රස ගුණ පිරි දන් පුදමු

රසවත් කෑම වේලකට නැතුවම බැරි
මාළු ඇඹුල් තියල්

පදමට ලුණු ඇඹුල් වැටුණු මාළු ඇඹුල් තියල් කැබැල්ලක් එක්ක කිරිබතක රස නොබැලූ කෙනෙක් ලංකාවේ හොයාගන්න බැරි තරම් ය. බොහෝ රටවල් ඒ ඒ රටවල තියෙන පරිසරය අනුව සංස්කෘතිය වගේම ආහාරපාන රටාව ද ඒ රට රටවලට ආවේණික ව පවත්වත්. අපේ රට හතර වටින් ම මුහුදෙන් වට වූ නිසා මත්ස්‍ය ආහාර ලංකාවේ කෑම වේලක සුලභ වේ. ඒ නිසා මාළු ඇඹුල් තියල් හදන මේ ලිපියට උරණ නොවී ඇඹුල් තියල් රස බලනු මැනව.

ඇඹුල් තියල්වලට දකුණු පළාත නමක් දරන අතර මෙය මාළු කල් තබාගන්නා ක්‍රමයක් ද වෙයි. වැඩි වෙහෙසක් නැතිව පහසුවෙන් ම මාළු පිස ගත හැකි ක්‍රමයකි, ඇඹුල් තියල් කියන්නෙ. බොහෝ මංගල අවස්ථාවල වගේම දාන ගෙවල්වල ද මාළු ඇඹුල් තියල් හට්ටිය අනිවාර්ය අංගයක් වී තිබේ.

මාළු ඇඹුල් තියල් දැමීම සඳහා කෙලවල්ලා මාළු, බලමාළු, අලගුඩු වගේම හුරුල්ලෝ වැනි මාලු වැඩි වශයෙන් ම යොදා ගනී. ඒ වගේම මේ සඳහා අලුත් මාළු වෙළඳපොලෙන් ලබාගත හැකි නම් වඩා රසවත් වේ. ලංකාවේ වෙළඳපොලේ ෆෝමලින් යෙදූ මාළු වගේම බොහෝ දින ගණනක් අයිස්වල දැමූ මාළු ද ලැබේ. මේ නිසා මාළු මිලදී ගැනීමේදී සුපරීක්ෂාකාරී විය යුතුය.

හොඳ අලුත් කෙලවල්ලා මාළු, බලමාළු ආදිය කෑලි වශයෙන් කපන විට මාළුවාගේ ලේ ගතිය දකින්නට පුළුවන්. ඒ වගේම පොඩි කූරි වශයෙන් මිලදී ගන්නේ නම් මාළුවාගේ ඇස් ගැන සුපරීක්ෂාකාරී වන්න. සුදු පැහැයට හුරුවී ඇත්නම් ඒ පරණ මාළු ය. ඒ වගේම මාළුවාගේ ඇඟ තැලී ඇත්නම් උයන විට කෑලිවලට කැඩී යයි. ඒ නිසා තැලුනේ නැති හොඳ මාළු මිලදී ගන්න උත්සුක වන්න. අලුත් මාළුවල තද අප්‍රසන්න පිළී ගඳ එන්නේ නැත. මේ කරුණු ඔබට අලුත් මාළු මිලදී ගැනීමට උපකාරී වේ යැයි සිතේ.

මාළු ඇඹුල් තියල් සඳහා මැටි හට්ටියක් සපයාගත හැකි නම් වඩා අගනේය. නමුත් අවශ්‍ය නම් තාච්චියක වුවද සෑදිය හැක. මේ සඳහා රම්පේ, කරපිංචා, ගොරකා, ගම්මිරිස් සහ ලුණු යන කුළුබඩු වර්ග යොදා ගනී. අපි දැන් බලමු මාළු ඇඹුල් තියල් හදන්නේ කොහොමද කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය :-

■ මාළු කිලෝ 1
■ ගොරකා ග්‍රෑම් 50 ක් පමණ
■ ගම්මිරිස් තේ හැඳි 3
■ ලුණු තේ හැඳි 2 – 2 ½ ක් පමණ
■ රම්පේ
■ කරපිංචා

මුලින්ම ඔබ ගන්නා ලද මාළු අවශ්‍ය පරිදි කපා අනවශ්‍ය කොටස් ඉවත් කර සෝදා පිරිසිදු කරගන්න. මාළු එකවරක් හොඳින් සෝදා ගන්නේ නම් හොඳ වේ.

ඔබට කාලය ඉතිරි කරගැනීම සඳහා මාළු සෝදන අතරවාරයේදී ම ගොරකා ටික ගෙන තාච්චියක හෝ සාස්පානක දමා ලිප මත තබා හොඳින් තම්බා ගන්න. ගොරකා හොඳින් තැම්බුන විට අඹරා ගැනීම පහසු වේ. ගොරකා අඹරා ගැනීම සඳහා මිරිස් ගල ද භාවිතා කළ හැක. ඒ වගේම බ්ලෙන්ඩරය මඟින් ද ගොරකා අඹරාගත හැක. ඔබට පහසු ක්‍රමයකට ගොරකා ටික අඹරාගන්න. මේ සඳහා ලිප මත තැබූ ගොරකා ටික වතුර පෙරා වෙන්කරගෙන කොටන්න. මෙසේ ගොරකා තැම්බීමෙන් පසු ගොරකාවල තිබෙන ඇට ඉවත් කරගැනීම පහසු වේ. ඇට සමඟ ගොරකා මද ඇඹරූ විට ගොරකා පේස්ට් එක කහට ගතියකින් යුතු වේ. පේස්ට් එක සෑදීමට ගොරකා අඹරාගන්නා විට අවශ්‍ය පමණට ජලය දමන්න.

ඉන් පසු ඔබ සාදාගත් ගොරකා පේස්ට් එකට ලුණු කුඩු හා ගම්මිරිස් එකතු කරන්න. පිළිවෙළින් අපි ගත්ත ගොරකා ග්‍රෑම් 50ට ලුණු තේ හැඳි 2 – 2 ½ පමණ ද ගම්මිරිස් තේ හැඳි 3 ද පමණ වේ. මෙසේ එක්කරන ලද සියල්ල හොඳින් මිශ්‍ර කරගන්න. පේස්ට් එකේ උකු ගතිය වැඩි නම් වතුර ස්වල්පයක් එක්කරගන්න.

අනතුරුව මැටි හට්ටියේ පත්ලට සෝදාගත් රම්පේ හොඳින් අතුරන්න. ඉන් පසු රම්පේ කොළවලට උඩින් සෝදා පිරිසිදු කරගත් කරපිංචා කොළ හොඳින් දමන්න. මෙසේ සකසා ගත් මැටි හට්ටිය තුළට මාළු කෑලි එකින් එක ගෙන අපි සාදාගත් ගොරකා මිශ්‍රණය හොඳින් තැවරෙන සේ තවරාගෙන එකින් එක අඩුක් කරන්න. මාළුවාගේ ඔළු කොටස තිබේ නම් හට්ටියේ අඩියට ගොරකා මිශ්‍රණය තවරා මුලින්ම අතුරාගන්න.

මෙසේ සකසාගත් මැටි හට්ටිය ලිප මත තබා හොඳින් ගින්දර දමන්න. මුල් විනාඩි 20 පමණ කර මුඩියකින් වසා තම්බා ගන්න. ඉන්පසු මාළු හට්ටියේ තිබෙන වතුර ගතිය ටිකෙන් ටික එළියට ඇවිත් හොද්දක් සේ පෙනෙනු ඇත.

තවදුරටත් ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයට තබා ගනිමින් වතුර හිඳෙන තුරු කර මුඩිය ඇර තම්බාගන්න.

මෙසේ පිසගන්නා මාළු ඇඹුල් තියල්වල මාළු කෑලි සමඟ පේස්ට් එක අවශ්‍ය නම් වතුර ගතිය තිබෙද්දි ම මාළු හට්ටිය ලිපෙන් බාගත යුතුය.

මෙය දකුණු පළාතේ මාළු ඇඹුල් තියල් හදන ක්‍රමය යි. එමෙන්ම කිරිබත්, ඉඳිආප්ප, ආප්ප, කැකුළු බත් ආදියට මෙය හොඳින් ගැලපී යයි. තමාත් රසට අනුභව කොට අන් අයටත් රසට දෙන්න.

“දත්වා ච භුත්වා ච යථානුභාවං
අනින්දිතෝ සග්ගමුපේති ඨානං”

“තමාගේ ශක්ති පරිදි ප්‍රණීත දන් දී, ප්‍රණීත ආහාර තමාත් අනුභව කොට නින්දා රහිත සුගතියෙහි උපදී” යන බුදු වදනට අනුව බලන විට ආහාරයට ගැරහීම නුසුදුසු ය.

“මනාපදායී ලභතේ මනාපං” – මනාප දේ දෙන්නා මනාප දේ ලබයි යනු ද බුදු වදනකි. මස් මාංශ අනුභවය වරදක් ය කියන්නේ නිගණ්ඨනාථ පුත්තගේ දහම මිස බුදුදහම නොවේ.

ඔබට ජය ශ්‍රී. සුභ දවසක්!

ඔබේ හිතාදර
අෂාන් ඉමල්ක