පින අනුමෝදන් වීම යනු තමන් ද එම පිනෙහි කොටස්කාරයෙක් වී තමන් ද සැපයට පත් වීමකි. අන් අය කරන දානමය පිනක් අනුමෝදන් වීම තුළ තමාට යහපත උදාවෙන අයුරු “කාලදාන” නම් සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ මෙසේ පෙන්වා වදාළා.

“නුවණින් යුතු පුද්ගලයෝ දානයෙහි අනුසස් දැන මසුරු මළ බැහැර කොට සුදුසු කාලයෙහි දන් දෙති. අටලෝ දහමින් කම්පා නොවන ගුණ ඇති, සෘජු මගෙහි බැසගත් ආර්යයන් වහන්සේලා කෙරෙහි නිසි කල්හී පහන් සිතින් පුදන දානයක් වෙයි ද, ඔහුගේ ඒ දක්ෂිණාව මහත්ඵල ලබාදෙයි. එහිදී යම් කෙනෙක් ඒ දානය අනුමෝදන් වෙත් ද, වතාවත් හෝ කරත් ද, ඔවුන්ටත් දක්ෂිණාව අඩු නොවෙයි. ඔවුහු ද පිනෙහි කොටස් කරුවෝ වෙති. එහෙයින් යම් පිරිසක් කෙරෙහි දුන් දානය මහත්ඵල ලැබ දෙයි ද, එහිලා නොපැකිළුණු සිත් ඇතිව දන් දිය යුත්තේ ය. සත්වයන් හට පරලොවෙහි දී පිහිට වන්නේ පිනයි.”

වරක් විශාඛා උපාසිකාවගේ මිතුරියක්, විශාඛාවන් සිදු කළ පූර්වාරාම පූජාව හදවතින් ම අනුමෝදන් වූවා. එම පුණ්‍යානුමෝදනාව නිසා එම මිතුරියන් මරණින් මතු තව්තිසා දෙව්ලොව දිව්‍යාංගනාවක් ව උපත ලැබුවා. එමෙන්ම කොසොල් රජතුමාගේ අසදෘශ දානය අනුමෝදන් වූ ඇමතිවරයෙක් ම එහි ආනිශංස දිට්ඨධම්මවේදනීයව ලබමින් තනතුරින් ද උසස් වීම් ලැබ උතුම් සෝතාපන්න ඵලයත් සාක්ෂාත් කළා. එම නිසා අන් අය කරන යහපත් ක්‍රියාවන් අනුමෝදන් වීම තමාටත් සෙත සලසනවා. එමෙන්ම අන් අය සිදු කරන පුණ්‍ය ක්‍රියාවන් අනුමෝදන් වීමට සිතෙහි ඇති වන අකැමැත්ත අකුසලයක් බවත් ඉන් දුක් විපාක උපදින බවත් අප තේරුම් ගත යුතු වෙනවා.