අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ
බුද්ධගයාවේ නේරංජරා නදිය අසබඩ පිහිටි බුද්ධග්‍යාන් ආශ්‍රමය

සුජාතා සිටු දේවිය

මම උරුවෙල් දනව්වේ සේනානි නම් සිටුතුමාගේ දියණිය වන සුජාතා වෙමි. බරණැස් නුවර සිටුතුමා සරණ කොට ගෙන වාසය කළෙමි. මාගේ විවාහය සිදු වීමට පළමු ව, කුමරි බඹසර රක්නා යුගයේ මාගේ පියාණන්ගේ රැකවරණය ලබන සමයේ උරුවෙල් දනව්වේ පිහිටි සොඳුරු අජපාල නම් නුග වෘක්ෂයේ දේවතාවා කෙරෙහි පැහැදී සිටියෙමි. හැකි සෑම විටෙක ම පුද සත්කාර කළෙමි. අහිංසක අධිෂ්ඨානයන් සිදු කොට ප්‍රතිඵල ද ලැබුවෙමි. ඒ නිසා ම, මාගේ විවාහයට පෙර එම නුග වෘක්ෂය සමීපයේ දී කුලුඳුලේ පුතෙකු වදන්නට අධිෂ්ඨානයක් කළෙමි. එම අධිෂ්ඨානය සමෘද්ධිමත් කරමින්, නො බෝ කලකින් ම මම ‘යස’ නම් පුතෙකු වැදුවෙමි. එතැන් පටන්, සෑම වසරක ම වෙසක් පුන් පොහෝ දින අගනා කිරිබතක් සකසා වෘක්ෂ දේවතාවාට පුද දුන්නෙමි.

එදින ද, මා බරණැස සිට පියාණන්ගේ නිවසට පැමිණියේ එම පූජාව සිදු කිරීම උදෙසා ය. වෙනදාටත් වඩා මාගේ සිතටත්, කයටත් අසාමාන්‍ය ජවයක් ලැබී තිබුණු බව මම කල් ඇතුව ම හඳුනාගෙන සිටියෙමි. කිරිබත් පූජාවේ සියලු කටයුතු ඉතා පහසුවෙන් සැලසුම් කර ගත හැකි විය. එනිසා ඉතා ම උසස් ගණයේ කිරිබතක් සැකසීමට මම කල්පනා කළෙමි.

ඉතාමත් ම නීරෝගී දෙනුන් දහසක් වෙන් කර ගත්තෙමි. එම දෙනුන් දහසට ම වැල්මී මිශ්‍ර පිරිසිදු කොළ කැව්වෙමි. එම දෙනුන්ගෙන් දෙවූ කිරි උණු කොට නිවාගෙන පන්සියයක් දෙනුන්ට පෙව්වෙමි. එම දෙනුන්ගෙන් දොවාගත් කිරි උණු කොට නිවාගෙන දෙසිය පනසක් දෙනුන්ට පෙව්වෙමි. එම දෙනුන්ගෙන් දොවාගත් කිරි උණු කොට නිවාගෙන එකසිය විසිපහක් දෙනුන්ට පොවා, ඔවුන්ගෙන් දොවාගත් කිරි හැට හතරක් දෙනුන්ට පොවා, ඔවුන්ගෙන් දොවාගත් කිරි තිස් දෙකක් වූ දෙනුන්ට පොවා, ඔවුන්ගෙන් දොවාගත් කිරි දහසයක් වූ දෙනුන්ට පොවා, ඔවුන්ගෙන් දොවාගත් කිරි උණුකොට නිවාගෙන මංගල දෙනුන් අට දෙනෙකුට පෙව්වෙමි.

වෙසක් පුන් පොහෝ දිනය උදාවන අලුයම් කාලයේ සුපිරිසිදු බඳුන් ගෙන මංගල දෙනුන් අට දෙනා වෙත තැන්පත් කළෙමි. මහා අසිරියකි…! අපගේ උත්සාහයකින් තොර ව ම අඛණ්ඩ කිරි දහරාවන් දෙනුන්ගේ බුරුලු වෙතින් වෑස්සෙන්නට විය. මහත් සතුටට පත් මම මාගේ දෝතින් ම කිරි බඳුන් ගෙන, නැවුම් සැලියක දමා දේවදාර කපුරු කලුවැල් සහ සඳුන් මිශ්‍ර සුවඳ දර යොදා කිරිබත පැසවන්නට වූයෙමි. සුසුමක් තරම්වත් දුම් නො නැගී පැසෙන්නට වූ කිරිබත කිසිදා අත් නොවිඳි දිව්‍යමය සුවඳකින් යුක්ත වන්නට විය. ගිනිදලුවල ආලෝකය පරයමින් උදුන වටා භ්‍රමණය වන්නට වූ ආලෝක ධාරාවන් විසින් කිරිබත පිසින්නාක් මෙන් දිස් විය. මහ බඹුත්, සක් දෙවිඳුන් ප්‍රමුඛ වරම් දෙවිවරුනුත් මිහිපිටට බැස කිරිබත සකසන්නාක් මෙන් වූ දිව්‍යමය ආනුභාවයකින් සියල්ල සිදු වන්නට විය. අතිශය ප්‍රීතියට පත් ව සිටි මම පුණ්ණා දාසිය අමතා, නුග රුක අවට පවිත්‍ර කරවීම උදෙසා පිටත් කොට හැරියෙමි. සුළු මොහොතකින් ම හති දමමින් දුවගෙන පැමිණි ඈ “ස්වාමි දියණියෙනි, ස්වාමි දියෙණියෙනි, මහා අසිරියක්.. මහා අසිරියක්.. අද නම් ඔබගේ දේවතාවා දෝතින් ම කිරිබත් පිළිගැනීමට වැඩම කොට ඇත. වහ වහා ගොස් දානය පූජා කරනු මැන…” යන ඇදහිය නොහැකි තරම් විස්මිත පණිවුඩය පැවසුවා ය. මම කෙතරම් සතුටට පත් වී ද යත් ඒ මොහොතේ ම ඇය ව දාසි භාවයෙන් නිදහස් කළෙමි.

ප්‍රීති ප්‍රමෝදයෙන් ඉපිළී සිටි මම කිරිබත සකසා අවසන් කොට සිටු මැදුරේ තිබුණු කිසිදා භාවිත නොකළ ලක්ෂයක් වටිනා රන්තැටිය ගෙන හැළියේ තිබුණු සියලු කිරිබත් තැටියේ තැන්පත් කළෙමි. අඩුත් නැති ව, වැඩිත් නැති ව සියලු කිරිබත් රන්තැටියේ ම තැන්පත් විය. හැළිය සම්පුර්ණයෙන් ම හිස් විය. මෙම ආනුභාවය දැක තව තවත් ප්‍රීතියට පත් වූ මම තවත් එවන් ම වූ ලක්ෂයක් වටිනා රන් තැටියක් ගෙන කිරිබත වසා සුපිරිසිදු සුදුවන් පිරුවටයකින් ආවරණය කළෙමි. ඉන් පසු ව හිස් සෝදා නා පවිත්‍ර වූ මම බරණැස සිටාණන් සමඟ විවාහ වුණ දිනටත් වඩා සොඳුරු ලෙස සැරසී, ආභරණ පලඳාගෙන, මනා කොට පිසින ලද කිරිබත සහිත රන් තැටිය හිස මුදුනේ තබාගෙන උඩු වියන්, පාවඩ බෙර, ශංඛ නාද සහ ධජ පතාක සහිත දිව්‍යමය පෙරහරකින් කිරිබත වඩම්මාගෙන සොඳුරු අජපාල නුග රුක වෙත පැමිණියෙමි.

අහෝ අසිරියක් ම ය…! පෙරදිගෙන් නැඟී එන සොඳුරු සූර්ය රාජයාගේ ප්‍රභාව පරාජයට පත් ව රන්වන් සිරියෙන් බබළන අසමසම රූපකායකින් හෙබි ඔහු නුග රුක මූලයේ පෙරදිග බලා වැඩ සිටින්නාහ. රන්වන් සිරුරෙන් නික්මෙන ප්‍රභාවන්ගෙන් ස්වර්ණ වර්ණ වූ නුග පත්‍රයන් හිරු එළියත් සමඟ මුසු වී ලෙලදෙන අතරේ මුළු මහත් විශ්වය පුරා ම පැතිර ගිය මහා නිසල බවකින් යුත් මුවමඬලකින් යුතු ව දෙනෙත් වසාගෙන සිටි උන්වහන්සේ ඉදිරියේ මම ද නැවතුණෙමි. කරකැවී ගිය තද නිලකින් යුතු කෙස් වැටියත්, දේදුන්නක් වැනි ඇහි බැමත්, පියවී ගිය දෙනෙතත්, සොඳුරු නාසයත්, නා දලු වැනි නිසල තොල් සඟලත්, රන්වන් පැහැති සිරුර මත දෙවුරය ම වැසෙන සේ පොරවාගත් සොඳුරු කසාවතත් සහිත මහා මේරුව සේ නොසැලෙන ඍජු පර්යංකයෙන් වැඩ සිටි උන්වහන්සේ දැකගත් මාගේ දෙනෙත තෙත් වී ගියේ මෙවන් පූජාවක් සිදු කිරීමට මා ලද භාග්‍යය කිම්දැයි සිහිවීමෙන් ය.

මහත් වූ ප්‍රීතියෙන් සහ බැතියෙන් යුතු ව මම දෙදණින් වැටුණෙමි. දෝතින් ම ගත් රන්තැටිය මම උන්වහන්සේ වෙත දිගු කළෙමි.

පියාපතක් ඇද වැටෙන්නාක් මෙන් සන්සුන් ව උන්වහන්සේ දෙනෙත් විවර කළේ ය. මාගේ නළල් තලයේ සිට පාදාන්තය දක්වා ම සලිත වී ගියේ ය. අනන්තය දක්වා පැතිර ගිය මහා කරුණාවක් ගැබ් ව තිබුණු උන්වහන්සේගේ අභිනීල නෙත් සඟල විවර කොට මා වෙත බැලූ සේක. මාගේ මුළු මහත් ජීවිතය ම ආශීර්වාදයට ලක් වූවා මෙන් ය.

කසාවන් වස්ත්‍රයෙන් වැසී තිබුණු දිගු ඇඟිලි සහිත, තඹවන් නිය සහිත දෑත් දිගු කළ උන්වහන්සේ මාගේ අග්‍රගණ්‍ය දානය දෝතින් ම පිළිගත් සේක. උන්වහන්සේගේ රන්වන් අත්ල මත තැන්පත් වූ ලක්ෂයක් වටිනා රන්තැටිය උන්වහන්සේ හා සසඳද්දී තඹ කැබැල්ලක් තරම්වත් නොවටිනා බව මා හට හැඟුණි. දෑත් මුදුනේ තබාගත් මම පසඟ පිහිටුවා වැඳ වැටුණෙමි.

“ස්වාමීනී, මේ අග්‍රගණ්‍ය ක්ෂීරපායාසය රන්තැටිය ද සහිත ව ම පිළිගන්නා සේක්වා. මාගේ යම් අදහසක් සමෘද්ධිමත් වූයේ ද ඒ ආකාරයෙන් ම ඔබවහන්සේගේ අධිෂ්ඨානයන් ද සමෘද්ධිමත් වේවා…!”

ප්‍රීතියේ නිම්හිම් නොදැක සිටි මම මුළු හදවතින් ම එසේ පවසා තුන් වරක් නුග වෘක්ෂයත්, උන්වහන්සේත් වටා පැදකුණු කොට වැඳ නමස්කාර කොට සිටු මැදුර බලා පිටත් වුණෙමි.

 

—————————————————————————————

උරුවෙල් දනව්වේ දේවතාවෝ

මහ බෝසතාණන් වහන්සේගේ ආනුභාවයෙන් ද බ්‍රහ්ම දිව්‍යාදින්ගේ ආනුභාවයෙන් ද සුජාතාවගේ පුණ්‍යානුභාවයෙන් ද පිළියෙල වූ අග්‍රගණ්‍ය ක්ෂීරපායාසය රැගෙන ගංතෙරට වැඩම කළ අප මහ බෝසතාණන් වහන්සේ රන්තැටිය ගංතෙරෙහි තබා සිව්රු ද ගලවා පසෙක තබා නහනකඩය ඉනෙහි දවටාගෙන සුප්පතිට්ඨ නම් තොටුපළෙන් ගං දියට බැසගත් සේක. සුපිරිසිදු ජලදහරාවන්ගෙන් යුතු වූ ඒ උතුම් නේරංජරා නදියේ කිමිදී පැන් සනහාගෙන ගොඩට පැමිණ උතුම් වූ අරහත් ධජය වන් එම චීවරය පොරවාගෙන සියලු බුදුවරයන් වහන්සේලා බුද්ධත්වයට පළමු ව ක්ෂීරපායාස වැළඳූ ස්ථානයේ ම වැඩ සිට රන්තැටිය ගෙන දිව්‍ය රස මුසු වූ ඒ අග්‍රගණ්‍ය ක්ෂීරපායාසය සම්පූර්ණයෙන් ම වළඳා වදාළ සේක.

ක්ෂීරපායාසය වැළඳූ උන්වහන්සේ රන්තැටියත් සමග ම ගං දියට බැස ‘බුද්ධත්වය ලබා මිස නැවත දන් නොවළඳමි’ යි අධිෂ්ඨාන කොට එය ගං දියෙහි පා කොට හැරියේ ය. මහා අසිරියකි…! ඒ මහානීය වූ රන්තැටිය යටිගං බලා පා වී නොගොස් දියකඳ කපාගෙන උඩුගං බලා පා වී ගියේ ය. එසේ පාවී ගොස් දිය පිරී ගිලී ගිය එම තැටිය මහා කාළ නා රජුගේ භවනේ පහළ විය.

රන්තැටිය තමන්වහන්සේ ඉදිරියේ ම උඩුගං බලා පා වී යාම සිදු වුව ද නො වුව ද උන්වහන්සේට තමන් වහන්සේගේ ප්‍රතිපදාව පිළිබඳ හෝ අවබෝධය පිළිබඳ අංශුමාත්‍ර සැකයක් නො තිබුණි. මහත් වූ තේජසකින් යුතු ශ්‍රද්ධාවක් පැතිර ගොස් තිබුණු සිත් ඇති උන්වහන්සේ, ගංගාව අසලින් ම පැවති සුපිපුණු මල් සහිත සල් වනයකට වැඩම කොට දිවා භාගය භාවනානුයෝගී ව ගත කළ සේක. සවස් කාලයේ නේරංජරා නදිය තරණය කොට බ්‍රහ්මරාජයන් විසින් දිව්‍ය සභාවන් හි පවසන ලද පරිදි අප අසා ඇති පුරාණ බෝධි මණ්ඩලය යම් තැනෙක ද ඒ දෙස බලා එතෙරට වැඩම කළ සේක.

 

——————————————————————————-

ඇසතු වනයේ දේවතාවෝ

වෙසක් පුන් පොහෝ දිනයත් සමගින් උදා වූ සූර්යයා පශ්චිම දිශාවෙන් බැසයමින් තිබිණ. මෙයට තිස් පස් වසරකට පෙර පැන නැගුණු ඇසතු වෘක්ෂරාජයා තරුණ ව අතු පතර විහිදා ශක්තිමත් ව වැඩ සිටින්නාහ. නැගෙනහිර දිශාවෙන් ගලා බස්නා සිසිල් දියකඳින් යුතු වූ නේරංජරා නදිය තරණය කරමින් මිහිබට සූර්යයා සේ මේ වැඩම කරන්නේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ය. ගං දියෙන් නික්මුණු උන්වහන්සේ සුදුවන් වැලි තලාව මත පා තබමින් අප වෙත වැඩම කරන්නට විය. මහපොළොව ගිනියම් කළ ගිම්හානය අවසන් කරමින් වස්සානය පැමිණෙන බවට පෙරනිමිති ගෙන එන පිනිදියෙන් තෙත් වූ පවනැල්ලත්, වැසිදියෙන් බරවූ වලාකුළු පන්තියත් යම්තාක් සුවයක් ලැබදේ ද ඒ සියල්ල පරයන සිසිලසකින් අපගේ විමාන සලිත කරවමින් මහ වනය මැදින් උන්වහන්සේ වැඩම කළ සේක.

උන්වහන්සේ වැඩම කරනා මාවතේ කුසතණ මිටි පොදියක් හිස මත තබාගෙන නදිය දෙසට පැමිණෙමින් සිටි පෙර පින් ඇති සොත්ථිය නම් බමුණු තෙම සසරේ පැතුමක් සිහි වූවාක් මෙන් අකුරක් ගැසුවා සේ නොසෙල්වී නැවතිණ. අප මහා බෝසතාණන් වහන්සේ දැක පහන් සිත් උපදවාගත් බමුණු තෙම, තමා සතුව තිබුණු කුසතණ මිටියේ අගනා ම මිටි අටක් ගෙන බෝසතාණන් වහන්සේ වෙත පූජා කොට වැඳ නමස්කාර කොට පිට ව ගියේ ය.

කුසතණ මිටි අට අතින් ගත් බෝසතාණන් වහන්සේ කෙළින් ම වැඩම කළේ ඇසතු නම් වූ අප වනයේ තේජවන්ත ම වෘක්ෂරාජයා අසලට ය. ඇසතු වෘක්ෂරාජයාණන් වටා පැදකුණු කරමින් පිළිවෙළින්, උත්තර දිශාවත්, පශ්චිම දිශාවත්, දක්ෂිණ දිශාවත් පරික්ෂා කළ උන්වහන්සේ පූර්ව දිශාව වූ නැගෙනහිර දිශාව ම අචල බව දැනගෙන එහි නැවතුන සේක. එහි වැඩ හිඳීමට ඉටාගත් උන්වහන්සේ කුසතණ මිටි අට ඒ මත තබන විට ම සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක මහත් වූ පාරමිතානුභාවයෙන් සියලු බුදුවරුන් බුද්ධත්වයට පත් වූ දෙතිසක් රියන් වට ප්‍රමාණය ඇති මහානීය වූ වජිරාසනය නැගෙනහිර දිශාවෙන් ම ඉහළට මතු විය. අචල සිත් ඇති උන්වහන්සේ ඒ උතුම් වජිරාසනයට නැග ඇසතු වෘක්ෂරාජයාණන් හට පිට දී නැගෙනහිර දිශාව බලා වැඩ සිටි සේක.

“මාගේ ශරීරයේ මස්ලේ වියැළී සිඳී ගිය ද, සම්, නහර, ඇට පමණක් ශේෂ වුව ද, සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ මා විසින් පෙරුම් දම් පුරා ලැබගත් මේ උතුම් වජිරාසනය මත ම සම්බුද්ධත්වයට පත් ව මිස නො නැගිටින්නෙමි” යි යන චතුරංග සමන්වාගත වීර්යයෙන් යුතු ව රන්ගල් මුදුනට නැගගත් සිංහරාජයෙකු සේ විරාජමාන ව වැඩ සිටි සේක.

—————————————————————————–

සහම්පතී බ්‍රහ්මරාජයාණෝ

කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යන බුදුවරයන් වහන්සේලා සම්බුද්ධත්වයට පැමිණ සසුන් පිහිටුවා පිරිනිවන් පා වදාළ සේක. සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් පුරන ලද පෙරුම් දම් ඇති ව තුසිත දෙව්ලොව ඉපදුණු සන්තුසිත දිව්‍යරාජයාණෝ සුදුසු කාලය, දීපය, දේශය, කුලය, මව දැක දේවාරාධනයෙන් මනුලොව ඉපදී සිද්ධාර්ථ යන නම ලබා කුමාර කාලය අවසන් කොට ගිහිගෙයින් නික්මී සය අවුරුද්දක් පුරා ඝෝර තපසින් යුතු අත්තකිලමථානුයෝගය පුරා එහි නිරර්ථක බව දැක අත්හළ සේක. පුරන ලද පාරමිතානුභාවයෙන් මධ්‍යම ප්‍රතිපදාවත්, ආනාපානසතියත් හඳුනාගත් උන්වහන්සේ දන්පැන් පමණට වළඳා ශරීර සුවය ලබාගත් සේක. ඉන් පසු උදා වූ වෙසක් පුන් පොහෝ දින උදෑසන, සුජාතා සිටු දියණියගේ ක්ෂීරපායාසය වළඳා නේරංජරා නදියෙන් පැන් සනහාගෙන බෝධි මණ්ඩලයට වැඩම කොට ඇසතු වෘක්ෂරාජයාණන්ට පිට දී සොත්ථිය බමුණානන් විසින් පුද දුන් කුස තණ ඇතිරූ තැන්හි මතු වූ පරම පිවිතුරු වජිරාසනය මත පෙරදිග බලා වැඩ සිටි සේක.

තුසිත දෙව්ලොවින් දේවාරාධනා ලබා චුත වූ බෝසතාණන් වහන්සේ වෙසක් පුන් පොහෝ දිනක දී වජිරාසනය මත මස්තකප්‍රාප්ත ව සිටින බව දැනගත් දිව්‍ය බ්‍රහ්ම ප්‍රජාව සම්බුද්ධත්වය දැක ගැනීමේ අළාමක ආශාවෙන් යුතු ව බෝ මැඩ වෙත පිට ව යන්නට වූවෝ ය. දෙව් බඹ ලොවේ සිදුවෙමින් පැවති මෙම කලබලය දැක සලිත වූ පාපී මාරයා කෝපයෙන් ගුගුලන්නට වූයේ ය.

“සුද්ධෝදන මාලිගාවෙන් අභිනික්මන් කොට නික්ම යද්දී ද සක්විති පදවි පෙන්වා නවත්වාගන්නට නො හැකි වූ සිද්ධාර්ථයන් වළක්වන්නට මම ඔහු පසුපස හය අවුරුද්දක් ම හඹා ගියෙමි. එනමුත්, ඔහුගේ බුද්ධත්වය සාක්ෂාත් කිරීම කෙරෙහි තිබුණ කැමැත්ත සහ අධිෂ්ඨානයත්, වීර්යය සහ නුවණත් මඳකින් හෝ අඩු නො වී ය. අද ඒ සිද්ධාර්ථ වජ්‍රාසනය මත නැගගෙන ය. බුදුවරු නිසා මාගේ අතීතයේ ද අප පරපුරට හානි සිදු විය. මා තවත් මොහොතක් හෝ පමා වන්නේ නම්, මොහු සැබැවින් ම බුදු බවට පැමිණ බුද්ධ බලයෙන් අපගේ බලය පරදා දමා මා හටත්, මාගේ පිරිවරටත් බොහෝ අලාභ සිදු කරනු ඇත. එබැවින් මේ සිද්ධාර්ථට බුදු බව ලබන්නට මම ඉඩ නො දෙන්නෙමි” යි සිතා දිවි ඇති තාක් දෙව් බඹුන් විසින් අසන්නට අකමැති තරම් අමිහිරි වූ වසවර්තිඝෝෂා නම් වූ බෙරය ගෙන වේගයෙන් තලමින් බෙර හඬ පතුරුවා හරිමින් මර සෙනඟ රැස් කරන්නට වූයේ ය. ඒ බිහිසුණු බෙර නාදය බ්‍රහ්මාණ්ඩය දක්වා පැතිර ගියේ ය. කෙලෙස් සහිත දෙව්බඹ කැළ භීතියෙන් සලිත වී ගියහ. සියලු සත්වයෝ තිගැස්සී ගියහ. බියෙන් තැතිගෙන ආරක්ෂිත ස්ථාන පවා අනාරක්ෂිත බව හැඟී හිස් ලූ ලූ අත දිව ගියහ.

එනමුත්, වජිරාසනය මත වැඩ සිටි සිද්ධාර්ථ බෝසතාණෝ, ‘මේ ඇසෙන්නේ මාගේ සම්බුද්ධත්වයට පෙරාතුව වයන මඟුල් බෙර නාදය යැයි’ සිතමින් පවිටු මරු අවසන් යුදය පිණිස කොයි මොහොතක හෝ මා කරා පැමිණෙනු ඇතැයි දැන අචල බවිනුත් අචල ව අනන්ත වූ පාරමී බල අදිටන් කොට නිසල ව වැඩ හුන් සේක.

පවිටු මරුගේ ඒ බෙර නාදය ඇසූ මර සෙනඟ ‘අපගේ රජිඳුන් කලකට පසු අද මහා යුද්ධයක් කරන්නේ ය’ යි කියමින් ඔද වැඩී නා නා විධ අවි අමෝරාගෙන දිව විත් මරු පිරිවරා ගත්තෝ ය. එමෙන් ම පාපී මාරයා ද දැවැන්ත සිරුරක් ඇති ගිරිමේඛලා නම් ඇතු පිට නැගී, සිද්ධාර්ථයන් විසින් සඟවාගත් අවි ඇතැයි සිතා පන්සියයක් හිස් මවාගෙන, එහිස් මත දිදුලන රක්තවර්ණ දහසක් දෙනෙත් අයාගෙන, දහසක් අත් මවාගෙන දහසක් වූ නා නා විධ අවි ආයුධ අමෝරාගෙන මර සෙනඟ පිරිවරා බටහිර දිශාවේ සිට බෝසතාණන් වහන්සේට පිටුපසින් මර හඬ දෙමින් දිව එන්නට වූයේ ය. සතුරෙකු හඹා එන විට වඩ වඩාත් බිය උපදවන්නේ ඒ සතුරා පිටුපසින් හඹා එන විට ය. එය දත් පවිටු මරු දිගින් පළලින් අසූහතර ගව්වක් බැගින් භූමියේ පැතිර ගිය දස බිම්බරක් මාර සේනාව සමගින් සමුදුර ගොඩ ගලන්නා සේ කඳු හෙල් පනිමින් බෝසතාණන් වහන්සේගේ පිටුපසින් ම හඹා ආවේ ය. ඒ මර සෙනඟගේ ඝෝෂාව කෙබඳු ද යත් හාත්පස ගවු හාරසියයක් පුරාවට පොළව පෙරළෙන හඬ සේ මහත් සේ බිහිසුණු ව පැතිර ගියේ ය. මනුලොව පමණක් නො ව කෙලෙස් සහිත දෙව් බඹහු පවා ඒ හඬ අසා බියපත් ව තම තමන්ගේ විමානයන් හි සැඟව ගියහ. කෙලෙස් ඇති දෙවිවරුන් අතරින් දෙදෙව් ලොවට අධිපති සක්දෙවිඳුන් පමණක් විමානයට නො වැදී මහාමේරුව මත නැවතී ජයශංඛය බිම වැටීමට නො දී පපුවට තද කොට ගත්හ.

එම මොහොතේ, තමා පසුපසින් හඹා එන මර සෙනඟ බෝ මැඩ වට කර ගන්නා බව දුටු බෝසතාණන් වහන්සේ තුළ අචල, අකම්පිත සිතිවිල්ලක් පහළ විය.

‘මේ සා විශාල ප්‍රමාණයක් වූ මාර පාක්ෂික සත්වයෝ හුදෙකලා ව සිටින්නා වූ මා වනසන්නට දිව එන්නෝ ය. මෙහි මා සමඟ නැගී සිටීමට මේ භවයේ මාගේ මෑණියන් ද නො සිටින්නී ය, පියාණන් ද නො සිටින්නේ ය, සහෝදර ඥාතීහු ද නො සිටින්නෝ ය. එනමුත් සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ අත් නොහැර පැමිණි මාගේ සත්‍ය පාරමිතාව නම් වූ මෑණියන් මා සමඟ නැගී සිටින්නී ය. ප්‍රඥා පාරමිතාව නම් වූ පියාණෝ ද මා සමඟ නැගී සිටින්නෝ ය. පුරුදු කළ සත්පුරුෂ දහම මාගේ සහෝදර ඥාති කැල ය. මෛත්‍රී පාරමිතාව මාගේ කල්‍යාණ මිත්‍රයා ය. මාගේ අචල ශ්‍රද්ධාව ප්‍රිය වූ කාන්තාව මෙන් ය. මාගේ ක්ෂාන්ති පාරමිතාව පුත්‍රයා මෙන් ය. මේ ඥාතින් සය දෙනාට මේ සා දීර්ඝ කාලයක් පුරාවට ම මම කිසිදු අඩුවක් නොකොට සත්කාර කළෙමි. එබැවින් මෙම ඥාතීන් බලසම්පන්න ව මේ මොහොතේ නැගී සිටිනු ඇත. එමෙන් ම, මා විසින් නොයෙක් ජාතීන්හි පරිපූර්ණ කරන ලද සමතිස් පෙරුම් දම් නම් වූ යෝධයන් තිස් දෙනා ද එක හා සමාන ව ම නැගී සිටිනු ඇත. එමෙන් ම සත්තිස් බෝධිපාක්ෂික ධර්මයෝ මාගේ සෙන්පතියන් ය. තව ද මේ සා දීර්ඝ කාලයක් මුළුල්ලේ මා විසින් සුරකින ලද නවදහස් අසූ කෝටි පනස් ලක්ෂ තිස්හයදහසක් වූ සංවර සීලයෝ මාගේ සේනාව ය. එබැවින් පවිටු මරුවාට අද නම් පරාජය ම මිස වෙන කිසිවක් උරුම නො වන්නේ ය.’ මෙසේ සිතා, තමන් වහන්සේගේ පාරමිතා නැමැති බලකොටුව මවා සීල තේජස නමැති සේනාව පිරිවරා මහා සේනා පිරිවරා වැඩ සිටි සුදර්ශන නම් සක්විති රජුන් සේ මාගේ ධර්මචක්‍රවර්තීන් වහන්සේ අචල ව ම වැඩ සිටි සේක.

මහ බෝසතාණන් වහන්සේ අචල බව දැනගත් පවිටු මරු ප්‍රචණ්ඩ සුළඟකින් පහර දුන්නේ ය. මහා වෘක්ෂ මහා පර්වත පෙරලන සුලු ඒ බිහිසුණු මාරුතය බෝසතාණන් වහන්සේගේ මෛත්‍රී පාරමිතාවේ ආනුභාවයෙන් දුර්වල වී ගිමන් නිවන සිහින් පවනැල්ලක් සේ කිසිදු අනතුරක් සිදු නො කොට සන්සුන් ව අතුරුදහන් විය. උදයගිරි පර්වතයෙන් පැන නගින සූර්ය රාජයා සේ අකම්පිත ව වැඩ සිටින අපගේ බෝසතාණන් වහන්සේ ව දුටු පාපී මාරයා, කෝපාවිෂ්ඨ වී, මහා ඝන වර්ෂාවකින් පහර දුන්නේ ය. එයිනුදු පලක් නො වූ කල මහා පර්වත වර්ෂාවකින් පහර දුන්නේ ය. ඉන් ද පලක් නො වූ කල කඩු තෝමර ඊ ආදි තියුණු ආයුධ වැස්සකින් පහර දුන්නේ ය. ගිනි අඟුරු වර්ෂාවකින් පහර දුන්නේ ය. ගිනියම් වූ වැලි වර්ෂාවකින් පහර දුන්නේ ය. බිහිසුණු ගණාන්ධකාරයකින් පහර දුන්නේ ය. නමුත් අපගේ බෝසතාණන් වහන්සේ හිරු සඳු සේ අකම්පිත ව නිරුපද්‍රිත ව සුපිපි පියුමක් බඳු ප්‍රසන්න මුව මඬලක් දරාගෙන වැඩ සිටි සේක. බෝසතාණන් වහන්සේගේ ආනුභාවයෙන් ඇසතු වෘක්ෂරාජයාණන්ට ද කිසිදු හානියක් සිදු නො වී ය.

අවසානයේ ගිරිමේඛලා ඇතු පිට සිටි පාපී මාරයා බෝසතාණන් වහන්සේ ඉදිරියට පැමිණ, තමන් ම පහර දෙමියි සිතා තමාගේ බිහිසුණු චක්‍රායුධය කරකවා බෝසතාණන් වහන්සේ වෙත දමා ගැසුවේ ය. ඒ චක්‍රායුධය කෙතරම් බලවත් ද යත්, මහමෙරට දමා ගැසුවහොත්, එය දෙබෑ වී යන්නේ ය. සමුදුරට දමා ගැසුවහොත්, දිය සිඳී යන්නේ ය. අහසට දමා ගැසුවහොත්, දහසය වසරක් වැසි නො ලැබෙන්නේ ය. තම රජු විසින් ආත්මාරක්ෂාවට තබා ගත් ප්‍රබල ම අවියත් දමා ගැසූ බව දුටු මාර සේනාව තම තමා අත තිබුණු සියලු අවි වජිරාසනය වෙත එල්ල කළෝ ය. ‘අහෝ බෝසතාණන් වහන්සේගේ පරාජය මේ දෙනෙතින් නො දකිත්වා’ යි සිතා මොහොතකට කෙලෙස් සහිත සියලු දෙව් බඹුන්ගේ දෑස් පියවිණ. ඒ සා බිහිසුණු චක්‍රායුධයත්, දස බිම්බරක් මාර සේනාවේ ආයුධ වර්ෂාවත් බෝසතාණන් වහන්සේගේ අනන්ත පාරමිතානුභාවය හමුවේ සන්සුන් වී, මල් වියනක් සේ බෝසත් ශීර්ෂයට ඉහළින් නැවතී නො පෙනී ගියෝ ය. බිහිසුණු මාර බලය පරදවා දමා අකම්පිත ව වැඩ සිටින්නට යමෙක් සමත් වේ නම්, දිව්‍ය බ්‍රහ්ම ප්‍රජාව සහිත තුන් ලොවේ ම එක ම බලය හිමිවන්නේ සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් නො අඩුව සමතිස් පෙරුම් දම් පිරූ බෝසතාණන් වහන්සේලාට ම ය. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ හමුවේ පාපී මාරයාගේත්, බිම්බරක් දස මාරසේනාවේත් සියලු අවි අවසන් ව ගොස් තිබිණ. මහා නිරයේ ගිනි සිළු සේ කෝපාවිෂ්ඨ ව සිටි පාපී මාරයා මහා හඬ නංවමින් දබරැඟිල්ල දිගු කොට අපගේ බෝසතාණන් වහන්සේට තර්ජනය කළේ ය.

“එම්බා සිද්ධාර්ථ..! වහා ම මාගේ වජ්‍රාසනයෙන් නැගිටිවු. නැති නම් තොප ඔසවා පරසක්වළ ගසන්නෙමි” එබස් ඇසූ අපගේ බෝසතාණන් වහන්සේ ඉතා සන්සුන් ව, අචල ව පිළිතුරු දුන් සේක.

“පාපී මාරය…! වජ්‍රාසනයේ හිමිකරු ම ය ඒ මත මේ වැඩ සිටින්නේ. සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් පුරාවට මහ පොළවටත් වඩා ඇඟ මස් දන් දුන්නෙමි. මහ සයුරටත් වඩා රුධිරය දන් දුන්නෙමි. මහමෙරටත් වඩා හිස් දන් දුන්නෙමි. තරු ද පරදා ඇස් දන් දුන්නෙමි. අඹු දරුවන් දන් දුන්නෙමි. තමා සන්තක වස්තුව හිස් වන තෙක් ම උපමාවකින් කිව නො හැකි තරම් දන් දුන්නෙමි. සමතිස් පෙරුම් දම් පිරුවෙමි. එනිසා මේ වජ්‍රාසනයේ හිමිකරුවා මම වෙමි. සා පැටවෙකුගේ තරම්වත් මසක් දන් නො දුන් තොපට, ඇසි පිල්ලමක්වත් දන් නො දුන් තොපට, මදුරු මැස්සෙකුට තරම්වත් ලේ බිඳක් දන් නො දුන් තොපට, හිස තබා කෙස් ගසක්වත් දන් නො දුන් තොපට, අඹු දරුවෙක් තබා දැසි දස්සෙක්වත් දන් නො දුන් තොපට, අසීමිත ලෙස කාමය ම අනුභව කොට සසර පුරා ම කාමය ම වර්ණනා කළ තොපට, එක් පාරමිතාවක්වත් නො පුරපු තොපට මේ වජිරාසනය කෙසේ හිමි වන්න ද! මේ වජිරාසනයේ සැබෑ හිමිකරු දැන් එය හිමිකරගෙන සිටින්නේ ය.”

එබස් අසා කෝපාග්නියෙන් දැවෙමින් සිටි, අසත්‍යයටත් අධර්මයටත් අධිපති පාපී මාරයා පෙරටත් වඩා බිහිසුණු හඬකින් ගර්ජනා කළේ ය.

“අහා… සිද්ධාර්ථ! මා නුඹට වඩා පෙරුම් පුරා ඇත. නුඹට වඩා ඇස් ඉස් මස් ලේ දන් දී ඇත. වහා නැගිටුව! නො එසේ නම්, පරසක්වළ ගසන්නෙමි…”

“පාපී මාරය…! ඔබ පිරූ පාරමිතාවන්ට, ඔබ දුන් දානයන්ට සාක්ෂි කොහි ද?”

පාපී මාරයා මහ හඬින් සිනහසෙමින්… “මාගේ මර සෙනඟ සාක්ෂියි…! මාගේ මර සෙනඟ සාක්ෂියි…!!” කියද්දී

“අපි සාක්ෂි…! අපි සාක්ෂි…!!” යි බිම්බරක් දස මාර සේනා ව මහාමේඝ ගර්ජනාවක් සේ පාපී මාරයා වෙනුවෙන් සාක්ෂි දෙමින් කෑගසන්නට වූවෝ ය.

“අහා සිද්ධාර්ථ…! කෝ නුඹේ සාක්ෂි…? නුඹ වෙනුවෙන් බුද්ධ කෝලාහල කළවුන් ද බලු රැලක් සේ සැඟව ගොසින් ය. කවුද අද නුඹට සාක්ෂි දෙන්නේ…?”

“අහෝ පාපී මාරය…! නුඹ පණ ඇති මැදහත් නො වූ නුඹේ ම පිරිස ලවා සාක්ෂි කියවා ගත්තේ ය. මා නුඹට සිත් පිත් නැති, තුන් කල්හි ම මැදහත් කෙනෙකුගේ සාක්ෂි ලබා දෙන්නෙමි…” යි පැවසූ බෝසතාණන් වහන්සේ තමන් වහන්සේගේ දකුණු ශ්‍රී හස්තය ඔසවා ඇඟිලි තුඩුවලින් මහපොළවේ වියැළී ගිය තණ රොඩු පිරිමැද යොදුන් ගණනක දිග පළලකින් යුතු මිහිකත ස්පර්ශ කළ සේක.

“එම්බා මහී මාතා, මහ සයුර තරණය කොට දින හතක් පිහිනා ගොස් මවගේ දිවි රැක වෙරළේ වැතිර සිටි විටත්, දීපංකර පාද මූලයේ වැතිරී පළමු නියත විවරණය ලබන විටත්, මා වැතිරී සිටියේ නුඹ මත නො වේ ද? ගෙවී ගිය සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂය තුළ එක ම අරමුණක් වෙනුවෙන් මාගේ ම හිස දන් දෙද්දී ගණනින් කිව නො හැකි තරම් වූ ඒ අප්‍රාණික හිස් කඩා වැටුනේ නුඹ මතට නොවේ ද? මහ සයුර පරයා රුධිරය දන් දෙන විටත්, තරු පරයා ඇස් දන් දෙන විටත්, මහමෙර පරයා මස් දන් දෙන විටත් මේ සිරුරෙන් ගලා ගිය ඒ උණුසුම් රුධිර ධාරා ඇද වැටුනේ නුඹ මතට නො වේ ද? ගංගා නම් ගඟ පිරවිය හැකි තරම් දන් දී දාන පාරමිතාව පුරන විට, හිරු සඳු සිසිල් කළ හැකි තරම් මෛත්‍රිය පාරමිතාව පුරන විට, බ්‍රහ්මාණ්ඩය ම පරදවමින් ප්‍රඥා පාරමිතා ව පුරන විට, නුඹටත් වඩා අකම්පිත ව ඛන්තී පාරමිතාව පුරන විට, ඒ සා දීර්ඝ කාලයක් පුරාවට මා පය ගසා සිටියේ නුඹ මත නො වේ ද? එම්බා මහී මාතා, මේ නුඹේ වාරය යි…!”

බෝසතාණන් වහන්සේගේ පරිපූර්ණ වූ පාරමී තෙද බලයෙන් ජව ලද මහී මාතාව සක්වළ හා සමාන ලෝහ බෙරයක්, මහමෙර හා සමාන බෙර දණ්ඩකින් තලන්නා සේ ශත ඝෝෂා, සහස්‍ර ඝෝෂා යන මහී ඝෝෂා පැවැත්වුවා ය. ඒ සමඟින් ම මේ මහා මිහිකත දස දහසක් චක්‍රාවාටයන් හි දස දහසක් මිහිකතවල් සමඟ එක් ව මහ හඬින් ගුගුර ගුගුරා කම්පා වන්නට වූවා ය. ඒ මොහොතේ ම, දස බිම්බරක් මාර සේනාව බියපත් කරවමින්, මොහොතකට මහ පොළව පැලී ගොස් එකසිය තිහක් වූ මහා නරකයන්හි ගිනි දලු යොදුන් ගණනක් උසට පැන නැංගෝ ය. බෝසතාණන් වහන්සේ වෙනුවෙන් දස දහසක් මිහිකතවල් සාක්ෂි සපයන බව දැක ත්‍රාසයටත්, භීතියටත් පත් වූ මර සෙනඟ, සළු පිලි, අබරණ, ආයුධ පමණක් නොව, තම රජු වූ පාපී මාරයා ද අත්හැර දමා හිස් ලූ ලූ අත පලා ගියෝ ය. එපමණක් නො ව, ගිරිමේඛලා ඇතුන් ද අප්‍රාණික ව දෙදණින් වැටිණ. බියපත් වූ ඇතු පාපී මාරයා ද බිම හෙලා නගුට අකුලාගෙන දුවන සුනඛයෙකු සේ පලා ගියේ ය. මුල පටන් ම සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බලවත් බව දැන සිටි පාපී මාරයා හට පරාජය පිළිගනු හැර වෙන කිසි විකල්පයක් නො වී ය. බිම වැටී අසරණ ව සිටි ඔහු බෝසතාණන් වහන්සේගේ අචල අකම්පිත මුව මඬල දෙස බැලුවේ ය.

“සිද්ධාර්ථයෙනි, ඔබ බලවත් බව මම දන්නෙමි. ඔබ තෙදවත් බව මම දන්නෙමි. ඔබ සමතිස් පෙරුම් පිරූ බව මම දන්නෙමි. හුදෙකලා වූ ඔබ පුරණ ලද ගුණ කඳක බලමහිමයෙන් ම, බිම්බරක් දස සේනාවක් සහිත යුදයේ තෙද බල ඇති මා පරදා බිම හෙළුවේ ය. මම පරාජය වුණෙමි. අවසානයේ ඔබ ජය ගත්තේ ය…” යි පවසා හේ අතුරුදහන් වූයේ ය.

දීපංකර පාද මූලයේ නියත විවරණ ලබා සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පෙරුම් දම් පිරූ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ඇසතු වෘක්ෂ මූලයේ බුදුවරුන්ගේ වජිරාසනය මත වැඩ සිට දස බිම්බරක් මාර සේනාව පරාජය කළ බව අකනිටා බඹ ලොව බලා පැතිර ගියේ ය. එය දුටු මහමෙර මත නැවතී සිටි දෙදෙව්ලොවට අධිපති සක් දෙව්රජාණෝ ජයතුරා ශංඛය ගෙන වජ්‍රාසනය බලා මහත් වූ ප්‍රීතියෙන් තෙවරක් ම නාද කළේ ය.

 

————————————————————–

සියල්ල සන්සුන් විය. පවිටු මරු සේනා සහිත ව පැමිණ බෝසතාණන් වහන්සේ හමුවේ පරාජය වී පලා ගියේ ය. බෝසතාණන් වහන්සේටත්, ඇසතු වෘක්ෂරාජයාටත් දුහුවිලි පොදක තරම්වත් පීඩාවක් සිදු නො විණ. වෙසක් පුන්සඳ මඬල වලා අතරින් මතු විය. පලා ගිය දෙව් බඹුන් වජිරාසනය වෙත පැමිණෙන්නට විය. සන්සුන් සිතැති බෝසතාණන් වහන්සේ දෙනෙත් පියා ගත් සේක. සුළු මොහොතකින් ම එම රාත්‍රියේ පූර්ව යාමය ආරම්භ විය.

 

———————————————————————-

සහම්පතී මහා බ්‍රහ්මරාජයාණෝ

එකල්හී භාග්‍යවත් බෝසතාණන් වහන්සේ එම රාත්‍රියේ පූර්ව යාමය අවසන් වන විට දී, සියලු සත්වයන්ගේ පෙර විසූ කඳ පිළිවෙළ දකිනා පුබ්බේනිවාසානුස්සති ඥානය උපදවා ගත් සේක. එම රාත්‍රියේ මධ්‍යම යාමය අවසන් වන විට දී, සියලු සත්වයන්ගේ චුතවීමත්, කර්මානුරූප ව යළි ඉපදීමත් දක්නා වූ දිවැස පිරිසිදු කර ගනිමින් චුතූපපාත ඥානය උපදවා ගත් සේක. අපගේ භාග්‍යවත් බෝසතාණන් වහන්සේ එම රාත්‍රියේ පශ්චිම යාමය අවසන් වන විට දී, පටිච්චසමුප්පාද ධර්මයන්ගේ සමුදය සහ නිරෝධය ප්‍රත්‍යක්ෂ වශයෙන් ම අවබෝධ කරගෙන කාමාශ්‍රව, භවාශ්‍රව සහ අවිජ්ජාශ්‍රව යන සියලු ආශ්‍රවයන් ප්‍රහාණය කොට දමමින් තුන් ලෝකය තුළ ම පැතිරී පැවති පවිටු මාර බලය පරාජය කොට අනන්ත සක්වළ සිසාරා අනන්ත ගුණ සහිත බුද්ධ බලය ම අභිෂේක කරවමින් ඒ උතුම් වජිරාසනය මත දී සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාළ සේක. එපමණකින් ම එම ඇසතු වෘක්ෂරාජයාණෝ ‘බෝධීන් වහන්සේ’ යන ප්‍රඥප්තිය ලබා පූජා ලාභයෙන් බුදුරජාණන් වහන්සේ හා සම වී තුන් ලොව තුළ අභිසෙස් ලැබී ය.

දස සහසක් ලෝක ධාතුව කම්පා වී ගියේ ය. අප්‍රමාණ වූ ආලෝකයක් පැතිර ගියේ ය. බෝ මැඩ අසල ආකාසයේ පිරිවර සහිත ව පහළ වී සිටි දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දිව්‍යරාජයා ජයතුරා ශංඛය ගෙන දෙවෙනි වරට ද නාද කළේ ය.

 

———————————————————–

ගෞතම බුදුරජාණන් වහන්සේ

අනේක ජාති සංසාරං – සන්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසන්තෝ – දුක්ඛා ජාති පුනප්පුනං

ගහකාරක දිට්ඨෝසි – පුන ගේහං න කාහසි
සබ්බා තේ ඵාසුකා භග්ගා – ගහකූටං විසංඛිතං
විසංඛාරගතං චිත්තං – තණ්හානං ඛයමජ්ඣගාති

නොයෙක් ලෙසින් ඉපිද ඉපිද – සසරේ සැරිසරා ගියෙමි
මේ හැම දුක් හදන කෙනා – දුක් විඳ විඳ සොයා ගියෙමි
යළි යළි උපතක් ලැබීම – ලොවේ දුකක් ම ය තිබීම

මේ හැම දුක් හදනා නුඹ – දැන් හඳුනාගත්තෙමි මම
ආයෙත් නම් මෙවැනි දුකක් – නුඹට සදාලනු නො හැකි ය.
නුඹේ සියලු පරාලයන් – ගෙයි මුදුනේ කැණිමඬල ද
කිසි දා ගත නො හැකි පරිදි – හැම ලෙස විසුරා දැමුවෙමි
විසංඛාරගත විය සිත – හැම තණ්හා නැති වුණේ ය

—————————————————————-

බෝමැඩට අධිගෘහිත දේවතාවෝ

එම රාත්‍රියේ පශ්චිම යාමය අවසන් වනවාත් සමග ම නැගෙනහිර ආකාශයෙන් අරුණලු උදා වී සූර්යෝදාව සිදු වූයේ ය. සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය ලබා ගැඹුරු සමාධියකට සමවැදී නොසෙල්වී සිටි සේක. බුද්ධ බලයෙන් ද දේව ප්‍රඥප්තියෙන් ද බ්‍රහ්ම ප්‍රඥප්තියෙන් ද ලෝක ධර්මතායෙන් ද ඇසතු වනයේ සියලු දිව්‍ය විමාන මහේශාක්‍ය බවට පත් විය. මහ බෝ රජුන්ගේ ආරක්ෂාවට දිව්‍යරාජයෝ පත් වූහ. යක්ෂ සෙන්පතිවරු පත් වූහ. නාග සෙන්පතිවරු පත් වූහ. ගාන්ධර්ව සෙන්පතිවරු පත් වූහ. සියලු දෙව්බඹහු එක් ව නා නා විධ පුද පූජාවන් කළෝ ය. මේ ආකාරයෙන් මිනිස් ලොවෙන් දින හතක් ම ගෙවී ගියේ ය.

 

—————————————————

සංගීතිකාරක මහ රහතන් වහන්සේලා – බෝධි කථා – මහා වග්ග පාළි

පූර්ව යාමය

සම්බුද්ධත්වය සාක්ෂාත් කිරීමෙන් පසු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උරුවේලාවේ නේරංජරා නදී තීරයේ ඇසතු නම් වූ බෝ සෙවණේ දින හතක් ම විමුක්ති සුව විඳිමින් එක ම පළඟෙහි වැඩ සිටි සේක. එම දින හත අවසානයේ, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාත්‍රියේ පූර්ව යාමයේ දී පටිච්චසමුප්පාදය අනුලෝම විලෝම වශයෙන් මනසිකාර කරන්නට විය.

‘අවිද්‍යාව හේතුවෙන් සංඛාර වේ. සංඛාර හේතුවෙන් විඤ්ඤාණ වේ. විඤ්ඤාණ හේතුවෙන් නාම රූප වේ. නාම රූප හේතුවෙන් ආයතන හය වේ. ආයතන හය හේතුවෙන් ස්පර්ශය වේ. ස්පර්ශය හේතුවෙන් වේදනාව වේ. වේදනාව හේතුවෙන් තණ්හාව වේ. තණ්හාව හේතුවෙන් උපාදානය වේ. උපාදානය හේතුවෙන් භවය වේ. භවය හේතුවෙන් ඉපදීම වේ. ඉපදීම හේතුවෙන් ජරාවත් මරණයත් සෝක වැළපුම් දුක් fදාම්නස් සහ සුසුම් හෙළීම් වේ. මෙපමණකින් ම සියලු දුක් රැසේ හටගැනීම සිදු වේ.

ඒ අවිද්‍යාව ඉතිරි නැති ව නිරුද්ධ වීමෙන්, ඇල්ම නැති වීමෙන්, නිරෝධයෙන් සංඛාර නිරුද්ධ වී යයි. සංඛාර නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වී යයි. විඤ්ඤාණය නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වී යයි. නාම රූප නිරුද්ධ වීමෙන් ආයතන හය නිරුද්ධ වී යයි. ආයතන හය නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වී යයි. ස්පර්ශය නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වී යයි. වේදනාව නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වී යයි. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදානය නිරුද්ධ වී යයි. උපාදානය නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වී යයි. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වී යයි. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරාවත්, මරණයත්, සෝක වැළපුම් දුක් fදාම්නස් සහ සුසුම් හෙළීම් නිරුද්ධ වී යයි. මෙපමණකින් ම සියලු දුක් රැසේ නැති වීම සිදු වේ.

එකල්හි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ උදානය පහළ කළ සේක

“යදා හවේ පාතුභවන්ති ධම්මා – ආතාපිනෝ ඣායතෝ බ්‍රාහ්මණස්ස
අථස්ස කංඛා වපයන්ති සබ්බා – යතෝ පජානාති සහේතුධම්මන්ති.”

“යම් කලෙක කෙලෙස් තවන වීරියෙන් යුතු ධ්‍යාන වඩන බ්‍රාහ්මණයාට (පටිච්චසමුප්පාද සමුදය පිළිබඳ අවබෝධ වීම නම් වූ) ධර්මයන් පහළ වෙත් ද එකල්හි ඔහුගේ සියලු සැක සංකා දුරු වී යයි. (මක් නිසා ද යත්) ධර්මයන් හේතු ප්‍රත්‍ය සහිත ව පවතින බව දැන ගන්නා හෙයිනි”

මධ්‍යම යාමය

ඉන් පසු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාත්‍රියේ මධ්‍යම යාමයේ දී ද පටිච්චසමුප්පාදය අනුලෝම විලෝම වශයෙන් මනසිකාර කරන්නට විය.

‘අවිද්‍යාව හේතුවෙන් සංඛාර වේ. සංඛාර හේතුවෙන් විඤ්ඤාණ වේ…… භවය හේතුවෙන් ඉපදීම වේ. ඉපදීම හේතුවෙන් ජරාවත්, මරණයත්, සෝක වැළපුම් දුක් fදාම්නස් සහ සුසුම් හෙළීම් වේ. මෙපමණකින් ම සියලු දුක් රැසේ හටගැනීම සිදු වේ.

ඒ අවිද්‍යාවේ ඉතිරි නැති ව නිරුද්ධ වීමෙන්, ඇල්ම නැති වීමෙන්, නිරෝධයෙන් සංඛාර නිරුද්ධ වී යයි. සංඛාර නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වී යයි……. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වී යයි. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරාවත්, මරණයත්, සෝක වැළපුම් දුක් දොම්නස් සහ සුසුම් හෙළීම් නිරුද්ධ වී යයි. මෙපමණකින් ම සියලු දුක් රැසේ නැති වීම සිදු වේ.

එකල්හි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ උදානය පහළ කළ සේක

“යදා හවේ පාතුභවන්ති ධම්මා – ආතාපිනෝ ඣායතෝ බ්‍රාහ්මණස්ස
අථස්ස කංඛා වපයන්ති සබ්බා – යතෝ ඛයං පච්චයානං අවේදී”ති.

“යම් කලෙක කෙලෙස් තවන වීරියෙන් යුතු ධ්‍යාන වඩන බ්‍රාහ්මණයාට (පටිච්චසමුප්පාද නිරෝධය පිළිබඳ අවබෝධ වීම නම් වූ) ධර්මයන් පහළ වෙත් ද එකල්හි ඔහුගේ සියලු සැක සංකා දුරු වී යයි. (මක් නිසා ද යත්) ප්‍රත්‍යයන්ගේ ක්ෂය වී යාම දැන ගන්නා හෙයිනි”

පශ්චිම යාමය

ඉන් පසු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විමුක්ති සුව විඳිමින් සිට රාත්‍රියේ පශ්චිම යාමයේ දී ද පටිච්චසමුප්පාදය අනුලෝම විලෝම වශයෙන් මනසිකාර කරන්නට විය.

‘අවිද්‍යාව හේතුවෙන් සංඛාර වේ. සංඛාර හේතුවෙන් විඤ්ඤාණ වේ…… භවය හේතුවෙන් ඉපදීම වේ. ඉපදීම හේතුවෙන් ජරාවත්, මරණයත්, සෝක වැළපුම් දුක් දොම්නස් සහ සුසුම් හෙළීම් වේ. මෙපමණකින් ම සියලු දුක් රැසේ හටගැනීම සිදු වේ.

ඒ අවිද්‍යාවේ ඉතිරි නැති ව නිරුද්ධ වීමෙන්, ඇල්ම නැති වීමෙන්, නිරෝධයෙන් සංඛාර නිරුද්ධ වී යයි. සංඛාර නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වී යයි……. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වී යයි. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරාවත්, මරණයත්, සෝක වැළපුම් දුක් දොම්නස් සහ සුසුම් හෙළීම් නිරුද්ධ වී යයි. මෙපමණකින් ම සියලු දුක් රැසේ නැති වීම සිදු වේ.

එකල්හි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ උදානය පහළ කළ සේක

“යදා හවේ පාතුභවන්ති ධම්මා – ආතාපිනෝ ඣායතෝ බ්‍රාහ්මණස්ස
විධූපයං තිට්ඨති මාර සේනං – සුරියෝ ව ඕභාසයමන්තලික්ඛන්ති.”

“යම් කලෙක කෙලෙස් තවන වීරියෙන් යුතු ධ්‍යාන වඩන බ්‍රාහ්මණයාට (පටිච්චසමුප්පාද සමුදයත්, නිරෝධයත් පිළිබඳ අවබෝධ වීම නම් වූ) ධර්මයන් පහළ වෙත් ද, එකල්හි ඔහු සූර්යයා ආකාසය ආලෝකවත් කරන්නා සේ මාර සේනා දුරු කරමින් සිටියි.”

 

—————————————————————

බෝමැඩට අධිගෘහිත දේවතාවෝ

මේ අතරේ, දෙවියන්ගේ සිත් තුළ සැක සංකා මතු වී ගියේ ය. ‘සැබැවින් ම බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වූයේ වී ද? නො එසේ නම්, තවත් සාක්ෂාත් කිරීමට ධර්මයන් තිබේ ද?’ යි කියා සිතමින් හැකිලුණු සිත් ඇති ව වාසය කරන්නට විය. මේ අතරේ හත් වැනි දිනයත් අවසන් වී ගොස් තිබුණ බැවින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අභිනීල නෙත් සඟල විවර කළ සේක.

දෙවියන්ගේ සිත් තුළ පැන නැඟි විතර්කය දුටුවාක් මෙන්, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, බෝධි මූලයේ සිට ම තමන් වහන්සේගේ ශරීරයෙන් ආලෝකයක් විහිදුවා ලූ සේක. ඒ සමගින් ම, උන්වහන්සේගේ සිරුරේ සෑම රෝම කූපයකින් ම ගිනි දැල් නික් මී ගියේ ය. ගිනි දැල් තිබිය දී ම ජල ධාරා නික් මී ගියේ ය. ගිනි ජාලා සහ ජල ධාරා එක විට ම නික් මී හාත්පස පැතිර ගියේ ය. ‘මහා බ්‍රහ්මයාගෙන් අසා දැනගත් පරිදි බුදුරජාණන් වහන්සේනමකට පමණක් සිදු කළ හැකි ද්විත්ව ප්‍රාතිහාර්යයක් වූ යමා මහ පෙළහර මෙය යැයි’, පවසමින් මහේශාඛ්‍ය දෙවිවරුන් සාදු නාද පවත්වන්නට විය. දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දෙවිඳුන් තුන්වැනි වරට ද ජයතුරා ශංඛය ගෙන නාද කරන්නට විය. එසැණින් ම, තුසිත දෙව්ලොවින් චුත වූ සන්තුසිත දිව්‍යරාජයා වූ සිද්ධාර්ථයන් වහන්සේ විසින් ස්ථිර ලෙස ම සම්මා සම්බුද්ධත්වයට පත් වූ බව දැනගත් රැස් ව සිටි දිව්‍ය ප්‍රජාව නටමින්, ගයමින්, ප්‍රීති ඝෝෂා පවත්වමින් මහත් වූ උත්සවයක් පැවැත්වූවෝ ය. මෙලොව අප ඉහළින් ම සතුටු වූ බුද්ධ මංගල්‍යය සිදු වූයේ ඒ ආකාරයෙන් ය.

—————————————————-

තෙරුවන් සරණ ගිය දේවතාවෝ…

එතැන් පටන් මිනිස් ලොවෙන් පන්සාළිස් වසක් ම මහා හිරු මඬලක් සේ චතුරාර්ය සත්‍යය දේශනා කළ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙව් මිනිස් ලෝකයා හට නිර්වාණයේ සුවය ලබා දුන් සේක. වර්ෂ සිය දහස් ගණනක් පුරාවට බුද්ධ ශූන්‍ය ව පැවති මේ ලෝකයට සැබෑ සතුටත්, සැබෑ ප්‍රීතියත්, සැබෑ නිවනත් ලබා දෙමින් වැඩ සිටි සේක.

එනමුත්, එම සතුට පැවතියේ මිනිස් ලොවෙන් වසර 45 ක් වැනි ඉතා ම ස්වල්ප කාලයකි. යම් කෙනෙකුගේ ජීවිත කාලයක් තුළ ඉතා දුර්ලභ ව දැකිය හැකි බුදුරජාණන් වහන්සේනමකගේ පහළ වීම යම් පමණක සතුටක් ප්‍රීතියක් උපදවත් ද උන්වහන්සේගේ ජීවිත කාලය තුළ ධර්මය තුළ ස්ථාවර විය නො හැකි වුවහොත්, එම බුදුරජාණන් වහන්සේගේ ම පරිනිර්වාණය දැක ගැනීමට ලැබීම මහා බලවත් දුකක් අත් කර දෙන්නේ ය. ඇසින් දකිනා, කනින් අසනා දේවල් නිසා උපදින කිසිදු සැපයකට සම කළ නො හැකි සම්බුද්ධත්වය දැක ගැනීමෙන් උපදින සැපයත් ප්‍රීතියත්, ඇසින් දකිනා කනින් අසනා දේවල් නිසා උපදින කිසිදු දුකකට සම කළ නො හැකි පරිනිර්වාණය දැක ගැනීමෙන් උපදින දුකත්, පසුතැවීමත් යන දෙක ම අපි වින්දෙමු. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය සත්‍ය බව නැවත නැවතත් අපි සිහිපත් කර ගත්තෙමු.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු, මහා කස්සප මහරහතන් වහන්සේ ධර්ම සංගායනා පවත්වා බුදු සසුනේ ආයුෂය ශක්තිමත් කළහ. එයිනුත් සියවස් දෙකකට පසු, අශෝක නම් අධිරාජයෙක් පහළ වී තෙරුවන් සරණ ගොස් බොහෝ පින් රැස් කළේය. . දස දහස් ගණනින් දෙව් පිරිස් අධිගෘහිත වූ පාටලීපුත්‍රය අගනුවර කර ගත් එතුමා, ගෞතම බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වූ වජිරාසනයට සෙවණ සලසාලන මහ බෝධීන් වහන්සේට මහත් වූ බැතිසිතින් බුදුරජුන් හා සම කොට පුද සත්කාර කළේය.

 

—————————————————————-

ධර්මාශෝක අධිරාජයාණෝ

ගෞතම බුදුරජුන් කෙරෙහි අපමණ ශ්‍රද්ධාවකින් යුතු ව සිටි මා හට ඒ අසිරිමත් බුදු රුව ජීවමාන ව දැක ගැනීමට තරම් වාසනාවක් නො තිබුණි. බුදු සසුන කෙරෙහි කෙතරම් ආදර ගෞරවයක් මා සිත තුළ තිබුණා ද යත්, ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය වෙනුවෙන් ඉහළින් ම සේවය කළ උපස්ථායකයා වීමට බලවත් ආශාවක් ඇති විය. එබැවින් ජම්බුද්වීපයේ පමණක් වෙහෙර විහාර අසූ හාරදහසක් ඉදි කළෙමි. ඒ සෑම විහාරයක ම බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කළෙමි. එමෙන් ම, දස දෙස රාජ්‍යයන් වෙත, ධර්මධර විනයධර සුපේශල ශික්ෂාකාමී සඟරුවන මහරහතන් වහන්සේලා පෙරදැරිව පිටත් කොට යවා ධර්මදූත සේවාවේ යෙදුණෙමි. එපමණකින් ද සෑහීමකට පත් නො වූ මම බුදු සසුනට ඥාතීත්වය ලබනු කැමති ව, මාගේ පුත්‍ර මහේන්ද්‍ර සහ දූ සංඝමිත්තා හට පැවිදි වීමට අවසර ලබා දුන්නෙමි. මා ප්‍රිය දූ පුතුන් සසුන් ගත වූ පසු, රජ මැදුර තුළ හුදෙකලා වූ මාගේ සියල්ල බවට පත් වූයේ ගයාවේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේ බඳු වූ මහ බෝධීන් වහන්සේ ය. පාටලීපුත්‍රයේ කටයුතුවලින් විවේකයක් ලද සෑම විටක ම මම බුද්ධගයාව බලා පිටත් වී දින ගණන් මහ බෝ රජුන්ටත්, වජිරාසනයටත් පුද සත්කාර කළෙමි. එමෙන් ම, මහ බෝ රජුන් ආරක්ෂා කර ගැනීම උදෙසා පවුරු පදනම් දමා රැකවලුන් ද යෙදෙව්වෙමි. සැදැහැවතුනට ජීවමාන බුදුරජුන් දැක ගැනීම උදෙසා පිළිම ගෙයක් ද කරවීමි. සම්බුද්ධත්වයෙන් පසු බුදුරජාණන් වහන්සේ මහ බෝ මැඩ අවට වැඩ සිටි ස්ථාන හඳුනාගෙන එම ස්ථාන වෙත වන්දනා මාන කරනු පිණිස මල් අසුන් සහ විහාරාදිය ඉදි කළෙමි.

මේ අතරේ, තම්බපණ්ණියේ වැඩ සිටි මාගේ පුත්‍ර මහින්ද මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදි එහි භික්ෂුණී සංඝයා බිහි කිරීම වෙනුවෙන් මාගේ දියණිය වූ සංඝමිත්තා නම් රහත් භික්ෂුණිය වැඩම කරවීමට කාලය උදා විය. සංඝමිත්තා තෙරණිය සමඟ මහ බෝධීන් වහන්සේ ද වැඩම කරවන ලෙස ඉල්ලා තිබුණි. එනමුත්, අතිශය නීරෝගී ව වැඩ සිටින, බුදුරජුන් සම වූ වජිරාසනයේ මහ බෝධීන් වහන්සේ තම්බපණ්ණියට දෙන්නේ කෙසේදැයි මම කල්පනා කළෙමි. බීජයක් දෙන්නේ නම්, එය මහ බෝධිය නො වන්නේ ම ය. ශාඛාවක් දෙන්නේ නම්, මහ බෝධියේ ආයුෂය හා සම වී මහ බෝධිය ම වන්නේ ය. එනමුත්, බුදුරජුන්ගේ බාහුවක් බඳු වූ මහ බෝ රජුන්ගේ ශාඛාවක් කපා දමන්නේ කෙසේ ද? තීරණයක් ගත නො හැකි ව, ජ්‍යෙෂ්ඨ මහරහතන් වහන්සේලාගෙන් උපදෙස් පැතීමි.

“ස්වාමීනී, මහ බෝ රජුන් තම්බපණ්ණියට යා යුතු ද?”

“මහරජ, , මහ බෝ රජුන් තම්බපණ්ණියට යා යුතු ය. එය අපගේ ශාස්තෘ වූ භාග්‍යවත් ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩ සිටි කාලයේ සිදු කළ අධිෂ්ඨානයකි..”

සිතේ පැවති කුකුස් නැතිවුණි. බුදුරජුන්ගේ අධිෂ්ඨානය පිළිබඳ අසා මහ බෝ රජුන්ගේ ශාඛාවක් තම්බපණ්ණියට ලබා දීමට මම සිත සකසා ගත්තෙමි.

නව රියන් වට ප්‍රමාණය ඇති, පස් රියන් උස ඇති. තුන් රියන් පළලැති, අඟල් අටක ඝනකමක් ඇති රන් පාත්‍රයක් තැනවූයෙමි. එහි මුවවිට ඇත් හොඬයක් මෙන් වන සේ නිමවා, පැන් පෙරීයාම පිණිස පතුල සිදුරු සකසා මතුපිට පිරිමැද ඉතා අගනා ලෙස නිමැවීමි. ඉන් පසු, මහා සංඝරත්නය ද වඩමවාගෙන, මාගේ අධිරාජ්‍යයේ මා යටතේ ඒ ඒ රාජ්‍යයන් පාලනය කරන්නා වූ දහසක් රජවරුන් ද චතුරංගනී සේනාව ද පිරිවරාගෙන, මල් සුවඳ ආදිය ද සමඟින් පාටලිපුත්‍රයෙන් පිටත් වී මහ බෝ මැඩ කරා පැමිණියෙමි.

ඒ මොහොතේ, මහ බෝධියේ දක්ෂිණ දිශාවේ ශාඛාව පමණක් මා හට පෙණුනි. මහ බෝධියේ රන්වන් මහ කඳ ද අනෙකුත් ශාඛා හා අතු ඉති ද නො පෙණින. මේ මහා පුදුම සහගත ප්‍රාතිහාර්යය දැක, මහ බෝධීන් වහන්සේට මා දිනූ දඹදිව අධිරාජ්‍යය පූජා කළෙමි.

මහ බෝධීන් වහන්සේ මලින් සරසා අපමණ පුද සත්කාර කළෙමි. ප්‍රාතිහාර්යයෙන් පෙනී ගිය දක්ෂිණ ශාඛාවට යටින් මණ්ඩපයක් තනා ඒ මත රන් පාත්‍රය තබා, රන් පාත්‍රය සුවඳැති පසින් සහ මැටියෙන් පිරවීමි.

දක්ෂිණ ශාඛාව අභියසට ම යා හැකි පරිදි අසුනක් පනවාගත් මම, රන් පන්හිඳක් අතින් ගෙන, ඉතා සුමට සුවඳැති රන් සිරියැල් මැටි ආලේපය ද ගෙන අසුන මත හිඳ ගත්තෙමි. බුදුරජුන් හා සම වූ මහ බෝ රජුන්ගෙන් අවසර ගෙන, ප්‍රාතිහාර්යයෙන් පෙනී ගිය ශාඛාවේ අවසාන සීමාව යම් තැනක ද ඒ වටා රන් පන්හිඳෙන්, රන් සිරියල් මැටි රේඛාවක් ඇන්දෙමි. ඉන් ඉහළට තුන් අඟලෙන් තුන් අඟල වන සේ තවත් රේඛා නවයක් ඇන්දෙමි. ඉන්පසු ව මාගේ ශ්‍රද්ධාව අධිෂ්ඨාන කොට බෝධි ශාඛා වහන්සේ හට රන් පාත්‍රයට වැඩම කරන ලෙසට ආරාධනා කළෙමි.

අහෝ…! මහත් අසිරියෙකි. කිසිදු සැතක් භාවිත නොකර ම, මහ බෝ රජුන්ගේ දක්ෂිණ ශාඛා වහන්සේ රන් සිරියල් රේඛාවේ සීමාවෙන් සිඳී, මහ බෝධියෙන් වෙන් වී, රන් පාත්‍රයට වැඩම කොට, සුවඳ මැටි මත වැඩ සිටි සේක. ඊට ඉහළින් වූ අනෙකුත් රේඛා අසලින් දස මුල් බැගින් පැන නැගී මුල් අනූවක් පැන නැඟුනාහ. ඒ සියලු මුල් සුවඳ පස් තුළ පැතිරී යන ආකාරය ඒ අසලින් ම සිටි මම සියැසින් ම දැක ගත්තෙමි. රන් පාත්‍රය මත වැඩ සිටින මහ බෝධියේ උස දස රියනකින් යුක්ත ය. සිව් රියන් උසැති ශාඛා පහක් දිශා පහකින් පෙනෙන්නට තිබුණේ ය.

මේ මහා ප්‍රාතිහාර්යය දුටු සියලු දෙනා ම සාදුකාර දුන්නෝ ය. දෙවියන් බඹුන් මිනිසුන්ගේ අපමණ සාදු නාද බුද්ධගයා භූමිය සිසාරා පැතිර ගියේ, මේ දැන් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වූවා වැනි සිරියක් ගනිමින් ය. දහස් සංඛ්‍යාත සාදු නාද මධ්‍යයේ රන් පාත්‍රය ද සමඟින් මහ බෝ රජුන් අහසට පැන නැඟී සත් දවසක් යන තෙක් හිම වලා ගැබෙහි සැඟ ව ගියේ ය.

‘බුදුරණන් වහන්සේ පිරිනිවන් පා සියවස් දෙකකටත් පසු මෙතරම් අසිරියක් සියැසින් දැක ගත හැකි නම්, බුදුරජාණන් වහන්සේගේ ජීවමාන සමය කෙතරම් නම් අසිරිමත් වන්නට ඇත්දැ’ යි.. සිත සිතා පිරිවර සමගින් සතියක් පුරා පුද පූජා පැවැත්වූයෙමි. ඒ සතිය අවසානයේ මහ බෝ රජුන් දර්ශනය විය. මේ මහා ප්‍රාතිහාර්ය දුටු මම දෙවෙනි වරට ද මහ බෝ රජුන් වෙත, දඹදිව රාජ්‍යය පුද කළෙමි.

ඉන් පසු ව, මහ පොළවට වැඩම කළ බෝධීන් වහන්සේ මහ පෙරහරින් වැඩම කරවාගෙන, තාම්‍රලිප්ත මුහුදු තොටුපළේ දී සංඝමිත්තා තෙරණිය වෙත භාර දුන්නෙමි. මහ බෝධීන් වහන්සේ දැකගන්නා අවසාන අවස්ථාව මෙය යැයි සිත තුළ පහළ වෙද්දී, අපමණ ආදර ගෞරවයකින් තුන් වෙනි වරට ද දඹදිව රාජ්‍යය මහ බෝධීන් වහන්සේ වෙත පුද දුන්නෙමි.

“මේ උතුම් මහ බෝධියට මම තුන් වරක් ම දඹදිව් රාජ්‍යය පූජා කළෙමි. මා ප්‍රිය දේවානම්පිය තිස්ස ය, අපගේ ශාස්තෘ හා සම වූ මේ උතුම් බෝ රජුන්ට ඔබ ද එපරිදි ම පුද සත්කාර කොට රැක බලා ගන්න…” යැයි හසුන්පතක් ලියා නැව් නැඟි අමාත්‍යයා අත තැබුවෙමි. සංඝමිත්තා තෙරණිය මහ බෝධින් වහන්සේ රැගත් නෞකාව නොපෙනී යන තුරු මුහුදු තෙරට වී දෑඟිලි බැඳ බලා සිටියෙමි. නො පෙනී ගිය පසු නැවත පැමිණ, පෙරටත් වඩා උනන්දුවෙන් මහ බෝ රජුන්ට පුද සත්කාර කළෙමි.

එම සිදුවීමෙන් පසු නොදැනුවත්ව ම මම මහ බෝ රජුන්ට බොහෝ ආදරය කරන්නට වීමි. ගෞරව කරන්නට වීමි. මහ බෝ රජුන්ගේ සෙවණේ ම කල් යවන්නට වීමි. මා කෙතරම් මහ බෝ රජුන්ට ආදරය කළා ද යත්, මාගේ තරුණ බිසොවක් වූ තිස්සාරක්ඛා තමන්ට ලැබිය යුතු ආදරය මහ බෝධිය වෙත ලැබෙනු දැක බෝ රජුන් කෙරෙහි බලවත් ඊර්ෂ්‍යාවක් උපදවා ගත්තී ය. බොහෝ අවස්ථාවල ඈ මාගේ බුද්ධගයා ගමන වළක්වාලීමට මහන්සි ගත්තා ය. නමුත්, මම ඇගේ බස් ගණනකට නො ගත්තෙමි. අවසානයේ ඇය, මා නොමැති දිනක දී, මහ බෝධිය වන්දනා කිරීමට මෙන් පැමිණ, විස කැවූ මඩු කටු ගසා ගිලන් කරවී ය.

මේ බව දැනගත් මම වහා ම බුද්ධගයාවට පැමිණියෙමි. මහ බෝ රජුන්ගේ පත්‍ර මැලවී ගොසින් ය. මහත් වූ කම්පාවට පත් වූ මම, කළ හැකි සෑම ප්‍රතිකාරයක් ම කළෙමි. එනමුත්, මහ බෝ රජුන් මාගේ දෑස් ඉදිරිපිට දී ම පිරිනිවන් පා වදාළ සේක. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම උන්වහන්සේ කෙරෙහි පැහැදී සිටි කෙලෙස් අත් නො හළ හදවතකට කෙතරම් බලවත් දුකක් අත් කර දේ දැයි එදින මම දැනගත්තෙමි. වජිරාසනයෙන් බෝ රජුන් අතුරුදහන් විය. ඉන්පසු මහ බෝ රජුන්ගේ ම බීජ බෝධීන් වහන්සේනමක්, එහි රෝපණය කොට, දිවි පරදුවට තබා උපස්ථාන කොට රැකබලා ගත්තෙමි.

දේවානම්පිය තිස්ස කෙතරම් නම් වාසනාවන්ත ද! මහ බෝ රජුන් අද නිරුපද්‍රිත ව තම්බපණ්ණියේ වැඩ සිටින සේක.

බුදුරජාණන් වහන්සේගේ තුන් කල් දක්නා නුවණ කෙතරම් නම් අසිරිමත් ද!! ඒ නිසා ම මහ බෝ රජුන් අද නිරුපද්‍රිත ව තම්බපණ්ණියේ වැඩ සිටින සේක.

රහතන් වහන්සේලා විසින් සෑම කල්හි ම කල් යල් බලා බුදු සසුන සුරැකීමට නිවැරදි ම තීරණ ගන්නා බව කෙතරම් නම් අසිරිමත් ද!!! ඒ නිසා ම මහ බෝ රජුන් අද නිරුපද්‍රිත ව තම්බපණ්ණියේ වැඩ සිටින සේක.

දේවානම්පිය තිස්ස ද තෙවරක් ම මහ බෝ රජුන්ට තම්බපණ්ණි දේශය පූජා කළ බව මම අසා දැනගත්තෙමි. එබැවින්, තම්බපණ්ණියත්, දඹදිවත් තෙවර බැගින් පිදුම් ලද යම් පූජා වස්තුවක් වේ ද ඒ තම්බපණ්ණියේ වැඩ සිටින මහ බෝ රජාණන් වහන්සේ ම ය.

ඒ උතුම් සිරි ගෞතම බෝධි රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා…!!!

 

———————————————————————-

ජෙට්ඨතිස්ස රජතුමා

සම්බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් අටකට පමණ පසු සිංහල දේශයේ රජ බවට පත් වූ මම බුදු සසුනට බොහෝ ආදරය කළෙමි. මාගේ සහෝදර භික්ෂූන් වහන්සේනමක් ඉතා ශ්‍රද්ධාවෙන් බුද්ධගයාව වැඳ පුදා ගැනීම පිණිස දඹදිව බලා පිටත් ව ගියේ ය. එහි දී ‘පිටරැටියෙකැ’ යි බොහෝ අවමන් විඳින්නට සිදු වූ බව දැන ගත්තෙමි. ඒ අසා කම්පාවට පත් මම දඹදිව සියලු සිද්ධස්ථාන අසල සංඝාරාමයන් ඉදිකරන්නට තීරණය කළෙමි. ඒ අනුව අගනා රන් රුවන් රැසක් සහිත ත්‍යාගයක් දඹදිව රජු වෙත යැව්වෙමි. එහි දී ඔහු, මා හට අවශ්‍ය කුමක් දැයි විමසා සිටියේ ය. ඒ සඳහා පිළිතුරු වශයෙන්, ‘දඹදිව සියලු සිද්ධස්ථානයන්හි සංඝාරාම ඉදි කරනු කැමැත්තෙමි’ යි ලියා යැවීමි. ඒ සඳහා පිළිතුරු ලිපියක් ලියා එවූ දඹදිව මහ රජතුමා ‘බෞද්ධ සිද්ධස්ථාන අතරින් එක් තැනක් තෝරා ගැනීම පිණිස අවසර ලබා දෙමි’ යි දන්වා සිටියේ ය.

ඉන් පසු, සිංහල සංඝයා රැස් කරවා, දඹදිව සංඝාරාමයක් ඉදි කිරීම පිණිස සුදුසු ම තැන කුමක්දැයි විමසා සිටියෙමි. සංඝයාගේ ඒකමතික පිළිතුර වූයේ ‘සියලු බුදුවරුන් සම්මා සම්බුදු බවට පත්වන බුද්ධගයාව’ ම සුදුසු බව ය. ඒ අසා සතුටට පත් වූ මම මහත් වූ ධනස්කන්ධයක් වියදම් කොට විශාල සංඝාරාමයක් ඉදි කරවූයෙමි. සංඝාරාමයේ කටයුතු නිමවා තඹ තහඩුවක් ගෙන පුවරුවක් තැන්පත් කළෙමි.

“සියලු දෙනට සමානත්වයෙන් සැලකීම බුදුවරුන් ඉගැන් වූ උසස් ධර්මයකි. කරුණා සම්පන්න වීම පෙර සිටි උතුමන්ගේ ශ්‍රේෂ්ඨ ගුණයකි. රාජ පරම්පරාවේ දුර්වල රජෙකු වූ මම ශුද්ධ වස්තුන්ගේ සංරක්ෂණය ද ඒවා අනාගත පරම්පරාවට දැක්ක හැකි වන සේ පවත්වා ගැනීම ද එයින් මහජනයාට මෙලොව පරලොව සැප සදා ගැන්මට හැකි වීම ද යන කරුණු සලකා මේ සංඝාරාමය කෙරෙව්වෙමි. මාගේ රාජ්‍යයට අයත් භික්ෂූන් වහන්සේට මෙහි නිදහස් ලෙස වාසය කළ හැකි ය. මෙරට භික්ෂූහු ද උන්වහන්සේලාට සමාන ලෙස සලකත්වා…! මාගේ මේ කැමැත්ත කඩ නොකොට පරම්පරාවෙන් පරම්පරාවට ගෙනයනු ලැබේවා!”

 

————————————————————–

හියුංසියෑං නම් චීන ජාතික භික්ෂූන් වහන්සේ

බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළේ මෙයින් සියවස් දොළහකට පමණ පෙර දී ය. චීන ජාතික, දේශ සංචාරක භික්ෂුවක් වූ මම බුදුන් වැඩ සිටි තැන් දැක බලා ගැනීම පිණිස චාරිකාව ඇරඹුවෙමි. පිළිවෙළින් ගම් නියම් ගම් තරණය කළ මම ගයා නගරයට පැමිණියෙමි.

ස්වභාවික ව ම ආරක්ෂිත වූ ගයා නගරයේ බ්‍රාහ්මණ වංශික පවුල් දහසක් පමණ වාසය කළෝ ය. ඍෂිවරයෙකුගේ පරම්පරාවෙන් පැවත එන මොවුන් රාජ්‍යයේ රජුන්ට අවනත නැත. එනමුත්, රට වැසියෝ මෙම බ්‍රාහ්මණ වංශයට බලවත් සේ ගෞරව කළෝ ය. ගයා නගරයෙන් නිරිත දෙසට ලී 6ක් දුරින් ගයා ශීර්ෂ පර්වතය වේ. ඒ මත අශෝක අධිරාජ්‍යයන් කළ අඩි 100ක් පමණ උස සෑයකි. ගයා පර්වතයෙන් ගිනිකොණ දිශාවේ උරුවෙල් කාශ්‍යපයන් වාසය කළ ස්ථානයේ ඉදි කළ ස්ථූපයකි. ඊට නුදුරින් ම ගයා කාශ්‍යප සහ නදී කාශ්‍යපයන් විසූ ස්ථානයන්හි ඉදි කළ තවත් ස්ථූප දෙකකි. ගයා කාශ්‍යප ස්ථූපයෙන් නැගෙනහිර දිශාවේ ගඟෙන් එතෙර (බෝසතාණන් වහන්සේ දුෂ්කරක්‍රියා කළ කාලයේ අවසන් භාගයේ වැඩ සිටි) ප්‍රාග්බෝධි පර්වතය පිහිටා ඇත්තේ ය. ප්‍රාග් බෝධි පර්වතයෙන් නිරිත දිගට ලී 15ක් පමණ දුරින් ගඟෙන් මෙතෙර මහ බෝධිය පිහිටා ඇත්තේ ය.

මහ බෝධිය උස් වූ ශක්තිමත් ගඩොල් ප්‍රාකාරයකින් වට කොට ඇත. මල් පිපෙන දුර්ලභ වෘක්ෂ වර්ගයන්ගෙන් එම භූමියට මනරම් සෙවණක් ලැබී තිබේ. මෘදු වූ ‘ෂා’ නම් පැළෑටි වර්ගයෙන් සහ තුවරලා ආදි මල් වර්ගවලින් භූමිය වැසී පැවතිණ. නැගෙනහිර දිශාවේ වූ ප්‍රධාන දොරටුව නේරංජරාවට මුහුණ ලා පිහිටා ඇත. දකුණු දොරටුවේ මලින් ගැවසුණු විශාල ඉවුරකි. බටහිර දොරටුව ඇහිරී තිබුණි. උතුරු දොරටුව සිංහල රජෙකු විසින් ඉදිකළ ‘මහා බෝධි සංඝාරාමය’ දෙසට විවෘත ව පැවතිණ.

ප්‍රාකාරය අභ්‍යන්තරය ශුද්ධ වස්තූන්ගෙන් පිරී ගොස් තිබිණ. දඹදිව නොයෙක්, රාජ, රාජකුමාර, මහාමාත්‍ය, සිටු ආදි නොයෙකුත් වන්දනාකරුවන් විසින් කරවූ ස්ථූප සහ කුඩා පිළිම ගෙවල් එකිනෙකට හැපි හැපී පිහිටා තිබිණ. භූමිය මධ්‍යයේ වූ බෝධි වෘක්ෂය අවට පිහිටා ඇත්තේ වජිරාසනය යි. පෘථිවියේ නාභිය වූ මේ උතුම් වජිරාසනය වට ප්‍රමාණයෙන් අඩි 100ක් පමණ වේ. සියලු බුදුවරු මෙහි ම වැඩ හිඳ සම්මා සම්බුද්ධත්වයට පත් වූ සේක. එම නිසා මෙම ස්ථානයට ‘බෝධි මණ්ඩලය’ යයි ද කියනු ලැබේ. භූ චලනයක දී පවා මෙම ස්ථානය අකම්පිත ය. බුදු සසුන වැනසී ගිය පසු, වජිරාසනය දුහුවිල්ලෙන් සහ පසින් වැසී නො පෙනී යයි.

එම වජිරාසනයට ඉහළින් මා දුටු ඇසතු වර්ගයේ වෘක්ෂය බෝධි වෘක්ෂය වේ. එය අඩි 40ක් හෝ 50ක් පමණ උසකින් යුක්ත යැයි සිතිය හැකි ය. ගෞතම බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වූ මුල් බෝධීන් වහන්සේ, අශෝක රජතුමාගේ දුෂ්ට බිසවක විසින් විනාශ කළ බව අසන්නට ලැබිණ. අද දක්නට ඇත්තේ අශෝක රජු විසින් අධිෂ්ඨාන කොට නැවත රෝපණය කළ බෝධිය යි.

එහි පොත්ත ලා කහ පැහැය මිශ්‍ර වූ සුදු වර්ණයෙන් යුක්ත ය. රිකිලි සහ කොළ තද කොළ පැහැයෙන් යුක්ත ය. ශීත කාලයේත්, උෂ්ණ කාලයේත් එහි පත්‍ර නිරුපද්‍රිත ව පවතින නමුත්, බුදුරජුන් පිරිනිවන් පෑ මාසයේ දී සියලු පත්‍ර හැළී අලුත් පත්‍ර පැන නගින්නේ ය. මෙම කාලයේ දී, බොහෝ රාජ මහාමාත්‍යාදීන් ද සැදැහැවතුන් ද පැමිණ බොහෝ පුද පූජා සිදු කරති.

මහ බෝධිය ඉදිරියේ නැගෙනහිර දිශාවෙන් අඩි 160ක් හෝ 170ක් පමණ උසැති පිළිම ගෙයක් වේ. මෙහි පදනමේ පැත්තක් අඩි 50ක් පමණ දිග ය. නිල්පැහැති ගඩොලින් බැඳ සුණු පිරියම් කොට ඇති මෙම මන්දිරයේ පිට පැත්තේ බිත්ති මත පෙළින් පෙළට සිටින සේ සැකසූ කුහරයන් මත රන් පිළිම තැන්පත් කොට තිබේ. පිටුපස බිත්ති දර්ශනීය මල්කම් ලියකම් ආදියෙන් කැටයම් කොට ඇත. මුළු මන්දිරය ම වැසෙන සේ තඹ කිකිණිගෙඩි සහිත දැලක් එල්ලා ආවරණය කොට තිබිණ.

මුල් කාලයේ දි, අශෝක අධිරාජයා මෙහි කුඩා පිළිමගෙයක් තනා තිබුණ බව දැනගත්තෙමි. ඉන් පසු සැදැහැවත් බ්‍රාහ්මණයෙක් එය විශාල කරවූයේ ය. විහාරවාසී භික්ෂූන්ගේ ද අනුශාසනා පරිදි, මිනිස් වෙසින් පැමිණි මෛත්‍රී බෝසතාණන් වහන්සේ විසින් ගෞතම බුදුරජුන්ගේ සම්මා සම්බුද්ධත්වය පිළිඹිබු කරන රන්වන් පැහැති භූමි ස්පර්ශ බුද්ධ ප්‍රතිමා වහන්සේනමක් ඉදිකොට දී තිබේ. එය මේ දක්වා ම නිරුපද්‍රිත ව පවතින්නේ ය.

රුවන් සක්මන, අනිමිස ලෝචන චෛත්‍යය, රතනාඝරය ආදි වජිරාසනය අවට පිහිටි සියලු වැදගත් ස්ථාන මත ඉදි කළ විවිධ පූජා ස්ථූප, විහාර සහ මූර්ති ද දැකගත්තෙමි.

 

————————————————————————-

ඇලෙක්සැන්ඩර් කනින්ග්හැම්

බුද්ධගයාව පිළිබඳ ව මා පර්යේෂණ ආරම්භ කළේ, ක්‍රිස්තු වර්ෂ 1861 පමණ ය. බුද්ධගයාවේ පිහිටි ඉපැරණි විහාරය ‘මහාබෝධිය’ ලෙස හත්වැනි ශත වර්ෂයේ මෙහි සංචාරය කළ හියුන්සියෑං නම් චීන ජාතික භික්ෂූන් වහන්සේ හඳුන්වා තිබුණේ ය. එමෙන් ම, 13 වැනි සියවසේ නැගෙනහිර ඉන්දියාව පාලනය කල ‘පාල’ අධිරාජ්‍යයේ ලියකියවිලිවලින් ද ‘මහාබෝධි’ යන නම තහවුරු විය.

1881 පෙබරවාරි මාසයේ දී මම නැවත වරක් ‘මහාබෝධි’ විහාරය වෙත ගියෙමි. වජිරාසන මණ්ඩපයේ සිදු කළ කැණීමක දී බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා සහිත ධාතු කරඬුවක් හමු වී තිබුණු බැවින් එය පරික්ෂා කිරීමට මම සහභාගි වුණෙමි.

අපගේ කැණීම්වල ඉතා ම වැදගත් ම සොයාගැනීම වූයේ අශෝක රජු විසින් තැනූ ඉපැරණි වජිරාසන විහාරයත්, මනා කොට මැද ඔපමට්ටම් කරන ලද වජිරාසන මණ්ඩපයත් සොයා ගැනීමට ලැබීම ය. වජිරාසන මණ්ඩපය බෝධි වෘක්ෂය යට පිහිටා තිබිණ. විහාරයට ආසන්නයේ ම උතුරු දිශාවට වන්නට සිදු කළ කැණීම්වල දී, බුදුරජාණන් වහන්සේගේ ‘රුවන් සක්මන’ සිදු වූ ස්ථානය හඳුනාගන්නට ලැබුණි. එම ස්ථානය වැසෙන සේ තැනූ පියස්සේ කුලුණු 22ක පාදම් දැකගන්නට ලැබුණි. ඒ සෑම එකක ම පාහේ අශෝක යුගයේ අක්ෂර කොටා තිබුණි.

තවත් වැදගත් සොයා ගැනීමක් වූයේ, වර්තමාන විහාරය අශෝක රජු විසින් ඉදි කළ මුල් විහාරය මත ඉදි කළ එකක් බව සොයා ගැනීමට ලැබීම ය. එනම්, බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වූ ඉපැරණි වජිරාසනය පිහිටා ඇත්තේ එහි ඇති ඉපැරණි රන්වන් බුද්ධ ප්‍රතිමා වහන්සේට යටින් ය. එය විශ්වයේ නාභිය වශයෙන් හඳුන්වනු ලැබේ.

වර්තමාන විහාරය 6 වැනි සියවසේ ගුප්ත යුගයට අයත් බව සැලකිය හැකි ය.

කැණීම් කටයුතු අවසන් වූ පසු, පුරාවිද්‍යාඥ ආචාර්ය රාජේන්ද්‍ර ලාල් මිත්‍රා, බෙංගාලයේ ආණ්ඩුකාරවර ශ්‍රීමත් ඈශ්ලි ඊඩන් සහ ජේ. ඩී. එම්. බෙග්ලර් යන මහත්වරුන් සමඟින් එකතු වී 1880 දී පමණ ‘මහාබෝධි විහාරය’ තිබූ මට්ටමට ප්‍රතිසංස්කරණය කරන්නට අවසර ඉල්ලා සිටියෙමි. ඒ අනුව, වසර 4කට පසු 1884 දී ඇමරිකානු ඩොලර් 4600ක වියදමක් දරා විහාරය ප්‍රතිසංස්කරණය කොට අවසන් කළෙමු.

මෙම ප්‍රතිසංස්කරණයේ දී, හොඳ මට්ටමේ තිබූ කැටයම් අනුකරණය කරමින් වැනසී ගිය ස්ථාන නැවත සකස් කළ අතර, සම්පූර්ණයෙන් ම පැරණි විහාරයේ තිබූ කලාව ම කිසිදු වෙනසක් සිදු නොකොට ප්‍රති නිර්මාණය කිරීමට මම මහන්සි ගත්තෙමි. කිසිදු අලුත් නිර්මාණයක් සිදු නො කළෙමු. සියල්ල පැරණි නිර්මාණයේ අනුරූ ය. විහාරයේ ඉදිරිපස කොටස සම්පුර්ණයෙන් ම වැනසී තිබුණි. ඒ අසල තිබූ නටඹුන් පරීක්ෂා කොට අනුමාන කළ පරිදි ඉදිරිපස කොටස නිමා කළෙමි. මහාබෝධි විහාරයේ ප්‍රතිසංස්කරණය මා විසින් සිදු කළ අනුස්මරණීය ව්‍යාපෘතියකි.

 

—————————————————————————-

ශ්‍රීමත් එඩ්වින් ආර්නොල්ඩ්තුමා

1885 දී පමණ ඉන්දියාවේ සංචාරය කිරීම පිණිස නැවත වරක් පිටත් වුණෙමි. බොම්බායෙන් ඉන්දියාවට ගොඩ බැසගත් මම දිල්ලිය, අග්‍රා, සහ බරණැස හරහා බුද්ධගයාවට ළඟා වුණෙමි. ඉන්දියානු පොළෝ තලයේ ශුද්ධවන්ත ම ස්ථානය ‘බුද්ධගයාව’ යයි මම සිතමි. ඒ මක් නිසා ද යත්, ඒ බුද්ධගයාවේ බෝධි වෘක්ෂය යට දී සිද්ධාර්ථ කුමාරයාණන් හට සත්‍යයේ සූර්යෝදාව (සම්බුද්ධත්වය) සිදු වූ බැවින් ය.

ගයා නගරයේ සිට, ‘ඵල්ගු’ නම් නදී තීරය දිගේ දකුණු දිශාවට ගමන් කරන විට, ලිලාජන් (නේරංජනා) සහ මොහාන යන නදී දෙක එක් වී ඵල්ගු නදිය සෑදෙන ස්ථානය හමු වන්නේ ය. මේ නදී තීරය වැලිවලින් පිරී තිබුණ ද සල්, අට්ටික්කා, දඹ, සහ උණ ආදී වෘක්ෂලතාවන්ගෙන් ගහණ සාරවත් භූමියක් ය. අතරින් පතර දකින්නට තිබුණු නිවෙස් තුළ වාසය කළ මිනිසුන් සන්සුන් ලෙස තම කටයුතු කරමින් සිටියෝ ය. උසැති තුරු වියන්වලට යටින් වන සතුන් නිදහසේ ගමන් කරමින් සිටියහ. විටෙක දඬු ලේනුන් ය. තවත් විටෙක කුරුල්ලන් ය.

මනරම් පරිසරයකින් යුතු මෙම මාවත ඔස්සේ සැතපුම් පහක් පමණ ගමන් කළ මම බුද්ධගයාවට ළඟා වීමි. මාර්ගය ඔස්සේ මඳ දුරක් ගමන් කළ විට අහස උසට පැන නැඟී තිබුණු බුද්ධගයා විහාර ගොඩනැගිල්ල හදිසියේ ම දැක පුදුමයට පත් වූයෙමි. මනරම් වේදිකා කිහිපයක් මත ඉදිකොට බිත්තිය පුරාවට ම හිඳි බුද්ධ ප්‍රතිමා තැන්පත් කොට තිබුණු එම ගොඩනැගිල්ල ඉතාමත් ම තේජාන්විත ය. සුපිරිසිදු ශ්‍රද්ධාවේ මූලස්ථානය නම් වූ, බෞද්ධයන්ගේ මක්කම බඳු එක ම සිද්ධස්ථානය බුද්ධගයාව ය. කුලුණක් සේ ඉහළට පැන නැඟී තිබෙන මෙම ශක්තිමත් විහාර ගොඩනැගිල්ල අඩි 160ක් හෝ 170ක් පමණ උස යැයි පෙනෙන්නට තිබේ. එය මුදුනේ රන්වන් ආලේපනයක් සහිත ආම්ලාකාර ස්ථූපයකි. මෑතක දී ප්‍රතිසංස්කරණය කොට අවසන් කළ මෙම විහාරය අසළට ගිය මම ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වූයෙමි.

විහාරය අභ්‍යන්තරයේ දක්නට තිබුණේ බුදුරජාණන් වහන්සේගේ හිඳි පිළිමයකි. ඒ ඉදිරියෙන් තිබූ ශෛලමය පොළව මත හින්දු ශිලා ලේඛනවලින් කිලිටි කොට මැදට වන්නට ශිව ලිංගයක් තබා තිබුණි. එය විහාරය භාර ව සිටි හින්දු බ්‍රාහ්මණවරුන්ගේ මෑත කාලීන ක්‍රියාවක් බව දැනගත්තෙමි.

විහාර භූමියේ ඊසාන දිශාවට වන්නට, ගොඩනැගිල්ල අසලින් ම පිටුපසින් උස් වූ වේදිකාවක් මත රන් සිරියල් කුලුණුවලින් ආවරණය කළ ප්‍රාකාරයකින් වට වූ දැකුම්කලු ස්ථානයකි. ඒ මත, සුප්‍රසිද්ධ බෝධි වෘක්ෂයේ වර්තමාන සාක්ෂිය දැක ගන්නට තිබේ. සිංහලයන්ගේ මහාවංශයට අනුව, හියුන්සියෑංගේ වාර්තා අනුව සහ තවත් ඓතිහාසික මූලාශ්‍ර අනුව මෙය බුදුරජාණන් වහන්සේට සෙවණ සලසා ලූ මුල් බෝධිය ම නො වේ.

මා දුටු බෝධීන් වහන්සේගේ පත්‍ර කුඩා ය. තද කොළ පැහැයෙන් යුක්ත ය. ඒ අසල සිටි පූජක බ්‍රාහ්මණයා පැමිණෙන බැතිමතුන් වෙත ‘ශිව’ නාමය සහිත ශ්ලෝක මුමුණා සෙත් පතමින් සිටි අතර මා හට ද දේව ප්‍රසාද මිටක් දුන්නේ ය. නමුත් බුදුරජාණන් වහන්සේ පිළිබඳ වදනක්වත් අසන්නට නො ලැබුණි. බුදුරජාණන් වහන්සේ නිසා ම ප්‍රසිද්ධියට පත් වූ, උන්වහන්සේ නිසා ම දහස් ගණන් බැතිමතුන් ඇදී එන බුද්ධගයා විහාරයේ බුදුරජාණන් වහන්සේට කිසිදු ගෞරවයක් මෙම ශිව භක්තිකයන් විසින් නො දක්වනු ලැබේ. එපමණක් නො වේ. ශාක්‍යමුනීන්ද්‍රයන් වහන්සේ විසින් සම්මා සම්බුද්ධත්වයට පත් වූ ස්ථානයේ දහස් ගණන් ශිව භක්තිකයන් රැස් වී ‘පිණ්ඩ දානය’ යැයි කියමින් පිටි ගුලි අඹරමින් මන්ත්‍ර ජප කරමින් සිදු කරන මේ විගඩම ජුගුප්සාජනක ය.

මුළු මහත් ඉන්දියාවේ ම පවතින අතිශය ම පූජනීය ස්ථානය මෙය යයි මම විශ්වාස කරමි. මෙම විහාරය වටා ඇති කැටයම් කළ ප්‍රාකාරයේ ඇති නිර්මාණ ඉතා ම සියුම් ය. මනස්කාන්ත ය. සුන්දර සත්වයන් සහ නෙලුම් පොහොට්ටු ඉතා ම සුන්දර ලෙස කැටයම් කොට තිබිණ. අශෝක රජුගේ අක්ෂර සහිත මෙම ප්‍රාකාරය ම පමණක් ශත වර්ෂ විස්සක්වත් පැරණි යයි සිතිය හැකි ය.

විහාරය භාර මහන්තාගේ මාළිගාවේ ඉපැරණි බුරුම ශිලා ලේඛනයක් තැන්පත් කොට තිබුණු බව දැන ගන්නට ලැබී එය කියවන්නට ගියෙමි. එහි සටහන් ව තිබුණේ මෙබන්දකි.

“බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වර්ෂ 218කට පසු මිහිතලය පාලනය කළ ධර්මාශෝක අධිරාජයා විසින් තනවන්නට යෙදුණු අසූ හාරදහසක් වූ වෙහෙර විහාරයන්ගෙන් ප්‍රධාන ම විහාරය මෙය යි. මෙම ස්ථානයේ දී, බුදුරජාණන් වහන්සේ මී පැණි සහ කිරි අනුභව කොට ඇත.”

එදා සිට, මුල් ගොඩනැගිල්ල වැසී යන සේ අවස්ථා ගණනාවක දී ම නඩත්තු සිදු වී ඇත. නමුත්, අශෝක රජුගේ නිර්මාණයේ ලක්ෂණයන් අතුරුදහන් වී ඇති සෙයකි. යුග ගණනාවක් ම අතහැර දමා තිබී මෑතක දී ශුද්ධ පවිත්‍ර කොට ඇති බවක් පෙනෙන්නට තිබේ. මෙම ස්ථානයේ ප්‍රතිසංස්කරණය පිළිබඳ සෑහීමකට පත්විය නො හැකි වුණත් ඉදිරියේ දී එය සංරක්ෂණය වනු ඇතැයි සිතමි.

තවමත් සිත කම්පාවෙන් පිරී ගොස් ඇත්තේ, ආසියානු ඉතිහාසයේ සහ මුළු මහත් මනුෂ්‍යත්වයේ ම වැදගත් ම අවබෝධය සාක්ෂාත් කළ පුද්ගලයා එය අවබෝධ කළ ස්ථානය වටා ඉතා අනාරක්ෂිත ව විසිරී ඇති, බුද්ධ චරිතය කැටයම් කළ ගල් පුවරු, ගඩොල්, ඉතා පැරණි අක්ෂර සහිත ශිලා ලේඛන සහ පුරා වස්තු අතොරක් නැති ව දකින්නට ලැබීම නිසා ය.

බුද්ධගයාව දර්ශනය කිරීමෙන් පසුව, ඉන්දියානු රජයට සහ බලයලත් හින්දු බ්‍රාහ්මණවරුන් හට ප්‍රසිද්ධ ලිපි යවා පැමිණිලි කළෙමි. ඉන්දියානු දර්ශනයන්හි වැදගත් ම ස්ථානයක් වන මෙම ස්ථානය සංරක්ෂණය කළ නො හැකි නම්, අඩු තරමේ සිදු වී ඇති විනාශය දැක ගැනීමට බුද්ධගයාවට පැමිණෙන ලෙස ඉල්ලා සිටියෙමි. මෙම ස්ථානය සංරක්ෂණය කළත් නැතත්, බ්‍රාහ්මණයන් විසින් නුදුරු අනාගතයේ ම මෙහි ඉතිහාසය මකා දමා විනාශ කරන සේයාවක් පෙනෙන්නට තිබේ. එබැවින් මෙය ඉක්මණින් ම බෞද්ධයන් අතට පත් විය යුතු ය.

දර්ශනීය නදී තීරයේ, සුන්දර තුරු ගොමුවක, සියලු වෘක්ෂයින්ගේ රජු වූ ඇසතු නම් බෝධි වෘක්ෂය යට දී ඉතිහාසයේ ජීවත් වූ ශ්‍රේෂ්ඨතම චින්තකයා ඔහුගේ භාවනාව අවසන් කොට ආදරයත්, කරුණාවත් සමඟින් නැගී සිට දේශනා කළ ධර්මයෙන් ආභාසය ලැබූ පසුකාලීන ආගම් තම තමන්ගේ අදහස් පවා ඔපමට්ටම් කර ගත්හ. උන්වහන්සේ අවබෝධ කර ගත් නිර්වාණය වචනයෙන් විස්තර කළ නො හැකි ය. එය අපගේ ඉන්ද්‍රියන් සියල්ල ඉක්මවා ගිය සර්ව සම්පූර්ණ තත්ත්වයකි. එය දෙව්ලොව ඇති ‘සාමය’ ද අභිබවා යයි. එය සදාකාලික සුන්දරත්වයකින් යුතු සියලු නපුරින් තොර ‘සුන්දර වූ නිහඬ බවකි’.

 

———————————————————————-

අනගාරික ධර්මපාලතුමා

වර්ෂ 1891 ජනවාරි මස 22වැනි දින බරණැස සිට බුද්ධගයාවට සම්ප්‍රාප්ත වීමි. සම්මා සම්බෝධි සාධනය පිණිස මහා පුරුෂ ශාක්‍ය සිංහ කුමාරයාණන් වහන්සේ වැඩ සිටි අපරාජිත බෝධි පර්යංකය සමීපයට පැමිණ දණ නමා අංජලී කර්මකොට තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගුණානුස්මරණය කරමින් නළල වජ්‍රාසනය මත තැබූ ඉක්බිති මසිත ප්‍රීතියෙන් බර වූ සංවේගයෙන් පිරීගොස් “මේ උතුම් ස්ථානය අත් නොහැර යමි” යි යන අධිෂ්ඨානයෙන් මගේ ජීවිතය බුදුරජාණන් වහන්සේට පූජා කළෙමි.

ශත වර්ෂ 25ක් තිස්සේ ලංකාව, බුරුමය, සියම, චීනය, ජපානය, කොරියාව, තුර්කිස්ථානය හා තිබ්බතය යන රටවලින් බෞද්ධයෝ බුදුන් වහන්සේ හිඳගෙන සිටි මේ ශුද්ධ වෘක්ෂය බැලීමට පැමිණිය හ.

වර්ෂ එක්දහස් හත්සියයකට ආසන්න කාලයක් තුළ බුද්ධගයාව කසාය වස්ත්‍රධාරී බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ භාරයේ පැවතුණි. මෙහි මුල් විහාරය ඉදි කරන ලද්දේ බුද්ධාගම වැළඳගත් අශෝක අධිරාජයා විසිනි. ඉන්දියාවේ බුද්ධාගම වැජඹෙමින් තිබුණු කාලයේ දී බුද්ධගයාව ශිෂ්‍ය භික්ෂූන් දස දහසකගේ පමණ නේවාසික ස්ථානය විය. 12 වැනි ශත වර්ෂය අග භාගයේ දී මුස්ලිම් ආක්‍රමණිකයෝ සිද්ධස්ථාන විනාශ කොට එහි වාසය කළ භික්ෂූන් වහන්සේලා ද විනාශ කොට දැමූහ. ඒ වන විට බ්‍රාහ්මණයන් සිය ආගමික වධ හිංසා මගින් ඉන්දියාවේ බුද්ධාගම පරිහානියට පත් කර තිබිණ. මුස්ලිම් ජයග්‍රාහකයෝ ඒ විනාශය සම්පූර්ණ කළහ. බුද්ධගයාව කෙමෙන් පිරිහෙන්නට පටන් ගත්තේ ය. අවසානයේ දී තැනින් තැන යමින් ජීවිතය ගත කළ ශිව ආගමේ හින්දු පකීර්ලා එහි අවුත් ලැගුම් ගෙන, කල් යෑමේ දී එහි අයිතිකරුවන් බවට පත් වූහ. 1884 දී සිද්ධස්ථානය ඉන්දීය රජය විසින් යළි තනවන ලදී. ඊට අවුරුදු හයකට පසු ව එහි පැමිණි නිලධාරීන්ට කතා බස් කිරීමට බෞද්ධ නියෝජිතයෙකු එහි දී දකින්නට නො ලැබුණෙන් සිද්ධස්ථානය ඇතුළත කළමනාකාරීත්වය ඔවුහු ශෛව පකීර්ලාට භාර කොට බාහිර අයිතිය තමන් වෙත පවරා ගත්හ.
1885 දෙසැම්බර් මාසයේ දී මෙම ශුද්ධ භූමියට පැමිණි ශ්‍රීමත් එඞ්වින් ආර්නෝල්ඞ් සිදුවෙමින් පැවති විනාශදායක ක්‍රියාවන් දැක ඒ ශුද්ධ භූමිය බෞද්ධයන් අතට පත් කරන ලෙස ඉන්දීය රජය මෙහෙයවීය. 1886 පෙබරවාරි මාසයේ දී ලංකාවට පැමිණි එතුමා වැලිගම ශ්‍රී සුමංගල නායක ස්ථවිරයන් වහන්සේ ඉදිරියට බුද්ධගයා ප්‍රශ්නය ගෙන එමින් ඒ ශුද්ධ භූමිය බෞද්ධ භික්ෂූන් වහන්සේලාට භාර කරන ලෙස ඉල්ලමින් රජයට පෙත්සම් යැවීමට බෞද්ධයන් පොළඹවන ලෙස ඉල්ලා සිටියේ ය. 1891 ජනවාරි මාසයේ දිනෙක මා ජපන් මිතුරන් දෙදෙනෙකුන් සමඟ බුද්ධගයාවට යන විට ද තත්ත්වය වෙනස් වීමක් නොමැති ව එසේ ම පැවතිණ.

වසර ගණනාවකට පසු මහත් වූ පරිශ්‍රමයක් දරා යුද්ධයක් වැනි ‘බුද්ධගයා නඩුව’ ජයග්‍රහණය කොට බුද්ධගයාව බෞද්ධ ස්මාරකයක් බැවින් බෞද්ධයන්ට අයිති යයි ඔප්පු කිරීමට හැකි විය. ශිව භක්තික මහන්තා විසින් පිහිටවා තිබූ ශිව ලිංගය නඩුව දිනූ වහා ම කුළු ගෙඩියක් ගෙන කඩා දැමුවෙමි. ගුටිබැට කා දහ දුක් විඳ කෝටි ගණනක් වූ බෞද්ධයන් වෙනුවෙන් බුද්ධගයාව බේරා දුන්නෙමි.

ඒ උතුම් වජිරාසන භූමියටත්, අපරාජිත සම්මා සම්බුද්ධත්වයටත් අපගේ නමස්කාරය වේවා…!!!

සාදු! සාදු!! සාදු!!!

සියවස් ගණනාවක් පුරාවට කෝටි ගණනක් සැදැහැවත් දෙවි මිනිස් බඹ ප්‍රජාවගේ වන්දනාවට ලක් වූ බුද්ධගයා වජිරාසන භූමිය, වර්තමානයේ ලෝක බෞද්ධයින්ගේ කේන්ද්‍රස්ථානය බවට පත් වී ඇත. ථේරවාද මහායාන ආදී භේදයකින් තොර ව සියලු බෞද්ධයින් අනිවාර්යයෙන් වැඳපුදාගන්නා සිද්ධස්ථානයක් ඇත්නම් ඒ මේ බුද්ධගයාව ය. ඉපැරණි බුද්ධගයා විහාරයත් මහ බෝධියත් වන්දනා කිරීම පිණිස ශ්‍රී ලංකාව, ඉන්දියාව, තායිලන්තය, බුරුමය, වියට්නාමය, ටිබෙටය, චීනය, ලාඕසය, බංග්ලාදේශය, කොරියාව, ආදී බොහෝ රටවලින් දහස් ගණනින් වන්දනා කරුවෝ පැමිණෙති. බුද්ධගයා මහා විහාරය අද පාලනය කරන්නේ, බුද්ධගයා විහාර කළමණාකරණ කමිටුව (Bodhgaya Temple Management Commitee)  විසින් ය. එහි සාමාජිකත්වය දරන්නේ ඉන්දියානු බෞද්ධයින් ය. ලොව පුරා බෞද්ධයින්ට බුද්ධගයා විහාරය සහ මහ බෝ රජුන් වන්දනා කිරීම පිණිස, අවශ්‍ය පිරිසිදු වැසිකිළි කැසිකිළි පහසුකම්, පානීය ජල අවශ්‍යතා, භාවනා උයන්, විදුලි ආලෝකකරණ, ආරක්ෂාව, පවිත්‍රතාවය ආදී බොහෝ දේ සපයමින් ඉතා අගනා සේවාවක් මෙම කමිටුව විසින් සිදු කරනු ලබයි. බුද්ධගයාව පිහිටා ඇති ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තය මත්පැන් අලවිය සම්පුර්ණයෙන් ම තහනම් ප්‍රාන්තයකි. දහස් ගණනින් සංචාරකයින් පැමිණෙන නිසා, බුද්ධගයා වජිරාසනය අවට හෝටල්, ආපන ශාලා, මගී ප්‍රවාහන සේවා පමණක් නොව, ගුවන් තොටුපලක් ද අද ඉදි වී ඇත. බොහෝ විට වන්දනා කරුවෝ බුද්ධගයාව ද වැඳ පුදාගෙන බරණැස, කුසිනාරාව ආදී අනෙකුත් සිද්ධස්ථාන ද දැකබලාගෙන ආපසු පිටත් වෙති. මේ අතර සමහරක් වන්දනාකරුවෝ සතියක් පමණ බුද්ධගයාවේ නැවතී භාවනා කටයුතු කොට ආපසු පිටත් වෙති. මෙතරම් අගනා ලෝක උරුමයක් වූ ලෝක පූජිත පුණ්‍ය භූමියක් ජීවිතයේ එක් වරක් හෝ දැක බලා වන්දනා කළ හැකි නම්, එය කෙතරම් අගනේ ද!

පසුවදන

(ඓතිහාසික මූලාශ්‍රයන් සහ චාරිකා සටහන් අනුසාරයෙන් ඉතිහාසය දිග හැරෙන සේ ඒ ඒ අය විසින් බුද්ධගයාව දුටු ආකාරය කියැවෙන සේ සකස් කළ නිර්මාණයකි. මාර යුද්ධයේ දී කෙලෙස් සහිත දෙව් බඹුන් සියල්ලෝ ම පලා ගොස් සැඟවුණ බැවින් එම සිදුවීම විස්තර කිරීමට බුදුරජුන්ගේ චිත්ත පරිවිතර්ක පවා කියැවිය හැකි සහම්පතී බ්‍රහ්මරාජයා තරම් කෙනෙක් මා හට සිහිපත් නොවිණ. ප්‍රධාන සිදුවීම් දෙකක් අතර ඇති නිහඬ සිදුවීම් විස්තර කිරීම පිණිස වෘක්ෂ දේවතාවුන් යොදා ගත්තෙමි. එබැවින් මෙහි එන, සහම්පතී බ්‍රහ්මයාගේ, උරුවෙල් දනව්වේ දේවතාවෝ, ඇසතු වනයේ දේවතාවෝ සහ බෝ මැඩට අධිගෘහිත දේවතාවෝ යන තැන්හි එන ප්‍රකාශයන් සත්‍ය සිදුවීම පැවසීමේ දී හමු වූ ඌන තැන් පූරණය කිරීම පිණිස සිදු කළ ප්‍රබන්ධයන් යැයි දරාගත යුතු ය. එනමුත්, ධර්මාශෝක රජු විසින් බුද්ධගයාව දුටු ආකාරය ලියා ඇත්තේ අට්ඨකතාවේ ඇති කරුණු ඒ ආකාරයෙන් ම ගළපා ය.

හියුංසියෑං වාර්තා අනුව, ජෙට්ඨතිස්ස රජු විසින් ඉදිකළ ‘මහා බෝධි සංඝාරාමය’ වත්මන් ජගන්නාත් කෝවිල ඉදිකොට ඇති භූමිය යි. එහි ඉපැරණි ගොඩනැගිල්ල 2015 දක්වා ම පැවතිණ. එම වසරේ අගභාගයේ දී දිනක් ඇතුළත එය කඩා බිඳ දැමූහ. සිංහල රජුගේ පැතුම ඉටුවනු තබා බෞද්ධයන්ගේ හස්තයෙන් ද එම පින්බිම අද ගිලිහී ගොසින් ය.

හියුංසියෑන්, ශ්‍රීමත් එඞ්වින් ආර්නෝල්ඞ් සහ ධර්මපාලතුමාගේ ප්‍රකාශයන්හි දී ඔවුන්ගේ ම වදන් එලෙසින් ම ලියා ඇත. ධර්මපාලතුමාගේ සේවය පිළිබඳ වෙනත් ම ලිපියක් පෙර ලියැවී ඇති නිසා එතුමාගේ විස්තර වැඩිදුර ඇතුළත් නො කළෙමි. ගෞතම බුදුරජුන්ගේ උතුම් වූ විජය භූමිය පිළිබඳ වූ මෙම සටහන්, ලියුම්කරු වූ මාගේත්, කියවන ඔබ සැමගේත් සිත් තුළ අඛණ්ඩ ව බුද්ධානුස්සතිය පහළ වීම පිණිස ම හේතු ප්‍රත්‍ය වේවා…!!!)