තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන් වශයෙන් ශාස්තෘන් වහන්සේටත්, උතුම් රහතන් වහන්සේලාටත්, සම්බුදු ගුණ මහිමයත්, උත්තම රහතුන්ගේ ගුණ සමුදායත් සිහි කොට මල් පහන් සුවඳ දුම් ආදී පුද පූජාවන් පැවැත්වීම මහානීය පිනක්, අපගේ ජීවිතයට යහපත උදාකරන්නක්.

මෙහි දී ඒ උතුම් රහතුන් බිහිකොට වදාළ, රහතන් වහන්සේලා ද අපමණ ගෞරවයෙන් වන්දනාමාන කළ ශාස්තෘන් වහන්සේට අප ප්‍රමුඛස්ථානය දිය යුතුයි. රහතන් වහන්සේලා පවා භාග්‍යවතුන් වහන්සේ වටා පැදකුණු කරමින් ශාස්තෘන් වහන්සේගේ පාද නමස්කාර කොට ඇත්තේ මෙසේ මෙනෙහි කරමිනි.

“බුද්ධෝ සෝ භගවා බෝධාය ධම්මං දේසේති”

“චතුරාර්ය සත්‍යය අවබෝධ කළ භාග්‍යවතුන් වහන්සේ, ධර්මාවබෝධය පිණිස දහම් දෙසන සේක.”

“තිණ්ණෝ සෝ භගවා තරණාය ධම්මං දේසේති”

“සසර කතරින් එතෙර වූ භාග්‍යවතුන් වහන්සේ සසරින් එතෙර වීම පිණිස දහම් දෙසන සේක.”

“සන්තෝ සෝ භගවා සමථාය ධම්මං දේසේති”

“සන්සිඳුනු සිත් ඇති භාග්‍යවතුන් වහන්සේ සන්සිඳීම පිණිස දහම් දෙසන සේක.”

“දන්තෝ සෝ භගවා දමථාය ධම්මං දේසේති”

“දමනයට පත්වූ භාග්‍යවතුන් වහන්සේ දමනය වීමට දහම් දෙසන සේක.”

“පරිනිබ්බුතෝ සෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති.”

“පිරිනිවුනු භාග්‍යවතුන් වහන්සේ පිරිනිවීම පිණිස දහම් දෙසන සේක.”

එම නිසා භාග්‍යවතුන් වහන්සේ උදෙසා, උසින් සකස් කළ වෙන ම ආසනයක, සම්බුදු ගුණ මෙනෙහි කරමින් මල් පහන් ගිලන්පස ආදී පූජාවන් තැන්පත් කරන්න. සීවලී මහරහතන් වහන්සේ උදෙසා වෙනත් ආසනයක අරහත් ගුණ සිහිකරමින් පුද පූජාවන් තබන්න.