තිත්ත රස නිසා ම බොහෝ දෙනෙක් කරවිල යන නම ඇසූ පමණින් ම මුහුණ අකුලා ගනිති. එනමුත් කරවිල යනු ඖෂධීය ගුණයෙන් අනූන දිව ඔසුවක් හා සමාන එළවළුවකි. ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ගෙවත්තේ පහසුවෙන් වගා කරගත හැකි බෝගයකි. මෙහි ඇති ඖෂධීය ගුණය නිසා ම බොහෝ දෙනෙකු තම ගෙවත්තේ කරවිල වැලක් සාදා ගනිති.

දියවැඩියා රෝග තත්ත්වය පාලනය සඳහා නම් දරා ඇති මේ භෝගය කොලෙස්ටරෝල් පාලනයට ද සමත් ය. ඒ වගේම පිළිකා කාරක සෛල විනාශ කිරීමේ හැකියාවක් පවතින අතර ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමේ ඉහළ හැකියාවක් කරවිලවල අඩංගු වේ.

ඔබගේ ආහාර රටාව වඩාත් රසවත් මෙන් ම ගුණදායක ආහාරවලින් පොහොසත් කර ගැනීමට උත්සහ කළ යුතුය. පොඩි දරුවන්ට පවා ආසා හිතෙන ආකාරයට තිත්ත රස නැතිව කරවිල සාදා ගන්නා ආකාරයක් පිළිබඳව අද අපි ඉගෙන ගනිමු.

අවශ්‍ය ද්‍රව්‍ය.

01. කරවිල කරල් 4ක් හෝ 5ක්
02. පාන්පිටි ස්වල්පයක්
03. මිරිස් කුඩු ස්වල්පයක්
04. කහ කුඩු ස්වල්පයක්
05. ලුණු රස පදමට
06. පොල්තෙල්
07. අමු මිරිස් කරලක්
08. බී ලූනු ගෙඩියක්
09. තක්කාලි ගෙඩියක්

සාදා ගන්නා ආකාරය.

මුලින් ම අප කළ යුත්තේ කරවිල කරල් ටික හොඳින් සෝදා ගැනීම ය. ඉන්පසු ජලය හොඳින් ඉවත්වන තුරු සිදුරු සහිත භාජනයක දමා ගන්න. ජලය හොඳින් පෙරුණු පසු හොඳින් කැපෙන පිහියක් ගෙන ලෑල්ලක් මත තබා කරවිල ගෙඩිය සිහින් පෙති ආකාරයට කපා ගන්න. භාජනයකට දමා පසෙකින් තබා ගන්න.

දැන් තෙල් තාච්චියක් ගෙන පොල්තෙල් අවශ්‍ය ප්‍රමාණයට දමා ලිප මත තබා ගන්න. ගිනි දල්වා පොල්තෙල් ටික හොඳින් රත් කර ගන්න. පොල්තෙල් ටික හොඳින් රත් වූ පසු ලිපේ ගින්දර මඳක් අඩු කරගන්න.

එක වතාවකට බැද ගත හැකි කරවිල පෙති ප්‍රමාණය ගෙන එම කරවිල පෙති මතට පාන්පිටි ස්වල්පයක් ඉස ගන්න. මෙහිදී ඔබ ගත් කරවිල ප්‍රමාණයට සෑහෙන පරිදි පාන් පිටි එක් කිරීම සිදු කළ යුතුය. එය සෑම කරවිල පෙත්තක ම තැවරීමට තරම් ප්‍රමාණවත් විය යුතුය.

එම මිශ්‍රණයට ම මිරිස් කුඩු ස්වල්පයක් හා කහ කුඩු ස්වල්පයක් මිශ්‍ර කරන්න. ඔබගේ රස ප්‍රමාණයට ලුණු කුඩු මිශ්‍ර කරන්න. මෙසේ සාදාගත් කරවිල පෙති මිශ්‍රණය පරිස්සමින් තෙල් තාච්චියට දමා හොඳින් බැද ගන්න. මෙහිදී පෙණ ගතිය ඉවත් වනතුරුම ගින්දර අවශ්‍ය පරිදි අඩු වැඩි කරමින් ලා දුඹුරු පැහැ වන තෙක් බැද ගන්න. තෙල් හැන්දක් භාවිතා කරමින් කරවිල පෙති ඉවතට ගෙන කඩදාසියක් දැමූ භාජනයකට දමා ගන්න. කරවිල පෙති ටික තෙල් තාච්චියෙන් බාගන්නා මොහොතේ ලිපේ ගින්දර අඩු කිරීමට මතක තබා ගන්න.

දැන් නැවත අවශ්‍ය ප්‍රමාණයට කරවිල පෙති ගෙන ඉහත මිශ්‍රණය සාදාගෙන තෙලෙන් බැද ගන්න. මෙහිදී ඔබ මෙම මිශ්‍රණය තෙලට දැමීමට සුළු මොහොතකට පෙර සෑදිය යුතු වේ. නැති නම් පාන්පිටිවලට ජලය උරාගැනීම නිසා කරවිල බැදුමේ crispy ගතිය නැති වී යයි. මෙසේ crispy ගතියට සාදා ගත් කරවිල පෙති chips විදිහට ද කැමති නම් කන්න පුළුවන්.

එය තවත් රසවත් කර ගැනීම පිණිස, අමු මිරිස් කරලක් ගෙන සිහින්ව කපා ගන්න. බී ලූනු ගෙඩියක් ද ගෙන සිහින්ව කපා ගන්න. තක්කාලි ගෙඩිය ද තරමක කෑලි සිටින සේ කපා ගන්න. දැන් ඒ කපා ගත් අමු මිරිස්, බී ලූනු හා තක්කාලි ටික ගෙන භාජනයකට දමා ගන්න. එම භාජනයට ම crispy කරවිල පෙති ටික මිශ්‍ර කරගන්න. දැන් හොඳින් කලවම් කර ගන්න. අවශ්‍ය නම් ලුණු ස්වල්පයක් ද එක් කර ගන්න. දැන් ඔබට රසවත් කරවිල බැදුමක රස විඳිය හැකිය. මෙහි කිසි ම තිත්ත රසයක් නොමැති අතර ඕන තරම් කන්න ආසා හිතෙයි.

ඉතින් ඔබත් අවස්ථාවක් ලද විගස මේ ආකාරයට කරවිල රස විඳින්නට අමතක කරන්න එපා. පවුලේ අය සමඟ ද බෙදාහදා ගෙන පින් රැස් කර ගන්න. ඒ වගේ ම සංඝ දානයකදී දහවල දානයක් සඳහා මෙය වඩාත් උචිත වේ. මෙසේ සඟරුවන උදෙසා ද රසවත් හා ගුණදායක ආහාර පූජා කිරීමෙන් දුර්ලභව ලද මනුස්ස දිවිය තුළ පින් රැස් කර ගැනීමට වාසනාව උදා වේවා..!

“දත්වා ච භුත්වා ච යථානුභාවං
අනින්දිතෝ සග්ගමුපේති ඨානං”

“තමාගේ ශක්ති පරිදි ප්‍රණීත දන් දී, ප්‍රණීත ආහාර තමාත් අනුභව කොට නින්දා රහිත සුගතියෙහි උපදී”

“මනාපදායී ලභතේ මනාපං”

“මනාප දේ දෙන්නා මනාප දේ ලබයි” යනු බුදු වදන් ය. ඒ අනුව බලන විට ආහාරයට ගැරහීම නුසුදුසු ය.

ඔබට ජය ශ්‍රී. සුභ දවසක්!

ඔබේ හිතාදර

අෂාන් ඉමල්ක.