උගුලට හසු වූ විට මිය ගියා සේ නිදාගෙන සිටි මුවාගේ කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ,
කීකරුකම කියන්නේ ඉතාම උතුම් ගුණයක්. කීකරුකමත් සමග නිහතමානී බවත් ඇතිවෙනවා. අහිංසකකමකුත් ඇතිවෙනවා. ගුණධර්ම නිසා ම ආරක්ෂාවත් ඇතිවෙනවා. කීකරුකමේ වටිනාකම ගැන කියවෙන ඉතාම ලස්සන කථාවක් මේ ජාතකයට ඇතුළත් වෙන්නේ.

මේ සිදුවීම වුනේ අපේ භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර බදරිකාරාමයේ වැඩ වාසය කරද්දි. ඊට කලින් තවත් සිද්ධියක් වුනා. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ අළව් නුවර අග්ගාලව කියන චෛත්‍යස්ථානයේ වැඩ සිටියේ. ඒ කාලේ කාන්තාවන් උදෙසා දහම් දෙසුවේ දහවල් කාලයේ. භික්ෂුණීවරුත්, උපාසිකාවොත් ඇඳිරි වැටෙන්න කලින් බණ අහලා පිටත් වෙනවා. දවසක් භික්ෂුණීනුත් උපාසිකාවරුත් බණ අහලා ගියේ නෑ. භික්ෂූනුත් උපාසකවරුත් නැවතුනා.

එතැන් පටන් රාත්‍රී කාලයේ ධර්ම ශ්‍රවණය ආරම්භ වුනා. ධර්ම ශ්‍රවණය අවසන් වුනාට පස්සේ මහ තෙරුන් වහන්සේලා තම තමන් වාසය කරන කුටිවලට පිටත් වුනා. උපසම්පදාවෙන් නවක වූ භික්ෂූන් වහන්සේලාත්, බණ අසන්න පැමිණි උපාසකවරුත් උපස්ථාන සාලාවේ ම නිදාගත්තා. සැතපී සිටි නවක භික්ෂූන් අතර ඇතැම් භික්ෂූන් රෑ තිස්සේ නින්දෙන් ගෙරෙව්වා. දත් කූරු සැපුවා. සමහරු මොහොතක් නිදාගෙන ආයෙමත් වාඩිවුනා. මේ නවක භික්ෂූන් ගේ හැසිරීම ගැන උපාසකවරු භාග්‍යවතුන් වහන්සේට සැලකළා. එතකොට භාග්‍යවතුන් වහන්සේ සඟ පිරිස කැඳවා “යම් උපසපන් භික්ෂුවක් වනාහී උපසපන් නොවූ කෙනෙකුන් නිදන තැනක සැතපුනොත් පචිති ඇවතකි” වශයෙන් ශික්ෂාපදයක් පණවා වදාළා.

ඊට පස්සේ චාරිකාවේ වඩිමින් කොසඹෑ නුවර බදරිකාරාමයට වැඩම කළා. ඒ බදරිකාරාමයේ දී උපසම්පදා භික්ෂූන් ආයුෂ්මත් රාහුලයන් ව ඇමතුවා.

“ඇවැත් රාහුලයෙනි, ඔබ තවම උපසම්පදා භික්ෂුවක් නොවෙයි නේ. දැන් භාග්‍යවතුන් වහන්සේ උපසපන් නොවූ කෙනෙකුන් සමඟ එක ස්ථානයක සැතපෙන්න එපා කියල ශික්ෂාපදයක් පණවා වදාරලා තියෙනවා. ඒ නිසා තමන්ට වාසය කරන්නට වෙනම තැනක් හොයාගන්න හොඳේ” කියලා.

ඒ ශික්ෂාපදය පණවන්න කලින් අනෙක් භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඇති ආදර ගෞරවයත්, ආයුෂ්මත් රාහුලයන් තුළ ඇති අසාමාන්‍ය හික්මෙනු කැමති බවත් නිසා තමන් සිටින තැනම පොඩි ඇඳක් පනවනවා. හිසට කොට්ටයක් පිණිස සිවුරකුත් දෙනවා.

නමුත් එදා භාග්‍යවතුන් වහන්සේ පනවා වදාළ ශික්ෂාපදය රකිනු පිණිස ආයුෂ්මත් රාහුලයන් නිසාවත් භික්ෂූන් වහන්සේලා ලිහිල් බවක් දැක්වුවේ නෑ. රාහුල භද්‍රයනුත් ‘මාගේ පියාණෝ දසබලයන් වහන්සේ ය. මාගේ උපාධ්‍යායයෝ ධර්ම සේනාධිපතියාණෝය. මාගේ ගුරුවරයාණෝ මහමුගලන් මහා තෙරණුවෝ ය. මාගේ සුළුපියාණෝ ආනන්ද මහා තෙරපාණෝ ය’ කියලා හෝ උන්වහන්සේලා ළඟට වැඩියේ නෑ. සංඝයාට පනවන ලද ශික්ෂාපදය කෙරෙහි මහත් ගෞරවයෙන්, සංඝයාට පහසුව සැලසීම පිණිස තමන් රාත්‍රි නවතින්නේ කොහිද කියල කල්පනා කළා. රාහුලයන්ට සැතපෙන්න තැනක් නෑ. හැම කුටියකම උපසම්පදා භික්ෂූන් වැඩඉන්නවා. එතකොට රාහුලයන්ට ඈතින් කුඩා කුටියක් පෙනුනා. එතැනට වැඩියා. තිරය මෑත් කොට බැලුවා. ඒ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් තනවන ලද වැසිකිළිය යි! බ්‍රහ්මවිමානයකට වඩිනවා වගේ මහත් ගෞරවයෙන් ඒ වැසිකිළියට වැඩියා. හෙමිහිට පැත්තකින් වාඩිවුනා. දෑස පියාගෙන නිසොල්මනේ සැතපුනා. රාත්‍රිය පුරාවට ඒ වැසිකිළියේ පසෙකින් පහනකුත් දැල්වෙනවා.

අපගේ රාහුල භද්‍රයන්ගේ හික්මීම මහා පුදුම සහගතයි. උන්වහන්සේ ගේ අසාමාන්‍ය කීකරුකම ගැන ඇතැම් තෙරුන් වහන්සේලා විශ්වාස කළේ නෑ. ඒ නිසා ම ඒ ගැන විමසා බලන්න ඕනා කියලා හිතපු අවස්ථා තියෙනවා. රාහුලයන් ලස්සනට මිදුල අමදිනවා. එතකොට ඇතැම් භික්ෂූන් ඒ ඇමදපු මිදුලට කුණු රොඩු දමනවා. රාහුලයන් ළඟට ගිහින් මෙහෙම කියනවා.

“බලන්න රාහුලයෙනි…. අර…. හැබෑට කාගෙ වැඩ ද මේවා? කවුද මේ තැන් තැන්වල කුණුරොඩු දාලා තියෙන්නේ?”

එතකොට රාහුල භද්‍රයන් “අනේ ස්වාමීනී, මට සමාවෙන්න” කියල ආයෙමත් මිදුල අමදිනවා. ඒ කුණුරොඩු ඉවත් කරනවා. උන්වහන්සේගේ ශික්ෂා ගෞරවය නිසාමයි එදා ඒ වැසිකිළියේ රාත්‍රිය ගත කළේ.

භාග්‍යවතුන් වහන්සේ අරුණ නැගෙන්න කලින් වැසිකිළිය දොර ළඟට වැඩියා. උගුර පෑදුවා. එතකොට ඇතුලෙනුත් කෙනෙක් උගුර පෑදුවා.

“කවුද ඔය?”

“ස්වාමීනී…. මං මේ රාහුල” කියල එළියට ඇවිත් භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කළා.

“ඇයි රාහුලයෙනි…. මෙහෙද සැතපුනේ?”

“එහෙමයි ස්වාමීනී, මට සැතපෙන්න වෙන තැනක් සොයාගන්න අපහසු වුනා. කලින් නම් ස්වාමීන් වහන්සේලා මට ගොඩාක් උදව් කරනවා. දැන් ඇවැත් සිදුවෙයි කියන භය නිසා උන්වහන්සේලා වසන තැන මට අවසර දෙන්නෙ නෑ. ඉතින් මං උන්වහන්සේලාටත් පීඩාවක් නොවෙන්නයි මෙතැන සැතපුනේ.”

එදා භාග්‍යවතුන් වහන්සේ උදයේ ම භික්ෂු සංඝයා රැස් කරවා වදාළා.

“සාරිපුත්තයෙනි…. ඊයේ රාත්‍රියේ රාහුලයන් ගත කරලා තියෙන්නේ වැසිකිළියේ! සාරිපුත්තයෙනි, ඔබ රාහුලයන්වත් මෙබඳු අයුරින් අත්හරිනවා නම් අනිත් දරුවන් පැවිදි වුනාට පස්සේ මොකක්ද කරන්නේ? මහණෙනි, දැන් පටන් භික්ෂුවක් උපසපන් නොවූවන් සමඟ එක් ස්ථානයක දවසක් දෙකක් වාසය කරන්න අවසර දෙමි. තුන්වෙනි දවසේ ඒ උපසපන් නොවූ අයව බාහිර වෙනත් තැනක වාසය කරවිය යුතුයි” කියල කලින් පැණවූ ශික්ෂාපදයට තව කොටසක් එක් කොට වදාළා.

එදා සවස දම්සභා මණ්ඩපයට රැස්වූ භික්ෂූන් වහන්සේලා රාහුල භද්‍රයන් ගේ මේ විස්මිත ගුණධර්ම ගැන කතා කරමින් හිටියා.

“හප්පේ…. හරී පුදුමයි ඇවැත්නි, පුදුමාකාර හික්මීමක් නොවැ මේ අපගේ රාහුලයන් තුළ තියෙන්නේ. වැඩිහිටි තෙරවරුන් ඔබ සැතපෙන්න තැනක් හොයා ගන්න කියල රාහුලයන්ට කිව්වා. නිශ්ශබ්දව හිස නමා ඒ අදහසට කීකරු වුනා. කාටවත් ම පැමිණිලි කළේ නෑ. කා ගැනවත් අපැහැදුනෙත් නෑ. නිශ්ශබ්දව අහිංසකව වැසිකිළියට ගිහින් රාත්‍රිය ගත කළා…. මේක නම් මහා ආශ්චර්යයක්!”

භාග්‍යවතුන් වහන්සේට මේ කතාව අසන්න ලැබුනා.

“මහණෙනි, රාහුලයන් ගේ තියෙන හික්මෙන්න කැමති බව දැන් විතරක්, මේ ආත්මේ විතරක් තියෙන එකක් නොවේ. කලින් තිරිසන් ආත්මෙක ඉපදිච්ච කාලෙත් ඔය විදිහට ම හික්මෙන්න කැමති වුනා.

එතකොට භික්ෂූන් වහන්සේලා රාහුලයන් ගැන ඒ අතීත කතාව කියාදෙන්න කියලා භාග්‍යවතුන් වහන්සේට ආයාචනා කළා.

“මහණෙනි, ගොඩාක් ඈත අතීතයේ මගධ රටේ එක්තරා රජෙක් වාසය කළා. ඒ කාලේ බෝධිසත්වයෝ මුව යෝනියෙහි ඉපදිලා හිටියේ. ඒ මුවා මහා මුව රංචුවක් සමඟ වනාන්තරේ වාසය කළා. ඒ මුවාගේ සහෝදර මුව දෙනකට පැටියෙක් ලැබුනා.

දවසක් ඒ මුව දෙන තමන් ගේ පුත්‍ර මුවා බෝසත් මුවා ළඟට කැඳවාගෙන ආවා.

“අයියණ්ඩී…. මේ ඉන්නේ ඔබේ බෑණා කෙනෙක්. මෙයාටත් මුව මායම් උගන්නලා දෙන්න.”

“හොඳයි… දැන් පලයන් පුතේ…. අසවල් වෙලාවට වරෙන්. ඇවිත් හොඳින් ඉගෙන ගනින්.”

ඉතින් ඒ තරුණ මුවා කියපු වෙලාව නොවරදවා ප්‍රධාන මුවා ළඟට යනවා. ගිහින් මුව මායම් ඉගෙන ගත්තා. දවසක් ඒ මුවා වනාන්තරේ සැරිසරද්දී උගුලට අසුවුනා. මහා හඬින් කෑගැසුවා. මුව රංචුව පලාගියා. පුත්‍රයා උගුලකට හසුවුනා කියලා මව් මුවදෙනට දැනුම් දුන්නා. එතකොට ඈ සහෝදර බෝසත් මුවා ළඟට හඬාගෙන ගියා.

“අයියණ්ඩි…. ඔබේ බෑණාට මුව මායම් ඉගැන්නුවා නේද?”

“නුඹේ පුත්‍රයා ගැන කිසිම සැකයක් ඇති කරගන්ට එපා. ඒකා හරි අගේට මගෙන් මුව මායම් ඉගෙන ගත්තා. බලාපන් කෝ….. තව ටිකකින් හිනහවෙවී මෙතෙන්ට දුවගෙන ඒවි.”

ඉතින් ඒ මුව පැටියත් පා සතරේ කුරවලින් හොඳ හැටියට පොළොව පහුරු ගැහැව්වා. එක පැත්තකට පා සතරම දමාගත්තා. දිව ඉදිරියට නෙරා ගත්තා. මල මූත්‍රා පහකරගත්තා. හුස්ම ඉහලට අරගෙන තදකොට බඩ පුම්බා ගත්තා. කටින් කෙළ වැගිරෙව්වා. කෙළත් මලමූත්‍රාත් වැගිරුන නිසා නිල මැස්සන් පිරුනා. කපුටොත් ටික ටික වට වෙවී හිටියා.

උගුල අටවපු වැද්දා ආවා. මුවාගේ බඩට අතින් තට්ටු කළා. ‘මේ මුවා වේලාසනින් අහුවෙලා වගෙයි. නරක් වෙන්නත් ඇවිල්ල වත්ද?’ කියල උගුල් ගැටේ ලෙහුවා. මෙතන ම කපලා මස් කරලා ගෙනියන්න ඕනා කියලා කොළ අතු ටිකක් කඩා ගන්න නැගිටලා ගියා. එතකොට ම මුවපැටියා නැගිට්ටා. සතර පයින් සිටගත්තා. ගෙල හරවා බැලුවා. විදුලි වේගයෙන් වනයට වැදී නොපෙනී ගියා. මව් මුව දෙන ළඟට දුවගෙන ආවා.

මහණෙනි, ඕන්න ඔහොමයි එදා මුව පැටියා මුව මායම් දක්වල බේරුනේ. රාහුල ඉස්සරත් කීකරුයි. හික්මෙන්න කැමතියි. ඒ ආත්මේ මට බෑණා වූ මුව පැටියා වුනේ රාහුලයන්. ඒ මුව පැටියා ගේ මව් මුවදෙන වුනේ උප්පලවණ්ණා. ප්‍රධාන මුවා වුනේ මම යි.”

පින්වතුනේ, පින්වත් දරුවනේ,
මේ ජාතක කතාවෙන් නිසි ලෙස ශිල්ප ඉගෙන ගැනීමේ වටිනාකම ඉතාම හොඳින් පෙන්නා දෙනවා. ඕනෑම යහපත් දෙයක් හොඳින් ඉගෙන ගත් විට ඒ තුලින් ඉතා වටිනා ප්‍රයෝජන ලබන්න පුළුවනි. අප ගේ භාග්‍යවතුන් වහන්සේ ගේ කාලේ බොහෝ රහතන් වහන්සේලා මගඵල ලාභීන් බිහිවුනේ නිහතමානීව ප්‍රතිපදාවට කීකරුව කටයුතු කිරීමට කැමැතිව මැනැවින් හික්මුනු අය තුලින් ම යි.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ