මෙහි දී කෝපය නිසා, නොඉවසීම නිසා තමන්ට සිදුවෙන අවාසි, ආදීනව නුවණින් මෙනෙහි කිරීමත් – මෛත්‍රියෙහි, ඉවසීමෙහි ආනිශංස සිහිකිරීමත් ඉතා ප්‍රයෝජනවත් ය. අංගුත්තර නිකායට අයත් පඨම සහ දුතිය අක්ඛන්ති සූත්‍රවල දී නොඉවසීමේ, කෝප වීමේ ආදීනව භාග්‍යවතුන් වහන්සේ මෙසේ පෙන්වා දී තිබෙනවා.

■ බොහෝ ජනයාට අප්‍රිය අමනාප කෙනෙක් වෙනවා.

■ වෛරය බහුල කෙනෙක් බවට පත්වෙනවා.

■ වැරදි අඩුපාඩු බහුල කෙනෙක් වෙනවා.

■ පසුතැවීමට සිදුවෙනවා.

■ සිහි මුළා වී මරණයට පත් වෙනවා.

■ කය බිඳී මරණින් මතු අපාය, දුගතිය, විනිපාත නම් වූ නිරයෙහි උපදිනවා.

එමෙන් ම මෛත්‍රියෙහි, ඉවසීමෙහි ආනිශංස ද භාග්‍යවතුන් වහන්සේ මෙසේ පෙන්වා දී වදාළා.

■ බොහෝ ජනයාට ප්‍රියමනාප වෙයි.

■ වෛර බහුල කෙනෙක් නො වේ.

■ වැරදි අඩුපාඩු අඩු කෙනෙක් වේ.

■ පසුතැවීමට සිදු නොවෙයි.

■ සිහි මුළා නො වී මරණයට පත් වේ.

■ කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපදී.

එම නිසා මෙම කරුණු හොඳින් තේරුම් ගෙන කරණීයමෙත්ත සූත්‍රය, ඛන්ධ පිරිත වැනි පිරිත් අර්ථ මෙනෙහි කරමින් නිතර සජ්ඣායනා කරන්න. අන් අයගේ වැරදි – අඩුපාඩු මෙනෙහි නොකර ගුණ දකින, ගුණ මෙනෙහි කරන සත්පුරුෂ මානසිකත්වයක් ඇතිකර ගන්න උත්සහවත් වන්න.

මෛත්‍රී භාවනාවෙහි ආනිශංස ඉගෙනගෙන භාවනාවක් වශයෙන් ද මෛත්‍රිය පුරුදු කර ගන්න උනන්දු වෙන්න. එවිට තත්ත්වය බොහෝ යහපත් අතට හැරේවි.

අපහාස – චෝදනා ඉදිරියේ දී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ ඉවසීමත්, සත්‍යයත් තුළ පිහිටා එම වැරදි අඩුපාඩු තමන් තුළ තිබෙනවා ද නැද්ද කියා මෙනෙහි කර බලන ලෙසයි. එවිට එම චෝදනා අපහාස තමන්ට අදාළ නැත්තම් අතහැර දැමිය හැකියි. සාදාගත යුතු වරදක්, අඩුපාඩුවක් ඇත්නම් නිවැරදි කර ගත හැකියි.