මේ වචනය දකිනකොට ම, ඇහෙනකොට ම ඔබට මතක් වෙන්නේ සුපිරි විදිහට ටයි කෝට් ඇඳලා, සපත්තු දමලා, කොණ්ඩෙ හැඩට හදලා, දිලිසෙන පොළොවක “ටක් ටොක්” හඬින් අඩිය තියාගෙන, කොන්ද කෙළින් කරගෙන, මහා ගම්භීර විදිහට ඇවිදගෙන යන කෙනෙක් වෙන්න පුළුවනි. සමහර කාන්තා පක්ෂයත් පිරිමි වගේ ම ඇඳගෙන ඒ විදියට හිතට අරගෙන යනවා දැකලා තියෙනවා නේ ද?

සමහර කාන්තාවෝ බාගෙට ඇඳගෙන, බාගෙට වහගෙන, බාගෙට කොණ්ඩෙ කපාගෙන, බාගෙට කොණ්ඩෙ කඩාගෙන, බාගෙට කණ්නාඩියක් දමාගෙන, බාගෙට උස සෙරෙප්පු දමාගෙන, බාගෙට බාගයක් උජාරුවෙන් යනවා දැකලා තියෙනවා නේ ද?

තවත් සමහර පිරිමි අය විකාර විරූපී විදිහට කොණ්ඩෙ කපාගෙන, රැවුල් හදාගෙන, විකාර ඇඳුම් ඇඳගෙන, පච්ච හැමතැන ම කොටාගෙන ‘මහ වැඞ්ඩා’ වගේ යනව එනව දැකලා තියෙනවා නේ ද?

සමහර ඇත්තෝ සුපිරි වාහනවල, අව් කණ්නාඩි දමාගෙන, බෙල්ල කෙළින් ඉස්සරහ බලාගෙන ‘ලෝකෙට ලොක්කො අපි තමා’ වගේ යනවා දැකලා තියෙනවා නේ ද? තවත් බොහෝ අය බොහෝ දේවල් පෞරුෂත්වය කියලා හිතාගෙන කියනවා, කරනවා. හැබැයි මේවා අශ්‍රැතවත් පෘථග්ජන පෞරුෂත්වය මිස සැබෑ පෞරුෂත්වය නම් නොවෙයි.

අපගේ ශාස්තෘන් වහන්සේ අපට දේශනා කළා කෙනෙකුගේ වැදගත්කම, තෙදවත්කම, ඔදවත්කම, බලවත්කම, ගුණවත්කම ආදිය (පෞරුෂත්වය තුළ තිබෙන්න ඕනේ ඒවනේ) පවතින්නේ තමන් රකින සීලය තුළ බව. එහෙම නම් පෞරුෂත්වය පවතින්නේ ඇඳුම් පැලඳුම්, සපත්තු, යානවාහන, කණ්ණාඩි තුළ නො වේ. මනා කොට රකින සීලය තුළ ම යි. ඇයි උන්වහන්සේ එහෙම ප්‍රකාශ කරන්නේ?

කෙනෙකුගේ පෞරුෂත්වය පළමුවෙන් ම වැඩෙන්න පටන් ගන්නේ තෙරුවන් සරණ යාම තුළයි. එවිට ඒ කෙනා පරඬැලක් මෙන් හතර අතට විසි වෙන කෙනෙක් නො වේ. ඍජු චරිතයක්. ලෝකයා මොන මොන විජ්ජා-විගඩම් පෙන්නුවත් ඔහුව රැවටිය නොහැකියි.

මන්ද ඔහු හෝ ඇය දන්නවා ලෝකයේ ශ්‍රේෂ්ඨතම, ජ්‍යෙෂ්ඨතම, විශිෂ්ටතම, අද්විතීය, ආශ්චර්යවත් පෞරුෂත්වය ඇතිව වැඩ සිටියේ අපගේ ශාස්තෘන් වහන්සේ බව. උන්වහන්සේගේ ශ්‍රාවක සඟරුවන තමා පෞරුෂත්වයේ ඊ ළඟ ප්‍රතිමූර්තිය. ඒ විශිෂ්ට පෞරුෂත්වය ලෝකයේ වෙන කිසිම කෙනෙකුන් තුළින් හෝ දහමකින් හෝ පිරිසකින් හෝ දැකිය නොහැකි බව. තමන්ට එය සක්සුදක් සේ විශ්වාස බව. එබැවින් බාහිර ලෝකය මොන නාඩගම් විගඩම් නැටුවත් ඔහු සරණ සීලය තුළ සාරවත් පෞරුෂත්ව බීජයක් උපදවාගෙන සිටින කෙනෙක්.

ඊ ළඟට ගිහි නිත්‍ය සීලය රකිනවා. ඒ, පංචසීලය. අප අමතක කළ යුතු නැහැ භාග්‍යවතුන් වහන්සේ මේ සිල්පද ආවාට ගියාට පනවන ලද ඒවා නොවන බව. මක් නිසා ද මේ සිල්පද තුළ මනුෂ්‍යයා මෙලොවත් රැකෙනවා වගේ ම පරලොවත් රැකෙනවා. මනා ව දෙලොව ම රැකෙනවා. කොහොමද එහෙම වෙන්නේ කියා ශාස්තෘන් වහන්සේ ම වදාළා.

පංචභයවේර සූත්‍රයේ දී උන්වහන්සේ දේශනා කරනවා මේ සිල්පද පහ රකින කෙනා භය-වෛර ඇති වන කරුණුවලින් නිදහස් වුණ කෙනෙක් ය කියලා. ඒක සුලුපටු දෙයක් ද.

බලන්න මේ වර්තමාන ලෝකය දිහා. ආයතන හය තුළින් ම අසිහියෙන් උන්නොත් මනසට ඇතුල් වන්නේ භය-වෛරය නො වේ ද? බාහිර ලෝකය පුරා වගා කර ඇත්තේත්, අස්වැන්න වශයෙන් නෙළා ගන්නේත් භය-වෛරය නො වේ ද? තම තමන් වපුරාගත් අස්වැන්න අනුභව කරන ලෝකයා මෙලොවත්, පරලොවත් විනාශ කර ගන්නවා නො වේ ද? භය-වෛර තුළින් උපදවන රාග, ද්වේෂ, මෝහ, මද, මාන, ඊර්ෂ්‍යා ආදී අනේකවිධ අකුසල් තුළ ඇලී, ගැලී, ගිලී සිටින ලෝක සත්වයා යකුන් සමඟ එකතු වී සිටින පිස්සන් වගේ නො වේ ද?

තමන් කවුදැයි තමන් ම දන්නේ නෑ. තමන් කරන්නේ කියන්නේ මොනවාදැයි තමන් ම දන්නේ නෑ. නූල් සූත්තරවලින් නටවන රූකඩ වගේ තමන් ව ඕනෑම බාහිර බලවේගවලට නැටවිය හැකි බව දන්නෙත් නෑ. එහෙව් අනතුරේ ඉඳගෙන මෙලොව පරලොව විශ්වාසයකුත් නෑ. පින්-පව් පිළිගන්නෙත් නෑ. කර්ම-කර්මඵල ගැන කිසි පිළිගැනීමකුත් නෑ. මෙලොවත් විනාශ කරගෙන-පරලොවත් විනාශ වෙලා යන ප්‍රතිපදාවක ඉඳගෙන ඇඳුම්, සපත්තු, ටයි කෝට්, යාන වාහනවලින් බලාපොරොත්තුවන පෞරුෂත්වය මොන තරම් හිස් දෙයක් ද?

හදවත ගඳකිළියක් කොට නිරන්තරයෙන් ම වඳින්න අපගේ ශාස්තෘන් වහන්සේට. උන්වහන්සේ තුන් කාලය ම දන්නා සේක. මේ උන්වහන්සේ එදා වදාළ අනාගත ලෝකයයි. පෞරුෂත්වය යැයි කියමින්, සිතමින්, විලිබිය නසාගෙන නටන, ගයන, වයන මේ තොවිලයේ අවසානය කාම ප්‍රේත-ප්‍රේතියන් වී කුණු වී සැරව ගලමින් දුගඳ වගුරුවමින් කාමයට ම යැද-යැදා යන දුගතිය යි. සතර අපාය යි.

දැන් හිතන්න. සරණ සීලයත්, පංචසීලයත් මොනතරම් ගම්භීර, ශ්‍රේෂ්ඨ, විශිෂ්ට, විස්මිත ආරක්ෂාවක් ද! තිසරණය හෑල්ලුවට ගන්න එපා. “අපට ඔය තරම් හැමතිස්සේ ම කියන්න ඕනේ නැහැ. අපි තෙරුවන් සරණ යනවා තමයි.” කියලා රවන්න ඔරවන්න එපා. බලන්නකො ඔබේ තෙරුවන් සරණත් මේ වගේ ද කියලා.

පොඞ්ඩ බැරි වෙනකොට කේන්දරේ අරගෙන මොකක්ද මේ අපලේ කියලා බලන්න දුවනවා නම්, නැකැත නැතිව වැසිකිළියට යන්නවත් බැරි නම්, රාහු කාලය කියමින් වැඩ කල් දමමින් ඉන්නවා නම්, අර ශක්තියෙන් – මේ ශක්තියෙන් ලෙඩ සනීප කරනවා කියනකොට වාහන අරගෙන හැතැප්ම ගණන් නිදිවරාගෙන පෝලිම්වල යනවා නම්, සූත්තරකාරයෝ කියන කියන තැන්වලට තමන්ගේ කාරිය කර ගන්න කිසි ම විළිබියක් කැත හිරිකිතයක් නැතිව ඕනෑම ගුබ්බෑයමක රිංගනවා නම්, බෝධීන් වහන්සේලාට අගරු වන ලෙස කටයුතු කරනවා නම්, සත්පුරුෂ උත්තමයන්ට නින්දා අපහාස ගැරහිලි කරනවා නම් ඔබට තිසරණ මාත්‍රයක්වත් නැහැ. අහංකාරකම නමැති හෙණ ගෙඩිය ඔළුවට පතිත වුණ මේ සිංහල ඊනියා බෞද්ධයින් ගැන කතා කරන්න ම දෙයක් නැහැ.

මනා කොට තෙරුවන් සරණේ පිහිටා දිවිහිමියෙන් සිල්පද සුරැකි අභීත, අදීන, ශ්‍රේෂ්ඨ අපේ ආදී මුතුන් මිත්තන්ගේ වර්තමාන පරපුරයි මේ සැඩ පහරක් ලෙසින් ගලා එන මත්ද්‍රව්‍ය, දුසිරිත්, දුෂ්චරිත ආදියෙන් වැනසී යන්නේ. ධර්මද්වීපය, ඉන්දියන් සාගරයේ මුතු ඇටය වැනි විරුදාවලි ලත් මේ හෙළදීපයේ හෙළයෝ අද අන්ත නීච, නිවට, නින්දිත, තුච්ඡ, අසික්ඛිත තත්ත්වයට පත් වූයේ තිසරණයට ගරහා, සිල් බිඳ දමා, මිථ්‍යාදෘෂ්ටි වැළඳගෙන පිරිසිදු ධර්මයට අවමන් කිරීමේ ශාපය නිසයි.

කොහේ තිබේදැයි නොදන්නා, කවදා ලැබේවිදැයි නොදන්නා, කිසිදා තෘප්තියට පැමිණිය නොහැකි සැප යැයි කියා ගන්නා දෙයක් සොයමින් පිස්සුවෙන් දුවනා මේ නාමික සිංහල බෞද්ධයින්ගේ වඳවී යාම – වැනසී යාම වැඩි ඈතක නො වෙයි. පෙනෙන-නොපෙනෙන හැම අතින් එයට අනුග්‍රහයක්, අනුබලයක් මිස රැක ගැනීමක් පෙනෙන තෙක් මානයක නැහැ.

එහෙයින්… සිහිපත් කරනු මැන සම්බුදු වදන්…

“තමා තමා ව පිහිට කර ගන්න. ධර්මය පිහිට කර ගන්න. ධර්මයෙන් නිර්මිත දූපතට ගොඩ වී කෙලෙස් වතුරෙන් යට නොවන ආරක්ෂාව සලසා ගන්න.”

ඒ අපගේ පරම දයාබර කල්‍යාණමිත්‍ර වූ භාග්‍යවතුන් වහන්සේගේ සෙනෙහෙබර අවවාදයයි. මේ ගෙවී යන්නේ අන්තිම තප්පරයයි. මේ තප්පරයත් ගිලිහී ගියොත් ආයේ කවදා රැකවරණයක් ලැබේවිදැයි කවුරුන් නම් දනී ද?

දහම් රසයට ම කැමති වෙමු. නිවන් සැපයට ම සිත් අලවමු. ඔබ ආදරය කරන අයටත්, ගුණවත් අයටත් ඒ රසවත් වූ සැපය ලබා ගැනීමට ආධාර, අනුබල දෙන්න. ලෝකය යන අතක ගියාවේ. අපට එය නතර කරනු නොහැකියි. ඔබ… වෙර ගන්න මේ කාම සැඩ පහරින් ගැලවෙන්න. මේ තුච්ඡ කාමයේ, දුගඳ කාමයේ මොන සැපයක් ද?

“අසිරිමත් වූ සොඳුරු මුනි බණ
දහම් සව්වෝ නිබඳ පවසති
සිත් නවාගෙන – කන් යොමාගෙන
හද දරා ගත යුතු ය එම විට
දම්රජුන්ගේ දම් නගරයට
යම් දිනක ඔබ ගියේ වේ ද
අහා… තිබේ රිසි රිසි දේ
රිසි රිසිව ලැබ තුටුව ඉන්නට…”

ඒ උතුම් සැප ලබන්නට ඔබට – මට – අපට තෙරුවන් සරණින් මේ ගෞතම බුදු සසුනේදී ම ඉඩ හසර සැලසේවා!

ශ්‍රාවිකාවක්