අසිබන්ධකපුත්ත ගාමණීට වදාළ දෙසුම

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ නාලන්දාවෙහි පාවාරික අඹ වනයෙහි. එදා අසිබන්ධකපුත්ත (කඩු බඳින) ගාමණී භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණු අසිබන්ධකපුත්ත ගාමණී භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළ කළා. ස්වාමීනී, බටහිර ප්‍රදේශවාසී බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් සෙම්බුත් අතැතිව, දිය සෙවල මල් දරාගෙන, දියට බසිමින් පව් හෝදන, ගිනි පුදන අයයි. ඔවුන් මැරුණු උදවිය උඩට පිටත් කරනවා. සුගතිය හඳුන්වල දෙනවා. ස්වර්ගයට යවනවා. ඉතින් ස්වාමීනී, අරහත් වූ සම්මා සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේටත් යම් සේ සියලු ලෝකයා කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ දෙව්ලොව උපදිනවා නම්, ඒ ලෙසින් කරන්නට දක්‍ෂ වෙන සේක් නේද?

පින්වත් ගාමණී, එසේ වේ නම්, ඔය කාරණය ගැන ඔබෙන්ම විමසන්නම්. ඔබට යම් අයුරකින් වැටහෙනවා නම් ඒ විදිහට විසඳන්න. පින්වත් ගාමණී, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? මෙහි පුරුෂයෙක් ඉන්නවා. (ඔහු) සතුන් මරනවා. සොරකම් කරනවා. කාමයෙහි වරදවා හැසිරෙනවා. බොරු කියනවා. කේලාම් කියනවා. ඵරුෂ වචන කියනවා. හිස් වචන කියනවා. විෂම ලෝභයෙන් ඉන්නවා. කෝප සිතින් ඉන්නවා. මිත්‍යා දෘෂ්ටිකව ඉන්නවා. ඉතින් මහා ජනකාය එකතු වෙලා “මේ පුරුෂයා කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ දෙව්ලොව උපදීවා” කියලා ඔහු වටා එක්රැස් වෙලා ආයාචනා කරනවා. ස්තුති කරනවා. ඇඳිලිබැඳ වැඳගෙන ඔහු වටා පැදකුණු කරනවා. පින්වත් ගාමණී, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? මහා ජනයාගේ ආයාචනා හේතුවෙන් හෝ ස්තුති හේතුවෙන් හෝ ඔහු වටා ඇඳිලිබැඳ වැඳ පැදකුණු කිරීමේ හේතුවෙන් හෝ ඒ පුරුෂයා කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ දෙව්ලොව උපදීවිද? ස්වාමීනී, මෙය නොවේමය.

පින්වත් ගාමණී, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් මහත් වූ විශාල ගලක් අරගෙන ගැඹුරු ජලාශයකට අතහැරියොත්, එතකොට මහා ජනයා රැස්වෙලා “එම්බා මහා ගල, උඩට මතු වුව මැනැව. එම්බා මහා ගල, ජලයෙහි පාවුව මැනව. එම්බා මහා ගල, ගොඩට පැමිණෙනු මැනව.” කියලා ආයාචනා කරනවා නම්, ස්තුති කරනවා නම්, ඇඳිලිබැඳ වඳිමින් පැදකුණු කරනවා නම්, පින්වත් ගාමණී, ඒ ගැන ඔබ කුමක්ද හිතන්නේ? මහා ජනයාගේ ආයාචනා හේතුවෙන් හෝ ස්තුති හේතුවෙන් හෝ එය වටා ඇඳිලිබැඳ වැඳ පැදකුණු කිරීමේ හේතුවෙන් හෝ අර විශාල ගල උඩට මතු වේවිද? වතුරේ පාවේවිද? ගොඩට පැමිණේවිද? ස්වාමීනී, එය නොවේමයි.

පින්වත් ගාමණී, අන්න ඒ වගේ තමයි. යම් මේ පුරුෂයෙක් සතුන් මරනවා නම්, සොරකම් කරනවා නම්, කාමයෙහි වරදවා හැසිරෙනවා නම්, බොරු කියනවා නම්, කේලාම් කියනවා නම්, ඵරුෂ වචන කියනවා නම්, හිස් වචන කියනවා නම්, විෂම ලෝභයෙන් යුතු නම්, කෝප සිතින් යුතු නම්, මිත්‍යා දෘෂ්ටික නම් මහා ජනකාය ඔහු වටා එක්රැස් වෙලා “මේ පුරුෂයා කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ දෙව්ලොව උපදීවා” කියලා හුදෙක් ආයාචනා කළද, ස්තුති කළද, ඇඳිලිබැඳ වැඳ පැදකුණු කළද එහෙත් ඒ පුරුෂයා කය බිඳී මරණින් මතු අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාත නම් වූ නිරයේ තමයි උපදින්නේ.

පින්වත් ගාමණී, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? මෙහි පුරුෂයෙක් ඉන්නවා. (ඔහු) සතුන් මරන්නේ නෑ. සොරකම් කරන්නේ නෑ. කාමයෙහි වරදවා හැසිරෙන්නේ නෑ. බොරු කියන්නේ නෑ. කේලාම් කියන්නේ නෑ. ඵරුෂ වචන කියන්නේ නෑ. හිස් වචන කියන්නේ නෑ. විෂම ලෝභයෙන් ඉන්නේ නෑ. කෝප සිතින් ඉන්නේ නෑ. සම්මා දිට්ඨියෙන් යුක්තයි. ඉතින් මහා ජනකාය එකතු වෙලා “මේ පුරුෂයා කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයේ උපදීවා” කියලා ඔහු වටා එක්රැස් වෙලා ආයාචනා කරනවා. ස්තුති කරනවා. ඇඳිලිබැඳ වැඳගෙන ඔහු වටා පැදකුණු කරනවා. පින්වත් ගාමණී, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? මහා ජනයාගේ ආයාචනා හේතුවෙන් හෝ ස්තුති හේතුවෙන් හෝ ඔහු වටා ඇඳිලිබැඳ වැඳ පැදකුණු කිරීමේ හේතුවෙන් හෝ ඒ පුරුෂයා කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයේ උපදීවිද? ස්වාමීනී, මෙය නොවේ ම ය.

පින්වත් ගාමණී, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් ගිතෙල් කලයක් හෝ තල තෙල් කලයක් හෝ ගෙන ගැඹුරු ජලාශයකට ගිල්වලා බින්දොත්, එහි යම් වලං කටු කැබලි ඇත්නම්, ඒවා යටට බහිනවා. එහි යම් ගිතෙලක් හෝ තල තෙලක් ඇත්නම් ඒක උඩට ඉල්පෙනවා ම යි. එතකොට මහාජනයා මේ වටා එක්ව “එම්බා ගිතෙල, තලතෙල, යටට ගිලෙනු මැනව. එම්බා ගිතෙල, තලතෙල, කිඳා බැස්ස මැනැව. එම්බා ගිතෙල, තලතෙල, යටට යනු මැනව.” කියලා ආයාචනා කරනවා නම්, ස්තුති කරනවා නම්, ඇඳිලිබැඳ වඳිමින් පැදකුණු කරනවා නම්, පින්වත් ගාමණී, ඒ ගැන ඔබ කුමක්ද හිතන්නේ? මහාජනයාගේ ආයාචනා හේතුවෙන් හෝ ස්තුති හේතුවෙන් හෝ එය වටා ඇඳිලිබැඳ වැඳ පැදකුණු කිරීමේ හේතුවෙන් හෝ අර ගිතෙල හෝ තල තෙල හෝ යටට ගිලේවිද? කිඳාබසීවිද? අඩියට යාවිද? ස්වාමීනී, එය නොවේ ම යි.

පින්වත් ගාමණී, අන්න ඒ වගේ තමයි. යම් මේ පුරුෂයෙක් සතුන් මැරීමෙන් වැළකී ඉන්නවා නම්, සොරකමින් වැළකී ඉන්නවා නම්, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකී ඉන්නවා නම්, බොරු කීමෙන් වැළකී ඉන්නවා නම්, කේලාම් කීමෙන් වැළකී ඉන්නවා නම්, ඵරුෂ වචන කීමෙන් වැළකී ඉන්නවා නම්, හිස් වචන කීමෙන් වැළකී ඉන්නවා නම්, විෂම ලෝභයෙන් යුතු නොවේ නම්, කෝප සිතින් යුතු නෝවේ නම්, සම්‍යක් දෘෂ්ටික වේ නම් මහා ජනකාය ඔහු වටා එක්රැස් වෙලා “මේ පුරුෂයා කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයේ උපදීවා” කියලා හුදෙක් ආයාචනා කළද, ස්තුති කළද, ඇඳිලිබැඳ වැඳ පැදකුණු කළද එහෙත් ඒ පුරුෂයා කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ දෙව්ලොව තමයි උපදින්නේ.

මෙසේ වදාළ විට අසිබන්ධකපුත්ත ගාමණී භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කළා. ස්වාමීනී, ඉතා සුන්දරයි. ස්වාමීනි, ඉතා සුන්දරයි. ස්වාමීනි, යටට හරවා තිබූ දෙයක් උඩු අතට හැරෙව්වා වගෙයි. වහලා තිබුණු දෙයක් ඇරලා පෙන්නුවා වගෙයි. මං මුළා වූවන්ට නියම මඟ පෙන්වා දෙනවා වගෙයි. ඇස් ඇති උදවියට රූප දකින්න අඳුරෙහි තෙල් පහනක් දල්වාගෙන දරා සිටිනවා වගෙයි. ඔය විදිහට භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ශ්‍රී සද්ධර්මය වදාළා. ස්වාමීනි, මේ මමත් භාග්‍යවතුන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මයත්, භික්ෂු සංඝයාත් සරණ යනවා. ස්වාමීනි, මං ගැන අද පටන් දිවි තිබෙන තුරාවට තෙරුවන් සරණ ගිය උපාසකයෙක් ලෙස සළකන සේක්වා!

සාදු ! සාදු !! සාදු !!!

(සංයුත්ත නිකාය 4 – ගාමණී සංයුත්තය)