අන්ධූපම නම් සූත්‍ර දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ වදාළේ ගිහි ජීවිතය ගත කරන ශ්‍රාවකයින්, ඇස් දෙක ම පෙනෙන අය හෙවත් ආර්ථික දියුණුවත්, ආධ්‍යාත්මික දියුණුවත් සලකාගෙන මෙලොව පරලොව දෙලොව ම ජයගත යුතු බවයි. ආර්ථික දියුණුව ඇතිකරගෙන ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීමට ඉවහල වන කරුණු 4ක් භාග්‍යවතුන් වහන්සේ දීඝජානු නම් තරුණයාට මෙසේ දේශනා කොට තිබෙනවා.

01. උට්ඨාන සම්පදා – නුවණින් යුක්තව නැඟී සිටින්න ඕනෑ.

තමන් ධාර්මික රැකියාවක් හෝ ව්‍යාපාර කටයුත්තක් සිදු කරද්දී එය සාර්ථක කර ගැනීම පිණිස නුවණින් යුක්තව නැඟී සිටින වීරිය ඇති කර ගන්න අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ උට්ඨාන සම්පදාව විස්තර කොට ඇත්තේ මෙලෙසයි. රැකියාව ගැන දක්ෂ වෙන්න ඕනෑ (තත්ථ දක්ඛෝ හෝති). කම්මැලි නැති වෙන්න ඕනෑ (අනලසෝ). උපායශීලී නුවණින් යුක්ත වෙන්න ඕනෑ (තත්‍රෑපායාය වීමංසාය සමන්නාගතෝ). ඒ ගැන මනා කළමනාකරණයක යෙදෙන්න ඕනෑ (අලං කාතුං අලං සංවිධාතුං).

2. ආරක්ඛ සම්පදා – ඉපැයූ දේ රැකගැනීම.

නැඟී සිටි වීරියෙන් යුක්තව ඉපැයූ (උට්ඨානවීරියාධිගතා), අතේ පයේ මහන්සියෙන් හම්බ කළ (බාහාබලපරිචිතා), දහඩිය වගුරුවා හම්බ කළ (සේදාවක්ඛිත්තා), ධාර්මිකව උපයන ලද (ධම්මිකා ධම්මලද්ධා) භෝග සම්පත් ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන්න ඕනෑ. එනම් තමන්ගේ භෝග සම්පත් රාජ සන්තක නොවෙන්නට, සොරුන් විසින් පැහැර නොගන්නට, ගින්නෙන් නොදැවෙන්නට, ජලයට ගසාගෙන නොයන්නට, අප්‍රිය වූ ඥාතීන් අතට පත් වී විනාශ නොවෙන්නට අවශ්‍ය කරන පිළියම් යොදන්නට දක්ෂ වෙන්න ඕනෑ.

3. කල්‍යාණමිත්තතා – කලණමිතුරන් ඇසුරු කිරීම.

ශ්‍රද්ධා සම්පන්න, සීල සම්පන්න, ත්‍යාගවන්ත, ප්‍රඥාවන්ත කලණමිතුරන් ඇසුරු කිරීම ලෞකික ජීවිතය සාර්ථක කර ගන්නට හේතු වන තුන්වෙනි කරුණයි.

4. සමජීවිකතා – ආදායමට ගැළපෙන විදියට වියදම් කිරීම.

තමන් විසින් උපයන ලද ආදායම දැනගෙන (ආයඤ්ච භෝගානං විදිත්වා), තමන් විසින් කළ යුතු වියදම ද දැනගෙන (වයඤ්ච භෝගානාං විදිත්වා), ‘මේ අයුරින් කටයුතු කළොත් මාගේ වියදම ඉක්මවා ආදායම පවතිනවා’ (ඒවං මේ ආයෝ වයං පරියාදාය ඨස්සති), ‘මාගේ වියදම ආදායම ඉක්මවා පවතින්නේ නැහැ’ (න ච මේ වයෝ ආයං පරියාදාය ඨස්සති), කියා දැනගෙන ආදායමට නොගැළපෙන ආකාරයෙන් වඩා උසස් නොවූත්, වඩා හීන නොවූත් සමබර ජීවිතයක් ගත කරනවා (සමං ජීවිකං කප්පේති නාච්චෝගාළ්හං නාතිහීනං).

ඉන් පසු බුදුරජාණන් වහන්සේ වදාළා මේ අයුරින් උපයාගන්නා භවභෝග සම්පත් විනාශයට පත්වෙන මාර්ග හතරකින් වැළකිය යුතු බව, එනම් සල්ලාලකම (ඉත්ථිධුත්තෝ), බේබදුකම (සුරාධුත්තෝ), සූදුව (අක්ඛධුත්තෝ), පාප මිතුරු ඇසුර (පාපමිත්තෝ) යන කරුණුවලින් වැළකී ආර්ථික දියුණුව ස්ථාවර කරගෙන මෙලොව ජීවිතය යහපත් කර ගත යුතුයි. මෙලෙසින් ආර්ථික දියුණුව ඇති කර ගන්නා අතර ම ශ්‍රද්ධා, ශීල, සුත, ත්‍යාග, ප්‍රඥා යන සේඛ බල ධර්මයන් දියුණු කර ගනිමින් ධර්ම මාර්ගයේ හැසිරී අධ්‍යාත්මික දියුණුව සලසාගෙන පරලොව ජීවිතය ද සාර්ථක කර ගන්නට පුළුවනි.