ගෞරව බහුමානයට පාත්‍ර වන වීර චරිත මානව ඉතිහාසය තුළ දක්නට ලැබේ. අප විසිනිදු වීරත්වයෙහි ලා සලකන චරිත නැත්තේ නොවේ. ජනාදරයට පත් වූ පාලකයන්, ලෝකපූජිත ක්‍රීඩා තරු, නළු නිළියන් ආදී කොට ගත්, පරමාදර්ශී යැයි සැලකෙන ඒ වීර චරිතවල මහා පොදු සාධකයක් ද දක්නට ලැබේ. එනම්, ඔවුන් වනාහී රාගී භාවයන් ඇත්තා වූ ද ද්වේෂ සහගත භාවයන් ඇත්තා වූ ද මුළා වීම් ඇත්තා වූ ද චරිතයන් වීම ය. එනිසා ම, පෙර වීරත්වයෙහි ලා සැලකුනු අයෙකු පසුකාලීන ව නීච තත්ත්වයෙහි ලා නිග්‍රහයට පාත්‍ර වන බව ද දකින්නට ලැබීම අසාමාන්‍ය කරුණක් නොවේ.

වහා වෙනස් වන චිත්ත ස්වභාවයන් ඇති, අෂ්ටලෝක ධර්මයන් ඉදිරියේ සැලෙන ස්වභාවයන් ඇති සත්වයන් තුළින් පරිපූර්ණ වීරත්වයක් අපේක්ෂා කිරීම අනුචිත ය. එනිසා, ඔවුන් ගැන නිගමනයන්ට එළඹීමට හෝ ප්‍රත්‍යක්ෂ කොට කරුණු කියා පෑමට හදිස්සි නොවිය යුතු ය. සැබැවින් ම, පරමාදර්ශී වීර චරිත අප තෝරා ගත යුත්තේ කෙලෙස් සහිත වූ, පෙරළෙන සිත් ඇත්තා වූ මිනිසුන් අතරින් නොවේ; නිකෙලෙස් භාවය තුළ නොපෙරෙළෙන චිත්ත ස්වභාවයක් උපදවා ගත් උත්තම ජීවිත අතරිනි.

පුරණ ලද පුණ්‍ය පාරමිතාවෙන් අග පැමිණි මහා බෝසතාණන් වහන්සේ සන්තුසිත දිව්‍යරාජයා ව තුසිත දෙව්ලොව වැඩ සිටිය දී එහි එළඹි දෙව් බඹුන් බුද්ධ රාජ්‍යය ලොව පිහිටුවන්නට ඇරයුම් කරමින්,
“මහා වීරයාණන් වහන්ස, මේ සුදුසු කාලය යි. මව්කුසක පිළිසිඳ ගන්නා සේක්වා!” යැයි පැවසූ බව පෙළදහමේ සඳහන් ය. ඒ අනුව මායා බිසවගේ කුස පිළිසිඳ ගත් බෝසතාණන් වහන්සේ වෙසක් පුන් පොහෝ දිනයක ලුම්බිණි සල් වනයේ සල් රුක් සෙවණක දී මනුලොව වැඩි සේක. භද්‍ර යෞවනයේ සිටිය දී විමුක්තිය සොයා අභිනික්මන් කළ බෝසතාණන් වහන්සේ උග්‍ර තපස් කරමින් සම්මා සම්බෝධිය සාක්ෂාත් කරන්නට පධන් වෙර වැඩූ සේක. සය වසක් අවසන, උන්වහන්සේ නේරංජරා ගංතෙර පිහිටි ඇසතු බෝ සෙවණේ විදුරසුන් අරා වැඩ සිටියේ පුරුෂ වීරියෙන් සාක්ෂාත් කළ යුතු යම් පරම ශ්‍රේෂ්ඨ අවබෝධයක් වේ ද එය සාක්ෂාත් කොට මිස නොනැගිටිමි යන නොසෙල්වෙන අදිටනින් යුතුව ය. වෙසක් පුන් පොහෝ දිනයක දී සේනා සහිත මරු පරදවා දිනූ කෙලෙස් සංග්‍රාම ඇතිව උන්වහන්සේ අනුත්තර සම්මා සම්බෝධිය සාක්ෂාත් කොට වදාළ සේක. පාපී මරුගේ අභීරූපී දූවරුන් එහි එළඹ, කාමාශක්ත ලෝකයා උමතු කරලන අන්දමේ වෙස් ගත්තේ වුව ද සම්බුදුරජාණන් වහන්සේගේ සිත පෙරළුණේ නැත. දීන බවට පත් වූයේ නැත.

සම්මා සම්බෝධියට පත් සම්බුදුරජාණන් වහන්සේ ලෝසතගේ අවබෝධය පිණිස හතළිස් පස් වසරක් පුරා උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කළ සේක. සම්බුද්ධත්වයෙන් පසු ගෙවී ගිය පළමු වසර පුරා මොහොතකුදු අත්නොහරිමින් පාපී මරුත්, උන්වහන්සේ වෙසක් පුන් පොහෝ දිනෙක පිරිනිවෙනා තුරු ම වරින්වර ඇතැම් ජනයාත් ඒ පාරිශුද්ධ සම්බුදු හද මඬලේ කෙලෙස් නිමිත්තක් හෝ සොයන්නට උත්සුක වුව ද කරුණු සහිතව සම්බුදුරජුන්ට චෝදනා කරන්නට ඒ කාටවත් හැකි වූයේ නැත. ඔවුහු සඳමඬලේ අසූචි තවරන්නට වෑයම් කරමින් තමන් නැසී ගියා පමණෙකි. පිරිපුන් බඹසර ඇති සම්බුදුරජුන්ගේ හද මඬලේ කෙලෙස් නිමිත්තකුදු නැති කල්හි කෙලෙස් හමුවේ මැඩී යාමක් කෙසේ නම් දකින්න ද? සැබෑ වීරත්වය යනු එසේ ගුණයෙන් පරම ශ්‍රේෂ්ඨ ව නිර්මල, අකම්පිත, නොසැලෙන උදාර ජීවිතයක් උපදවා ගැනීම නොවේ ද?

පරිපූර්ණ වීරත්වයෙන් යුතුව ලොව වැඩ සිටි අසහාය ශාස්තෘන් වහන්සේ අපගේ සම්බුදුරජාණන් වහන්සේ ය. එහෙයින්, මේ එළඹ තිබෙන්නේ වීරත්වයේ යුගයකි. ඒ මහා වීරයාණන් වහන්සේ පරම කොටගෙන විමුක්තිය දිනන්නවුන්ගේ මාවතේ පියනගන්නට අපිදු වීරිය වඩමු.