වික්‍රමබාහු රජුගේ කාලයේ දී රටෙහි දුර්නීතිය ම රජ කළේ ය. ඒ රජු පොළොන්නරුවේ වෙහෙර විහාරවලින් භික්ෂූන් නෙරපා හැර එම ස්ථානයන් තම කුලී සෙබළුන්ගේ වාසස්ථාන බවට පත් කළේ ය. විහාර සතු සම්පත් ආදිය මංකොල්ල කෑවේ ය. යහපත අයහපත හඳුනාගැනීමෙහි අදක්ෂ වූ රජතෙමේ බුදු සසුනට එරෙහිව ම කටයුතු කරන ලද්දේ ය. මේ නිසා උතුම් දළදා වහන්සේත්, පාත්‍රා ධාතූන් වහන්සේත් රැකවරණය පිණිස රුහුණු රටට ගෙන යන ලද්දේ ය. වික්‍රමබාහු රජු මෙසේ කටයුතු කරන කල්හි එක් එක් රාජ්‍ය සීමාවන්හි පෙළගැසී සිටි සිටි එකිනෙකාගේ සේනාවන් ගම් නියම්ගම් කොල්ලකා ඒවාට ගිනි තැබූහ. ඇතැම් සශ්‍රීක ගම්මානවල ශේෂ මාත්‍රයක්වත් ඉතිරි නො වී ය. ඔවුහු වැව්වල බැමි සිදුරු කර ඒවා විනාශ කළහ. දූෂණයෙහි යෙදුනු නිලධරයෝ ද රජුට පක්ෂපාතීකම් පෙන්වමින් ස්වාර්ථය ම වැඩිදියුණු කර ගත්හ. රටවැසියා උක් මෝලක මිරිකුණු උක්දඬු බවට පත් විය.

රජරටට නව පාලකයෙක් පත් වෙයි.

මෙසේ වසර 21ක් රජරට පාලය කළ වික්‍රමබාහු රජු කළුරිය කිරීමෙන් පසු ඔහුගේ පුත් 2 වන ගජබාහු නමින් ව්‍ය. ව. 1132 රජකමට පත් විය. මේ අතර දක්ඛිණ දේශයේ පාලකයා වූ මානාරහණ රජු ද මියපරලොව ගියේ ය. ඉන්පසු දොළොස් දහස් රට පාලනය කළ කිත්සිරිමේඝ රජු දක්ඛිණ දේශයේ පාලකයා බවට පත් වූ අතර සිරිවල්ලභ රජු මුළු රුහුණේ ම පාලකයා බවට පත් විය. 2 ගජබාහු රජුගේ රාජ්‍ය පරප්‍රාප්තිය නොරිස්සූ දෙබෑ රජවරු ඔහුට විරුද්ධව යුද්ධ කිරීම පිණිස ගිය නමුත් 2 වන ගජබා රජු හමුවේ පරාජයට පත් වූ ඔවුනට නැවතත් සිය දේශයන් වෙතට ම යාමට සිදු විය. ඉන් පසු ඔවුනොවුන් අතර යුද්ධයක් ඇති නො වී ය.

රුහුණේ පාලකයා වූ සිරිවල්ලභ රජු හට මනාභරණ නමින් පුතෙක් සිටි අතර දක්ඛිණ දේශයේ පාලකයා ව සිටි මනාභරණ රජුට සියලු පුණ්‍ය ලක්ෂණයන්ගෙන් සමන්නාගත වූ පරාක්‍රමබාහු නම් පුත් කුමරෙක් සිටියේ ය. කීර්ති ශ්‍රී මේඝ රජුට පුතුන් නො වී ය. පිය රජුගේ මරණින් පසු පරාක්‍රමබාහු කුමරු රුහුණු දේශයට ගොස් සිරිවල්ලභ රජු ළඟ ටික කලක් වාසය කොට නැවත සිය ජාතභූමිය වූ දක්ඛිණ දේශය වෙත ගොස් තම සුළු පියා වූ කීර්ති ශ්‍රී මේඝ රජු ළඟ වාසය කළේ ය. මේ අතරවාරයේ රජරට යටත් කර ගැනීමේ අභිප්‍රායෙන් සිටි කුමරු රජරට තොරතුරු දැනගැනීමේ අදහසින් ඉතා සුහද ලීලාවෙන් ගජබා රජු හමුවට ගිය අතර කුමරුගේ අභිප්‍රාය ගැන නොදත් ගජබා කුමරු ව සාදරයෙන් පිළිගෙන සත්කාර සම්මාන සිදු කළේ ය. කුමරු ඒ සියල්ල භුක්ති විඳිමින් පොළොන්නරුවේ ටික කාලයක් රැඳී සිට ගජබා රජු සතුව තිබූ ධන ප්‍රමාණය, යුද ශක්තිය, රජුගේ පාලන තන්ත්‍රය පිළිබඳ බොහෝ තොරතුරු රැස්කරගෙන සුහද ලීලාවෙන් ම ආපසු දක්ඛිණ දේශය වෙත ගියේ ය.

පරාක්‍රමබාහු කුමරු දක්ඛිණ දේශයේ පාලකයා බවට පත් වේ.

ටික කලක් ගෙවී ගියේ ය. දෙබෑ රජවරුන් කම් වූ පරිද්දෙන් මිය පරලොව ගියහ. ඉන් පසු රුහුණු රාජ්‍යය මනාභරණ කුමරුට හිමි වූ අතර දක්ඛිණ දේශයේ පාලකයා බවට පරාක්‍රමබාහු කුමරු පත් විය. පරාක්‍රමබාහු රජු විසින් පරාක්‍රමපුර පෙදෙස (වර්තමානයේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් පඬුවස්නුවර) තම පාලන මූලස්ථානය කොට පත් කොට දක්ඛිණ දේශය පාලනය කරමින් දිවයින එක්සේසත් කොට එහි අග රජු වීමේ දීර්ඝකාලීන සැලැස්මට මුල පුරනු පිණිස ස්වකීය ප්‍රදේශයේ අර්ථසම්පත් දියුණු කිරීමට පියවර ගත්තේ ය. ඒ අතරවාරයේ ශක්තිමත් යුද හමුදාවක් ද ගොඩනැංවී ය. මෙසේ ආර්ථිකමය වශයෙන් ද යුදමය වශයෙන් ද ශක්තිමත් වූ පරාක්‍රමබාහු රජු රජරට අත්පත්කර ගැනීමේ මූලික පියවර වශයෙන් මලය ප්‍රදේශය පාලනය කළ දණ්ඩිනායක රක්ඛට අල්ලස් දී ඔහු ව තමාට නතු කරවාගෙන මලය ප්‍රදේශයේ තම බලය තහවුරු කළේ ය. ඉන් පසු තම සේනාව කොටස් කිහිපයකට බෙදා එකී සේනාංකයන් විවිධ සෙන්පතිවරුන් යටතේ විවිධ ප්‍රදේශයන් කරා යවා රජරටට පහර දීමේ ක්‍රියාන්විතය ආරම්භ කළේ ය. සටන අතිශයින් ම බිහිසුණු විය. විටක ජයග්‍රහණය මෙන් ම විටක පරාජය ද විඳ දරා ගැනීමට පරාක්‍රමබාහු රජුට සිදු විය.

මෙසේ ජය පරාජයන් මධ්‍යයේ පරාක්‍රමබාහු රජු පොළොන්නරුව අල්ලා ගැනීමට සිය සේනාවන් මෙහෙයවීමේ දී බොහෝ කලක් ගජබාහු රජු සමඟ මිත්‍රව සිටි මනාභරණ රජු ද ගජබා රජුට පිටුපා පැරකුම් රජුට සහය වීමට පැමිණියේ ය. පරාක්‍රමබාහු රජුගේ සේනාවන් පොළොන්නරුවට ඉදිරිපසින් පහර දෙද්දී මනාභරණ රජුගේ සේනාවන් පොළොන්නරුවට පිටුපසින් පහර දෙන්නට විය. අවසන ගජබාහු රජු පරාජයට පත් වූ අතර පරාක්‍රමබාහු රජුගේ සේනාව ඔහු ව ජීවග්‍රහයෙන් අල්ලාගෙන මාලිගයෙහි සිරකොට තැබී ය. එහෙත් භික්ෂූන් වහන්සේලා පරාක්‍රමබාහු රජු මුණගැසී ගජබාහු රජුට පුතෙකු නොමැති නිසාත්, ඔහු මහලු වයසේ පසුවන නිසාත්, ඔහුගෙන් පරාක්‍රමබාහු රජුගේ රාජ්‍ය පාලනයට බාධාවක් නොවන බවත් පවසා දෙදෙනා අතර ගිවිසුමක් මගින් සමඟි සන්ධානයක් ඇතිකරන ලද අතර එය ස්ථිර කිරීම පිණිස එම ගිවිසුම මැදිරිගිරියෙහි ගලක ද කොටවා තැබී ය (මෙම ලිපිය අද වන විට දක්නට නොලැබෙන අතර එහි පිටපතක් වන ශිලා ලේඛනයක් කුරුණෑගල සංගමු විහාරයෙන් ලැබී තිබේ). ඉන් පසු මහත් කැපවීමකින් හා මහන්සියකින් යුතුව දුක සේ අල්ලාගත් රජරට ප්‍රදේශය නැවත ගජබාහු රජුට ම භාර දී පරාක්‍රමබාහු රජු නැවත දක්ඛිණ දේශයට ගියේ ය.

මනාභරණ රජු සමඟ ද සටන් ඇති වේ.

ගජබාහු රජු මියගිය පසු ඔහුගේ ඇමතිවරු ඉහත කී ගිවිසුම නොසලකා රජරටට පැමිණ රජකම භාරගන්නා ලෙස මනාභරණ රජුගෙන් ඉල්ලා සිටියේ ය. ඒ අනුව ක්‍රියාත්මක වූ මනාභරණ රජු පොළොන්නරුවට ළඟා වුව ද ඒ වන විට පරාක්‍රමබාහු රජු වහා පොළොන්නරුවට පැමිණ ප්‍රදේශය යටත් කොට ගෙන අභිෂේකය ලබා සිටියෙන් මනාභරණ රජුට කොටසර ප්‍රදේශයේ කඳවුරු බැඳ ගැනීමට සිදු විය. ඉන් පසු රජවරු දෙදෙනා අතර නොයෙක් ප්‍රදේශයන්හි ගැටුම් ඇතිවූ අතර අවස්ථා ගණනාවක දී පරාක්‍රමබාහු රජු පරාජයට පත් විය. ඒත් සමඟ මනාභරණ රජුගේ සේනාවන් පොළොන්නරුව යටත්කර ගත් හෙයින් පරාක්‍රමබාහු රජුට දක්ඛිණ දේශයට පසුබැසීමට සිදු විය. නමුත් පරාජය හමුවේ දුර්මුඛ නො වූ රජු නාලන්දයෙහි කඳවුරු ලා සේනාවන් එක්රැස් කොට ගෙන නැවත මනාභරණ රජු හා යුද්ධ කිරීම ආරම්භ කළේ ය. මෙවර ඇති වූ යුද්ධයන්හි මනාභරණ රජුගේ සේනාවන් පරාජයට පත් වූයෙන් මනාභරණ රජු පොළොන්නරුව අතහැර රුහුණු දේශයට ම පලා ගියේ ය. ඉන් පසු රජරට ප්‍රදේශයේ බලය තහවුරු කර ගත් පරාක්‍රමබාහු රජු ව්‍ය.ව. 1153 දී දෙවන වරටත් සිය අභිෂේකය පැවැත්වී ය. (මෙලෙස රජරට යටත් කර ගැනීම පිණිස යුද්ධ 139 කිරීමට සිදු විය) එහෙත් රාජ්‍යත්වය තහවුරු කරන දළදා වහන්සේ හා පාත්‍රා ධාතූන් වහන්සේ තවදුරටත් මනාභරණ රජු සතුව පැවතුණි.

ටික කලකින් ව්‍යාධියකින් පහස්නා ලද මනාභරණ රජු ආයුක්ෂය භාවයට පත් වීමෙන් ඔහුගේ මෑණියන් වූ සුගලා දේවියට රුහුණු දෙශයේ අධිපති බව හිමි විය. සුළු කලකින් රුහුණු දේශයේ වැඩ සිටින දළදා වහන්සේ හා පාත්‍රා ධාතූන් වහන්සේ සිය දේශයට වැඩම කරවාගෙන රජ්‍යත්වය තහවුරු කර ගැනීමේ අදහසින් පරාක්‍රමබාහු රජු රක්ඛ නම් සෙනෙවි යටතේ මහා බලසම්පන්න සේනාවක් රුහුණට යැවී ය. රුහුණුවාසී ජනතාව ද ‘දිවි ගිය ද දළදා වහන්සේත්, පාත්‍රා ධාතූන් වහන්සේත් අහිමිකර නොගනිමු’ යි යන අධිෂ්ඨානයෙන් එම සේනාවන්ට මුහුණ දීමට පෙරට පැමිණියහ. රක්ඛ සමඟ පැමිණි සේනාවට රුහුණේ සේනාවන් පරාජය කිරීම අතිශයින් ම අපහසු කර්තව්‍යයක් වූයෙන් පරාක්‍රමබාහු රජු ‘අධිකාරි භූත’ සෙනෙවි යටතේ ද බලගතු සේනාවක් රුහුණට යැවී ය. ස්ථාන 114ක මහා බිහිසුණු සටන් ඇති විය. අවසානයේ පරාක්‍රමබාහු රජුගේ සේනාවන් රුහුණු සේනාව පරාජය කළ අතර ඔවුනට දළදා වහන්සේත්, පාත්‍රා ධාතූන් වහන්සේත් තමා සන්තක කර ගැනීමට හැකි විය. මේ ආකාරයෙන් පරාක්‍රමබාහු රජු තම රාජ්‍යත්වයත් තහවුරු කරගෙන, රුහුණු දේශයත් තමාට අවනත කරගෙන මුළු ලංකාද්වීපය ම එක්සේසත් කරනු ලැබී ය. මෙය ලංකාද්වීපය එක්සේසත් වූ පස් වන අවස්ථාව විය.

පරාක්‍රමබාහු රජුගේ 33 වසරක රාජ්‍ය කාලය තුළ රට අතිශයින් ම සමෘද්ධිමත් විය. නටඹුන් වී ගිය වැව් අමුණු ඇළවල් ආදිය ප්‍රතිසංස්කරණය කෙරුණු අතර කෙත්වතු අස්වද්දන්නට විය. මහ සයුර පරයන මහා වැව් බිහි විය. ලංකාද්වීපය පෙරදිග ධාන්‍යාගාරය පවට පත් විය. ජරාවාස ව පැවති වෙහෙර විහාර බොහොමයක් නවීකරණය විය. විශාල දාගැබ් ආරාම සංකීර්ණ ඉදිවන්නට විය. රජුගේ අප්‍රතිහත උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් වසර දහස් ගණනක් පුරාවට භේද භින්න ව පැවති මහා විහාරීය, ධම්ම රුචික, සාගලික යන තුන් නිකායන් සමඟි විය. මෙසේ ලක් භූමියේ සමෘද්ධිය පිණිසත්, රටවැසියාගේ යහපත පිණිසත්, බුදු සසුන බැබළවීම පිණිසත් උපමාවිෂයාතික්‍රාන්ත සේවයක් කළ මහා පරාක්‍රමබාහු රජු ව්‍ය. ව. 1186 දී ස්වර්ගපරායණ විය.

රජුගේ අභාවයෙන් පසු නැවතත් අඳුරු කාල පරිච්ඡේදයක ලකුණු පහළ වන්නට විය. පරාක්‍රමබාහු රජුගෙන් පසු 2 විජයබාහු කුමරු රජ වූවත් ඔහුට රාජ්‍යත්වය හෙබවීමේ භාග්‍යය ලැබුණේ වසරකටත් අඩු කාලයකි. නිශ්ශංකමල්ල නම් කුමරෙක් එම රජු ව ඝාතනය කොට සිහසුන අත්පත් කරගන වසර 9ක් රට පාලනය කළේ ය. එම කාලය තුළ රටෙහි සාමය ආරක්ෂා කර ගනිමින් බුදු සසුනේ උන්නතිය පිණිස ද කටයුතු කිරීමට රජුට හැකි විය. ව්‍ය. ව. 1196 දී රජු මිය ගිය පසු පෙර නො වූ විරූ අන්දමින් රටෙහි පාලන තන්ත්‍රය ව්‍යාකූල භාවයට පත් විය. රජවරුනට වඩා සෙන්පතිවරු බලවත් වූහ. කෙතරම් බලවත් වී ද යත් ඔවුනට තමන් කැමති කෙනෙක් සිහසුනෙහි තැබීමට හෝ අකමැති කෙනෙක් සිහසුනෙන් පහ කිරීමට හැකියාව තිබුණි. බොහෝ රජවරුනට හා රාජිණියනට රජකම් කළ හැකි වූයේ ඉතා සුළු කලක් පමණි.

ලක්දිවට එල්ල වූ බිහිසුණු ම ආක්‍රමණය

රටෙහි තත්ත්වය මෙසේ පවතිද්දී ලක්වාසීන්ගේ පෙර කර්මයක් ඵල දෙන්නාක් මෙන් කාලිංඝ මාඝ නම් වූ අතිශයින් ම බිහිසුණු වූ ආක්‍රමණිකයෙක් මෙරටට 24,000ක සේනාවක් සමඟ කඩා වැද එවක රාජ්‍යත්වය හෙබවූ පරාක්‍රම පාණ්ඩ්‍ය රජු ව ජීවග්‍රහයෙන් අල්ලාගෙන ඇස් උපුටා දමා ඝාතනය කොට රජරට ප්‍රදේශයේ බලය අල්ලාගෙන අතිශයින් ම සශ්‍රීක ව බැබළුණු පොළොන්නරු නගරය යකුන් නැටූ පුරයක් බවට පත් කළේ ය.

මෙයින් අතිශයින් ම අසරණ භාවයට පත් ජනතාව රුහුණට හා මායා රටට පලා ගිය අතර දළදා වහන්සේත්, පාත්‍රා ධාතූන් වහන්සේත් කොත්මලයට වැඩමවා ආරක්ෂාව පතා පොළොව යට නිදන් කරවන ලදී. ප්‍රාදේශීය නායකයන් කිහිප දෙනෙක් ගිරි දුර්ග ආදී ආරක්ෂිත ස්ථානවල බලකොටු ඉදිකොට එම ප්‍රදේශ මාඝගේ පාලනයට නතු වීම වළක්වා ගත්හ. එම පාලකයන් අතරින් වන්නි විජයබාහු හෙවත් තෙවන විජයබාහු රජු තම බල මධ්‍යස්ථානය දඹදෙණියෙහි පිහිටුවාගෙන සෙසු සියලු පාලකයන් අභිබවා නැගී ආවේ ය. පොළොවේ සඟවා තිබූ පාත්‍රා හා දළදා වහන්සේ දඹදෙණියට වැඩමවීමත් සමඟ ඔහුගේ රාජ්‍යත්වය ස්ථිර විය. එවිට මහලු වියේ සිටි ඔහුට රජකම් කිරීමට හැකි වූයේ වසර 4ක් පමණි. රජුගේ මරණින් පසු ඔහුගේ පුත් කුමරු 2 වන පරාක්‍රමබාහු යන නාමයෙන් සිංහාසනාරූඪ විය.

මෙසේ රජකමට පැමිණි 2 පරාක්‍රමබාහු රජුට මාඝගෙන් රජරට ප්‍රදේශය බේරාගෙන රට එක්සේසත් කිරීමේ භාරදූර වගකීම භාර වුණි. ලක්වැසියාගේ එක ම බලාපොරොත්තුව බවට මේ රජු නිතැතින් ම පත් විය. ජනතාවගේ බලාපොරොත්තු සඵල කොට මාඝගෙන් රට බේරාගෙන ලංකාද්වීපය එක්සේසත් කිරීම පිණිස රජු විසින් ප්‍රථමයෙන් මාඝගේ පාලනයට හසු වීමට ඉඩ නො දී දිවයිනේ කුඩා ප්‍රදේශ ආරක්ෂා කරගෙන සිටි වන්නි පාලකයන් තමාට අවනත කර ගනු ලැබිණ.

ඉන් පසු මාඝ සමඟ යුද කිරීමට සූදානම් වෙමින් සිටිය දී මලය අර්ධද්වීපයේ සිට දළදා වහන්සේත්, පාත්‍රා ධාතුවත් ලබාගැනීම පිණිස ලංකාව ආක්‍රමණය කිරීමට පැමිණි චන්ද්‍රභානු නම් ජාවක රජුට මුහුණදීමට සිදු විය. මෙහි දී 2 පරාක්‍රමබාහු රජුගේ බෑණා වූ වීරබාහු කුමරු සේනාව ගෙන යුද කොට ඔහු ව පරාජයට පත් කළ අතර චන්ද්‍රභානු දකුණු ඉන්දියාවට පලා ගියේ ය.

කාලිංග මාඝ පරාජයට පත් වේ.

එම සටනින් වසර කිහිපයකට පසු 2 පරාක්‍රමබාහු රජු මාඝ සමඟ රජරට බේරාගැනීමේ යුද්ධය ආරම්භ කරන ලද්දේ ය. මෙම යුද්ධයේ දී රජුගේ පුත් කුමාවරු පස් දෙනා ද සොයුරු බුවනෙකබාහු කුමරු ද එකා මෙන් සමඟි සම්පන්න ව යුද බිමට පැමිණ සේනාවන් මෙහෙයවූහ. මාඝගේ බලකොටු එකිනෙක බිඳ වැටෙන්නට විය. අවසන මාඝගේ සේනාවත් පොළොන්නරුවට එක්රැස් වූ අතර පොළොන්නරුවට ජය ගැනුමට එන සිංහල සේනාවට මුහුණ දී ගත නොහැකිව පොළොන්නරුවෙන් පලා ගිය ඔවුහු කලා වැව ප්‍රදේශයට සේන්දු වූහ. සිදු වූයේ අනපේක්ෂිත දෙයකි. කලා වැව අසල විශාල සිංහල සේනාවක් එක්රැස් වී සිටි අතර මාඝගේ සේනාව ඔහුට කොටු විය. නැවතත් සටනක් ඇති වූ අතර අවසන ඔවුහු රැගෙන පැමිණි තම ධනය ද තම ජීවිත ද යුද පිටියේ ම අතහැර දමා කර්මානුරූප ව යම් තැනකට යා යුතු ද එතනට ගියහ. මේ ආකාරයෙන් කාලිංග මාඝ නම් පිළිලය ලංකා මාතාව නම් වෘක්ෂයෙන් ඉවත් කොට දමා ලංකාද්වීපය එක්සේසත් කිරීමට 2 පරාක්‍රමබාහු රජුට හැකි විය. ඉන් පසු පොළොන්නරුවේ තාවකාලික ව ඉදිකරන ලද මාලිගයක ලංකාද්වීපය එක්සේසත් කළ හය වන රජු වූ 2 පරාක්‍රමබාහු රජු සිය අභිෂේකය සිදු කොට නැවත දඹදෙණි ප්‍රදේශයට ම ගොස් එය ම රටෙහි අගනුවර බවට පත් කොට රාජ්‍ය පාලනය සිදු කළේ ය.

වසර කිහිපයක් ගත විය. දකුණු ඉන්දියාවට පලා ගිය චන්ද්‍රභානු දකුණු ඉන්දීය සෙබළුන් පිරිවරාගෙන නැවත වරක් ලක්දිව ආක්‍රමණය කිරීමට පැමිණියේ ය. එහෙත් සිංහලයන් සමඟ සටන් කළ ඔහුට දළදා වහන්සේ හා පාත්‍රා ධාතූන් වහන්සේ පමණක් නොව තම ජීවිතය ද අහිමි වී ගියේ ය.

රටෙහි එක්සත් භාවය ටික කලක් පැවතියේ ය. එහෙත් දේශපාලන අර්බුදවල නිමාවක් නො වී ය. රාජධානි ද විවිධ පෙදෙස් කරා මාරු විය. කාලයාගේ ඇවෑමෙන් කෝට්ටේ රාජධානිය ලක්දිව අගනගරය වන විට දිවයිනේ එක්සත් භාවය බොහෝ සෙයින් නැති වී තිබුණි. ව්‍ය. ව. 1415 දී 6 වන පරාක්‍රමබාහු රජු රජකමට පත් වන විට යාපනය ප්‍රදේශය පාලනය කළ ආර්ය චක්‍රවර්තී නම් පාලකයා බොහෝ සෙයින් ස්වාධීන පාලනයක් ගෙන ගිය අතර රජුට අවනත නො වී ය. උඩරට ප්‍රදේශය කෝට්ටේ රජු යටතේ පාලනය කළ ජෝතිය සිටාණන් යන ජන ප්‍රධානියා උඩරට ස්වාධීන පාලනයක් ගෙන යාම පිණිස රජුට විරුද්ධ ව කැරලි ගැසී ය. ප්‍රථමයෙන් රජු සපුමල් නම් කුමරු ව යාපනය ජයගැනීම පිණිස යැවී ය. යන අතරමග දී (අලිමංකඩට නුදුරු කලපුවෙන් මෙගොඩ පිහිටි) ජාවක කෝට්ටේ නම් ස්ථානයේ දී ආර්ය චක්‍රවර්තීගේ සේනාවන් සමඟ බිහිසුණු සටනකට මුහුණදුන් කුමරු ඉන් ජයගෙන එක එල්ලේ ම යාපා පටුන වෙත ගියේ ය. එහි දී ඇති වූ සටනින් ආර්ය චක්‍රවර්තී මරණයට පත් වූ අතර යාපනය ප්‍රදේශයේ බලය නැවත කෝට්ටේ රජුට හිමි විය.

රජු විසින් අම්බුළුගල නම් කුමාරයා ජෝතිය සිටාණන් උඩරට ඇති කරන ලද කැරලි මැඩපැවැත්වීමට යැවූ අතර කුමරු විසින් සියලු කැරලි මර්ධනය කොට උඩරට ප්‍රදේශය ද කෝට්ටේ රජුට අවනත කරවා දුන්නේ ය. ඒත් සමඟ ලංකාද්වීපය ඒකඡත්‍ර වූ අතර එම අවස්ථාව වනාහී සිංහල රජෙකු යටතේ ලක්දිව එක්සත් වූ හත්වන අවස්ථාව මෙන් ම අවසන් අවස්ථාව ද විය. 6 පරාක්‍රමබාහු රජු ලක්දිව එක්සේසත් කළ අවසන් රජු ලෙස තම කීර්තිනාම ශරීරය මෙරටෙහි බැබළවී ය. ව්‍ය. ව. 1467 දී රජු පරලෝකප්‍රාප්ත වූ අතර ටික කලකින් රටෙහි එක්සත් භාවය නැති වී ගියේ ය.

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි.