රස ගුණ පිරි දන් පුදමු

ලුණු දෙහි අච්චාරු

බොහෝ දෙනෙකුට උණ වගේ රෝග තත්වයන් වැළඳුනු විට ඇතිවන ප්‍රධාන ලක්ෂණය තමයි කෑම අරුචිය ඇති වීම. කෑම අරුචිය නැති කරනවා වගේම බඩේ ජීරණ ක්‍රියාවලිය පහසු කරන අත් බෙහෙතක් වැනි රසවත් ආහාරයක් තමයි ‘ලුණු දෙහි අච්චාරු’ කියන්නේ.

ලංකාවේ බොහෝ පැතිවල දෙහි හොඳින් වැවෙනමුත් දෙහි වාරය හා අවාරය වශයෙන් අවුරුද්දේ කාල බෙදේ. වර්ෂාව වැඩිවීමත් සමග දෙහි දුර්ලභ වන අතර දෙහිවල මිල ද අධික වේ. අවාරයෙහි දෙහි භාවිතා කිරීම පිණිස, දෙහි වාරයට ලුණු දෙහි අච්චාරුවක් සාදා ගැනීම ලාංකිකයන්ගේ සිරිතකි. මෙය දෙහි කල් තබාගන්නා අනගි ක්‍රමයකි. මිරිස් ගලක පොල් සම්බෝලයක් අඹරා ගන්නා විට දෙහි යුෂ වෙනුවට ලුණු දෙහි කැබැල්ලක් දමා අඹරා සම්බෝල සෑදීම දෙහි අවාරයට හොඳ පිළිතුරකි. මෙසේ ගත් කල ලංකාවේ අපට ලුණු දෙහි අච්චාරුව නැතුව ම බැරි දෙයකි.

වර්තමාන සමාජයේ බොහෝ දෙනෙක් ආහාර පාන නිවසේදී සකස් කරගැනීමට මැලිකමක් දක්වත්. බොහෝ දේවල් සුපිරි වෙළඳසැල්වලින් මිල දී ගෙන පරිභෝජනයට හුරු වී ඇත. මෙයට හේතු වී ඇත්තේ කාලය සොයාගැනීමට අපහසු වීමයි. බොහෝ දෙනෙක් ලුණු දෙහි සෑදීමට මැලිකමක් දක්වන්නේ ඒ සඳහා බොහෝ වෙහෙසක් දැරිය යුතු යයි සිතන නිසා ය. මේ නිසා ඉතා පහසු ක්‍රමයකට ලුණු දෙහි අච්චාරු සාදන ආකාරය කියාදෙන්න සිතුනා.

මුලින්ම අපි කළ යුත්තේ දෙහි ටික පදම් කරගැනීමයි. ඒ සඳහා අපි වීදුරු බෝතලයක් සපයා ගත යුතුයි. ඒ වගේම ප්ලාස්ටික් මූඩියක් ද ඒ බෝතලය වැසීම සඳහා තිබිය යුතුයි. නැතිනම් ලෝහ නොවන වෙනත් ක්‍රමයකට බෝතලය වසා ගැනීමට උපක්‍රමයක් යෙදිය යුතුයි.

අවශ්‍ය ද්‍රව්‍ය;

■ හොඳින් ඉදුනු ලොකු දෙහි කි.ග්‍රෑ. 1 (දෙහි ගෙඩි 20ක් පමණ)
■ ලුණු කැට සහ ලුණු කුඩු
■ පොල් තෙල්
■ අබ
■ උළුහාල්
■ මිරිස් කුඩු
■ පෙරුම්කායම් (හිංග්)

මුලින්ම දෙහි ටික හොඳින් සෝදන්න. ඉන් පසු වතුර ටික පෙරා වතුර බිඳක්වත් නැතිවන ආකාරයට වියළි තුවායකින් පිස දමා ගන්න. ඉන් පසු දෙහි ගෙඩි පලු 4කට පලාගන්න.

දැන් එකින් එක ගෙන ලුණු කැට පිරවීමෙන් පසු වීදුරු බෝතලය තුළ තැන්පත් කරන්න. මේ සඳහා කි.ග්‍රෑ. 1 දෙහි ප්‍රමාණය ම දැමිය හැකි බෝතලයක් සපයා ගන්න. එහි මූඩිය හොඳින් වසා මාසයක් පමණ සොලවන්නේ නැතුව ආරක්ෂිත තැනක තබන්න.

මෙසේ මාසයක් පමණ පදම් කරගත් දෙහි ටික ගෙන ලුණු දෙහි අච්චාරු සෑදීමට සූදානම් වෙමු. ලිප මත තෙල් තාච්චියක් තබා එයට පොල් තෙල් දමා රත් කරගන්න. මේ සඳහා තෙල් ලොකු මේස හැඳි තුනක් පමණ සෑහේ.

හොඳින් රත් වූ තෙලට අබ තේ හැන්දක් පමණ දමන්න. ඉන් පසු පෙරුම්කායම් කුඩු තේ හැඳි කාලක් පමණ දමන්න. ටිකක් බැදුනු පසු පදම් කරගත් දෙහි ටික දමා හොඳින් මිශ්‍ර කරගන්න. ඉන් පසු මිරිස් කුඩු මේස හැඳි 3ක් පමණ සහ ලුණුකුඩු මේස හැඳි 4ක් පමණ දමන්න. නැවතත් කෑලි නොකැඩෙන සේ හොඳින් මිශ්‍ර කරන්න. මඳ ගින්දරේ ලිපේ තබන්න.

මේ අතරවාරයේ තවත් අබ මේස හැඳි 3ක් ගෙන කබලක දමා රත් කර සිසිල් වෙන්න පසෙකින් තබන්න. ඒ වගේම උළුහාල් මේස හැඳි 3ක් ද කබලේ දමා රත් කර සිසිල් වෙන්න තබන්න. සිසිල් වූ අබ හා උළුහාල් ටික බ්ලෙන්ඩරය පාවිච්චි කොට කුඩු කරගන්න. මෙසේ කුඩු කරගත් අබ හා උළුහාල් දෙහි මිශ්‍රණයට එකතු කරන්න.

මඳක් වතුර ගතිය තිබෙනවා දකින්න පුළුවන්. සියලු කුළුබඩු එකතු කරගත් පසු ටිකකින් වතුර ගතිය හිඳීගෙන යනවා දකින්න පුළුවන්. මෙසේ තරමක වතුර ගතිය ඇතිවිට ලිප නිවා දමා ලුණු දෙහි අච්චාරුව හොඳින් සිසිල් වෙන්නට ඉඩ හරින්න. ඉන් පසු දෙහි දැමූ වීදුරු බෝතලය ගෙන එය හොඳින් පිරිසිදු කර එයට ලුණු දෙහි අච්චාරුව පුරවා ගන්න. ඔබට රසවත් ලුණු දෙහි අච්චාරුවක රස දැන් බලන්න පුළුවන්. එයින් පවුලේ අයටත් සංග්‍රහ කරන්න. සංඝයා උදෙසා දානයටත් පූජා කරගෙන පිං රැස් කරගන්න.

“දත්වා ච භුත්වා ච යථානුභාවං
අනින්දිතෝ සග්ගමුපේති ඨානං
තමාගේ ශක්ති පරිදි ප්‍රණීත දන් දී, ප්‍රණීත ආහාර තමාත් අනුභව කොට නින්දා රහිත සුගතියෙහි උපදී”
“මනාපදායී ලභතේ මනාපං
මනාප දේ දෙන්නා මනාප දේ ලබයි” යනු බුදු වදන් ය. ඒ අනුව බලන විට ආහාරයට ගැරහීම නුසුදුසු ය.

ඔබට ජය ශ්‍රී. සුභ දවසක්!
ඔබේ හිතාදර
අෂාන් ඉමල්ක