අහස පොළොව හිම් කොට පවත්නා මුළු මහත් මිහිතලයේ භාග්‍ය සම්පන්න පුණ්‍ය භූමිය ලෙස සම්මත දඹදිව මධ්‍ය මණ්ඩලයේ බුද්ධගයා බෝමැඩ වජ්‍රාසනය මත, මින් වසර දෙදහස් හයසියයකට පෙර පහළ වූ ආශ්චර්යවත් මනුෂ්‍ය රත්නය වන සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා ගැයුණු දහස් සංඛ්‍යාත බැති ගී සියල්ල අබිබවා සිරිලක් වා තලය සිසාරා නින්නාද ව ගිය ගී පදමාලාවක අසිරිය විඳ ගැනීමේ භාග්‍යය, 2021 වසරේ යොවුන් දහම් සක්මනට සහභාගී වූ යොවුනනට මෙන් ම ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයෙන් ඇසූ දුටු දනන්හට ලැබිණ. “ඕ… දිනුවෝ අප මුනිඳාණෝ” යන උදානයෙන් ඇරඹෙන ඒ සොඳුරු ගී පද පෙළහරේ නිර්මාතෘවරයාණෝ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිපාණෝ ය. ගම්භීර ස්වර නින්නාද සංගත සම්භාව්‍ය හින්දි ගීයක් වන “ඕ… දුනියා කේ රඛවාලේ” නමැති ගීතයේ තනුව අනුසාරයෙන් බැඳි ඒ අපූර්ව ගී පද කැටයමෙහි සංගීතය නිර්මාණය කරන ලද්දේ නෞෂාඩ්ට නොදෙවෙනි වන ප්‍රතිභාවක් ප්‍රකට කළ ප්‍රියන්ත ගමගේ සංගීත ශිල්පියා විසිනි. හින්දි ගායන ශිල්පී මොහොමඩ් රාෆිගේ හඬට සම වන ඒ බුද්ධ භක්ති ගීතයෙහි හඬ පෞරුෂය මතු කළේ වීනාත් සත්සර නමැති යොවුන් ගායන ශිල්පියා ය.

“දිනුවෝ අප මුනිඳාණෝ” ගීතයට මූලාශ්‍රය වූ හින්දි ගී තනුව වුව ද ප්‍රතිරාව නඟන්නේ බුද්ධ ජාත භූමිය වන භාරත දේශයේ ආගමික හා පාරිසරික සෞන්දර්යාස්වාදයක නිශ්කාමීය චමත්කාරය යි. ලොව රැක දෙන ලෙස විෂ්ණු දෙවියාට අයැදින එම ගීතයේ ඇරඹුම ද ‘භගවා’ වෙයි. “භගවා” යන උතුම් පූජනීය ඇමතුම ඊට නිසි ආස්ථානයකට පමුණුවා ඇති බුද්ධ භක්ති ගීතයක ආස්වාදය විඳ ගැනීමේ භාග්‍යය දැන් අපට හිමිව තිබේ.

ගීතයේ ස්ථායි ගායන ඛණ්ඩයේ මුල් පදය වන “භගවා” යන්න ගැඹුරු සරින් ඇරඹී කෙමෙන් මන්ද ස්වරයකට හැරී නිමා වෙත්ම පොළෝ ගැබ සිසාරා පැතිර ගිය මහා භාග්‍ය සම්පන්න උදාවක පෙර නිමිති පහළ වූවා වැනි ප්‍රමුදිත භාවයක් ශ්‍රාවක සිත් සතන් තුළ තැන්පත් වෙයි. ඊළඟ දෙපාදය සවන්පත් වැකෙත් ම, එදා ගයා ශීර්ෂයේ බෝ මැඩ දී දස දහසක් ලෝධා කම්පිත කරවමින් පැතිර ගිය මහා ප්‍රාතිහාර්යය ශ්‍රාවක සිත් සතන් අබිමුව රැව් පිළිරැව් නඟන්නා වැනි ය.

ඕ… දිනුවෝ අප මුනිඳාණෝ
විදුරසුනේ සිට ජයපෑවෝ

උතුම් සම්බුද්ධත්වය සාක්ෂාත් කිරීමටත් පෙරාතුව මහ බෝසතාණෝ විදුරසුනේ සිට මේ මහා පෙළහර පෑවෝ, සාරා සැකි කප් කෙළක් පුරන ලද මහා පාරමිතාවන්ගේ ආනුභාවයෙනි. දස මාර සේනාවට බියෙන් පළා ගිය ලක්ෂ සංඛ්‍යාත දිව්‍ය සේනා යළි රැස්ව නැඟූ ප්‍රීති ඝෝෂාවත් මාර පරාජය කොට උතුම් සම්බුද්ධත්වයට පත් වූ බුදුරජාණන් වහන්සේ පිරිවාරගෙන ඔල්වරසන් දුන් ආකාරයත්, දෙපාදයකින් යුතු ස්ථායි ගායන ඛණ්ඩයෙන් ධ්වනිත කෙරෙන්නේ එදා සිදු වූ ඒ මහා ප්‍රාතිහාර්යයේ පුනරූපණයක් පරිද්දෙනි.

හීන ප්‍රණීත සියලු භව උප්පත්ති නසා ඉපදෙමින් මැරෙමින් යන සසර ගමන නවතා දමා භවාන්ධකාරය නසාලූ හිරුමඬල බුදුරජාණන් වහන්සේ ය:

සාර අසාර භව සේවන වැනසූ
දිවාකර අඳුර නසාලූ
මුක්ති භාව නිර්වාණ සදාලූ
සුර නර හිතසුව සෑදූ
සෑසි මුනි මහාඤාණී

බුදු බැතිය වඩන අනුප්‍රාසවත් වදන් කැටි එකිනෙක තරඟ වෙමින් නැඟෙන අපූරුව විස්මයජනක ය. රූපාවචර, අරූපාවචර ඇතුළු සියලු කාම ලෝකවල මෝහාන්ධකාරය නසාලූ, විමුක්ති ස්වභාව ඇති නිර්වාණ මාර්ගය හෙළි කරදුන් මහාඤාණී වූ සාක්‍යසිංහ මුනිඳාණෝ දෙවියන්ගේත්, මිනිසුන්ගේත් හිතසුව සලසා දුන් සේක.

ඕ… දම්සක කැරකී
අමා දොර හැරුණි
නිවනින් ලෝ සත නැහැවේ

සම්බුද්ධ දේශනාවේ සම්පිණ්ඩනාර්ථය කැටිකොට ගත් දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරමින් විවර වුණු දහම් දොරින් ගලා බස්නා නිවන් පොකුරු අමා වැස්සෙන් තෙමෙනු කැමති ලෝක සත්ත්වයා නැහැවී යන්නේය.

උතුම් සම්බුද්ධත්වය සාක්ෂාත් කොට වදාළ බුදුරජාණන් වහන්සේ ආර්ය පර්යේෂණයෙන් පසක් කර ගත් චතුරාර්ය සත්‍යය ප්‍රකාශිත දහම් මඟ ලෝ වැසි දනන් සිත් සතන් නිවා සනහමින් එදා සිට ගලා බැස ගිය ආකාරය ධ්වනිත කරන අර්ථ ධ්වනි පූර්ණ වාග් මාලාව ගීතයේ අන්තර්ඛණ්ඩයන් ඔස්සේ නිදහසේ ගලා යන්නේ ශ්‍රාවක දනන් යළි යළිත් පොකුරු වැසි දියෙන් නහවමිනි.

රාග ගිනි නිවනා දම් වරුසා
ද්වේශ නැසූ සිලිලාරේ
අඳුර නිවා දිලි දිලී ප්‍රදීපේ
එතෙර යැවූ සංසාරේ
සැනසීම ලැබූ නිර්වාණේ

රාගය හා සමාන වූ ගින්නක් තවත් ලොව නොමැති බව පෙන්වා දුන් බුදුරජාණන් වහන්සේ ඒ රාග ගින්න දහම් වැස්සෙන් නිවා දැමූ සේක. ද්වේෂය තවන සිලිලාරය වූ කලී සියලු සතුන් වෙත පතළ මහා කරුණා මෛත්‍රිය යි. මොහඳුර දුරලන ප්‍රදීපය දල්වා ගත හැක්කේ දහම් ඇස පාදා ගැනීමෙනි. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ඇවිළුණු, දැවුණු, මැළවුණු දනන් දවන එගිනි නිවා සසරින් එතෙර කරවා නිවනින් සැනසීම උදා කර දෙන ලද්දේ බුදු දහම විසිනි. මේ බව සිහිපත් කරත් කරත් ම බුද්ධාලම්භන ප්‍රීතියෙන් ශ්‍රාවක සිත් සතන් ඔකඳ වෙයි.

“ඕ… ජීවිත අපගේ පුණ්‍ය තඩාගේ
අරවින්ද පිපී මල් වාරේ”

වර්තමානයේ ජීවත් වන්නා වූ අප හැමගේ දිවි මඟ සනහන විමුක්ති රස වෑහෙන සිහිල් දිය දහරින් හෙබි පුණ්‍ය තඩාගය වූ කලී ශ්‍රී සම්බුද්ධ ශාසනය යි.

එහි හටගන්නා වූ පද්මයන් උඩට මතුවී පිපෙන වාරය අප උදා කරගත යුතුවෙයි. “යථාපි උදකේ ජාතං-පුණ්ඩරීකං පවඩ්ඪති” අපගේ ජීවිත ඒ පුණ්‍ය තඩාගයේ ගැලී කිමිද මතුවිය යුත්තේ ය.

“දීන දුඛී අඳ බාල දනෝ නිති
යනවා යන්නන් වාලේ…
ඇයිදෝ එළියක් සොයා නොයන්නේ
හිරු මඬල ඇතේ ලොව පායා”

සිය දේශයත්, රාජ්‍යයත්, සිහසුනත් බුදුදහම උදෙසා පුද කළ රාජ්‍ය පාලකයන් සිටියේ අපගේ දහම් දීපයේ ය. බුදුසරණ සිරස දරාගෙන, දම් සරණින් සිත පහදාගෙන, සඟ සරණින් අනුශාසනා ලැබගෙන, පස් පවින් වැළකී දැහැමි වත් පිළිවෙත් රැකි ජනකායක් සිටි රට ද අප පින්බර දේශය යි. එවන් දේශයට අද උදා වී ඇති දුර්දශාපන්න කලදවස ගැන, ඉහත ගී ඛණ්ඩයේ මුල් දෙපාදයෙන් අපට සිහිපත් කරවයි. අන්ධ බාල පෘතග්ජනයා නොයෙක් දෘෂ්ටි පසුපස හඹා යමින් තමනුත් නැසී හය හතර නොදත් දරුවනුත් වනසා දමන තැනකට අද අප දහම් දිවයින පත් කොට ගෙන තිබේ.

“ඇයිදෝ එළියක් සොයා නොයන්නේ
හිරු මඬල ඇතේ ලොව පායා”

මේ ගී දෙපාදය ඇසෙන විටම අප මතකයට නැඟෙන්නේ ධම්මපදයේ ජරාවග්ගයේ පළමුවැනි ගාථාවයි.

“කෝනුහාසෝ කිමානන්දෝ නිච්චං පජ්ජලිතේ සති
අන්ධකාරේන ඕනද්ධා
පදීපං න ගවෙස්සථ”

ලොව එළිය කරන, සිත් සතන් පහන් කරන බුදු දහම නමැති හිරුමඬල පෙනි පෙනී අඳුරේ අතපත ගෑමේ ඛේදවාචකයට වර්තමාන අන්ධබාල පෘථග්ජනයා මුහුණ පා සිටිති.

“ඕ… කිසිවක් නෑ සැමදා පවතින්නේ
බුදු සරණ ය අපට වටින්නේ”

බලය, නිලය, වස්තුව, දේපළ, රූපය ආදී මේ කිසිවක් සදාකල් නොපවතින්නේ ය. අප අගය කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ සහ උන්වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයයි. අපට වටින්නේ ද ඒ උතුම් බුදු සරණ ම ය.

“බෝ සෙවණේ මර සේනා පැරදී
සුනුවිසුනු වුණා පව් ලෝකේ
හද සෝක නිවා සිත සහන දිදී
මහ කරුණා මුනිඳාගේ
මේ ජීවිත සැපය ළඟා වේ”

ලොවැති අතිබිහිසුණු ප්‍රචණ්ඩ දස මාර සේනාවට බෝසතාණන් වහන්සේ මුහුණ දුන්නේ සම්බුද්ධත්වය සාක්ෂාත් කර ගැනීමට පෙර තනිව ම ය.
උතුම් සම්බුද්ධත්වාභිධාන අසිරිය නරඹනු රිසින් බෝමැඩ අවට රැස්ව සිටි දස දහසක් සක්වළ දෙව් බඹ නා පිරිස්, මර සෙනඟට බියෙන් සී සී කඩව විසිරී ගොස් සිටි මොහොතේ බෝසතාණෝ තනිව ම තම අධ්‍යාත්ම බලයෙන් මරුන් පරදා සම්බුද්ධත්වය සාක්ෂාත් කොට වදාළ සේක. එසේ නම් සම්බුද්ධත්වයට පත් ශ්‍රේෂ්ඨ පුරුෂයාණන්ගේ අධ්‍යාත්ම ශක්තිය, බලය කෙබඳු වේ ද? ලොවැති පව් සුනුවිසුනු කරන හද සෝක නිවන සිත සහන සදන මුනිඳාණන්ගේ මහා කරුණා බල මහිමය ජීවිතවලට ළඟා කර දෙන්නේ සැපතක් ම ය.

“ඕ… එනු මැන යමු මුනි ගිය අම පාරේ…”

ඒ අමා මාර්ගය වූ කලී ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. ජීවිතයට සැපතක් උදාකර ගැනීම සඳහා ඉන් බැහැර වූ වෙනත් මාර්ගයක් ලොව නොමැත්තේ ය.

“වෙන කවුරුද සරණ සදන්නේ”

ප්‍රබල තිරසර ප්‍රතිෂ්ඨාවකින් සම්බුද්ධාභිවාදන ගීතය නිමාවට පත්වෙයි. ඒ ආධ්‍යාත්මික වූ ජීවන සැපත උදාකර දෙන්නේ බුදුරජාණන් වහන්සේ පමණි. උන්වහන්සේ දේශනා කොට වදාළ නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ පිහිට පිළිසරණ හැර ජීවිත සැපත ළඟාකර දෙන වෙනත් කිසිදු සරණක් හෝ පිළිවෙතක් හෝ ලෝකයේ නොමැත්තේ ම ය.

“ඕ… දිනුවෝ අප මුනිඳාණෝ… මුනිඳාණෝ…”

 

සටහන – දයාපාල ජයනෙත්ති