විවාහ ජීවිත අසාර්ථක වීම්, පවුල් දෙදරා යාම්, දික්කසාදය වර්තමානයේ දැක ගත හැකි සුලභ සිදුවීම් බවට පත් වී තිබේ. විවාහ වී සතියක් දෙකක් ගත වන විට ආදරය අතුරුදහන් වී, රණ්ඩු සරුවල්වීම්, බහින්බස් වීම් ය. සමහර අවස්ථාවන්හි දී වසර ගණන් ආදරය කර විවාහ වන දෙදෙනා විවාහ වූ පසු යක්ෂයන්, යක්ෂණියන් වැනි ය. මේ සියල්ල අවසානයේ දී කෙළවර වන්නේ දික්කසාදයෙනි. නැකැත්, නිමිති, කේන්දර බලා විවාහ වන මොවුන්ට මෙසේ සිදු වී ඇත්තේ මන්ද? නැකැත් හරි නම්, කේන්දරත් ගැළපේ නම්, එසේ සිදු වූයේ කුමක් නිසා ද? අහෝ එසේ සිදු වූයේ ගුණධර්ම නැති නිසා නො වේ ද? ගුණධර්මයන්ගේ පිරිහීම නිසා නො වේ ද?

ගුණධර්මයන් නැති පිළුණු වූ මිනිසුන්ගේ ජීවිතවල කුමන විදියේ සාර්ථකත්වයක් ද? ගුණධර්මයන්ගෙන් හීන වූවන්ගේ ජීවිතවල කුමන නම් සාර්ථකත්වයක් ද? භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධානුභාවය රැඳුණු ලංකා ධරණීතලයට මෙසේ වුණේ මිනිසුන්ගේ ගුණධර්ම පිරිහීම නිසා නො වේ ද?

කාලිංග මාඝ විසින් හඳුන්වා දුන් හින්දු ඇදහිලි විශ්වාස වැළඳ ගනිමින්, බටහිර සංස්කෘතියට අනුව ජීවත් වීමට පුරුදු වුණ බෞද්ධයා සිදු කළේ කුමක්ද? තමාට තේරෙන වයසේ දී ම ගුණධර්මයන් නැති කරගෙන, බඹසර නැති කරගෙන, දරුණු කාමයන් පසු පස ගොස්, කෙටියෙන් ම කිවහොත් හැකි තරම් පංච කාමයන්ගෙන් ඉඳුරන් පිනව පිනවා සිට අවසානයේ දී නැකැත් නිමිති බලා, කේන්දර ද ගළපා විවාහ වීම නො වේ ද? ඔවුන්ගේ ජීවිතවල කුමන විදියේ සාර්ථකත්වයක් බලාපොරොත්තු වන්න ද? එවිට ඔවුන් කරනුයේ දේවාලයකට ගොඩ වී යක්ෂයන්ගෙන්, අමනුෂ්‍යයන්ගෙන් පිහිට පිළිසරණ පැතීම නො වේ ද? එවැනි අයගෙන් කීයෙන් කීදෙනෙක්ට නම් උතුම් තිසරණය සිහි වේ ද? උතුම් තිසරණ සරණ ගොස් ගුණධර්ම දියුණු කර ගැනීමට සිතනුයේ ඉතා සුළු පිරිසක් නො වේ ද?

මොහොතක් සිතන්න. ගුණ දහමින් පෝෂණය වී, තුනුරුවන් සරණ ගිය කුමර, කුමරියන්ට පනවා වදාළ උතුම් බඹසර සීලය ආරක්ෂා කරමින් සිටි යුවළක් විවාහ වූ විට ඔවුන්ගේ විවාහ ජීවිත මොනතරම් සුන්දර වේවි ද! ඔවුන් බැලූ නැකැතක් ද නැත. නමුත් ඔවුන්ගේ ජීවිත අසාර්ථක ද නැත. ඔවුන්ගේ පවුල් ජීවිතය තුළ ආදරය රඳා පවතී. ඔවුන්ට ප්‍රශ්න ආව ද ඒවා යහපත් ආකාරයට විසඳා ගත හැකි ය. දෙවියන්ගේ ආශීර්වාදය, රැකවරණය එවැනි පුද්ගලයන් හට නිරතුරුව ම ලැබේ. එවැනි පවුල් දෙදරා යන්නේ ද නැත. ගුණධර්මයන්ගෙන් පිරුණු අයට නැකැත් අවශ්‍ය ද? නැත. කේන්දර අවශ්‍ය ද? නැත. නැකැත්, නිමිති, කේන්දර වැළඳ ගනුයේ ගුණධර්ම නොමැති බාල මිනිසුන් නො වේ ද?
විවාහ ජීවිතයක් සාර්ථක කර ගැනීමට නම්…

විවාහ ජීවිතයේ සාර්ථකත්වයට අත්‍යවශ්‍ය ම දේ වන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් මහා කරුණාවෙන් යුතුව පනවා වදාළ උතුම් බඹසර තුනුරුවන් සරණ ගිය කුමර කුමරියන් විසින් විවාහ වන මොහොත දක්වා ම ආරක්ෂා කර තිබීම යි.

මොකක්ද මේ බඹසර කියන්නේ?

බඹසර යනු බ්‍රහ්මචාරී බවයි. බ්‍රහ්මචාරී බව යනු ළාමක මෛථුන සේවනයෙන් වැළකී සිටීම යි. ඒ වගේ ම පිරිසිදු බඹසර කියන්නේ සියලු ම ලිංගික කටයුතුවලින් වැළකීමටයි. සියලු ම ලිංගික කටයුතුවලින් වැළකීම යැයි යමක් ඇද්ද එය උතුම් ම සීලයකි. බඹසර යනු අප භාග්‍යවතුන් වහන්සේගේ හද මඬලින් උපන්නා වූ මහරහතන් වහන්සේලා ප්‍රධාන ආර්ය මහා සඟ පරපුර දිවි ඇති තෙක් ආරක්ෂා කළ සීලය යි. ඒ උතුමන් වහන්සේලා දිවි ඇති තෙක් ආරක්ෂා කළ එම උතුම් සීලය අපට ආරක්ෂා කිරීමට ඇත්තේ විවාහ වන මොහොත දක්වා පමණි. සිතන්න. ඔබ දැනට විවාහ නො වූ අයෙක් නම් ඔබට මේ සීලය ආරක්ෂා කිරීමට ඇත්තේ තව සුළු කාලයක් නො වේ ද?

බඹසර නැති වුණා ම විවාහ ජීවිත අවුල් වෙන්නේ කොහොමද?

අතීතයේ පටන් පැවත ආ සිංහල බෞද්ධ සිරිත් විරිත් චාරිත්‍රවලට අනුව විවාහයක් සම්පූර්ණ වූයේ නීතියෙන් පමණක් එක් වීමෙන් නොව, ගුණධර්ම ද සම්පූර්ණ වීමෙන් අනතුරුවයි. සම්ප්‍රදානුකූල ව විවාහයේ දී ප්‍රධාන තැනක් ගනු ලැබුවේ පෝරුවේ චාරිත්‍ර යි. විවාහ වීමට පෝරුවට නඟින තුරු ම ඔවුන් දෙදෙනා කුමරෙක් හා කුමරියක් විය යුතු ය. විවාහ වන දෙදෙනා පෝරුවට ගොඩ වුණ පසු අෂ්ඨක කියනු ලබයි. මොනවද මේ අෂ්ඨක කියන්නේ? අෂ්ඨක යනු අපගේ ශාස්තෘන් වහන්සේ බෝසත් අවධිය තුළ පවත්වන ලද නොකිලිටි ආදරයේ සුන්දර මතකයන් අවදි කිරීම යි. එම ගුණ ගායනා කිරීමෙන් බලාපොරොත්තු වන්නේ එම බෝසත් ආදර කතාව ශ්‍රවණය කරන්නට පැමිණෙන දෙවිවරුන්ගේ ආශීර්වාදය නව යුවළට ලබා දීම යි.

අප බෝසතාණන් වහන්සේගේ ගුණ අසන්නට පැමිණෙන දෙවිවරු අලුත විවාහ දිවියට පා තබන ඔවුන් හට ආශීර්වාද කරනු ලබයි. ස්ත්‍රියක් නම් විවාහ වන මොහොත දක්වා ම කිසිදු ලිංගික හැසිරීමක නොයෙදී ඇත්නම්, පුරුෂයා ද කිසිදු ලිංගික හැසිරීමක නොයෙදී ඇත්නම්, එම දෙදෙනාට දෙවිවරු ආශීර්වාද කරනු ලබයි. දෙවිවරු ඔවුන් ව ආරක්ෂා කරනු ලබයි. ඔවුන්ගේ ජීවිතවලට ගැටලු මතු වූ විට ඒවා යහපත් ආකාරයට විසඳා ගැනීමට උපකාර කරයි. ඔවුන්ට ධර්මයේ හැසිරී පින් දහම් රැස්කර ගැනීමට දෙවියන්ගේ ආශීර්වාදය නිරතුරුවම ලැබේ. මෙවැනි දෙදෙනෙකුට ඇති ප්‍රධානතම ලාභය වන්නේ පින්වන්ත දරු සම්පත් ලැබීමයි. යහපත් දිවි පැවැත්ම නිසා ම ඔවුන්ට හිමි වන්නේ පින්වන්ත දරුවන් ය. ඒ ඔවුන් දෙවියන්ගේ ආශීර්වාදය, රැකවරණය නොඅඩුව ලැබෙන බඹසර සීලය රැක ගැනීමෙන් රැස් කර ගත් පින නිසා ම ය.

සිතන්න, වර්තමානයේ සිදුවන්නේ පිරිසිදු වූ අයගේ විවාහ ද? අපිරිසිදු වූවන්ගේ විවාහයන් ද? පෝරුවට නගින දෙදෙනා විවාහයට කලින් ම බඹසර නැති කරගෙන තිබේ නම් ඔවුන්ගේ ජීවිතවලට අනාගතයේ කුමක් නම් සිදු වේ ද? මෙවැනි දෙදෙනෙකු විවාහ වන්නේ තරු පන්තියේ හෝටලයක ඉතා ඉහළින් විශාල ධනයක් විය පැහැදම් කර විවාහ මංගල උත්සවය ගනිමින් විය හැකි ය. එහෙත් පෝරුවට නගින්නේ පිළුණු වූ දෙදෙනෙක් නම්, බඹසර නැති අපිරිසිදු දෙදෙනෙක් නම් ඔවුන්ගේ ජීවිතවල කවර නම් සාර්ථකත්වයක් ද? බෝසතාණන් වහන්සේගේ නොකිලිටි ආදර කතාවේ ගුණ ඇසීමට එන දෙවිවරු ඔවුන්ට ආශීර්වාද කරාවි ද? එසේ වූ විට දෙවිවරුන්ගේ ශාපය හැර අන් කවරක් ඔවුන්ට හිමි වන්නේ ද? ඔවුන්ට දෙවිවරුන්ගේ ආශීර්වාදය, රැකවරණය නැත. ඔවුන්ගේ ජීවිතවලට ප්‍රශ්න ආ විට ඒවා විසඳා ගැනීම ඉතා අපහසු ය. ඔවුන්ගේ ජීවිත අවුල් ජාලාවකි. විවාහ වූ දෙදෙනෙකුට ඇති උතුම් ම ලාභය වන පින්වන්ත දරු සම්පත ඔවුන්ට අහිමි ය. ප්‍රශ්න ආ විට ඒවා විසඳා ගැනීමට දෙවියන්ගේ ආශීර්වාදය ද ඔවුන්ට නැත. ඔවුන් ව ඒ තැනට ඇද දැමුවේ ගිනි ගන්නා රාගය නො වේ ද? කාම ආශාවන් නිසා නො වේ ද? අහෝ ඒ දරුණු රාගයට, කාමයට නින්දා වේවා!

ධම්මපදයේ ඇති ගාථා රත්නයට අනුව, “තමාගේ යහපත පිණිස යම් ක්‍රියාවක් පවතී ද එය කිරීමට ඉතා ම අපහසු ය. තමාට අයහපත පිණිස යම් ක්‍රියාවක් ඇද්ද, එය කිරීමට ඉතාමත් පහසු ය.”

වර්තමානයේ බොහෝ දෙනෙකු තමාගේ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා යහපත් දේ කිරීමට පොහොසත් වී නැත. බොහෝ දෙනෙකු ජංගම දුරකථන, පරිගනක, සමාජ ශාලා, වෙබ් අඩවි භාවිත කරමින් දුවන්නේ කාමයන් පසුපස නො වේ ද? කවදා ඔවුන් මේ පැසෙමින් ඔඩු දුවන කාමයන් අතහැර බඹසර නම් සොඳුරු වස්ත්‍රය ගත දවටා ගන්න ද?

සමහරු කියන්නේ බඹසර රකින්නට බැරි දෙයක් කියා යි. බඹසර බොරුවක් කියා යි. ඒක කාටවත් රකින්න බෑ කියා යි. එහෙත් ඒ උතුම් බඹසර නො වේ ද අප භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන මහ රහත් සඟ පරපුර ආරක්ෂා කළේ. විවාහ වනතුරුවත් එම උතුම් බඹසර රකින්නට වීරිය නොකරන්නේ නම් එය අපගේ ජීවිත තුළ ඇති ඉතා ළාමක ස්වභාවයක් නොවේ ද?

සමහරුන්ට හිතෙන දෙයක් නම්, ‘මම කොහොමද බඹසර රකින්නේ? මගේ හිතට රාග අදහස්, කාම අදහස් එනවා නේ ද?’ යන්නයි. ඒ වෙලාවට විශ්වාස කරන්න ඕන තමන්ගේ හිත නොව ධර්මය යි. ධර්මය හැර අන් පිළිසරණක් කොහෙන් ද අපට? ධර්මයෙන් ම ය රාගය සන්සිඳුවන ඖෂධ ලබා දෙන්නේ. නින්දා ලබන රාගය සන්සිඳුවා ගැනීමට ඇති එක ම ඖෂධය බඹසර යි.

බඹසර කියන්නේ තුන්ලොව සසල කළ හැකි අද්භූත ගුණයකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් බ්‍රහ්මචාරී බව කියන්නේ පිරිසිදු නිවන් මගටයි. අතීතයේ උපන් දා සිට බඹසර රකින තාපසයෙක් ගැන ශක්‍ර දේවේන්ද්‍රයා පවා බිය වූ විස්තර ජාතක කතාවලින් තොරතුරු ලැබේ. සමහර ජාතක කතාවල දෙව්ලොව පවා සලිත කළ ඒ උතුම් සීලය දෙදරවන්නට දිව්‍ය අප්සරාවන් පවා මනුලොවට එවූ බව විස්තර වේ.

කිසියම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් බඹසර රකිනවා නම් එහි ආනිශංස ලෙස ලැබෙන්නේ සාර්ථක විවාහ ජීවිතයක් පමණක් නොවේ, ආනිශංස බොහෝ තිබේ. මනාව බඹසර රකිනවා යනු පිරිමියෙකු සමඟ හෝ ස්ත්‍රියක සමඟ අඹුසැමි ඇසුරක් නොපැවැත්වීම, ස්වයං වින්දනයේ නොයෙදීම, කාන්තාවකගේ හෝ පුරුෂයෙකුගේ ශරීරය රාග සිතින් ස්පර්ශ නොකිරීම, රාගයෙන් මත් වූ යුවළක් සේ රාගය මිශ්‍ර වූ වචන ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් සමඟ කතා නොකිරීම, අසභ්‍ය චිත්‍රපට නැරඹීමට යොමු නොවීම, හුදෙක් කෙටියෙන් ම කිවහොත් සියලු ලිංගික කටයුතුවලින් වැළකීම යි. බුද්ධ දේශනාවන්ට අනුව තිරිසන් සතෙකු සමඟ හෝ මුඛය, ගුද මාර්ගය, යෝනි මාර්ගය යන මාර්ගවලින් කාම සේවනය සිදු වේ නම් බඹසර නැති වේ. සාර්ථක විවාහ ජීවිතයකට අමතරව පිරිසිදු බඹසර රැකීමේ ආනිශංස ලෙස ඛුද්දක නිකාය අට්ඨකතාවේ දස සික්ඛාවල මෙසේ සඳහන් වෙයි.

1. පහ වූ සතුරන් ඇති බව (සතුරන් අඩු බව)

2. ඕනෑම ජීවිතයක දී ආහාරපාන වස්ත්‍ර, ඉඳුම් හිටුම්, නවාතැන්, බේත් හේත් වරදින්නේ නැතුව ලැබීම.

3. සුවසේ සැතපීම (හීනෙන් කය පරිහරණය කරන අමනුෂ්‍යයන්ට හසු වන්නේ නැත. සිහිනයෙන් ධාතු පිටවීම නම් රෝගයක් වේ ද එය නැති වෙයි. සුව සේ නින්ද යාම, වරින් වර අවදි නොවීම, කුණු කෙළ පෙරීම, ගෙරවීම, දත් කූරු ගෑම ආදිය නැති වීම සිදු වෙයි)

4. සුව සේ අවදි වීම (වස්ත්‍ර ලිහිල් නොවී නිදාගත් පරිදි ම තිබීම, කබ, කඳුළු පිරී විරූපී ස්වරූපයක් නොවීම, ප්‍රසන්න මුව මඬලක් පැවතීම)

5. අපාය භයෙන් මිදීම (බඹසර සිහි කළ පමණකින් තමන් විශේෂ සීලයක් ආරක්ෂා කරන බව සිහිපත් වීමෙන් තමන්ට සුගතියක් හිමිවන බව සිතට දැනේ. සතුට උපදියි. අපාය භය නැති වෙයි.)

6. ස්ත්‍රී භාවයට, නපුංසක භාවයට කිසි දිනක පත් නොවීම (බඹසර මුල් කරගෙන පිරිමි උපතක් ම ලැබෙයි. ලිංගික විපර්යාසවලට ලක් නොවීමත්, පුරුෂයන් පුරුෂයන් සමඟත්, ස්ත්‍රීන් ස්ත්‍රීන් සමඟත් හට ගන්නා අසම්මත, කාමුක හැඟීම් හට ගන්නේ නැති බවත්, තමාගේ ලිංගය ප්‍රදර්ශනය කිරීම, අන් අයගේ කාම සේවන බැලීම, පර පීඩක, අත්ත පීඩක කාමාශාව ආදී අසාමාන්‍ය කාම ආශාවන් සහිත වූවන් ලෙස නූපදීමත්, වැදගත් ජීවිතයක් – තෙදවත් ජීවිතයක් උරුම වීමත් ලබයි.)

7. ක්‍රෝධ නොකරන සුලු බව (මෙත් සිත උපදවා ගැනීමට පහසු වීම, තරහ සිත උපදවා ගැනීමට අපහසු වීම, අන් අයගේ ගුණ සිහි කිරීමට පහසු වීම ලබයි.)
8. ප්‍රත්‍යක්ෂ කොට කරන කටයුතු ඇති බව (තමා කරන කියන දේ හොඳින් දනී, අමතක නොවීම, පිළිවෙළකට වැඩ කිරීම, වැඩ අවුල් නොවීම, කරන කටයුතු නොවරදින බව, යමක් නිවැරදිව කිරීමට ඔහුගේ උපදෙස් ගත හැකි වීම ආදිය ලබයි.)

9. යටිකුරු නොවන බව (දිව දෙකේ වංචනිකයෙකු නොවන බව, නොසිතූ බිඳ වැටීම්වලට ලක් නොවීම, වහා චරිතය වෙනස් වන්නෙකු නොවීම ලබයි.)

10. බිම බලාගෙන නොයෑම (ඕනෑම කෙනෙකු සමඟ ඍජුව මුහුණ බලාගෙන කතා කරන්නට පුළුවන, හැංගෙන චරිතයක් නොවීම, ඔලුව පහළට හැරෙන විදියේ ආබාධ හට ගන්නේ නැති බව, කාන්තාවක් ලැජ්ජාවෙන් කතා කරනවා සේ බිම බලාගෙන ඇඹරී ඇඹරී කතා කරන චරිතයක් නොවීම ලබයි.)

11. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයට ම ප්‍රිය චරිතයක් වීම (බැහැර කරන අකමැති චරිතයක් නොවීම, සියලු දෙනාට ප්‍රිය වීම, විශේෂයෙන් සසරේ සැමියාට බිරිඳට ප්‍රිය වීම සිදු වෙයි. අවංක ආදරයක් හිමි වෙයි.)

12. පිරිපුන් ඉඳුරන් ඇති වෙයි.

13. පිරිපුන් ලකුණු ඇති බව (තමාගේ ශරීරයේ අංග මනාව පිහිටයි, ලිංග දෝෂ හට ගන්නේ නැත, මනා වූ, දෝෂ නැති, රෝගාබාධ නැති ස්ත්‍රී පුරුෂ නිමිත්ත පිහිටයි.)

14 . කිසි තැනක සැක නැති බව (ඕනෑම තැනකට භයක් සැකයක් නැතිව, විසාරද ව යෑමේ/ වාසය කිරීමේ වාසනාව ලැබෙයි.)

15. නිරුත්සාහයෙන් කටයුතු සිදු වන බව (යම් කටයුත්තක් පටන් ගත් විට ඒ පස්සේ ම වැටීගෙන සිටින්නට ඕනෑ නැත. ගාණට, හිතේ හැටියට කටයුතු සිදු වෙයි.)

16. සැප විහරණ ඇති බව (සැපවත් ජීවිතයක් ලැබෙයි, නිතර නිතර පීඩාවන්ට පත් වන චරිතයක් නොවීම, යමක් කොට සතුටු විය හැකි බව ලබයි. පසු නොතැවෙන කෙනෙක් වෙයි.)

17. කිසි තැනකින් එන බියක් නැති බව (ගිනි, ජල, සොර, රාජ, සත්ව ආදිය මෙන් ම මනුෂ්‍ය, අමනුෂ්‍ය ආදීන්ගෙන් බියක් නොපැමිණීම, අණවින, කොඩිවින ආදියෙන් බියක් නොපැමිණීම, හැම තැනක ම ආරක්ෂාකාරී ජීවිතයක් ලැබීම සිදු වෙයි.)

18. ප්‍රියමනාප වස්තූන්ගෙන් වෙන් නොවීම (තමන් යමකට කැමති නම්, ආදරේ නම්, ප්‍රිය නම් ඒ දේවල් තමා ඇසුරට පැමිණීම සිදු වෙයි.)

මේ ආකාරයේ ලෞකික ආනිශංස බොහෝ ලැබෙන බව ඛුද්දක නිකායේ අටුවාවෙහි සඳහන් වේ. ඊට අමතරව නිවන සොයාගෙන යන සත්පුරුෂයෙකුගේ ජීවිතය මැණිකක් නම් ඒ ජීවිතය ඔප මට්ටම් වන්නේ බඹසර තුළිනි.

භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ පළමුවෙන් පැනවුන සිල් පදයත් බ්‍රහ්මචාරී බවයි. බඹසර රැක ගන්නට අයෙකුට අමාරු නම් ඒ සංයෝජන ප්‍රහාණය කිරීමට ඇත්තේ බ්‍රහ්මචාරී බව ම යි.

අනිත් අතට අබ්‍රහ්මචාරී බවත්, වැරදි කාම සේවනයත් මුල් කරගෙන සත්වයා නිරයේ උපදියි. අවුරුදු කෝටි ගණන් පැහෙන රාගය නිසා මැරෙන කෙනාගේ කර්මය බලවත් වෙන්න පුළුවන. අසභ්‍ය වීඩියෝ නරඹන, අසභ්‍ය දේට එබිකම් කරන අයට උපදින්නට ගූථ කියා නිරයක් තිබේ. ඒ නිරයේ ඉණ දක්වා පණුවන් නටන අසූචි පිරී ඇත. ඒ නිරි සතාගේ ඇස් ගෙඩි පොල් ගෙඩි වගේ ය, යකඩ උල් වැනි හොට තිබෙන සත්තු ඒ අසූචියේ ගිලී ඉන්න නිරි සතාගේ ඇස් ගෙඩිවලට කොටමින් අදී. එවිට නිරි සතා වේදනාව නිසාවෙන් අසූචි අත්වලින් ගෙන ඇස්වල ගා ගනී. ආයෙත් ඇස් දෙකට ඒ කර්මානුරූප ව පහළ වූ සත්තු අනී. ඒ දුක ඉවරයක් නැත. මැරි මැරී ඉපදෙයි. කාම පෙරේත යෝනි ගැන ඔබ අසා ඇති. මේ නිරයේ ද පෙරේත යෝනියේ ද භය බඹසර රැක්කා නම් නැති වෙයි.

ධර්මය තුළ නොපිහිටි තරුණ පරපුරට කොයි වගේ ඉරණමක් අත් වේවි ද කියා සිතත්වා. අඩුම තරමේ විවාහ වෙන තුරුත් බඹසර රකිනවා නම් ඒ ජීවිත පූජනීය ය.

ඉස්සර විවාහ වෙනතුරු ස්ත්‍රීහු, පුරුෂයෝ සියලු ලිංගික කටයුතුවලින් වැළකුණහ. කුමර කුමරි බඹසර කියා කියන්නේ එයට ය. ඒ අය ව දෙවියෝ ද රැක්කහ. ඒ අය විවාහ වූ විට පවුල් අවුල් වුණේ නැත. පින්වන්ත දරුවන් ලැබුණි. විවාහ ජීවිත අති සාර්ථක විය. ඒ අය අවසන් හුස්ම ටිකත් සැනසිල්ලේ හෙළුෑහ. බඹසර රකින අයට දෙව්ලොව බඹලොව උපදින්නත් හේතු සම්පත් ලැබීම හේතුවයි.

තිරිසන් ලෝකයේ පවා සතුන්ගේ රහස් ප්‍රදේශය කුණු වී, වණ වී, පණුවන් ගසා, ඉදිමී, ලෙඩ වී කොපමණ නම් විඳවනවා ද? සමහර සතුන්ගේ රහස් ප්‍රදේශ අයින් කෙරේ. විටෙක තලයි. මේ සියල්ල පෙර ජීවිතවල වැරදි කාම සේවනයේ යෙදීමේ විපාක නො වේ ද? පෙම්වතුන් ලෙස සිටින තරුණ තරුණියන් වුව ද විවාහයට පෙර ලිංගිකව එක් වෙයි නම් එය අයත් වන්නේ වැරදි කාම සේවනයට ය. මක් නිසා ද යත්, ඔවුන් තවමත් මව්පිය රැකවරණය තුළ සිටිනා නිසාවෙනි. විවාහ වෙනකල් බඹසර රකින එක කොතරම් හොඳ ද? විවාහ වුණාට පසු පතිවත රකින එකත් ඒ වගේ ම පූජනීයයි. දැන් දැන්ම වැරදි හදාගෙන සංවර වන්න. අප කරන කර්ම අප පිටිපස එයි. ඉඩ ලද විගස ඒවා විපාක දෙයි.

ප්‍රේත ලෝකයෙත් ඒ කාම පිපාසය තිබේ. එයින් ම විඳවන සමහර වයසක උදවිය මරණයට පත් වීමට ඔන්න මෙන්න තිබෙද්දිත් කාම පිපාසයෙන් ම හිඳී. අහෝ දුගතියේ ම යි උපදින්න සිත ඇදෙන්නේ. දරු මුණුබුරන් දැක්කාමවත් ඒ වයසක දෙන්නා වෙන වෙන ම ඉන්නවා නම්, බඹසර සිල් සමාදන් වෙලා පුරනවා නම් කොතරම් පූජනීය ද?

කාම ප්‍රේත ලෝකයේ තිබෙන ලිංග රෝග වචනයෙන් කියන්නට නොහැක. මනුෂ්‍ය ලෝකයේ තියෙන ලිංග රෝග මෙන් දහස් ගුණයකි. ප්‍රේත ලෝකයේ ඉපදුණවුන් ඒ ලිංගික අවයව කඩ කඩා කයි. ඒවා කර්මානුරූප ව ආයෙමත් මතු වෙයි. ආයෙ කඩ කඩා කයි. වෙන කටයුත්තක් නැත. ඒ දුක ඉවර වන විට මෛත්‍රී බුද්ධ ශාසනයත් ඉවර වේවි. අනේ මේ සංසාරයෙන් ගැලවෙන්නේ කවදා ද? මනුෂ්‍ය ලෝකයේ වුණත් ඉපිද ලිංගික දුර්වලතා, අවයව දුර්වලතා, අසාමාන්‍ය හැඟීම්, දරුවන් නොමැති වීම් යන මේ සියල්ල සසරේ තමන් කරපු දේ ම යි.

කර්මයක් විඳවද්දි තවත් කර්ම රැස් කර ගන්නට එපා. බලන්න බඹසර සීලය කොතරම් උතුම් ද කියලා. අනේ බඹසර රකින්න සිත් පහළ වෙනවා නම් කොයි තරම් වාසනාවන්ත ද! අපගේ භාග්‍යවතුන් වහන්සේගේ පිවිතුරු ජීවිතයේ අනුහසින්, විරාගයෙන් මිහි මඬල සලිත කළ මහා කස්සප මුනිඳුන්ගේ තේජසින්, වරදින් මිදී සසුන බැබළුෑ – මෙත් කරුණා ගුණයෙන් ශෝභමාන අංගුලිමාල මහරතන් වහන්සේගේ ආනුභාවයෙන්, සසුන් බඹසර රකින ලද භාග්‍යවතුන් වහන්සේගේ කෝටි ගණනින් වූ ආර්ය මහා සඟ රුවනේ ගුණ බලයෙන්, රුවන්වැලි මහා සෑ රජුන්ගේ ධාතූන් වහන්සේලාගේ බලයෙන්, ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ බලයෙන්, සිරිපා කමලින් විහිදෙන රශ්මියේ ආනුභාවයෙන්, සියලු දෙව් බඹුන්ගේ ආශීර්වාදයෙන්, අප හැම දෙනාම රැස් කරනා පිනේ ආශීර්වාදයෙන් උතුම් බඹසර සීලය පුරුදු කර ගැනීමට සිත් පහළ වේවා! වාසනාව ලැබේවා…!

– සටහන
චරිත් ලක්ෂිත