හමා ආ මඳනල කැටුව ආ පිච්ච මල්වල සුගන්ධයෙන් හාත්පස සුවඳවත් වෙලා. හවස වන්දනාවට මල් නෙළන්න කාලය වූ බැවින් මං මල් වට්ටිය රැගෙන පිරිසිදු කොට මල් නෙළීමට පිච්ච මල් පඳුර වෙත ගියා.

සුදෝසුදු මල් කිනිති සුවඳ විහිදුමින් පිපී වැනෙන අපූරුව…! පිච්ච මල් දුටුවා ම නිතැතින් ම සිහියට නැගෙනුයේ උතුම් දළදා වහන්සේත්, උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේත්. මල් එකින් එක නෙළා ලස්සන ම ලස්සන මල් වට්ටියක් සැකසුවා. අනේ මීට වඩා ලොකු මල් වට්ටියක් පුරවන්න මල් තිබුණා නම්…! බුදු පියාණන් වහන්සේ උදෙසා පූජා කිරීමට සුපිපුන සුවඳ මල් කොතරම් තිබුණ ද ප්‍රමාණවත් වන්නේ නම් නැහැ.

මේ මහ පොළොව මත සුන්දර, සුවඳවත් විවිධ මල් පිපෙනුයේ භාග්‍යවතුන් වහන්සේ පුදනු පිණිස ම යි. මතක ද සුමන මල්කරුගේ කථාව? රජ ගෙදරට ගෙන යන මල්වලින් බුදු පියාණන් වහන්සේ උදෙසා පූජා පවත්වලා ඉමහත් පිනක් රැස් කර ගත්තා නොවෙද ඔහු… සාදු…! සාදු…!! සාදු…!!! අනේ මටත් භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි කාලයේ එවන් පිනක් කරන්නට ලැබුණා නම්…

දෙව්රම් වෙහෙරේ, වේළුවනාරමයේ, විශාලාවේ කූටාගාර ශාලාවේ භාග්‍යවතුන් වහන්සේ වැඩ හිඳි අයුරු, දම් දෙසන අයුරු, උතුම් රහතන් වහන්සේලා වැඩ හිඳි අයුරු, සක්මන් කරන අයුරු, පිණ්ඩපාතයේ වඩින අයුරු, පිනැති උපාසක උපාසිකාවන් දන් බෙදන අයුරු, රජවරු සිටුවරු භාග්‍යවතුන් වහන්සේ බැහැ දැකීමට යන අයුරු මෙසේ විය හැකියි, මෙසේ විය යුතුයි යැයි මැවිලා පෙනෙන්නේ ඇසට කඳුළු නංවමින්.

ගුවන් විදුලියෙන් චූල සුභද්‍රාවන්ගේ කවි ඇසෙන විට… ‘අනේ ඒ උත්තම බුදු සමිඳුන්ගේ ළය මඬලින් උපන් උතුම් රහතන් වහන්සේලා දැක ගන්නට පින් මදි වුණාදෝ’ කියලා මහා පසුතැවිල්ලකින් සිත පෙළී යන කල්හි, ‘ඒ උතුම් ධර්මය දරාගත් උතුමන් වහන්සේලා මෙකල වැඩ හිඳීම දැකීම තරම් සැපතක් නැත්තේ ය’ යන සිතිවිල්ලෙන් ඒ හටගත් පසුතැවිල්ල දුරු වන්නේ සිත අස්වැසිල්ලකින් පුරවාලමින්.

ඇත්තෙන්ම බුදුරජාණන් වහන්සේනමක් පහළ වූ කාලයේ උපත ලබන්නේ මහා පුණ්‍යවන්තයන් ම යි. සසර කතරින් එතෙර වීමට පින් පුරාගෙන පැමිණි පින්වතුන් ම යි.

අද වන විට අප සරණ ගිය බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා. රහතන් වහන්සේලා ද පිරිනිවන් පාලා. නමුත් ධර්මස්වාමී වූ තථාගතයාණන් වහන්සේ විසින් දායාද කොට වදාළ උතුම් ධර්මය නිකෙලෙස් මුනිවරුන් වෙතින් මුඛ පරම්පරාවෙන් සුරක්ෂිත කොට, මේ පුංචි ලක්දිවේ ග්‍රන්ථාරූඪ කරවනු ලැබ ජීවමාන ව වැඩ හිඳිනවා. ඒ නිසාවෙන් ම අපට සතුටු වන්නට පුළුවනි. ධර්මධර විනයධර ස්වාමීන් වහන්සේලා දැකගනිමින්, දන් පැන් පුදමින්, ධර්මය ශ්‍රවණය කරමින්, පින් රැස් කරමින් දිවි ගෙවන්නට මෙකල ද ඉඩ තිබෙනවා.

ඔව්. මේ තවත් අසිරිමත් යුගයක්. අනුරාධපුරයට ඉස්සර අපි ගියේ විනෝද චාරිකාවක්. ආච්චිලා, සීයලා බැතිබර සිතින් යන්නට ඇති, ඒත් යොවුන් අප ගියේ විනෝදයට. මහා සෑ මළුව වටා පැදකුණු කළා නො වේ අපි; සෑ රජාණන් වහන්සේගේ විශාලත්වය බලමින්, චූඩා මාණික්‍යය පෙනෙන තැන් සොයමින්, පොළොව මතුපිටට පැමිණ ඇතැයි කියන ඇත් දළ සොයමිනුයි අප ඇවිද ගියේ. හතරැස් කොටුවේ විශාල බස් රථ හතරක ඉඩක් ඇතැයි අසා අපි පුදුම වුණා. අධ්‍යාපනයට උදව් වන දේ ලෙසින් පමණක් ම සලකා සඳකඩ පහණ, කුට්ටම් පොකුණ, සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නරඹන්නට ගියා. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වඳින්නට ගියේ යම් බලාපොරොත්තුවක්, ප්‍රාර්ථනයක් ඉටුකර ගැනීමට යි.

ඒත් අද…. කුමන අරුමයක් ද… පින්වත් ආර්යයන් වහන්සේලාගේ මග පෙන්වීමෙන් අපට පින ගැන අසන්නට ලැබුණා. සෑයක් තනවන්නේ කුමන අරමුණකටදැයි අසන්නට ලැබුණා. මහා සෑ රජාණන් වහන්සේ, එනම් ස්වර්ණමාලී නම් වූ අප භාග්‍යවතුන් වහන්සේගේ සුගන්ධ කුටිය තැනවීමේ ඉතිහාසය අසන්නට ලැබුණා. සිත පහදවා ගන්නට ලැබුණා. සෑයක් ඉදි කරන්නට පවා පිනක් ඉපදුණා.

ඒ පිනෙන් ම යි මාතලේ මඩවල උල්පත මහමෙව්නාව භාවනා අසපුවේ, පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් හා මහා සංඝරත්නයේ ආශීර්වාදයෙන් උතුම් සෑ රජාණන් වහන්සේනමක් ඉදි කරන්නට යෙදුණේ.

සැදැහැතියන්ගේ ශ්‍රම දායකත්වයෙන්, ධන පරිත්‍යාගයෙන් තැනවුණ උතුම් සෑ රජාණන් වහන්සේගේ හතරැස් කොටුවේ ධාතුන් වහන්සේලා නිධානෝත්සවය මෙම වසරේ පෙබරවාරි මස දාහත් වැනි දින උදෑසන අප ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් සිදු කරන්නට යෙදුණා.

අප සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා ද උතුම් රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා ද මෙම සෑ රදුන් තුළ වැඩ හිඳිනවා. සාදු සාදු…! අපට මහත් භාග්‍යයක් උදා වුණා. සෑ රදුන් තැනවීමට මුල් ගල තැන්පත් කළ මොහොතේ පටන් සෑය ඉදි කොට අවසන් වන තුරු ම භාග්‍යවතුන් වහන්සේ උදෙසා වත් පිලිවෙත් සිදු කරන්නට හැකි වුණා. තඹ පත් ඉරුවල ලියැවුණු උතුම් ත්‍රිපිටක පොත් වහන්සේලා ද සැදැහැතියන් ශ්‍රද්ධාවෙන් රැගෙන ආ නිධන් වස්තු ද තැන්පත් කරන්නට යෙදුණා.

සැදැහැ සිත් ඇත්තෝ රිසි සේ පින් රැස් කර ගත්තා. මින් මතුවට ද තව තවත් බොහෝ පින් කිරීමට මග විවරව තිබෙනවා. ජීවත් ව සිටීමට ඇති කෙටි කාලය තුළ නොපමාව පින් රැස් කරගෙන අප්‍රමාදී වීමට සැම සිත් තුළ වීරිය හට ගනිත්වා…!

සටහන – උත්පලා නදුනි ලියනගේ