භාග්‍යවතුන් වහන්සේ වනාහි මානව සමාජය තුළ පහළ වූ ආශ්චර්යවත් ම මනුෂ්‍ය රත්නය වන සේක. දේවාතිදේව වූ, බ්‍රහ්මාතිබ්‍රහ්ම වූ, නරපවර වූ ඒ භාග්‍යවතුන් වහන්සේ දෙව්මිනිස් ලෝකයා තුළ පූජාතිපූජනීය වන සේක. දිනූ කෙලෙස් සංග්‍රාම ඇත්තා වූ ඒ ධර්මරාජයාණන් වහන්සේ ඒකාන්තයෙන් ම සියලු ලෝ වැසියන්ගේ වැඳුම් පිළිගැනීමට සුදුසු වන සේක. දෙව් බඹුන් විසිනිදු කළගුණ දනිමින්, කළගුණ දකිමින් උදාර ගෞරවයන් කරන්නට ද මෛත්‍රී උපහාරයන් දක්වන්නට ද උන්වහන්සේ සුදුසු වන සේක. එක් දිනක්, දිනූ සංග්‍රාම ඇතිව භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹි පසේනදී කෝසල රජ තෙමේ උන්වහන්සේගේ සිරිපා කමල අබියස සිරසින් වැඳ වැටෙමින්, මුවින් සිඹිමින්, තම නම ද පවසමින් වන්දනා කරන්නේ ඒ සා ගෞරවාදරයක් දැක්වීමට නිමිති වූ කරුණු මෙසේ දැක්වූයේ ය.

1. “භාග්‍යවතුන් වහන්සේ බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සැපය පිණිස පිළිපන් සේක. යම් මේ කල්‍යාණ ධර්මතාවෙන්, කුසල ධර්මතාවෙන්, බොහෝ ජනයා ආර්ය න්‍යායෙහි පිහිටවූ සේක. ස්වාමීනී, යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සැපය පිණිස පිළිපන් සේක්ද යම් මේ කල්‍යාණ ධර්මතාවෙන්, කුසල ධර්මතාවෙන්, බොහෝ ජනයා ආර්ය න්‍යායෙහි පිහිටවූ සේක් ද ස්වාමීනී, මම මෙකරුණ ද දකිමින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු වූ උදාර ගෞරවයක් කරමි. මෛත්‍රී උපහාරයක් දක්වමි.

2. භාග්‍යවතුන් වහන්සේ සිල්වත් වන සේක. දියුණු කළ සිල් ඇති සේක. ආර්ය සීලයෙන් යුතු සේක. කුසල සීලයෙන් යුතු සේක. කුසල් සීලයෙන් සමන්විත වන සේක. ස්වාමීනි, යම් කරුණකින් භාග්‍යවතුන් වහන්සේ සිල්වත් වන සේක් ද දියුණු කළ සිල් ඇති සේක් ද ආර්ය සීලයෙන් යුතු සේක් ද කුසල සීලයෙන් යුතු සේක් ද කුසල් සීලයෙන් සමන්විත වන සේක් ද ස්වාමීනී, මම් මෙකරුණ ද දකිමින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු වූ උදාර ගෞරවයක් කරමි. මෛත්‍රී උපහාරයක් දක්වමි.

3. භාග්‍යවතුන් වහන්සේ බොහෝ කාලයක් වනවාසී ව වැඩසිටින සේක. ආරණ්‍ය, දුර ඈත වන සෙනසුන් සේවනය කරන සේක. ස්වාමීනී, යම් කරුණකින් භාග්‍යවතුන් වහන්සේ බොහෝ කාලයක් වනවාසී ව වැඩසිටින සේක් ද ආරණ්‍ය, දුර ඈත වන සෙනසුන් සේවනය කරන සේක් ද ස්වාමීනී, මම් මෙකරුණද දකිමින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු වූ උදාර ගෞරවයක් කරමි. මෛත්‍රී උපහාරයක් දක්වමි.

4. භාග්‍යවතුන් වහන්සේ ලද දෙයින් සතුටු වන සේක. ලද සිවුරකින්, ලද පිණ්ඩපාතයකින්, ලද සෙනසුනකින්, ලද ගිලන්පස බෙහෙත් පිරිකරකින් සතුටු වන සේක. ස්වාමීනී, යම් කරුණකින් භාග්‍යවතුන් වහන්සේ ලද දෙයින් සතුටු වන සේක් ද ලද සිවුරකින්, ලද පිණ්ඩපාතයකින්, ලද සෙනසුනකින්, ලද ගිලන්පස බෙහෙත් පිරිකරකින් සතුටු වන සේක් ද ස්වාමීනී, මම මෙකරුණ ද දකිමින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු වූ උදාර ගෞරවයක් කරමි. මෛත්‍රී උපහාරයක් දක්වමි.

5. භාග්‍යවතුන් වහන්සේ ආහුනෙය්‍ය වන සේක. පාහුනෙය්‍ය වන සේක. දක්ඛිණෙය්‍ය වන සේක. අංජලිකරණීය වන සේක. ලොවෙහි අනුත්තර පින්කෙත වන සේක. ස්වාමීනී, යම් කරුණකින් භාග්‍යවතුන් වහන්සේ ආහුනෙය්‍ය වන සේක් ද පාහුනෙය්‍ය වන සේක් ද දක්ඛිණෙය්‍ය වන සේක් ද අංජලිකරණීය වන සේක් ද ලොවෙහි අනුත්තර පින්කෙත වන සේක් ද ස්වාමීනී, මම මෙකරුණ ද දකිමින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු වූ උදාර ගෞරවයක් කරමි. මෛත්‍රී උපහාරයක් දක්වමි.

6. භාග්‍යවතුන් වහන්සේ මැනැවින් කෙලෙස් ගැලවී යන සුලු සිතෙහි දියුණුවට උපකාරී වන යම් කථායෙක් ඇද්ද, එනම් අල්පේච්ඡතාවය පිළිබඳ කථා ය, ලද දෙයින් සතුටු වීම පිළිබඳ කථා ය, හුදෙකලා විවේකය පිළිබඳ කථා ය, පිරිසට නොඇලීම පිළිබඳ කථා ය, අරඹන ලද වීරිය පිළිබඳ කථා ය, සීලය පිළිබඳ කථා ය, සමාධිය පිළිබඳ කථා ය, ප්‍රඥාව පිළිබඳ කථා ය, විමුක්තිය පිළිබඳ කථා ය, විමුක්ති ඥාන දර්ශනය පිළිබඳ කථා ය. මෙබඳු වූ කථා කැමති සේ ලබන සේක. පහසුවෙන් ලබන සේක. නිදුකින් ලබන සේක. ස්වාමීනී, යම් කරුණකින් භාග්‍යවතුන් වහන්සේ මැනැවින් කෙලෙස් ගැලවී යන සුලු සිතෙහි දියුණුවට උපකාරී වන යම් කථායෙක් ඇද්ද, එනම් අල්පේච්ඡතාවය පිළිබඳ කථා ය, …(පෙ)… විමුක්ති ඥාන දර්ශනය පිළිබඳ කථා ය. මෙබඳු වූ කථා කැමති සේ ලබන සේක් ද පහසුවෙන් ලබන සේක් ද නිදුකින් ලබන සේක් ද ස්වාමීනී, මම මෙකරුණ ද දකිමින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු වූ උදාර ගෞරවයක් කරමි. මෛත්‍රී උපහාරයක් දක්වමි.

7. තව ද ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ගැඹුරු චිත්ත දියුණුවෙන් යුතු මෙලොව දී සුවසේ වාසය කළ හැකි සතරක් වූ ධ්‍යානයන් කැමති සේ ලබන සේක. නිදුකින් ලබන සේක. පහසුවෙන් ලබන සේක. ස්වාමීනී, යම් කරුණකින් භාග්‍යවතුන් වහන්සේ ගැඹුරු චිත්ත දියුණුවෙන් යුතු මෙලොව දී සුවසේ වාසය කළ හැකි සතරක් වූ ධ්‍යානයන් කැමති සේ ලබන සේක් ද නිදුකින් ලබන සේක් ද පහසුවෙන් ලබන සේක් ද ස්වාමීනී, මම මෙකරුණ ද දකිමින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු වූ උදාර ගෞරවයක් කරමි. මෛත්‍රී උපහාරයක් දක්වමි.

8. භාග්‍යවතුන් වහන්සේ අනේක ප්‍රකාර වූ පෙර විසූ කඳපිළිවෙළ සිහි කරන සේක. එනම් එක උපතක් වශයෙන් ද උපත් දෙකක් වශයෙන් ද උපත් තුනක් වශයෙන් ද උපත් සතරක් වශයෙන් ද උපත් පහක් වශයෙන් ද උපත් දහයක් වශයෙන් ද උපත් විස්සක් වශයෙන් ද උපත් තිහක් ද උපත් හතළිහක් ද උපත් පණහක් ද උපත් සියයක් ද උපත් දහසක් ද උපත් දස දහසක් ද උපත් සිය දහසක් ද වශයෙන් අනේක වූ සංවට්ට කල්ප ද අනේක වූ විවට්ට කල්ප ද අනේක වූ සංවට්ට විවට්ට කල්ප වශයෙන් ද සිහි කරන සේක. එමෙන් ම ‘මම අසවල් තැන සිටියෙමි. මෙබඳු නමින් සිටියෙමි. මෙබඳු ගෝත්‍රයෙන් සිටියෙමි. මෙබඳු පැහැයෙන් සිටියෙමි. මෙබඳු ආහාර ගත්තෙමි. මෙබඳු අයුරින් සැප දුක් වින්දෙමි. මෙබඳු අයුරින් දිවිය අවසන් කළෙමි. එයින් චුත ව ඒ මම අසවල් තැන උපන්නෙමි. එහිදී ද මම මෙබඳු නමින් සිටියෙමි. මෙබඳු ගෝත්‍ර නමින් සිටියෙමි. මෙබඳු පැහැයෙන් සිටියෙමි. මෙබඳු ආහාර ගත්තෙමි. මෙබඳු සැප දුක් වින්දෙමි. මෙබඳු අයුරින් දිවිය අවසන් කළෙමි. ඒ මම එයින් චුත ව මෙහි උපන්නෙමි.’ ආදී වශයෙනි. මෙසේ කරුණු සහිත වූ, විස්තර සහිත වූ අනේක ප්‍රකාර වූ පෙර විසූ කඳපිළිවෙළ සිහි කරන සේක. ස්වාමීනී, යම් කරුණකින් භාග්‍යවතුන් වහන්සේ අනේක ප්‍රකාර වූ පෙර විසූ කඳපිළිවෙළ සිහි කරන සේක් ද එනම් එක උපතක් වශයෙන් ද උපත් දෙකක් වශයෙන් ද, …(පෙ)… මෙසේ කරුණු සහිත වූ, විස්තර සහිත වූ අනේක ප්‍රකාර වූ පෙර විසූ කඳපිළිවෙළ සිහි කරන සේක් ද ස්වාමීනී, මම මෙකරුණ දකිමින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු වූ උදාර ගෞරවයක් කරමි. මෛත්‍රී උපහාරයක් දක්වමි.

9. භාග්‍යවතුන් වහන්සේ මිනිස් දැක්ම ඉක්මවා ගිය විශුද්ධ දිව්‍ය නේත්‍රයෙන් චුත වන්නා වූත්, උපදින්නා වූත් සත්වයන් දකින සේක. ඒ සත්වයන් කර්මානුරූපව පහත් වූත්, උසස් වූත්, මනා පැහැ ඇත්තා වූත්, විරූපී වූත්, සුගතියේත් දුගතියේත් උපදින අයුරු දන්නා සේක. එනම් ‘ඒකාන්තයෙන් මේ භවත් සත්වයෝ කාය දුෂ්චරිතයෙන් යුක්ත වූවාහු ය. වචී දුෂ්චරිතයෙන් යුක්ත වූවාහු ය. මනෝ දුෂ්චරිතයෙන් යුක්ත වූවාහු ය. ආර්යයන් හට නින්දා අපහාස කළාහු ය. මිසදිටු ගත්තාහු ය. මිසදිටු ක්‍රියායෙහි යෙදුණාහු ය. ඔවුහු කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ යටට වැටෙන නිරයෙහි උපන්නාහු ය. එසේ ම මේ භවත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්ත වූවාහු ය. වචී සුචරිතයෙන් යුක්ත වූවාහු ය. මනෝ සුචරිතයෙන් යුක්ත වූවාහු ය. ආර්යයන් හට නින්දා අපහාස නොකළාහු ය. සම්දිටු ගත්තාහු ය. සම්දිටු ක්‍රියායෙහි යෙදුණාහු ය. ඔවුහු කය බිඳී මරණින් මතු සුගති නම් වූ ස්වර්ග ලෝකයෙහි උපන්නාහු ය. මෙසේ මිනිස් දැක්ම ඉක්මවා ගිය විශුද්ධ දිව්‍ය නේත්‍රයෙන් චුත වන්නා වූත්, උපදින්නා වූත් සත්වයන් දකිනා සේක. ඒ සත්වයන් කර්මානුරූප ව පහත් වූත්, උසස් වූත්, මනා පැහැ ඇත්තා වූත්, විරූපී වූත්, සුගතියේත් දුගතියේත් උපදින අයුරු දන්නා සේක. ස්වාමීනී, යම් කරුණකින් භාග්‍යවතුන් වහන්සේ මිනිස් දැක්ම ඉක්මවා ගිය විශුද්ධ දිව්‍ය නේත්‍රයෙන් චුත වන්නා වූත්, උපදින්නා වූත් සත්වයන් දක්නා සේක් ද …(පෙ)… සුගතියේත් දුගතියේත් උපදින අයුරු දන්නා සේක් ද ස්වාමීනී, මම මෙකරුණද දකිමින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු වූ උදාර ගෞරවයක් කරමි. මෛත්‍රී උපහාරයක් දක්වමි.

10. භාග්‍යවතුන් වහන්සේ ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදී ම තම විශිෂ්ට නුවණින් අත්දැක එයට පැමිණ වාසය කරන සේක. ස්වාමීනී, යම් කරුණකින් භාග්‍යවතුන් වහන්සේ ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදී ම තම විශිෂ්ට නුවණින් අත්දැක එයට පැමිණ වාසය කරන සේක් ද ස්වාමීනී, මම මෙකරුණ ද දකිමින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු වූ උදාර ගෞරවයක් කරමි. මෛත්‍රී උපහාරයක් දක්වමි.”

(දුතිය කෝසල සූත්‍රය – අං. නි. දසක නිපාතය)

මෙසේ, බොහෝ ජනයාට හිතසුව, සැපය පිණිස පිළිවෙතෙහි පිළිපන්නා වූ ද ආර්ය වූ කුසල සීලයෙන් යුක්ත වූ ද බොහෝ කාලයක් වනවාසී ව වැඩ සිටියා වූ ද ලද දෙයින් සතුටු වන්නා වූ ද ආහුනෙය්‍ය පාහුනෙය්‍යදක්ඛිණෙය්‍ය අංජලිකරණීය ගුණ යුතු අනුත්තර පින්කෙත වූ ද දස කථාවන් සුවසේ ලබන්නා වූ ද සතරක් වූ ධ්‍යාන නිදුකින්, සුවසේ ලබන්නා වූ ද සංවට්ට විවට්ට අනන්ත අප්‍රමාණ කල්ප ගණනින් පෙරවිසූ කඳපිළිවෙළ දක්නා වූ ද මනුෂ්‍ය නේත්‍රය ඉක්මවා ගිය විශුද්ධ වූ දිව්‍යනේත්‍ර ඇත්තා වූ ද අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් සාක්ෂාත් කොට වදාළා  වූ ද ඒ අනුත්තර සිහරජාණන් වහන්සේගේ සිරිපා කමල අබියස අපිදු සිරස නමා වන්දනා කරන්නෙමු…!

සාදු! සාදු!! සාදු!!!