සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය කුළු ගන්වමින් ‘ආසියාවේ ආලෝකය’ නම් වූ සුවිශිෂ්ට කාව්‍යය රචනා කළ ශ්‍රීමත් එඩ්වින් ආර්නෝල්ඩ් පඬිතුමා සිය කෘතියෙහි ලා හරසර පිදූ කාව්‍යමය සංකල්පයකින් මෙම සම්බුද්ධාභිවන්දන ගී පද පූජෝපහාරය දැක්විය යුතු යයි සිතමි.

අපමණ කලක් තුළ එක වරෙකදි පිපෙන
මනු පරපුර නමැති තුරු මුදුනත දිලෙන
මහ පැණ සුවඳ දෙන කරුණා පැණි පිරුණ
මුළු ලොව අසිරිමත් කුසුම ය බුදු රුවන

ගන්තුනේ අස්සජී ස්වාමීන් වහන්සේ විසින් හෙළ කවි බසට නඟන ලද ඒ මහරු සංකල්පය, බුදුරජාණන් වහන්සේගේ අසමසම ගුණ කඳ කැටි කොට දැක්වූවක් වෙයි. භාග්‍යවතුන් වහන්සේ උදෙසා ‘ආසියාවේ ආලෝකය’ යන පර්යාය යෙදුම ආර්නෝල්ඩ් පඬිතුමා හඳුන්වා දුන්නේ ආසියාවට පමණක් උදා වූ ආලෝකයක් හැටියට නොවේ; බුදුරජාණන් වහන්සේ ආසියාවෙන් පහළව දස සහස්සී ලෝධා බබුළුවමින් පැතිර ගිය මහා ආලෝකය බව හැඟවීමට ය. එතෙක් මෙතෙක් ලොව බිහි වූ නොඑක් වියතුන් දෙදහස් පන්සිය වසරකටත් වැඩි කාලයක් තිස්සේ හඬ නඟා අනාවරණය කළා වූ ද තවත් ඒ සා පමණ වූ කාලයකටත් එහා අභිවන්දනයට ලක් වන්නේ යයි සපථකොට ඇත්තා වූ ද බුදුරජාණන් වහන්සේගේ ගුණ මහිමය සිහිපත් කරවන පුන් පොහොය දිනය එළඹෙන්නේ වසන්ත සමය මල් ඵල දරණ වෙසක් මාසයේ ය.

ස්වභාව ධර්මයේ අචේතනික වස්තූන් පවා ඉසිඹු සුව විඳින, තුරුලිය මලින් ඵලින් සුසැදිව සිය ප්‍රමෝදය පළ කරන සමයේ, දෙවියන් බඹුන් මිනිසුන් ඇතුළු තුන් ලෝවාසීන්ගේ සිතසුව උදෙසා ලොවට පහළ වූ නරෝත්තමයන් වහන්සේ උතුම් සම්බුද්ධත්වය සාක්ෂාත් කොට වදාළේ වසන්ත සමයේ උතුම් ම කාලවකවානුව වන වෙසක් මාසයේ පුන් පොහෝ දිනයේ දී ය.

සුපුෂ්පිත මලින් ගැවසී ගත් තුරුලිය සුසැදි උයනක උපත ලබා සුදු වැලිතලා ඇති සිත්කළු නදියක් අසබඩ ප්‍රසාදජනක රමණීය භූමි භාගයක බෝ මැඬ සෙවණේ උතුම් සම්බුද්ධත්වයට පැමිණ පන්සාළිස් වස් පිරුණු සම්බුද්ධ ජීවන චර්යාවෙන් වැඩි කාලයක් වන උයන්හි ම වැඩ වසා සල් උයනක දී ම පිරිනිවන් පා වදාළ බුදුරජාණන් වහන්සේගේ කල දවස ගෙවුණේ සෞන්දර්යාත්මක වටපිටාවක ය. තත් පාරිසරික පසුබිමට හා අවස්ථාවන්ට උචිත වන පරිදි වර්ණිත බස හැසිරවීම කෙරෙහි බුදුරජාණන් වහන්සේ දැක්වූ කුසලතා මහිමය අසලකට පවා ළං වීමට සමත් භාෂාවේදියකු කිසි දිනක පහළ නොවන්නේ ම ය. බෝසතාණන් වහන්සේව සිටිය දී පවා, සම්බුද්ධත්වයට පත් වීමට සුදුසු භූමි භාගය උන්වහන්සේ දුටුවේ මෙපරිද්දෙනි:

“රමණීයෝ වත භූමිභාගෝ, පාසාදිකො ච වනසණ්ඩෝ. නදී ච සන්දති සෙතකා සුපතිත්ථා රමණීයා”

“ඒ භූමිය මං දැකපු රමණීය තැනක්. ඒ වන ගැබ ඇත්තෙන් ම ලස්සනයි. සුදු වැලි තලාව තියෙන රමණීය ගං ඉවුරු මැදින් නදිය ගලා බසිනවා.”

උතුම් සම්බුද්ධත්වයට පත් වීමෙන් පසුව තුන්ලෝකවාසීන්ගේ විමුක්ති සාධනය උදෙසා දේශනා කොට වදාළ ධර්ම මාර්ගය ද උන්වහන්සේ උවම් කළේ සුපුෂ්පිත මලින් ගැවසී ගත් මනරම් වන උයනකට ය:

“වනප්පගුම්බේ යථා ඵුස්සිතග්ගේ
ගිම්හානමාසේ පඨමස්මිං ගිම්හේ
තථූපමං ධම්මවරං අදේසයි
නිබ්බානගාමිං පරමං හිතාය
ඉදම්පි බුද්ධේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු!”

ගිම්හානේ පළමුව එන – වසන්ත කාලෙට
මල් පල බර වෙයි – වනගොමු වල සිරියාවට
දෙසූ සේක උත්තම සිරි – සදහම් එලෙසට
පරම සුවය සදමින් එය – ගෙන යයි නිවනට
මෙය බුදු සමිඳු ගෙ පවතින – උතුම්ම මැණිකකි
සැබෑ බසින් මෙම – සෙත සැලසේවා!

පුහුදුන් මිනිසුන් නොඇලෙන, බවුන් වැඩීමට යෝග්‍ය රමණීය වන අරණක වැදගත්කම නිවන් මඟට පිවිසි අනුගාමී ශ්‍රාවකයන් වහන්සේලාට පසක් කොට දුන් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අවසාන කාලය දක්වා ම එහි වටිනාකම පෙන්වා දුන් අයුරු පහත සඳහන් උදාන වැකිවලින් හෙළි වෙයි:

“රමණීයා ආනන්ද වේසාලී, රමණීයං උදේනං චේතියං, රමණීයං ගෝතමකං චේතියං, රමණීයං සත්තම්බං චේතියං, රමණීයං බහුපුත්තං චේතියං, රමණීයං සාරන්දදං චේතියං, රමණීයං චාපාලං චේතියං”

වන අරණ කෙරෙහි වීතරාගීන්ගේ සිත් අලවනු පිණිස ඒ සා මහරු වූ භාෂාධිපත්‍යයක් මෙන්ම වාගේශ්වරත්වයක් පළ කොට වදාළ භාග්‍යවත් සම්බුදුරජාණන් වහන්සේගේ අනිර්වචනීය වූ ගුණ මහිමය පළ කිරීමට සමත් හෙළ වදනිසුරුවන් වූ ගුරුළුගෝමී, විද්‍යා චක්‍රවර්තී ආදීන් හා සමතැන්හි තැබිය හැකි නූතන සෞන්දර්ය වාග්වේදියකුගේ සම්බුද්ධාභිවාදන ගී පද සරණියක ගුණ වරුණ විමසුමට හසුකිරීම උදෙසා ය ඉහත පුරෝකථනය ඉදිරිපත් කරන ලද්දේ. ඒ සෞන්දර්ය භාෂාවේදියාණෝ වූ කලී සම්බුදු ගුණ වරුණට ම සිය සමත්කම් විදහා පෑ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයෝ ය.
සම්බුද්ධ ගීත පබැඳුම් විෂයයෙහි ලා මානවසිංහයන් වැහැරූ බස ඔහු අත, ප්‍රවීණ මූර්ති ශිල්පියකු අතට පත් මැටි පිඬක් ලෙස නම්‍යශීලී වන සැටි ව්‍යක්ත කරන අපූර්ව නිර්මාණයක් වෙයි. ඒ වූ කලී දෙදහස් පන්සියයේ සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් ඔහු විසින් පබඳින ලද ‘පාතුර හෝති බුද්ධ ජයන්ති’ නම් වූ ගීතය යි. බෝසතාණන් වහන්සේ උතුම් සම්බෝධිය සාක්ෂාත් කොට වදාළ වෙසක් මස පුන් පෝය දිනයේ මුළු ලෝධා කම්පිත කරවමින් පැතිර ගිය මහා ප්‍රභාව එම ගීතයේ වදනක් පාසා රැව් පිළිරැව් නඟන අයුරු විස්මය දනවන සුලු ය:

පාතුරහෝසී බුද්ධ ජයන්ති
ධම්ම සමය උදපාදි
උට්ඨහථ නිසීදථ ධාරේථ ධම්මං
ආරහථ නික්ඛමත චරත චාරිකං

අරියං සච්චං ධම්මං ඤාණං ආලෝකෝ උදපාදි
පාතුරහෝසී බුද්ධ ජයන්ති ධම්ම සමය උදපාදි

සම්බෝධි පාරමි පූරේථ නිච්චං
සක්කේථ සාධුකං පටිපත්ති අග්ගං
සචකිත පවනේ තරුවන ගහනේ
ලම්බිත ලීලා කේලී
පල්ලව කුසුමාවාලි ගායන්ති
බුද්ධ බුද්ධ අනුගීතං

බුදුරජාණන් වහන්සේ පහළ වීමත්, උන්වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය ලොවට විවෘත වීමත් නිසා අහස පොළොව හිම් කොට පවත්නා මුළු මහත් විශ්වය සිසාරා, පැතිර ගිය මහා ප්‍රාතිහාර්යය එම ගීතයේ වදනක් පාසා ප්‍රතිරාව නංවන අරුමය සැබැවින්ම වදන් පෙළහරකි.
කවර බසකින් හෝ විරචිත පදමාලාවකට විශ්වීය භාෂාවක් වන සංගීතය ඔස්සේ භාවාර්ථ සම්පාදනය කරන අපූරුව එම ගීතය ගැයූ පණ්ඩිත් අමරදේවයන්ගේ හඬ පෞරුෂය තුළින් ශ්‍රවණය කළ හැකි විය.
සකල ලෝධා නිවී සැනසී ඉසිඹුවක් ලබන වසන්ත සමයේ කූට ප්‍රාප්තිය වෙසක් මාසය යි. සිරි සම්බුදු තෙමඟුල සමරන එසමය සිංහල ජනකාය සතු අති උතුම් පුණ්‍ය සමය වශයෙන් සලකා දෙදහස් වසරක් මුළුල්ලේ පැවතගෙන ආ අයුරු ඓතිහාසික මූලාශ්‍රවලින් අනාවරණය වෙයි. මීට අඩ සියවසකටත් එපිට යුගයේ දී විදුලි ආලෝකය නොමැති ගම්බද ප්‍රදේශවල ජනතාව බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔද වැඩී ගොක් රැහැන් ඇද පාරවල් සරසමින්, පහන් වැට දල්වමින් වෙසක් උළෙල සැමරූ අයුරු අපට සිහිපත් වේ. මුළු ගම්මානය ම පූජනීය භූමියක් බවට පත් කළ වෙසක් උළෙල පිළිබඳ ඒ මතකය අනුස්මරණය කරන අපූරු ගීතයක්, මහාමේඝ – සත්පුරුෂ පාඨක ජනකායගේ බුද්ධාලම්භන ප්‍රමෝදය උදෙසා ඉදිරිපත් කරමි. එම ගීතයේ පදමාලාව ද ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ ය. ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් සංගීතය සැපයූ ඒ සම්බුද්ධ ගුණ රසෝඝය සිය මධුර හඬින් ගුවනට මුසු කරන ලද්දේ විසාරද නන්දා මාලිනිය විසිනි.

“සෑ මිදුලේ සමන් වැලේ සුපුන් සඳේ කැළුම් වැටේ
සාධු සමාධි ගුණ ගීතයකි විහාරේ
සම්මා සම්බුද්ධ ගුණෙන් රසෝඝයක් උදා කරයි//
ජීවන ගංගා ගමනේ මේ සංසාරේ…

රාජ හසුන් කෝටි ගණන් රංචු ගැසී ගුවන් තලේ
ඈත පියාඹා යන සේ වලා නැඟෙන්නේ
බාල ළඳුන් නීල නුවන් අගින් බැලුම් පාන ලෙසින්…//
තාරකා ද එහෙන් මෙහෙන් පිපී දිලෙන්නේ…

මූදු රලේ ගං ඉවුරේ කුසුම් දළේ රේණු වැලේ
සීත සමීරේ ගැවසී සෑම දිගන්තේ
තාන තනම් තාන නැටුම් කෝමල බෝපතින් මිදී…//
කෝකිල ගීතේ කිමිදී නැගෙයි වසන්තේ…”

සෑ මළුවේ සමන්වැල මත පතිත පුන්සඳ කැළුම් සැදැහැති දනන් නඟන බුදුගුණ ගීත හා දැවටී ගම්මානය පුරා රැව් පිළිරැව් දෙමින් පැතිර යයි. වැට කොටු පවුරු පදනම් සීමා ඉක්මවන සඳ එළිය සේම බුදුගුණ ගී රසෝඝය ද මානව සිත්සතන් වෙලා ගනී. සසරේ ගමන නවතාලන මඟට පරිසරය සේ ම මානව සිත් සතන් ද යොමුවී ඇත්තේ ය.

“රාජ හසුන් කෝටි ගණන් රංචු ගැසී ගුවන්තලේ
ඈත පියාඹා යන සේ වලා නැඟෙන්නේ”

මෙම ගී දෙපදයට සවන්දෙන හැම විටෙකම අපට සිහිපත් වන්නේ 2008 වසරේ පැවැත්වුණු රුවන්වැලි මහ සෑ වන්දනාවයි. මහ සෑ මළුවේ වැඩ හිඳි අප ලොකු ස්වාමීන් වහන්සේ බුදු ගුණ ගී සජ්ඣායනා කරන අතරතුර රෑ මැදියම් යාමයේ මහා සෑයේ කොත්වහන්සේ පැදකුණු කරමින් හංසයන් පෙළක් ඉගිල ගිය ආකාරයත්, ඒ දුටු ලක්ෂ සංඛ්‍යාත සැදැහැති ජනකාය නැඟූ සාදු නාදයත් මතකයට නැගෙන්නේ අද ඊයේ සිදු වූ අසිරිමත් පෙළහරක් පරිද්දෙනි.

මූදු රලේ ගං ඉවුරේ කුසුම් දැලේ රේණු වැලේ
සීත සමීරේ ගැවසී සෑම දිගන්තේ
කෝමල බෝපතින් මිදී කෝකිල ගීතේ කිමිදී
නැඟෙයි වසන්තේ

සිරිමා බෝධීන් වහන්සේ ඇතුළු සියලු වෙහෙර විහාරස්ථානවල බෝධීන් වහන්සේලාගේ බෝපත් පිසගෙන හමන මුදු සුළඟ, වසන්තයේ කොවුල් නද හා මුසුව ලක්දිව සිසාරා හමා යමින් සෑම දිගන්තයකට ම ශාන්තිය උදා කරන්නේ ය යන්න එකී සමාප්ති ගීත ඛණ්ඩයෙන් ධ්වනිත වන සමුදයාර්ථය වන්නේ ය.

සටහන – දයාපාල ජයනෙත්ති.