භාග්‍යවතුන් වහන්සේ වස් නිම වූ පසු බේලුව නම් ගමෙන් නික්ම සැවැත්නුවර වේළුවනාරාමයට වැඩි සේක. එහි දී දම් සෙනෙවි සාරිපුත්ත මහරහතන් වහන්සේ තථාගතයන් වහන්සේට වත් පිළිවෙතින් උපස්ථාන කර එය නිම වූ කල්හි තම කුටියට පිවිස කුටිය අමදා සම්කඩය (පත්කඩය) අතුරා, පා සෝදා පද්මාසනයේ හිඳ සමාධියට සමවැදුන සේක.

පිළිවෙළින් එම සමාධියෙන් නැගී සිටි තෙරුන් වහන්සේට “ ප්‍රථමයෙන් පිරිනිවෙන්නෝ බුදුරජහු ද? නැතහොත් අග්‍ර ශ්‍රාවකයෝ ද?” යන මෙම සිතිවිල්ල උපන්නේ ය. එවිට අග්‍ර ශ්‍රාවකයෝ පළමු ව පිරිනිවන් පාන බව දැන තමාගේ ආයු සංස්කාරය කොතෙක් ඇත්දැයි බැලූහ. එවිට “මාගේ ආයු සංස්කාරය දින හතක් පවතින්නේ” යැයි දැන කොහේ දී පිරිනිවන් පාන්නේ දැයි සිතූහ. එවිට ඒ සිතිවිල්ල නැවත නැවත සිතණුවෝ තම මෑණියන් පිළිබඳ සංවේගය හටගත්හ.
මාගේ මෑණියෝ රහතන් වහන්සේලා පස්නමකට මව වූ නමුත් බුද්ධ, ධම්ම හා සංඝ යන රත්නත්‍රය කෙරෙහි පැහැදීම් රහිත ය. ඇයට මග ඵල සඳහා හේතු සම්පත් ඇත්ද නැත්ද බලා සෝවාන් ඵලයට හේතු සම්පත් ඇතැයි දැක, කවරෙකුගේ ධර්ම දේශනාවෙන් ධර්මාවබෝධය වන්නේ දැයි බලන තෙරණුවෝ ‘මාගේ ම දම් දෙසුමෙන් ඇයට ධර්මාවබෝධය වන්නේ ය, අන් අයෙකුගේ දේශනාවෙන් නොවන්නේ යැ’යි දැනගත් සේක.

‘එසේ නම්, මෑණියන් මිසදිටුවෙන් මුදවා උපන් කුටියේ දී ම පිරිනිවෙන්නෙමි’ යි සිතූහ. ‘අද ම භාග්‍යවතුන් වහන්සේගෙන් අවසරගෙන ඒ කටයුත්තට නික්මෙන්නෙමි’ යි සිතා චුන්ද තෙරුන් ඇමතූහ. “ඇවැත් චුන්දයෙනි, අපගේ පන්සියයක් භික්ෂු පිරිසට ‘ඇවැත්නි, පාසිවුරු ගන්න. දම්සෙනෙවි සාරිපුත්ත මහරහතන් වහන්සේ නාලක නම් ගමට වඩින්නට සූදානම්’ යැයි කියා සිටින්න.” යැයි කීහ. චුන්ද ස්ථවිරයන් ද එසේ ම කළේ ය. පන්සියයක් වූ භික්ෂු සංඝයා ද සේනාසන අස්පස් කර පාසිවුරු ගෙන සැරියුත් තෙරුන් සමීපයට ගියහ.

අප දම්සෙනෙවි වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ තම සෙනසුන සකසා තබා කුටියේ දොරටුවේ සිට කුටිය දෙස බලා ‘දැන් මේ අවසාන දර්ශනය යි, දැක්ම යි. නැවත පැමිණීමක් නැතැ’යි දැන භික්ෂූන් පන්සියයක් පිරිවරාගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත වැඩම කර ඇඟිලි බැඳ මෙසේ කීහ.

“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මා හට අවසර දෙන සේක්වා, සුගතයන් වහන්ස මා හට අවසර දෙන සේක්වා, මාගේ පරිනිර්වාණ කාලය එළැඹියේ ය. මාගේ ආයු සංස්කාර හැර දමන ලද්දේ ය.”

බුදුවරු මරණය ද පැවැත්ම ද වර්ණනා නොකරන බැවින් භාග්‍යවතුන් වහන්සේ, “සාරිපුත්තය, ඔබ කුමන ස්ථානයක දී පිරිනිවන් පාන්නේ දැ?”යි අසා, “ස්වාමීනි, මගධයේ නාලක නම් ගමෙහි මා උපන් ස්ථානය ඇත. මම එහි දී පිරිනිවන් පාන්නෙමි.” කී කල්හි, “සාරිපුත්තය, ඔබ ඒ කාර්යය කල් දැමුව. පින්වත් සාරිපුත්ත, අනාගතයේ දී ඔබගේ බාල සොහොයුරන්ට (භික්ෂූන්ට) ඔබ වැනි භික්ෂුවකගේ දර්ශනය (දැක්ම) දුර්ලභ වන්නේ ය. එසේ හෙයින් ඔවුන් හට දහම් දෙසන්න.” යැයි වදාළහ.

අපගේ ධර්ම සේනාධිපතීන් වහන්සේ, ‘ශාස්තෘන් වහන්සේ මාගේ ඍද්ධි ප්‍රාතිහාර්යය පෙරටු කොට ඇති ධර්ම දේශනාව ඇසීමට බලාපොරොත්තු වන්නේ යැ”යි දැක, භාග්‍යවතුන් වහන්සේ වැඳ තල් ගසක් පමණ අහසට නැඟී පහළට බැස දස බලධාරීන් වහන්සේගේ පා වැඳ මේ පිළිවෙළින් තල් රුක් සතක් පමණක් වූ ඉහළට නැඟ බොහෝ වූ සිය ගණන් ප්‍රාතිහාර්යයන් දක්වමින් ධර්ම දේශනාව ආරම්භ කළහ.

පෙනෙන්නා වූ කයෙන් යුතුව ද දේශනා කරයි. ඉහළ සිට හෝ පහළ සිට හෝ දේශනා කරයි, ශරීරයේ අඩක් පෙනෙන සේ දේශනා කරයි, නොපෙනෙන ශරීරයෙන් යුතුව ද දේශනා කරයි, වරෙක සඳුගේ රූපය දක්වයි, වරෙක හිරුගේ රූපය දක්වයි, පර්වතයක ආකාරයෙන් ද වරෙක සමුද්‍රයේ ආකාරයෙන් ද වරෙක සක්විති රජුගේ ආකාරයෙන් ද වරෙක වෛශ්‍රවණ මහරජුගේ ආකාරයෙන් ද වරෙක සක්දෙව් මහරජුගේ ආකාරයෙන් ද වරෙක මහා බඹුගේ ආකාරය දක්වමින් ධර්මය දේශනා කළහ. මුළු නුවර වැසියෝ ම රැස් වී ධර්මය ශ්‍රවණය කළහ. එවිට තෙරුණුවෝ අහසින් බැස දස බලධාරීන් වහන්සේගේ ශ්‍රී පා වැඳ සිටියෝ ය.

එවිට සාරිපුත්තයන් වහන්සේගෙන් ශාස්තෘන් වහන්සේ මෙසේ අසා වදාළහ. “පින්වත් සාරිපුත්තයෙහි, මේ කිනම් ධර්ම කොට්ඨාසයක් ද?” “ස්වාමීනි, මේ සීහ නිකීළිත.” “එසේ ය සාරිපුත්ත, සීහ නිකීළිත නම් වේ.”

ඉක්බිති පවිත්‍ර වූ නෙළුම් පුෂ්පයකට රන්වන් වූ සිරිපා ගන්නාක් මෙන් දම් සෙනෙවියන් රෝස පැහැති අත් විහිදුවා ශාස්තෘන් වහන්සේගේ රන්වන් ඉඳිඹු පිටක හැඩය ඇති පාදයේ වළලුකර දක්වා දෑතින් ගෙන “ස්වාමීනි, මා විසින් මේ ශ්‍රී පා වැඳීම සඳහා ඒක අසංඛෙය්‍ය කල්ප ලක්ෂයක කාලයක් පාරමිතා පුරන ලදී. ස්වාමීනි, මගේ අපේක්ෂාව දැන් මුදුන්පත් විය. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මෙතැන් පටන් ඔබ වහන්සේ ද මා ද මේ සසර ගමනේ නැවත එකට මුණගැසීමක්, එකතුවීමක් නැත්තේ ය. මෙය ද මාගේ අවසාන මුණගැසීම වේ.

ස්වාමීනි ඔබ වහන්සේ විසින් මා හට අනුකම්පාවෙන් කියා දුන්නා වූ ද පෙන්වා දුන්නා වූ ද බොහෝ සියදහස් ගණන් බුදුවරුන් පිවිසියා වූ ජරා රහිත වූ මරණ රහිත වූ ආරක්ෂිත වූ සුවදායි වූ සිහිල් වූ නිර්භය වූ නිවන් පුරයට වඩින්නෙමි. මෙතුවක් කලකට මාගේ කායික වූ වාචික වූ හෝ යම් දෝෂයක් ඔබ වහන්සේ දකින්නේ ද භාග්‍යවතුන් වහන්සේ එයට මට සමාව දෙන සේක්වා! මට යාම සඳහා කාලය එළැඹී සිටී යැ”යි සැල කළහ. “සාරිපුත්තය, ඔබ කෙරෙහි කායික හෝ මානසික හෝ මට රුචි නො වූ කිසිවක් නැත්තේ ය. එබඳු වූ ඔබට දැන් කාලය එළඹ තිබේ. එය සිහි කරන්න.” යැයි වදාළ සේක.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් අනුශාසනා කළ විට අපගේ සාරිපුත්තයන් වහන්සේ බුදුරජුන්ගේ ශ්‍රී පා වැඳ නැගී සිටි විට මහමෙර, සක්වළ ගල හිමවත ආදී පර්වතයන් උසුලාගෙන සිටිය නමුත් අද දින දම්සෙනෙවි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ රාශිය උසුලාගෙන සිටීමට නොහැකි යැයි කියන්නාක් මෙන් එක් වර ම මහා හඬ නංවාගෙන, මහාරාව නංවමින් මහා පෘථිවියේ සීමාව තෙක් කම්පා වී ගියේ ය. අහසේ දිව්‍ය බෙර නාද විය. මහා මේඝකුළු නැගී පොකුරු වැසි පතිත විය. ශාස්තෘන් වහන්සේ ‘දම්සෙනෙවි තෙරුන් හට පසු ගමන් යන්නෙමි’යි ගඳකිළිය අබියසට ගොස් මිණිපළඟ අසල වැඩ සිටියහ.

සාරිපුත්තයන් වහන්සේ තථාගතයන් වහන්සේ ව තුන්වරක් පැදකුණු කොට සිව් දිශාවේ සිට වැඳ “භාග්‍යවතුන් වහන්ස, මෙයින් ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර අනෝමදස්සී සර්වඥ පාද මූලයෙහි වැතිර ඔබ වහන්සේ දැක ගැනීමට පැතුවෙමි. මාගේ පැතුම ඉටු විය. මා විසින් ඔබ වහන්සේ දක්නා ලදී. එදා ඔබ වහන්සේගේ පළමු දැක්ම යි. දැන් මේ අවසාන දැක්ම යි. අදින් පසුව නැවත කිසිදු භවයක දී ඔබ වහන්සේ දැක්මක් නැත්තේ ය.” යි පවසා දසැඟිලි එකතු කොට ඇඟිලි බැඳ අභිමුඛව බලමින් පෙනෙන තෙක් දුර පසුපසට ගොස් පිටත් වූහ.

සසරේ බොහෝ කලක් මිතුරා ලෙස පැමිණිය, සොහොයුරා ලෙස පැමිණිය, රජු ලෙස පැමිණිය, ආචාර්යවරයා ලෙස පැමිණිය, මේ ජීවිතයේ සසරින් නිදහස් කරන්ට අනුකම්පාවෙන් ධර්මය පෙන්වා දුන් ශාස්තෘන් වහන්සේගෙන් නැවත කිසි දිනක නොදකින ලෙස – මුණ නොගැසෙන ලෙස ධර්ම සේනාධිපති සාරිපුත්තයන් වහන්සේ වෙන් විය. මේ මිතුදමේ අර්ථාන්විත වෙන් වීම දරා ගැනීමට නොහැකි වූ සිත් පිත් නැති ගණකඩ මහ පොළොව ඒ මේ අත වේගයෙන් පෙරළෙන්නට විය. මහ පොළොව ජලය සීමාව තෙක් කම්පා විය.

පින්වතුනි, හුදෙක් රාගය මුල් කරගෙන, ද්වේෂය – මෝහය මුල්කරගෙන කෙලෙස් මඩ ගොහොරුවේ එරෙමින් ලගිමින් තාවකාලික මිතුරුකම් හිතවත්කම් තුළින් බැඳීම් ඇතිකර ගෙන ඒ බැඳීම් ද මිතුරුකම ද රාගය, ද්වේෂය, මෝහය, එකට එක කිරීම, ඇන කොටා ගැනීම තුළින් කෙළවර වන, වෙන් වෙන අද වැනි ලෝකයට මෙවැනි අසිරිමත් මිත්‍රත්වයන් මොන තරම් පුදුම සහගත ද? මොන තරම් ආදර්ශවත් ද? අප ගෙවන බිහිසුණු සසරේ විටෙක මිතුරා විටෙක සතුරෙකි, සතුරා වූ මිතුරා නැවත මිතුරෙකි.

එහෙත් බලනු මැන පින්වතුනි, බලනු මැන, මින් ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර අනෝමදස්සී පාද මූලයේ දී ක්ලේශ මූලයකින් තොරව, සොම්නසින් යුතු ව, අර්ථවත් දෙයක් පිණිස විවරණ ගෙන ඒ අති දීර්ඝ කාලය ගෙවා දැමීමෙන් පසු අර්ථවත් ව, සොම්නසින් යුතු ව, නිකෙලෙස් හද මඬලක් ඇතිව දෙදෙනා වහන්සේ වෙන් වූහ. ලෝකයෙන් එතෙර වූහ. මිතුරා, කලණ මිතුරෙකු විය. කලණ මිතුරා, ශාස්තෘන් වහන්සේ විය.

කඳුළු සලමින් එක්වෙමින්
කඳුළු සලමින් ජීවත් වෙමින්
කඳුළු සලමින් වෙන් වී යන
මිනිසුනේ බලනු මැන
අර්ථවත් මිතුදමක අර්ථවත් වෙන්වීම.

(චුන්ද සූත්‍රය සූත්‍රයේ අට්ඨකථාව ඇසුරිනි.)

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.