ආනන්ද මාහිමියන් මූලික වී ආනන්ද බෝධිය රෝපණය කළ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට වන්දනාමාන කොට පින් රැස් කර ගැනීම පිණිස ත්‍රිවිධ චෛත්‍යන් අනුදැන වදාළා.

“ආනන්දයෙනි, චෛත්‍ය තුනක් තිබෙන්නේ ය. ශාරීරික, පාරිභෝගික, උද්දේසික යනු ඒ චෛත්‍ය තුනයි.”

එහිදී භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් ජීවමාන බුදුරදුන් බඳු සෑ රජාණන් වහන්සේලා, දළදා වහන්සේ ආදී පූජනීය වස්තූන් අයත් වන්නේ ශාරීරික චෛත්‍ය ගණයටයි. භාග්‍යවතුන් වහන්සේ පරිභෝජනය කළ පාත්‍ර සිවුරු ආදී පරිෂ්කාරත්, ජය ශ්‍රී මහා බෝ රජාණන් වහන්සේත් පාරිභෝගික චෛත්‍ය ගණයට ඇතුළත් ය.

තථාගතයන් වහන්සේ උදෙසා කරන ලද බුද්ධ ප්‍රතිමා ආදියත් ශ්‍රී පාද සලකුණුත් උද්දේසික චෛත්‍ය ගණයට අයත් වේ. බුදුගුණ මනසිකාරයෙන් චිත්තප්‍රසාදයෙන් මෙම ත්‍රිවිධ චෛත්‍ය වන්දනා කිරීමෙන් මහානීය පින් රැස් කර ගත හැකිය. ත්‍රිවිධ චෛත්‍ය වන්දනා කරන ගාථා රත්නය මෙය යි.

වන්දාමි චේතියං සබ්බං – සබ්බ ඨානේසු පතිට්ඨිතං
ශාරීරික ධාතු මහා බෝධී – බුද්ධ රූපං සකලං සදා