සම්බුද්ධ දේශනා තුළ ඉතා පැහැදිලි ව ප්‍රාණඝාත අකුසලය විග්‍රහ කොට ඒ සඳහා සම්පූර්ණ වියයුතු කරුණු පෙන්වා දී තිබෙනවා. ඒ මෙලෙසයි. (ඒකච්චෝ පාණාතිපාතී හෝති, ලුද්දෝ, ලෝහිතපාණී, හතපහතේ නිවිට්ඨෝ, අදයාපන්නෝ පාණභූතේසු) කෙනෙක් සතුන් මැරීමෙහි යෙදී සිටිනවා. ඔහු කෲරයි. ලේ තැවරුනු අත් ඇතිව ඉන්නවා. මරනවා. කොටනවා. ප්‍රාණීන් කෙරෙහි දයාවක් නැහැ.
එමෙන් ම ප්‍රාණඝාත අකුසලයක් සිදු වීමට සම්පූර්ණ විය යුතු අංග දක්වා ඇත්තේ ද මෙලෙසිනි.

1. පණ ඇති සතෙක් වීම (පාණෝ)
2. පණ ඇති සතෙක් බව දැන ගැනීම (පාණසඤ්ඤී)
3. මරණ චේතනාව හෙවත් වධක චිත්තය (මරණාධිප්පායස්ස)
4. මැරීම පිණිස උපක්‍රමයක් කිරීම
5. ඒ හේතුවෙන් මරණයට පත් වීම

එමෙන් ම ප්‍රාණඝාතයෙන් වැළකීම පෙන්වා දී ඇත්තේ ද මෙලෙසින් ය.

(පාණාතිපාතං පහාය, පාණාතිපාතා පටිවිරතෝ හෝති, නිහිතදණ්ඩෝ, නිහිතසත්ථෝ, ලජ්ජී, දයාපන්නෝ, සබ්බපාණභූතහිතානුකම්පී විහරති) ප්‍රාණඝාතය අත්හැරලා ප්‍රාණඝාතයෙන් වැළකී වාසය කරනවා. ප්‍රාණඝාතය පිණිස දඬුමුගුරු, අවි ආයුධ භාවිත කරන්නේ නෑ. එයට ලැජ්ජා වෙනවා. සතුන් කෙරෙහි දයාවන්තයි. සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පාවෙන් වාසය කරනවා.

විශේෂයෙන් ම භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන්ට පනවා වදාළේ, තමන් වහන්සේ පිරිනිවන් පෑ පසු දේශනා කොට වදාළ ධර්මයත්, විනයත් ශාස්තෘත්වයේ තබාගන්නා ලෙසයි. එමෙන් ම සතර මහාපදේශයන්හි දී පෙන්වා දුන්නේ සූත්‍රයේ බහා බලා (සුත්තේ ඕතාරේතබ්බෝ), විනයෙහි සසඳා (විනයේ සංසන්දිතබ්බෝ) ධර්ම විනය සම්බන්ධයෙන් නිසැක බවට පත්වෙන ලෙසයි. එම නිසා අපට වැදගත් වන්නේ ද සරණ යා යුත්තේ ද පිහිට පිළිසරණ පිණිස පවතින්නේ ද සම්බුද්ධ දේශනාවන් මිස පුද්ගලික අර්ථකථන නො වේ.