රටේ ලෝකයේ සිද්ධ වෙන දේවල් අපට දැනගන්න ලැබෙන්නේ නොයෙකුත් මාධ්‍ය හරහා. අද කාලයේ විශේෂයෙන් ම අන්තර්ජාලය ඔස්සේ බොහෝ පිරිසක් අතර බොහෝ තොරතුරු බොහෝම ඉක්මනින් හුවමාරු වීම සිද්ධ වෙනවා. ඒ බොහෝමයක් තොරතුරු; කාගේ හෝ පුද්ගලික ජීවිතය හා බැඳී යන දේවල්. තමන් මුණගැසී දැකලා නැති, කතාබහ කරලත් නැති, එහෙමට ම කියලා දැනහැඳුනුම්කමකුත් නැති; එහෙම නැතිනම් කොහෙත්ම දැනහැඳුනුම්කමක් නැති අන් අයගේ ජීවිත ගැන ප්‍රශංසා කරමින් හෝ විවේචනය කරමින් ගෙවා දමන ජීවිත කාලයක් තමයි අද සමාජයේ තරුණ හා මැදි වයස්වල බොහෝ දෙනෙකු තුළ තිබෙන්නේ. මේ ස්වභාවය සාමාන්‍ය ජීවන රටාව බවට පත් වූවන්ට එහි වරදක් පෙනෙන්නේ නැහැ…

එවන් වටපිටාවක සෑම කෙනෙකු ම පාහේ මාධ්‍යකරුවෙකුගේ භූමිකාව තුළ කාර්යභාරයක් ඉටු කරනවා. හැබැයි… මාධ්‍ය මෙහෙයවීමක් තුළ අත්‍යන්තයෙන් ම තිබිය යුතු සමාජ සම්මත සදාචාරාත්මක හා ගුණාත්මක භාවයන් ඒ හැසිරීම් රටාවන් තුළ නැති බව අපට පිළිගන්නට සිද්ධ වෙනවා. එසේ දුර්භාවිතයේ යොදවන ලද මාධ්‍ය අවකාශය හුදෙක් අප මේ ගෙවා දමන ජීවිතයට පමණක් නොවෙයි; මුළුමහත් සසර ගමනට ම බලපානවා.

මාධ්‍ය වාර්තාකරණය තුළ අප සමාජය කොතරම් නම් වගකීම් විරහිත ද සහ ළාමක ද යන්න ගැන යළි යළිත් සිතා බැලිය යුතු වටපිටාවක් පසුගිය මාර්තු මාසයේ මුල භාගයේ දී ගොඩනැගුනා. තරුණියකගේ හිස නැති මළසිරුර, එයට සම්බන්ධ යැයි සැකයට පාත්‍ර වූවෙකුගේ සියදිවි නසා ගැනීම යන සිදුවීම් ප්‍රමුඛ කොටගෙන මාධ්‍ය හැසිරුණු ආකාරය යි එම වටපිටාව ගොඩනගන ලද්දේ. බහුතරයක් වූ මාධ්‍ය විසින් එකී මළවුන් නිමිති කර ගනිමින් බෙදා හරින ලද තොරතුරු නිසාවෙන්, එතෙක් නොමළවුන්ටත් ‘මැරුණා නම් හොඳයි’ කියා සිතුණා නම් ඒ ගැන ද අප පුදුම නොවිය යුතුයි. ඒ සා අවිචාරශීලී සහ නොසැලකිලිමත් ලෙස සමාජගත කරලන ලද දෘශ්‍ය සාක්ෂීන් ද අතිශය සංවේදී තොරතුරු ද අවභාවිත මාධ්‍ය භූමිකාවක් නියෝජනය කළ බව අපට බැහැර කළ නොහැකි සත්‍යයක්. මේ සියල්ලේ ප්‍රතිඵලය වූයේ වැරදිකරුවන් යැයි තම තමන් උපකල්පනය කර ගත් අයවලුන් නිර්දය ලෙස විවේචනය කරමින්, නිවැරදි යැයි සිතා ගත්තවුන් වෙනුවෙන් දිවා රැය පෙනී සිටිමින් සමාජ මාධ්‍ය ඔස්සේ කල්පිත ලෝකයක සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටි දහස් සංඛ්‍යාත පිරිසක් දින ගණනාවක් පුරා කාලය ගෙවා දැමීම යි. ඔව්… ඔවුන් අනුන්ව රකින්නට බොහෝ සෙයින් වෙහෙසුනා..

ඇතැම් විට ඔබත් ඒ අතර අයෙකු වන්නට ඇති. ඔබ ඒ ගැන සිතූ, ලියූ, කියූ, ඇසූ කවරක් හෝ වේවා එකරුණ සත්‍යයක්මදැයි ඔබ දන්නේ නැහැ. අප කොතරම් වෙහෙස වී සෙවූවත් මේ සිදුවීම තත් ආකාරයෙන් ම අවබෝධ කර ගන්නට අපට ලැබෙන්නේත් නැහැ. එසේ වීත්… ඒ ගැන ම සොයන්නට ඇයි අපට ඒ තරම් වුවමනාවක්? ඇයි අපට ඒ තරම් නොඉවසිල්ලක්? ඇත්තටම ඇය ගැන, ඔහු ගැන, ඔවුන් ගැන, මා මේ සටහන තබන විට ද හමු වී නැති අතුරුදන් හිස ගැන සිතන්නට, සොයන්නට තිබූ වුවමනාව අපට අප ගැනත් තිබෙනවා ද??? ඔවුන් ගැන සිතූ සිතුවිල්ලක් පාසා, ඔවුන් ගැන තැබූ සටහනක් පාසා, ඔවුන් ගැන කියූ වචනයක් පාසා ඔවුන් කර්කශ දුක් විපාක පිණිස සකස් කර ගත්තා වූ කර්ම දායාදයට ම යා වෙමින් අපත් කර්ම රැස් කළ එකයි සිදු වුණේ. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් අගතියට යමින් ඔවුන් කර්මය නම් වූ කුඹුර වපුරා ගනිද්දී රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් හිස් නොවී අපත් ඒ බීජයන්ගෙන් අපේ කුඹුරු වපුරා ගත්තා. ඉතින් අප කාටත් වපුරපු වපුරපු හැටියට අස්වැන්න නෙළන්නට සිදු වෙනවා ම යි…

ඛේදවාචකයක් වූ මේ සමාජ පුවතට මුහුණ දුන් ඔවුන් ගැන උත්සුක වූ තරම්වත් අප ගැන අප උත්සුක වනවා නම් ආදීනව බොහෝ ඇති, වෙහෙස උපදවන කාමයන් පසුපස හඹා යමින් ඔවුන් මුහුණ පෑ ඛේදනීය ඉරණම ම උරුම වීමට අපට ඇති ඉඩ සහමුලින් ම වසා දමන්නට අපට තවමත් අවස්ථාව තිබෙනවා. කර්ම ක්ෂය කරන ප්‍රතිපදාව ලොවට හෙළි කළ, සියලු භවයන් නිරුද්ධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ යන්නට ලැබුණ ඒ ඉඩ නසා ගන්නට එපා…

අප ඔවුන් ගැන සෙව්වා ඇති. අපි අප ගැන සොයමු. අප ඔවුන් රකින්නට වෙහෙසුනා ඇති. අපි අප ව රැක ගනිමු.

මේ සසර කිසිසේත් ම සුවදායක ගමනක් නොවෙයි. සිතූ පැතූ පමණින් තාඩන පීඩන හිංසාවනට ලක් නොවී – අනෙකෙකුට දුක් නො දී යා හැකි ගමනක් ද නොවෙයි. සසර සැඩ පහරින් ලෝක සත්ත්වයා එතෙර කරලීමේ උත්තමාර්ථය සිත්හි දරාගෙන, දිවි දෙවැනි කොට ඒ වෙනුවෙන් ඇපකැප වූ බෝසතාණන් වහන්සේලා පවා සසරේ ගැහැට වින්දා. ඒ බෝසතාණන් වහන්සේ ධර්මපාල නමින් කිරුළ හිමි කුමරු ව ඉපිද සත් මස් වියැති සිඟිති දරුවෙකුව සිටිය දී මහා ප්‍රතාප නම් පියරජුගේ අණින් සිඟිති අත් පා කපා දමා ගෙල සිඳ නසනු ලැබුණා. ක්ෂාන්තිවාදී තාපස ව ඉපිද සිටිය දී කලාබු නම් රජුගේ අණින් ඒ බෝසතාණන් වහන්සේගේ අත් පා කන් නාසා සිඳ දිවි තොර කරලනු ලැබුවා. ඉදින් එවැනි විපත් කිසි කලෙකත් නොවන්නට අප කවුරුන් ද?

සසරේ අප බෙලි කැපුම් කද්දී ගැලූ යම් රුධිරයක් වේ ද එය සතර මහා සාගර ජලයට වඩා වැඩි බව සම්බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරන ලද සත්‍යයක්. ඒ ලෙයට; අපගේ ම මාපියන්, ස්වාමි බිරින්දෑවරුන්, පෙම්වතුන් පෙම්වතියන්, දූ දරුවන්, නෑදෑ හිතමිතුරන් විසින් ආවේගයෙන් අකුසලයෙන් මඩිනු ලදුව අප හිස කඳින් වෙන් කරන කල්හී ගැලූ ලෙය ද එකතු වූ බවයි සසර කතාව. අද අප අනුන් ගැන බොහෝ සෙයින් වද වෙන්නේ එකී දුක්ඛිත ඉරණමින් සහමුලින් ම මිදීගෙන නෙවෙයි නේ ද…

විපත්තිය නම් හිස සිඳ මරා දමනු ලැබීම නොවෙයි… ජීවිතයට තිබෙනුයේ එක නමක් වූවාට මරණයට ඇති නම් බොහෝම යි. ඒ කවර නමකින් හෝ අප කරා මරණය එළඹෙනවා. විපත්තිය ඒ මරණය ද නොවෙයි… ආයේ ආයෙමත්, ආයේ ආයෙමත් දුක්තැවුල් පීඩා හා අපමණ වෙහෙස දරමින් සැලි සැලී, තැවි තැවී, දැවි දැවී මේ අතිශය දුක්ඛිත සසරේ සැරිසරා යන්නට වීම ම යි විපත්තිය. ඒ දුක්ඛිත සසරින් නිදහස් වන මග වළකාලන්නේ බාහිර බලවේගයකින් නොවෙයි; අපේ ජීවිත යට කොට දමන තුන් ආකාර වූ විපත්තීන්ගේ පොදු ප්‍රතිඵලය තමයි මේ දුක්ඛිත සංසාර විපත්තිය…

සසර දුක වඩවන ඒ තුන් ආකාර විපත්තීන්ගේ පළමුවැන්න, ‘සීල විපත්තිය’. කයත්, වචනයත් සංවර කර ගැනීම සීල සංවරයට අයත්. කය, වචනය වරද්දා ගැනීම සීල විපත්තිය කියා කෙටියෙන් දක්වන්නට පුළුවන්.

දෙවැන්න චිත්ත විපත්තිය. සිත කිලිටි වීම ගැනයි එයින් කියවෙන්නේ. දැඩි ආශාවත්, තරහවත් යන පාපී චේතනාවන්ගෙනුයි සිත කිලිටි වන්නේ. ක්‍රෝධ, වෛර, පලිගැනීම්, ඊර්ෂ්‍යා, මසුරුකම්, එකට එක කිරීම් හට ගන්නේ ඒ ඔස්සේ.

තුන්වැන්න තමයි දිට්ඨි විපත්තිය. වැරදි මතයන්ගේ බැස ගනිමින් නොයෙකුත් මිථ්‍යා දෘෂ්ටීන් කරපින්නා ගැනීම ගැනයි මෙයින් දැක්වෙන්නේ. ‘මව නැත, පියා නැත, මෙලොවක් නැත, පරලොවක් නැත, දුන් දෙයෙහි විපාක නැත’ ආදී වූ දස වස්තුක මිථ්‍යා දෘෂ්ටීන් තුළ අප ව සසරට ඇදබැඳ තබන්නේ මේ දිට්ඨි විපත්තිය යි. කේන්දර, නැකැත්, අනවින කොඩිවින ආදිය කෙරෙහි උපන් විශ්වාසයෙන් කෙනෙකු කටයුතු කරන්නේ මේ දිට්ඨි විපත්තිය නිසයි.

ළතැවුල් පිරි මුහුණින් අප කථා කරන සමාජ ඛේදවාචකයන් හට- ගන්නේ ම සීල විපත්ති, චිත්ත විපත්ති, දිට්ඨි විපත්ති යන ඒවායින් එකක් හෝ කිහිපයක් මුල් වීමෙන් ම යි. ඇත්තට ම අප සෙවිය යුත්තේ එසේ විපතට පත් වූවන්ගේ මාපිය හත්මුතු පරම්පරාවන්ගේ පටන් ආගිය තැන් නොවෙයි; එකී විපත්තීන්ගෙන් ගැලවී නොගත් අපට මේ විපත්පත් සසර ඉක්මවා යන්නට හැකි මාර්ගය ගැනයි.

සීල විපත්තියට පත් නොවී සීල විශුද්ධිය කරා එළඹීමත්, චිත්ත විපත්තියකට පත් නොවී චිත්ත විශුද්ධිය කරා එළඹීමත්, දිට්ඨි විපත්තියකට පත් නොවී දිට්ඨි විශුද්ධිය කරා එළඹීමත් පිණිසයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාළේ. විපත් බොහෝ කොට ඇති සසර ඉක්මවා යන වෙන මාර්ගයක් නැහැ. සත්ත්වයන්ගේ විශුද්ධිය ඇති කරලන, ශෝක වැළපීම් ඉක්මවාලන, සත්ත්වයන් කායික මානසික දුකින් අත්මුදවන, අවබෝධ ඤාණය උපදවාලන, සියලු දුක් නැසූ – උපත් විපත් කිසිවක් නැති අමා මහ නිවන පිණිස වන ඒකායන මාර්ගය ඒ අරි අටඟි මග ම යි. අප සරණ ගිය ශාස්තෘන් වහන්සේ පෙන්වා වදහළ ඒ පරමෝත්තම නිර්වාණගාමී ප්‍රතිපදාවට නමස්කාර වේවා!

ප්‍රාණඝාතයෙන් වැළකීමෙන්, සොරකමින් වැළකීමෙන්, වැරදි කාම සේවනයෙන් වැළකීමෙන්, මුසාවාදයෙන් වැළකීමෙන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීමෙන් උපදවා ගන්නා සීල සංවරය ගිහි ශ්‍රාවකයනගේ සීලය පිරිසිදු බවට පත් කරලනවා. සමථ භාවනාවක යෙදීමෙන් සිතෙහි හට ගන්නා දැඩි ආශාවන් දුරු කරලීමත්, මෛත්‍රී සිතින් තරහව මැඩලීමත්, කය පිළිබඳව අසුභ මනසිකාරයෙහි නියැලීමෙනුත් සිත පිරිසිදු කරන්නට හැකි වෙනවා. එසේ ම, කර්ම – කර්මඵල විශ්වාසයට එළඹෙමින් ලෞකික සම්මා දිට්ඨිය උපදවා ගැනීමෙන් දෘෂ්ටිය පිරිසිදු කර ගන්නට හැකි වෙනවා. මේ සා පැහැදිලි ලෙස, මේ සා පිරිසිදු ලෙස පාරිශුද්ධත්වයට පත් වන මාර්ගය වදහළ එකම ශාස්තෘන් වහන්සේවයි අප “බුද්ධං සරණං ගච්ඡාමි” කියා සරණ යන්නට යෙදුණේ. ඒ අසහාය ශාස්තෘත්වයට අපගේ නමස්කාරය වේවා!

මේ දහම අසත් අසත් ම අප හැරී බැලිය යුත්තේ අප දෙසම යි. ඕපනයික වූ මේ ශ්‍රී සද්ධර්මය අප තුළට පමුණුවා බැලීමෙනුයි අප තුළ ඇති වැරදි අඩුපාඩු හඳුනාගනිමින්, සසර විපත්තියට අප ඇද දමන සීල විපත්තිය බැහැර කොට සීල සම්පත්තිය ද, චිත්ත විපත්තිය බැහැර කොට චිත්ත සම්පත්තිය ද, දිට්ඨි විපත්තිය බැහැර කොට දිට්ඨි සම්පත්තිය ද උපදවාලිය හැක්කේ. එයට කැමති නම්, එය ඉලක්ක කොට ගන්නවා නම් ඇත්තට ම අපට අනුන් ගැන සොයමින් නාස්ති කරන්නට කාලයක් ඉතිරි වන්නේ නැහැ.

මේ ගෙවී යන ජීවිත කාලය නැවත ලබා ගන්නට බැහැ. දුර්ලභ ක්ෂණ සම්පත්තිය ලද මේ වටිනා ජීවිත කාලය සීල විපත්තියෙන්, චිත්ත විපත්තියෙන්, දිට්ඨි විපත්තියෙන් නසා ගන්නට එපා. අපි අප ගැන සොයමු. අපි අපව රැක ගනිමු. එවිට, අප අනුන්වත් රැක්කා වෙනවා…

තෙරුවන් සරණයි!