‘ඇස’ යනු උපන් සත්වයාට අත්‍යවශ්‍ය ම ශාරීරික අංගයකි. ඇස් (පෙනීම) නැති වූ කල්හි සත්වයන්ට විඳින්නට සිදු වන දුක් ගැහැට අපමණ ය. ඒ ගැන සැබෑවටම දන්නේ අන්ධ වූවෝ ම පමණි. ඔවුන්ගේ ජීවිත තුළ ඇත්තේ අන්ධකාරයක් ම පමණි. එකිනෙකා සංසාර ගමනේ කළ කී දේට අනුව, කර්මානුරූපව එකිනෙකාගේ ඇස් ද සකස් වී තිබේ. ඒ අනුව සමහර අයට සුන්දර දෙනෙත් ලැබී ඇත. සමහර අයට දෙනෙත් ඇති නමුත් පෙනෙන්නේ එක් ඇසක් පමණි. තව සමහරුන්ට සුන්දර දෙනෙත් ඇතිමුත් ලොව දකින්නට වරම් නැත.

අවාසනාවක මහිම…! ඇස් දෙකක් පිහිටි තැනක්වත් නැති අය ද මේ ලෝකයේ සිටී. ඒ අයුරින් වෙනස්කම් සිදු වූයේ සංසාරයේ තමා විසින්ම වපුරා ගන්නා දෙය අනුවය. අපගේ භාග්‍යවතුන් වහන්සේට පියවි ඇසින් දවාලටත් රාත්‍රියටත් කිසි බාධාවක් නැතිව දොළොස් යොදුනක් (150km පමණ) දුර දකින්නට හැක. අඳුරේදී පවා බිත්තියක්, ප්‍රාකාරයක්, පරුවතයක්, ගසක් වැනි කොයියම් ම දේකින් වත් කිසිම බාධාවක් නැතිව උන්වහන්සේට බලන්ට ඕනෑ දේ පේනවා. පිනෙන් උපන් ඒ නේත්‍රා යුගල හරිම අසිරිමත්.

භාග්‍යවතුන් වහන්සේ විසින් චක්ඛු සූත්‍රයේ දී මෙසේ වදාළ සේක.

“පින්වත් මහණෙනි ඇස් වර්ග තුනක් තියෙනවා. ඒ තුන මොනවාද? මසින් හැදිච්ච ඇස, දිව්‍ය ඇස, නුවණ නමැති ඇස. මසැසේ පහළ වීම දිව්‍ය ඇස ලබන්නට උපකාර වෙනවා. යම් කලෙක ආර්ය සත්‍ය පිළිබඳ ඥානය ලබනවා නම් ඒක තමයි උතුම් වූ ප්‍රඥා ඇස. ඒ ඇස ලැබුණාම තමයි සියලු දුකින් එතෙර වන්නේ.”

එසේ නම් අප කාටත් පෙනෙන්නා වූ මේ මසැසට අමතරව තවත් ඇස් ඇති බව අපි දැනගෙන සිටිය යුත්තෙමු. ඒ අනුව මේ ලිපියෙන් පෙන්වා දෙන්නේ මෙලොව පරලොව යහපත සලසන්නා වූ ද දුලබ වූ ද ‘නුවණ’ නැමැති ඇස පිළිබඳවයි.

මේ නුවණැසට අනුව පුද්ගලයන් වර්ග කර තිබෙන ඉතා අපූර්ව සූත්‍ර දේශනාවක් අංගුත්තර නිකායේ තික නිපාතයේ මුණගැසේ. එනම්, අන්ධ සූත්‍රය යි. භාග්‍යවතුන් වහන්සේ එම සූත්‍රයේ දී මෙසේ වදාළ සේක.

“තයෝ’මේ භික්ඛවේ, පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මිං.” “පින්වත් මහණෙනි, මේ පුද්ගලයන් තුන්දෙනෙක් ලෝකයේ දකින්නට ලැබෙනවා.” “කතමේ තයෝ?” “ඒ තුන්දෙනා කවුද?” “අන්ධෝ ඒක චක්ඛු, ද්වි චක්ඛු” “අන්ධ කෙනා, එක ඇසක් ඇති කෙනා, ඇස් දෙකක් ඇති කෙනා.”

සැබැවින්ම මේ සුත්‍රය තුළින් අප කාටත් අප ගැන ස්වයං නිගමනයකට එළඹිය හැකි ය. ඒ තමන් කොයි ආකාරයේ ඇස් ඇති කෙනෙක්දැයි කියා ය. බොහෝදෙනාට තේරුම් ගන්නට නොහැකි වී තිබෙන්නේ ද මෙයමය. නමුත් මේ උතුම් දේශනාව නිවැරදිව තේරුම් ගතහොත් ඒ කෙනාට ඒකාන්තයෙන්ම මෙලොව සේම පරලොව ද යහපත සලසා ගත හැක්කේ ය.

‘අන්ධ’ පුද්ගලයා යනුවෙන් අදහස් කළේ කවරෙක් ද? සාමාන්‍යයෙන් අන්ධ පුද්ගලයා වශයෙන් අප සලකන්නේ දෑස් නොපෙනෙන කෙනා ය. ඔවුනට නොපෙනෙන්නේ රූපයි. නමුත්, භාග්‍යවතුන් වහන්සේ ‘අන්ධ’ යනුවෙන් අදහස් කළේ රූප දැකීමට ඇති නොහැකියාව නොවේ. උන්වහන්සේ මෙසේ වදාළ සේක.

“පින්වත් මහණෙනි, අන්ධ පුද්ගලයා කවුද? මේ සමහර කෙනෙකුට මෙන්න මේ වගේ අදහසක් නෑ. ඒ කියන්නෙ යම් විදියක ඇසකින් බලා කටයුතු කරද්දී නොලැබූ භෝග සම්පත් ලැබෙනවා නම්, ලැබුණු භෝග සම්පත්වල වැඩීමකට පත්වෙනවා නම්, ඒ වගේම යම් විදිහක ඇසකින් බලා කටයුතු කරද්දී කුසල් අකුසල් දන්නවා නම්, වැරදි දේ නිවැරදි දේ දකිනවා නම්, උස් පහත් දේ දන්නවා නම්, එකිනෙකට වෙනස් වූ අයහපත්, යහපත් දේවල් ගැන දැනගන්නවා නම්, ඒ වගේ ඇසකුත් ඔහුට නෑ. පින්වත් මහණෙනි ඔහුට තමයි කියන්නේ අන්ධ පුද්ගලයා කියලා.”

සෑම කෙනාටම එකිනෙකට වෙනස් වූ නමුදු අල්ප හෝ වේවා මහත් හෝ වේවා යැයි යම් වස්තු සම්පත් ලැබෙයි. ඒ පෙර කළ පින්වලට අනුව ය. ඉදින් මේ අන්ධ පුද්ගලයා හට ඒ ලැබූ දේවල් දියුණු කර ගැනීමට තරම් නුවණක්ද නැත්තේ ය. අලුතෙන් දෙයක් උපයා ගන්න ද නොහැක්කේය. බුද්ධ කාලයේ සිටි මහධන සිටුපුත්‍රයා සේ ය. පෙර පිනෙන් කෝටි එකසිය හැටක ධනයක් ඔහුට හිමි විය. නමුත් ඒ සියල්ල විනාශ කරගෙන හිඟමනට වැටී මහමග මියැදෙන්නට සිදුවුණේ ඒ මෙලොව දියුණුව දකින ඇස අන්ධ වී තිබූ නිසාවෙනි. එසේම, මේ අන්ධ පුද්ගලයාට පරලොව දියුණුවක් ද නැත්තේ ය. ඔහු පරලොව සැපය පිණිස උපකාරක වන කුසල් දහම් දියුණු කර නොගනියි. පිනක් උපදවා ගන්නට නොදනියි. එබැවින් ඔහුගේ පරලොව ජීවිතය පරාජයක් ම ය. මෙකල ද බොහෝමයක් සිටින්නේ අන්ධ පුද්ගලයෝ ම වෙති. ඔවුන් දෙලොවෙහි ම පරාජිතයෝ ය.

“අචරිත්වා බ්‍රහ්මචරියං
– අලද්ධා යොබ්බනේ ධනං
ජිණ්ණකොඤ්චා’ව ඣායන්ති
– ඛීණමච්ඡේව පල්ලලේ”

“මොළේ නැති උදවිය තරුණ කාලෙදි බ්‍රහ්මචාරීව නිවන් මගේ හැසිරෙන්නෙත් නෑ. අඩු ගණනේ මිළ මුදලක්වත් හම්බ කරගන්නෙ නෑ. අන්තිමේ දී වයසට ගිහින්, බලාගත්තු අත බලාගෙන ඉන්නෙ, මාළු නැති මඩ වළක් දිහා බලාගෙන ඉන්න නාකි වෙච්ච කොක්කු වගේ.

(ධම්ම පදය-ජරා වර්ගය)

දෙවැනි පුද්ගලයා වශයෙන් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නේ එක ඇසක් ඇති කෙනාය. ඔහුගේ ‘එක ඇස’ යනු මෙලොව ජීවිතය යි. ඒ කියන්නේ යම් විදිහක ඇසකින් බලා කටයුතු කරද්දී නොලැබූ භෝග සම්පත් ලැබෙනවා නම්, ලැබුන භෝග සම්පත්වල වැඩීමකට පත්වෙනවා නම්, එවැනි ඇසක් තිබෙනවා. නමුත්, ඔහුට පරලොව දකින ඇස පිහිටා නොමැත. එනම් ඔහු කුසල් දහම් දන්නේ නැත. පින්ද අඳුරන්නේ නැත. හොඳ නරක අඳුරන්නේ නැත. එසේ වුවත්, ඔහු මේ ජීවිතය තුළ භෝග සම්පත්වල දියුණුවක් කරා යයි. මේ ජීවිතයෙන් පසුව ඔහුට සිදුවන්නේ කුමක්ද? කෙසේද ඔහු මෙලොව දියුණුවක් කරා ගියේ? “ධම්මාධම්මේන සසඨෝ භෝගානි පරියේසති” ඔහු ධාර්මිකවත්, අධාර්මිකවත්, කෛරාටිකවත් භෝග සම්පත් සොයන කෙනෙකි.

“ථෙය්‍යේන කූටකම්මේන මුසාවාදේන චූභයං
කුසලෝ හෝති සංඝාතුං කාමභෝගී ච මානවෝ
ඉතෝ සෝ නිරයං ගන්ත්වා ඒකචක්ඛු විහඤ්ඤති”

“කම්සැප විඳින ඒ මනුෂ්‍යයා සොරකමින් යුතු කූට ව්‍යාපාර තුළිනුත්, බොරුවෙනුත් යන දෙකෙන්ම භෝග සම්පත් රැස් කරගන්නට දක්ෂයි. නමුත් ඒ එකැස් ඇති පුද්ගලයා මෙයින් චුතව නිරයට ගිහින් වැනසී යනවා.”

එසේ නම් එක ඇසක් ඇති පුද්ගලයාගේ අවසානය නිරය බලා ගමන් කිරීම ය. වර්තමානයේ අප දකින සමහරකගේ ජීවිත කතාව ද මෙයම නොවේ ද? බැලූ බැල්මට සුන්දර ලෙස පෙනෙන නමුත් ඔවුන්ගේ අවසානය නිරය බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා නොදෙන්නට අප කෙසේ නම් දැනගන්න ද? ඒ අසිරිමත් මුනිරජාණන් වහන්සේට නමස්කාර වේවා!

තවත් පුද්ගලයෙක් මේ ලෝකයේ සිටී. ඔහු ඇස් දෙකම ඇති කෙනා ය. සැබැවින්ම යමෙකුට ‘සුන්දර ඇස් ඇති කෙනා’ යනුවෙන් ප්‍රකාශ කළ යුතු නම් මේ එවැනි කෙනෙකි. ඔහු ගැන අප ශාස්තෘන් වහන්සේ වදාළේ “පින්වත් මහණෙනි, මෙහි මේ සමහර කෙනෙකුට මෙන්න මේ වගේ ඇසක් තියෙනවා. ඒ කියන්නේ, යම් විදිහක ඇසකින් බලා කටයුතු කරද්දී නොලැබූ භෝග සම්පත් ලැබෙනවා නම්, ලැබෙන භෝග සම්පත් වැඩීමකට පත් වෙනවා නම් එවැනි ඇසක් තිබෙනවා. ඒ වගේම, යම් විදිහක ඇසකින් බලා කටයුතු කරද්දී කුසල් අකුසල් දන්නවා නම්, වැරදි දේ නිවැරදි දේ දන්නවා නම්, උසස් පහත් දේ දන්නවා නම්, එකිනෙකට වෙනස් වූ අයහපත් යහපත් දේවල් ගැන දැන ගන්නවා නම්, ඒ වගේ ඇසකුත් ඔහුට තියෙනවා.” යනුවෙනි. මේ කාලයේ අපට සොයාගන්නට ඉතා අසීරු කෙනා මොහු ය. කාමයන් පසුපස හඹා යන ලෝකය තුළ මෙලොවත්, පරලොවත් ජයගන්නා මෙවැනි අය ඉතා දුලබ ය. හේ නැගී සිටින වීර්යයෙන් යුක්තව, ධාර්මිකව ලැබෙන්නා වූ ධනය උපයා ගන්නා කෙනෙකි.

“දදාති සෙට්ඨසංකප්පෝ අව්‍යග්ගමනසෝ නරෝ
උපේති භද්දකං ඨානං යත්ථ ගන්ත්වා න සෝචති”

“ඔහු ශ්‍රේෂ්ඨ අදහස් ඇති කෙනෙක්. ධර්මය කෙරෙහි සැක රහිත සිත් ඇති කෙනෙක්. ඔහු පින් රැස් කිරීම නිසා යම් තැනකට ගොස් ශෝක නොකරයි නම්, එබඳු සොඳුරු ලොවකට පැමිණෙනවා.” මොහුට ඇස් ලැබුණේ සැබැවින්ම ධර්මය නිසාවෙනි. මිනිසා අන්ධ වන්නේද එක ඇසකින් ලොව දකින්නේ ද ධර්මය නොදන්නා බැවිනි. යම් කෙනෙක් ධර්මය දන්නේ නම් ඔහුට ඉතා සොඳුරු දෙනෙත් හිමි වේ. ඉන් මෙලොව සේම පරලොව ද ජයගත හැකි බව නම් සනාථන සත්‍යයකි.

ධර්මය තුළින් අන්ධයන්ට ද එකැස් ඇත්තන්ට ද පෙනීම ලබා ගත හැක්කේ ය. අවශ්‍ය වන්නේ ඒ උත්තම ශ්‍රී සද්ධර්මය මනාකොට ශ්‍රවණය කිරීමත්, එය තම තමන්ගේ ජීවිතයට ගළපා ගැනීමත් ය. “ධම්මෝ හි වාසෙට්ඨා, සෙට්ඨෝ ජනේතස්මිං දිට්ඨේ චේව ධම්මේ අභිසම්පරායේච” “වාසෙට්ඨයෙනි, මෙලොවෙහිත් පරලොවෙහිත් ජනයා අතර ධර්මයම ශ්‍රේෂ්ඨ වෙයි.” යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළේ එහෙයිනි. මේ සූත්‍රයේ අවසාන වශයෙන් මේ අයුරින් ද සඳහන් වෙයි.

“අන්ධඤ්ච ඒකචක්ඛුඤ්ච ආරකා පරිවජ්ජයේ
ද්විචක්ඛුං පන සේවේථ සෙට්ඨං පුරිසපුග්ගලන්ති”

“දෙලොව නොදන්නා අන්ධ කෙනාත්, මෙලොව පමණක් දන්නා එකැස් ඇති කෙනාත් දුරින් ම දුරු කළ යුතුයි. දෑස් ඇති ශ්‍රේෂ්ඨ පුරුෂ පුද්ගලයා ව තමයි සේවනය කළ යුත්තේ.”

ධර්මය නොදත් පවිටු පුද්ගලයන්ව ඇසුරු කිරීම තුළින් අන් අයගේ පෙනෙන ඇස් ද අන්ධ වී යා හැකිය. දෙලොව ම වැනසී යාමට ඉඩ තිබේ. ඒ නිසා ම, නිරන්තරයෙන් අප ද කළ යුත්තේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන්වම ඇසුරු කිරීම ය. දෙලොව පෙනෙන්නා වූ උත්තමයන් ඇසුරු කිරීම ය. එවිට අප හැම දෙනාටමද මෙලොව මෙන්ම පරලොව ද යහපත සලසාගෙන ලොව්තුරු අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීමට අවස්ථාව උදා කර ගත හැකි ය. මඟ හොඳට තිබේ නම්, යන්න දෑසත් පෙනේ නම්, මංමුළා වූ එකෙක් සේ බැදිවල නොයත්වා…! බුදු, පසේබුදු, මහරහත් උත්තමයන් වැඩම කොට වදාළ නිවන් මගේ ම යත්වා…!

අන්ධයන් වන්නට සියල්ලන්ටම පාහේ ඉතා පහසු ය. ඔවුන්ට අමතරව කළ යුතු දෙයක් ඇත්තේම නැත. එසේ ම එක් ඇසක් ඇති කෙනෙක් වන්නට ද පුළුවන. ඒ සඳහා ඕනෑතරම් පිරිස් ද පහසුකම්ද වත්මන් ලෝකය තුළින් සොයාගත හැකි ය. ඒ සඳහා හේතු වන පාප මිත්‍රයන් ද ඉතා සුලබ ය. නමුත් ඔවුන්ගේ ගමනාන්තය මහා දුක් ඇති නිරය බව සිහියේ තබාගත යුතු ය. අසීරු ම කාර්යය ඇස් දෙකම පෙනෙන කෙනෙක් වීම ය. ඒ සඳහා අවශ්‍ය පරිසරය ද කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ද ඉතා දුක සේ ලබා ගන්නට සිදු වෙයි. නමුත් කළ යුත්තේ ද කරන්නට මහන්සි ගත යුත්තේ ද එය ම ය.

දුක සේ නමුත් ඒ සඳහා වෙහෙස විය යුතු ය. අන්ධයන් ද නොවන්න. එකැස් ඇත්තන් ද නොවන්න. දෑස් ඇත්තෝ ම වන්න.

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.