පිරිසක් අතර වාසය කරන විට සමඟිය වර්ධනය වීම පිණිස මහෝපකාරී වන කරුණු හයක් කෝසම්බිය නම් සූත්‍ර දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ මෙසේ පෙන්වා වදාළා. “කරුණු හයක් තියෙනවා ඒවා නිතරම සිහි කරන්න ඕනෑ. ඒ තුළින් එකිනෙකාට ප්‍රියමනාප බව ඇති වෙනවා. ගෞරවය ඇති කරලා දෙනවා. යහපත ඇති කරලා දෙනවා. වාද – විවාද හටගන්නේ නෑ. සමඟිය ඇති කරලා දෙනවා. එකට ඉන්න මඟ සලසා දෙනවා. ඒ කරුණු හය මොනවා ද?

තමන් ඉදිරියේ හිටියත් නැතත් එකට වාසය කරන පිරිස කෙරෙහි, මෛත්‍රී සහගත කායික ක්‍රියා පිහිටලා තියෙන්න ඕනෑ.

තමන් ඉදිරියේ හිටියත් නැතත්, එකට වාසය කරන පිරිස කෙරෙහි, මෛත්‍රී සහගත වචන භාවිතා කිරීම පිහිටලා තියෙන්න ඕනෑ.

එකට වාසය කරන පිරිස කෙරෙහි, මෛත්‍රී සහගත සිතිවිලි පිහිටලා තියෙන්න ඕනෑ.

ධාර්මිකව තමන්ට ලැබෙන ආහාර පාන ආදී ලාභයන් එකට වාසය කරන පිරිස අතරේ බෙදා හදාගෙන පරිහරණය කරන්න ඕනෑ.

එකට වාසය කරන පිරිස තමන් ඉදිරියේ හිටියත් නැතත් සිල්පද මනාව රකිමින් සීලසම්පත්තියෙන් සමාන වෙන්න ඕනෑ.

ධර්ම මාර්ගයේ හැසිරෙමින් ධර්මාවබෝධ කරන අරමුණු එකට වාසය කරන පිරිස ඉදිරියේ හිටියත් නැතත් තිබෙන්නට ඕනෑ.