මේ සඳහා ඉතා හොඳ අනුශාසනාවක් සංඛධම නම් සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ විසින් සිදු කොට තිබෙනවා. එහිදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ තමා අතින් අතීතයේ සිදු වූ අකුසල් ගැන පසුතැවිලි නොවී, වරද වරද වශයෙන් දැක වර්තමානයත් අනාගතයත් නිවැරදි කර ගන්නා ලෙසයි. එසේ යහපත් ලෙස සීලයේ පිහිටා මෛත්‍රිය ආදී සතර බ්‍රහ්ම විහරණ දියුණු කරගන්න උනන්දු විය යුතු බව අපගේ ශාසතෘන් වහන්සේ විසින් පෙන්වා දී තිබෙනවා. එවිට කුසල් ශක්තිය දියුණු කරගෙන අතීත අකුසල් මැඩ පැවැත්විය හැකියි. (යං ච පාපං කතං කම්මං කුසලේන පිථියති) එමෙන්ම අතීත අකුසල් ගැන පසුතැවිලි නොවී, කුසල් දහම් දියුණු කර ගැනීම පිණිස අංගුලිමාල මහරහතන් වහන්සේ, අම්බපාලී රහත් තෙරණිය ආදී උතුම් චරිතාපදාන අපට පරමාදර්ශයන් බවට පත්කරගත හැකියි. අතීත අකුසල් ගැන පසු නොතැවී කුසල් දහම් දියුණු කර ගන්නා ආකාරය ගැන සවිස්තරව කරුණු දැනගැනීම පිණිස සංයුත්ත නිකායේ සංඛධම සූත්‍රය කියවන්න.