කෙනෙකු ‘මා දැන් සෝතාපන්න ඵලයට පත් වී සිටිනවා’ යැයි කී පමණින් ඔහු සැබෑ ලෙස ම සෝවාන් වූ කෙනෙකු වශයෙන් පිළිගත නොහැකියි. ඇතැම් අය මාර්ග ඵලයකට පත්නොවී සිටියදී මගඵල ලැබූ කෙනෙකු ලෙස රැවටීමට පත්ව සිටින්න පුළුවනි. සමහර අය භාවනා කරමින් සිටින විට සිතේ ඇතිවෙන මායාකාරී ස්වභාවය තුළින් හටගන්න යම් යම් නිමිති ආදියට මුළා වී තමන් මාර්ගඵල ලැබූ කෙනෙකු වශයෙන් සිතයි. බුද්ධකාලයේ පවා ඇතැම් භික්ෂූන් වහන්සේලා මෙසේ අධිමානය තුළින් රැවටී සිටි බව සඳහන් වෙයි.

බුදුරජාණන් වහන්සේ වරක් මෙසේ වදාළ සේක. කෙනෙකුගේ සීලය දත යුත්තේ බොහෝ කලක් ඇසුරු කිරීමෙනි. එය ද දතහැකි වන්නේ නුවණින් මෙනෙහි කරන තැනැත්තාට යි.

කෙනෙකුගේ ප්‍රඥාව දැනගත යුත්තේ ඔහු සමඟ සාකච්ඡා කිරීමෙනි. කෙනෙකුගේ පිරිසිදු බව දත යුත්තේ ඔහුගේ වචනය තුළින් ය. කෙනෙකුගේ වීරිය තේරුම් ගත හැක්කේ විපතකට පත් වූ මොහොතකදී ඔහු ක්‍රියා කරන ආකාරයෙන් ය. එය ද දතහැකි වන්නේ නුවණින් මෙනෙහි කරන තැනැත්තාට යි යනුවෙනි. එම නිසා අපට එක එල්ලේ මාර්ගඵල ලැබූ අය හඳුනා ගැනීම දුෂ්කරය.

සෝතාපන්න ශ්‍රාවකයන් කොටස් තුනක් ඉන්නවා. ඒ තමයි ඒකබීජී හෙවත් එක ජීවිතයක් තුළ දුක අවසන් කරන තැනැත්තා, කෝලංකෝල හෙවත් ජීවිත දෙකක් හෝ තුනක් ඉපිද දුක් අවසන් කරන තැනැත්තා, සත්තක්ඛත්තුපරම හෙවත් ජීවිත සතක් ම දෙවියන් අතර සහ මිනිසුන් අතර ඉපදී දුක් අවසන් කරන තැනැත්තා වශයෙන්.