රුබේරුගේ රූපය නිසාවත්, පොහොසත්කම නිසාවත් නොව ඔහුට ගම්මු ඉහලින් සලකන නිසාවෙනි. මංගල්‍යය ද ඉක්මනින් සිදුවිය.

“රෙදි ඇඳගෙන ද මන්ද අරුන් මඟුල් ගෙදර ඇවිත් ඉන්නෙ. අම්මට පිස්සුනේ උන්ට මඟුල් කියල තියෙන්නෙ” තමා සමඟ පසුගිය
කාලයේ හාද වෙන්න පැමිණි තරුණයින් කිහිපදෙනෙකු මඟුල්- ගෙදර සිටිනු දැක ඉන්ද්‍රා පැවසුවේ සහෝදරයා සමඟිනි.

“අම්ම නෙමෙයි මමයි එන්න කිව්වෙ. මට ගමේ කොල්ලන්ව තරහ කරගන්න බැහැ.” යි කියූ බැස්ටියන් ඉන්ද්‍රාව මඟ හැර ගියේ මනමාලියක වී සිටිය ද ඇගේ කටේ සැර අඩු නොවන බව දන්නා නිසාවෙනි.

රුබේරුට ගමේ පොල්ලෙලි තලවා කොහු හා ලණු නිමවා විකුණන ව්‍යාපාරයක් සහ රේන්ද ගොතවා විකුණන ව්‍යාපාරයක් තිබුණි. ඔහු යටතේ ගමේ විවිධ වයස් මට්ටම්වල ගැහැනු පිරිමි හතළිහකට ආසන්න පිරිසක් සේවය කළහ. ඔවුන් රුබේරුට රුබේරු මහත්තයා යනුවෙන් ඇමතූ නිසා ඉන්ද්‍රාට කථාකළේ රුබේරු නෝනා යනුවෙනි.

“රුබේරු නෝන ඔන්න මං කිව්වය කියල දැනගන්න තියන්නෙපා. රූපිකාගෙයි රුබේරු මහත්තයගෙයි ඇයි හොඳැයිය නම් එච්චර හොඳ එකක් නෙවෙයි වගේ” රුබේරු නෝනාට මැගිලින් කීවේ රහසිනි. ඒ වන විට රුබේරු නෝනා සිටියේ තුන්වන දරුවා බිහි කිරීමට ආසන්නව ය.

“උඹ ගැන මං දැනගන්න තියන්නෙ නෑ. හිටපං එයාගෙ රෙදි ගැලවෙන්න දෙකක් කියල අද ම එලවල දානවා”

“රස්සාවෙන් අස් කරන්න එපා.” මැගිලින් බයාදු ලෙසින් ඉල්ලා සිටියාය.

“එහෙනම් රෙදි ගැලවෙන්න කට්ටිය මැද්දේ ම මං දෙකක් කියන්නම්. උඹ දැන් කාටවත් සැක නොහිතෙන්න වැඩට පලයන්” රුබේරු නෝනා මැගිලින්ව පිටත් කොට කෙලින් ම ගියේ රේන්ද ගොතන තැනට ය. යන ගමනේදී රූපිකාට කියන හොඳවයින් දෙක තුන ගැන ඕ සිහිකර ගත්තාය.

“තෝ රෙදි ඇඳගෙන ද බොල මහත්තය එක්ක මනමාලකම් කරන්න හිතුවෙ. මම නේද තොට පව් කියල රස්සාව දුන්නෙ” කුමක් සිතා පැමිණිය ද රුබේරු නෝනා සිය සුපුරුදු වචන වලින් ම ගෝරනාඩුව කළාය. රූපිකා වටපිට බලන්නට වූයේ මේ කිසිවක් පිළිබඳව ඕ කිසිවක් නොදැන සිටි නිසාවෙනි.

“සහගහන බොරුවක්. මගේ බඩේ දරුවෙකුත් ඉන්නව” රූපිකා සිය කුස රුබේරු නෝනාට පෙන්වමින් පැවසුවේ ඈ නිර්දෝෂී වූ හෙයිනි. රූපිකා නිර්දෝෂී යැයි රුබේරු නෝනාට ද සිතුණි. එහෙත් ඈ බුරුලක් නොපෙන්වීමට සිතා ගත්තාය.

“හිඟා නොකා හිඟා කද්දි මම අනුකම්පා කළා. දැන් මට ම භූමිකම්පාවක් කරන්නයි උඹ හදන්නෙ. ඔයිට වැඩිය හොඳයි උඹ රූපිකෝ….” රූපිකාට හැඬීම හැර අන් දෙයක් කරන්නට ඉතිරි නොවිණි. ඕ ගොතමින් සිටි රේන්දය ජයවතීට දී නැගී සිටියාය.

“ඇයි නැගිට්ටෙ දමල ගහල යන්න ද?”

“ඔව්” රූපිකා කිවේ හැඬුම් අතරිනි.

“උඹලට වචනයක් වරදින්න බැහැ. ඇයි ළමාතැනීලනෙ. පළවෙනි වතාවටත් අන්තිම වතාවටත් මං සමාව දෙනව. මීට පස්සෙ රස්සාව විතරක් කරගෙන හිටපං”

“මං මුකුත් කළේ නැහැ”

“ඔය ඉතින් ආයෙමත් මගේ යකාව අවුස්සනවා” යි කියූ රුබේරු නෝනා අඩියට දෙකට රේන්ද ගොතන ශාලාවෙන් පිටවූයේ කපටිකමට ය.

“අනේ ඇත්තට ම ඔහේ රෙද්දක් ඇඳගෙන ද වැඩ කරන ගෑනු එක්ක මනමාලකම් කරන්න ගියේ” රේන්ද විකිණීමට මාතර ගොස් පැමිණි රුබේරු ගෙට ගොඩ වෙන්නටත් පෙරාතුව රුබේරු නෝනා ඔහුගේ ඇඟට කඩා පැන්නේ මවාගත් කෝපයෙනි.

“උඹට පිස්සු ද ගෑනියෙ මොන මඟුලක් ද?”

“ඇයි අර රූපිකා බඩ්ඩත් එක්ක. අන්න වැඩපොළ ගිනි අරගෙන. මං එයාටත් කිව්ව රෙදි ගැලවෙන්න ම.”

රුබේරු නෝනා එය පැවසුවේ රුබේරු දෙස යටැසින් බලමිනි.

“වැඩපොළ ගිනිගන්න තරම් දෙයක් සිද්ධ වුණේ නැහැ” නිර්දෝෂී වුවත් රුබේරුට වචනයක් වැරදුණි. රුබේරු නෝනා එය තම වාසියට හරවා ගත්තාය.

“ඔය කියන්නෙ මොකක්හරි සිද්ධ වෙලා තියෙනව”

“මොන මඟුලක්වත් සිද්ධ වුනේ නැහැ. මං සැරයක් කිව්ව” යි කියූ රුබේරු ගෙට ඇතුළු වූයේ රුබේරු නෝනාව පැත්තකට තල්ලු කරමිනි.

“එහෙනම් ඔය තරම් ඩෝං යන්නෙ” රුබේරු නෝනා ද ඔහු පසුපසින් යමින් ඇසුවාය.

“බඩිං නෙමෙයි නම් දත් ගලවනව උඹේ මං” රුබේරු නැවතී කීවේය.

“හා ගලවනව බලන්න එහෙනම්” රුබේරු නෝනා ඔහු ඉදිරියේ සිටගත්තේ ඉණට දෑත් තබාගෙනය. අවසානයට සිදුවූයේ වෙනත් දෙයකි.

“ඔහේ කොහුමෝල බලා ගන්නව. මං රේන්ද ගොතවන එක බලාගන්නම්.

එතන තමයි ඔක්කොම මෝස්තරකාරියො ටික ඉන්නෙ. නැත්නම් මේ දරුවන්ටයි රෙද්දක් ඇඳගෙන පාරෙ බැහැල යන්න වෙන්නැත්තෙ”
රුබේරු නෝනා රේන්ද වැඩපොළ භාර ගත් පසු බලාගෙන සිටිත්දී මෙන් ආදායම ඉහළ ගියේය.

“ඔය මං කිව්වෙ නැද්ද? රේන්ද ගොතන එක නෙමෙයි අරකිලා කරල තියෙන්නේ වෙන වෙන බයිස් කෝප්. මුන් රෙදි අඳින්නෙ අපරාදෙ” තුන්වන මාසයේ අදායම් මුදල් ගණන් බැලූ රුබේරු නෝනා රුබේරුට ඇසෙන්නට ඇනුම්පදයක් ද කීවාය. රුබේරු කිසිත් නොකීවේ කථා කිරීමෙන් පලක් නොවන නිසාවෙනි.

“කොහුමෝලෙ හැරියට් තව රුපියල් හත්දාහක් ණයට දෙන්නලු පහළොස්දාහ වෙන්න. විලිසංගෙ නැති හැත්ත. රෙදි ඇඳගෙන ද මන්ද මුන් මෙහෙම ණයට ඉල්ලන්නෙ. කලින් ගත්ත ණය වත් නොදී. මං දෙකක් කිව්ව රෙදි ගැලවෙන්න එයාට” රුබේරු නෝනා ආයෙම කීවාය. එවර නම් රුබේරුගේ කෝපය පිටවිණි.

“ඔය මිනිස්සුන්ට ඔහොම කියන්න සලකන්න එපා ගෑනියෙ. උන්ගෙ පරම්පරාව ම අපිට කඹුරල තියෙන්නෙ. ඉල්ලන ගාණක් දෙනව. ඒක මං බලාගන්නම්”

“ගෑනුන්ට මොකක් හරි කියනකොට ඔහේට හරි අමාරුයි නේද”

රුබේරු හිඳගෙන සිටි පුටුවෙන් නැගිට ඊට පයින් ගැසුවේය.

“ඔහේ කොහුමෝලෙ වැඩවලට අතදාන්න එන්න එපා. ඒක මං බලාගන්නම්”

රුබේරු කීවේ තර්ජනාත්මකව ය.

“මතක තියා ගන්නව ඔහේ ආවෙ අත් දෙක වන වන කියල”

“ආ දැන්ද දෑවැදි මතක් වුණේ පිංසෙණ්ඩු වෙලා මාව ගෙනාවෙ බත් තම්බන්නයි ළමයි වදන්නයි විතර ද? ඒව කොහෙද මාත් එක්ක”

වැඩි කලක් ගත නොවිණි. රුබේරු නෝනාගේ ඇඟිලි ගැසීම් ඉවසා ගත නොහැකි වූ තැන රුබේරු කොහුමෝලේ පාලනයත් රුබේරු නෝනාට ම පවරා නිහඬ විය.

“උඹල නැළවෙනව ද ලෙලි තලනව ද ඔය?” දහවල කෑමෙන් පසු ලෙලි තලනවුන් සෙමෙන් සෙමෙන් වැඩ කරනු දැක රුබේරු නෝනා ඇසුවාය.

“උඹලගෙ ළමයි නෙවෙයි ඔය කොට උඩ තියෙන්නෙ පොල්ලෙලි. හයියෙන් ගහපල්ල ඕව ඉක්මනට තැලිල යන්න” එවර සේවකයින් හයියෙන් ගසන්නට වූයේ ‘රුබේරු නෝනාට ගසන්නෙමි’ යි යන කේන්තියෙනි.

“ඔය තලන්නෙ යස අගේට. උඹලගෙ කන්වලට ලුණු ඇඹුල් වැටෙන්න ම ඕන වැඩක් හරියට කරන්න නම්” හරමානිස් උවමනාවෙන් ම කාරා කෙළ ගැසුවේ හිතේ තරහ වැඩිකමට ය.

“උඹට කාසෙ ද?”

“එහෙමවත් මැරිල යනව නම්” හරමානිස් කීවේ ඇනුම් පදයක් බව රුබේරු නෝනාට වැටහුණි.

“උඹලා කාගෙ කාගෙත් කටවල්වල නම් හයිය තියෙනවා. ඇඟේ නැතිවුනාට” හරමානිස් කිසිත් කීවේ නැත. රුබේරු නෝනාගේ හිතට මදිය.

“ඈ බං හරමානිස් කක්කුස්සියේ ගඳ නේද මේ එන්නෙ” යි ඕ පෙරළා ඇසුවේ ද හරමානිස්ගෙන් ම ය.

“වැස්ස දාට වළ උතුරනව. මං නෝනට කලින් දවසක් කිව්වෙ. අලුතෙන් වළක් කපන්න ඕන කියල”

“විකාර ද බං, අපේ එකේ වළත් තියෙන්නෙ මේ පොළවෙ ම නේද? කෝ උතුරනවා. උඹල හරියට වතුර ගහන්නෙ නැතුව ඇති. තුඃ නොදොකින් වැඩෙත් කරගෙන වතුරත් නොගහ එළියට එනවනෙ තව රෙදිත් ඇඳගෙන”

කොහු මෝලේ කිසිවෙක් “හුම්” කීවේ නැත. කලක් යනවිට රුබේරු නෝනාගේ කවර තරමේ කර්කෂ වචනයක් වුවද ඔවුනට පුරුදු විය.

“රෙද්දක් ඇඳගෙන පාරෙ බැහැල යන්න පුළුවන් වැඩක් ද උඹ අද කරල තියෙන්නෙ” රුබේරු නෝනා ඇසුවේ සිය වැඩිමල් දියණියගෙනි. ඊළඟට ඕ දියණියගේ උරහිසින් අල්ලා ගත්තාය.

“මොකද්ද” මවගේ අත ගසා දමමින් දිල්කි ඇසුවේ බියෙනි.

“ඇඟට තදවෙන කලිසම් කොටේකුත් ඇඳගෙන පාරෙ බැහැල ගිහින් තියෙන්නෙ”

“අම්මට විකාර, ඒව තමයි දැන් හැමෝම අඳින්නෙ” යි දිල්කි පිළිතුරු දුන්නේ රුබේරු නෝනාගෙන් තවත් ඈත් වෙමිනි.

“හැමෝම ඇන්ඳට උඹට බැහැ. අපිත් රෙදි ඇඳගෙන පාරෙ බැහැල යන්නෝන. මතක තියාගනින් රෙදි අඳින්නෙ ලැජ්ජාව වහගන්න මිසක් පෙන්නන්න නෙවෙයි. මං උඹට ආයෙ කියන්නෙ නැහැ.” දිල්කි ආයෙම එවැනි ඇඳුම් ඇන්ඳේ නැත. ඊට දින තුනකට පසුව රුබේරු නෝනාට ඊටත් වඩා කේන්ති යන කරුණක් ආරංචි වී තිබුණි.

“නවත්තපන් අද ම උඹේ ඔය ආස්සරේ. රෙද්දක් ඇඳගෙන පාරෙ බැහැල යන්න ද අඩු කුලේ උන්ව කසාද බැඳගෙන” රුබේරු නෝනා නිවසේ උළු සෙලවෙන තරම් හයියෙන් කෑ ගසා ඇසුවාය. කෑ ගැසීම ඇසී සාලයට පැමිණි රුබේරු ඇයව දැක කම්මුලේ අතක් තබාගෙන බලා සිටියේ අවඥාවෙනි.

“මොකද නිකං තුෂ්නිම්භූත වෙලා වගේ”

“නෑ මං මේ බැලුවේ අවුරුදු හැටපහක් ඔහේගෙ කටේ දත් දහයක් දොළහක් හරි ඉතුරුවුන පුදුමෙ ගැන”

රුබේරු කීවේ එක තාලෙකට ය. පියාගේ කතාවට එකතු වූ සංදීප් ද මව දෙස බැලුවේ අවඥාවෙනි.

“ආ…. ඒකද කාරණාව. මගේ කටට පිං සිද්ධ වෙන්න තමයි මෙච්චර හරියක් කෙරුවෙ. ඔහේ නිකං පඹය වගේ හිටිය මිසක. මොකටද මගෙ කට…” රුබේරුගේ සිතට තරහ ආවත් කරබාගෙන හිඳ ගත්තේය.

“දන්නව ද මෙයා කරල තියෙන දේ. සෙබෙස්තියන්ගෙ දූ එක්ක හාද වෙලා. අඩුකුලේ උන් එක්ක රෙද්දක් ඇඳගෙන පෑහෙන්න අපිට පුළුවන් ද?”

රුබේරු නෝනා ආයෙම කීවාය. රුබේරු කිසිත් කීවේ නැත. ඔහුට කවදාවත් කුල-මල ප්‍රශ්න තිබුණේ නැත. “මනුස්සයෝනෙ” ඔහුට සිතුණේ එසේය.

“ඕක අද ම නවත්තපන්. මං දෙපාරක් කියන ජාතියෙ ගෑනියෙක් නෙමෙයි.”

“මං මැරෙනවා”

“මැරියන්. අපි මේකෙ රෙදි ඇඳගෙන පාරෙ බැහැල යන්න ඕන තාම” රුබේරු නෝනා අවසන් තීරණය ප්‍රකාශ කොට ගෙට ගියේ කෝපයෙන් පුපුරමිනි. ඇගේ කෝපය කිසිදා නොනිවිණි.

“මුන් ඔක්කොම අපිට රෙද්දක් ඇඳගෙන පාරෙ බැහැල යන්න බැරි තැනට වැඩ කෙරුව. එකෙකුට හරියන්නෑ. දවසක අපේ ඇස් දෙකට ම බලා ගන්න ලැබේවි.” සංදීප් හිතු මනාපෙට සෙබෙස්තියන්ගේ දියණියව කසාද බැඳ ඇතැයි ආරංචි වූ දවසේ රුබේරු නෝනා කීවේ රුබේරුට පමණක් නොව රේන්ද වැඩපොළට ද

ඇසෙන්නට ය. ගමේ උන් තමන්ට වරදින විට සතුටු වන බව ඇය නිතර ම සිතන්නකි.

“මං එයාව අද ම පවුලෙන් අයින් කරනව. ආයෙ මෙහෙ බත් එයාටත් නැහැ.”

“ඉන්නෙ එක කොල්ලයි නේද?. ඌව පවුලෙන් පන්නන්න ඔහේට පිස්සු .ද?”

රුබේරු .ඇසුවේ කලකිරීමෙනි. ඔහුට කලක සිට ම නිවසේ සියලු බලය අහිමි ව තිබුණි.

“මං මැරුණට පස්සෙ එනව නම් ආපුදෙන්. අරකිල දෙන්නට නම් මං මේව කොහොමටවත් අයිතිවෙන්න දෙන්නෑ. අපිට රෙදි අඳින්න බැරි තැනට වැඩකරලයි ඒකිලත් ගියේ” මල්කිත් දිල්කිත් දෙදෙනා ම ගමේ සිටි කසාද බැඳපු මිනිසුන් සමඟ හොර රහසේ පැන ගියේ මීට ටික කලකට පෙරදී ය. රුබේරු නෝනා ඒ මිනිසුන්ගේ ගෑනුන්ට රස්සාවක් දී හොඳට සැලකුවේ දියණියන්ගෙන් පළිගැනීම පිණිස ය.

“දෙමව්පියන්ගෙ රෙදි ගැලෙව්වට තොට හෙණ ගහන්න ඕන.” දිල්කි ත්‍රීවිල් බර්ටි සමඟ පැනගිය දවසේ රුබේරු නෝනා දුරකථනයෙන් බැණ වැදුණේ එසේය. ඊට දින දෙකකට පසුය මල්කි ගයිඩ් කෙනෙකු සමඟ පැනගියේ.

“මං සීනිගම ගිහින් ගම්මිරිස් අඹරනවා තොපි ඔක්කොට ම” ඇය මල්කිට කීවේ එවැන්නකි. සීනිගම නොගියත් රුබේරු නෝනාගේ හිතේ කේන්තිය නොනිවිණි. ඊට ගොදුරු නොවූ කිසිවෙකුත් ගමේ නොවුන තරම් ය.

“ආ…. ළමාතැනී දැන් ද නැගිට්ටෙ. බලපන්කො පස්ස පැත්තට ඉර එළිය වැටෙනකල් බුදියගෙන ඉඳල ලැජ්ජ නැතුව රෙද්දකුත් ඇඳගෙන නටව නටව එන හැටි. මමයි දැන් මේ ගෙදර වැඩකාරි, පාන්දරින් නැගිටල වැඩ පටන් ගන්න.” යි රුබේරු නෝනා බනින්නට වුයේ ගෙදර වැඩට සිටි මියුලට්ට ය. ඇය එවෙලෙහි කිසිත් නොකිව්වත් රුබේරුට කරුණු පැහැදිලි කොට පසුදා ම දිල්කිගේ ගෙදර වැඩට ගියාය. රේන්ද ගොතන ජයවතී ගෙදර වැඩට නවත්වාගන්නට රුබේරු නෝනා කටයුතු කළේ තවත් කරුණු දෙකක් ද හිතේ තියාගෙන ය. එනම් වැඩපොළවල් දෙකේ කේලාම් දැනගැනීමටත්, ගමේ තොරතුරු දැනගැනීමටත් ය.

“පණ්ඩිත හාමුදුරුවො මහ ඡන්දෙ ඉල්ලන්න යනව කියන්නෙ” ජයවතීට ලැබුණු වැරදි තොරතුරක් ඈ රුබේරු නෝනා සමඟ පැවසුවේ සෙමිනි.

“ආ…. ඇයි බං සිවුරකුත් කරේ දාගෙන ලැජ්ජ නැතුව ඡන්දෙ ඉල්ලනව ද?.

අනේ එයාගේ පණ්ඩිතකම ඒකෙන් ම පේනව. ඡන්ද ලකුණට කෙල පඩික්කම ගන්නය කියන්න එකෙක් නෑනෙ මේ ගමේ. අපිත් රෙදි ඇඳගෙන දානේ උස්සගෙන යනවනේ” රුබේරු නෝනා කීවේ මහ සද්දෙට ය. ජයවතී අහල පහල බැලුවේ කාටවත් ඇසුනාදැයි දැන ගැනීමට ය.

“උඹ බය නැතුව හිටපං. මෙහෙ කවුරුත් නැහැ මට විරුද්ධව කට හොල්ලන්න තරම්” ජයවතීව තේරුම් ගෙන රුබේරු නෝනා කීවාය. වසර දෙකක් එය එසේ ම පැවතුණි.

“රුබේරු නෝනාට අංශභාගෙ හැදිලයි කියන්නෙ.” රුබේරු නෝනාගෙ ඇඟේ දකුණු පැත්ත පණ නැතිව ගත වූ දෙවන දවස වනවිට ගම පුරා ම ආරංචිය පැතිර ගියේය.

“කට ඇදවෙලා කන ළඟට ගිහින් කියන්නෙ. කට ඇරගෙනමලු ඉන්නෙ. පණ තියෙන අතින් කටේ වහන මැස්සො එළව එළව ඉන්න එකලු කරන්නෙ ඇඳේ දපා ගෙන”

“කොඩිවිනයක්වත් කරල ද?”

“එහෙම එකක් නෙවීය කියන්නෙ.”

“මහත්තයලු ආයෙ වැඩපළවල් බලන්නෙ.”

“මාසයක් වෙලත් දරුවො එකෙක් ඇවිත් නැහැ බලන්න.”

“හරමානිස්වයි ගෑනිවයි ගෙදර වැඩට අරගෙනලු ජයවතීට තනියම බෑ කියල.”

“හරමානිස් ම ගියා මිසක මං නම් යන් නෑ.”

හරමානිස්ල රුබේරු නෝනාට උපස්ථාන කළේ කැමැත්තකින් නොවේ. රුබේරු මහතාට උපකාරයක් වශයෙනි.

රුබේරු නෝනා මලමුත්‍ර පිටකළේ ද ඇඳේ සිටම ය. සමහරදාට පිරිසිදු කිරීම්වලට හරමානිස්ගේ උදව් ලබා ගැනීමට බිරිඳට හා ජයවතීට සිදුවිය. එවෙලෙට රුබේරු නෝනා පණ ඇති අතින් හරමානිස්ව තල්ලු කිරීමට උත්සහ ගන්නේ ඊට විරෝධය පෑමක් වශයෙනි.

“එහෙනම් ඉතිං ජරා ගොඩේ ම තමයි තියන්න වටින්නේ. ආඩම්බරකම බහින්නෙ නැති හැටි මෙච්චර දෙයක් වෙලත්”

හරමානිස් කියන්නේ කෝපයෙනි. ගැහැනුන් දෙදෙනා පුළුවන් ආකාරයට පිරිසිදු කළත් මාස දෙක තුනක් යන විට රුබේරු නෝනාගේ පිට පැත්ත කුණු විය. රුබේරු මහතා මිල අධික පවුඩර් එකක් ගෙනත් දුන්නත් එයින් එතරම් සහනයක් නොලැබුණි.

බේත් හේත් කළ ද, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කළ ද රුබේරු නෝනාට කිසිඳු සුවයක් නොලැබුණි. දරුවන් විසින් ඇයව නොසලකා හැරීම පිළිබඳව රුබේරු තුළ ද පැවතියේ කලකිරීමකි. ඉඳහිට හෝ මව බැලීමට පැමිණියේ සංදීප් සහ බිරිඳ පමණකි.

“බර්ටිලගෙ ගෙදරට කියල තියෙන කුණු කතාවලට ඒ මිනිහ ඉන්නෙ තාමත් තරහින්. මට බැහැ පවුල කඩා ගන්න ගෙදර ඇවිත්”

මව බැලීමට පැමිණි එකම දිනයේ පියා ගෙදර ඇවිත් නවතින්න යැයි කියූ විට මල්කි කීවාය. දිල්කිගේ වචනය ද එසේ ම විය.

“අරය කැමති වෙයිද දන් නෑ” සංදීප් ද අවස්ථාව මඟ හැරියේ එලෙසිනි.

“මොනව උනත් උඹලගෙ අම්ම” රුබේරු දරුවන් තුන්දෙනාට ම අන්තිමට කිව්වේ එකම දෙයකි. ප්‍රතිඵලයක් නැති තැන හේ හිතහදා ගත්තේ අසීරුවෙනි. රුබේරු නෝනා පිළිබඳව වරෙක ඔහු කනස්සලු වූයේය. වරෙක කෝප ගත්තේය.

“දාපල්ල ඔන්න ඔය දහජරාව කොහුමෝල පිටිපස්සට” රුබේරු නෝනාට උපස්ථානයට පහසුව පිණිස කාමරය අස්පස් කරන විට, ඇගේ තේක්ක කණ්ණාඩි මේසය ඉවත් කිරීමට හදන විට රුබේරු නෝනා දැක්වූ විරෝධය දැක රුබේරු කීවේ කේන්තියෙනි. ඇත්තට ම එය වසර ගණනක සිට පැවති කේන්තිය හදිස්සියේ පිටවීමක් නොව අවස්ථාව බලා පිටවීමකි. වසර පනස් ගණනක් රුබේරු නෝනා ඒ ඉස්සරහට වී ගතකළ අයුරු සිහිකළ රුබේරු ඈ කණ්ණාඩි මේසයට තරම් තමන්ටවත් ආදරය නොකළ බව සිහිකළේ කේන්තියෙනි.

“මහත්තය නෝන වැඩිකල් ඉන්න එකක් නැහැ. අද හෙට උණත් විශ්වාසයක් නැහැ. නරක ද පිරිත් ටිකක් කිව්වොත්”

රුබේරු නෝනාගේ තත්ත්වය ඉතා ම නරක අතට හැරුණ දිනයේ හරමානිස් රුබේරු මහතාට කීවේ ඇගේ හස්ත විකාර ආදිය දැක තරමක් බියට ද පත්වී ගෙනය.

“නෝන වම් අතින් මොනවද කියන්න හදනව. මට නම් මොකුත් හිතාගන්න බැහැ.” ජයවතී ද කීවාය.

“හවසට ලැහැස්ති කරපන්” රුබේරු කීවේ කැමැත්තකින් නොවේ.

හාමුදුරුවන්ට බැන්න කාරණය පසු කලෙක ජයවතී වෙතින් දැනගත් දවසේ සිට ඔහු තුළ රුබේරු නෝනාගේ කට ගැන ඉපදුනේ අන් කවරදාටත් වඩා පිළිකුලකි.

හාමුදුරුවො පිරිත් කියන්න වැඩියේ හවස පහට විතරය. අමාරුවෙන් සිටියත් රුබේරු නෝනාට තරමක් හොඳට සිහිය තිබුණ නිසා ඕ හාමුදුරුවන්ව හඳුනාගත්තාය. ඕ වමත ඔසවා වඳින්න උත්සහ කළත් එය ද ඔසවා ගත නොහැකිව කඩා වැටුණි.

හාමුදුරුවො පිරිත් කීම ඉක්මණින් ම අවසන් කළේ කාමරයේ ඇති මලමුත්‍ර ගඳ ඉවසා සිටීමට අපහසු නිසාවෙනි. රුබේරු මහතා පිරිකර ගෙන රුබේරු නෝනාගේ අතේ දවටා හාමුදුරුවන්ට පූජා කළේය.

“කව්ද දැන් වැඩපළවල් බලන්නෙ?”

“මම තමයි හාමුදුරුවනේ, අමාරුවෙන් උණත් ඒවත් කරනව”

“ඕව දැන් ඉතින් අත්හැරල පිනක් දහමක් කර ගන්න මහත්තය. පේනව නේද නෝනට වෙලා තියෙන දේ. මේ කිසි දෙයක් සදාකාලික නැහැ. විනාසවෙලා යනව. නැතිනම් දාල යන්න වෙනව”

“එහෙමයි ……….අපේ හාමුදුරුවනේ” යි රුබේරු කීවේ හැඟීමකින් නොවේ. රුබේරු නෝනාට නම් ඒ වචන ටික තදින් හිතට වැදුණි.

“ඒව අත් හැරල කොහොමද? කොච්චර අමාරුවෙන් ද ඒව ගොඩ නගාගත්තෙ? මං නම් අත්හරින්නෙ නැහැ.”

රුබේරු නෝනා රාත්‍රිය පුරාවට කල්පනා කළේ එයයි. පාන්දරත් උදේ අටට ආසන්නව තදින් හුස්ම හිරවෙද්දිත් ඈ කල්පනා කළේ එයයි. ඇගේ අවසන් කල්පනාව ද එයයි.

“මහත්තය නෝන…” ජයවතී වෙතින් රුබේරු දැනගත් දේ ඔහු තමාට වඩාත් ම හිතවත් සේවකයින්ට දැනුම් දුන්නේ දුරකථනයෙනි. රුබේරු නෝනාගේ හිතවතුන් වශයෙන් විමලසිරිට ද ඇගේ මරණය දැනුම්දීමට රුබේරු අමතක නොකළේය.

“ඈහ්.. අද එකෙක්වත් වැඩට එන්නෙ නෑ නෙ. මොකද අරුන් අද බංගලාවට දුවන්නෙ” විමලසිරිත් සේවක පිරිසත් දැන් දැන් නිවසට දිවයනු දුටු රුබේරු නෝනා හිඳ සිටි පුටුවෙන් නැගිට්ටාය. ඈ කොහුමෝල පසුපසින් නිවසට වැටී ඇති පාර තෝරා ගත්තේ සේවකයන්ට කලින් නිවසට යාමේ අදහසිනි. ගමන ඉතා සෙමෙන් සිදුවන්නකි. ටික වෙලාවකට පසුව මෝල පිටුපස කොටසේ දී ඇගේ දෑසට හසුවූයේ තමා අවුරුදු කුමරිය වූ දින තෑගි ලැබුණ කණ්ණාඩි මේසය යි.

“මුන් මේක මෙතන ද දාල තියෙන්නෙ” ඇගේ සිතට පිවිසියේ කෝපයකි.

“කණ්ණාඩියවත් බිඳිල තිබුනොත් ඕකුන්ට මම” යි සිතාගෙන ඕ කණ්ණාඩියට එබුණාය. ඇගේ දෑස් ඈට ම අදහාගත නොහැකි තරම් ය.
කණ්ණාඩියෙන් පෙනෙන්නේ නිරුවත් පිසාච ස්ත්‍රියකි. බොකුටු ව අවුල් වී ගිය කෙස්ගස් කිහිපය නැතිනම් හිස තනිකර ම තට්ටේ ය. ඇස් වළෙන් විශාල ලෙස ඉදිරියට නෙරා පැමිණි දෑසත්, මුක්කන් නහයත්, නොවැහිය හැකි විශාල කටත් වේලුනු ගොරක බිකක් තරම් වූ කන් දෙකත් අජූව ය. ඇටකටු ඉලිප්පී පෙනෙන ශරීරයෙහි මස් කලඳක් තරම්වත් නැති තරම් ය. කෝටු අත්පා ඉතා කොටය. ශරීරය උසය. වියළී ගිය ලොට තන් දෙක එල්ලා වැටේ.

“මේ කව්ද?” රුබේරු නෝනාට පළමුව සිතුණි.

“මේ මම නේද?” යි සිතී ඕ ලැජ්ජාවෙන් හෙළුව වසා ගන්නට අත දිගු කළාය. අත් ඉතා කොට බැවින් එය අසාර්ථක විය.

“ඇයි මට මෙහෙම වුනේ ?” අවසන් වරට ඈට එසේ සිතුණි.

පසු වදන

කට පණ ඇති කල කටේ හයියෙන් ලොවක් දිනුව ද “හූම්” කියාගත නොහැකි දවසක් අපට ද එනු ඇත. අඳබල් බවින් උපන්නේ ද, සසර පුරුදු වී ද චේතනාත්මක ක්‍රියාවෙන් සකස් වූ දේ රැගෙන අපට ද පරලොව යන්නට සිදුවනු ඇත. සියලු කෙලෙස් සංසිඳුවන උතුම් දහමක් මුණ ගැසුණ මේ ජීවිතයේ දී සසර පුරුදුත්, සසර කරුමත් නිමා කිරීමට සියලු දෙනා ම කටයුතු කරනු ඇත යන්න මගේ පැතුමයි.

සිරිල් විදාන පතිරණ