නොයෙක් වෙසින් කලින් කල පහළ වන මිථ්‍යා දෘෂ්ටිකයන් විසින් ගෞතම බුදුරජාණන් වහන්සේට සහ උන්වහන්සේ දේශනා කොට වදාළ නෛර්යානික ශ්‍රී සද්ධර්මයට ගැරහුම් කරනු ලැබුව ද එපමණකින් බුද්ධ බලය තවමත් පැතිර තිබෙන ලංකාද්වීපයෙන් සම්බුද්ධ ශාසනය අතුරුදහන් කළ නොහැක්කේ ය. ඒ බව පසක් කරවමින් මීට දෙවසරකට පමණ පෙර උතුම් සම්බුද්ධ දේශනා ඇතුළත් ත්‍රිපිටක ධර්මය ලෝක උරුමයක් බවට පත් වූයේ ය. එසේම අදින් හරියටම අවුරුදු එකසිය විස්සකට පෙර නීතිඥ ජෝන් ද සිල්වා දේශ හිතෛෂියාණන් විසින් සිය සිරිසඟබෝ නූර්තිය සඳහා රචනා කරන ලද ගීත හතළිස් හතරෙන් විශිෂ්ටතම ගීතය වන ‘දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා’ නැමැති ගීතය දැන් ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් වී තිබේ. ඒ වූ කලී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පතන සත්පුරුෂ ජනකායගේ මෙන්ම ගීත ලෝලීන්ගේ ද අමන්දානන්දයට හේතුවක් වී ඇත්තේ ය.

සියවසකටත් අධික කාලයක් ගත වුව ද තවමත් බැති හැඟුමින් යුතුව ආස්වාදනය කළ හැකි කිසිදාක පරණ නොවන මෙම විස්මිත ගීතයට සංගීතය සපයන ලද්දේ විශ්වනාත් ලව්ජි නැමැති භාරතීය සංගීතඥයා විසිනි. 1949 වසරේ නිදහස් දින උළෙල සමරමින් පැවති සංගීත සන්දර්ශනයක දී හියුබට් රාජපක්ෂ නැමැති ගායකයා එම ගීතය ගායනා කොට ඇත්තේ බටහිර තාලයකට අනුගතව ය. එය විමසුමට හසුකළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා සිය ‘සිංහල ගැමි නාටකය’ කෘතියෙහි ලා පැවසුවේ යුරෝපයේ දී ප්‍රගුණ කොටගත් හඬකින් ගැයූ නිසා එම ගීතයට හානියක් වී ඇති බව ය. පසු කලෙක එම ගීතය හෙළ ඌරුවට අනුව බුදු බැතිය දනවන පරිදි මධුර ස්වරයෙන් ගායනා කරන ලද්දේ හෙළයේ මහා ගාන්ධර්ව පණ්ඩිත් අමරදේව සූරීන් විසිනි.

බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ දඹදිව මධ්‍ය මණ්ඩලය සිල් සුවඳින් සුවඳවත් කරවමින් රහතන් වහන්සේලා ධර්මදූත චාරිකාවේ වැඩි අයුරු සිහිපත් කරවන පරිසරයක් ලක්දිව පහළ වූයේ ඊට අවුරුදු තුන් සියයකට පමණ පසුව ය. මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කොට සම්බුදු සසුන මෙහි පිහිටවූ දා සිට අවුරුදු හයසියයක් පමණ කාලයක් මෙරට රහතන් වහන්සේලාගෙන් පිරී පැවති බව පුරාවිද්‍යාත්මක සාධකවලින් හා වංශකතා තොරතුරුවලින් අනාවරණය වෙයි. එසමය අලලා ජෝන් ද සිල්වා සූරීන් සිය සිරිසඟබෝ නූර්තිය උදෙසා රචනා කළ ‘දන්නෝ බුදුන්ගේ’ ගීතයට පසුබිම වී ඇත්තේ අනුරාධපුර පූජනීය පරිසරයයි. වෙනත් ගීතයන්ට වඩා මෙම ගීතයේ දක්නා විශේෂය වනුයේ අනුරාධපුරවරය කරා ආගන්තුකව පැමිණෙන කුමාරවරුන් තුන් දෙනෙකුගේ තුන් විධ මනෝභාවයන් ඉන් නිරූපණය වීමයි.

ඉතා දුර බැහැර පිහිටි ප්‍රාන්ත රාජ්‍යයක් වූ මහියංගනයට ආසන්න මිණිපේ ජනපදයේ සිට පා ගමනින් එන මේ කුමාරවරුන්ගේ පියා වූයේ එහි පාලකයා වූ සේලාභය යුවරජු ය. ඔවුන් අනාගත රාජ්‍ය උරුමය පතා එවක අග රාජධානිය වූ අනුරාධපුරය බලා පිටත් වූයේ තමන්ට අනුශාසනා කළ නන්ද තෙරුන් වහන්සේගේ උපදෙස් පරිදි ය. සංඝතිස්ස, සංඝබෝධි හා ගෝඨාභය වන මේ කුමාරවරුන් තිදෙනා දිගු ගමනකින් පසු කෙමෙන් පූජනීය නගරය කරා පියමං කරන ආකාරයත්, ඔවුන්ගේ නෙතට හසුවන පරිසරයත් වර්ණනා කරනුයේ එකිනෙකාගේ චේතනා හා මනෝභාවයන් ද ධ්වනිත කෙරෙන අයුරිනි.

පළමුවෙන් සංඝතිස්ස කුමරුගේ නෙතට හසුවන්නේ පූජනීය නගරයේ වැඩ වසන රහතන් වහන්සේලා ය.

දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා
පේවී රකිති සොඳ සීලේ නිබන්දා
ක්ලේශ නස්නා භික්ෂූ ඇත්තේ ය බෝ සේ
රහතුන් නිවසනා පාය ප්‍රකාශේ

සංඝබෝධි කුමරා :
භූ ලෝ මතේ මේ දෙව්ලෝ පැවාසේ
පේනා මෙපුර මුනි ශාසන වාසේ
එර්දියෙන් යන්නා වූ නෙක් රහතුන්ගේ
සෙවණැල්ලෙනි හිරු රශ්මිය භංගේ

ගෝඨාභය කුමරා :
මානෙල් නෙළුම් හා ඕළු පුෂ්පාදී
ඇත්තේ පොකුණුවල බෝ ජල පෑදී
සේරූ පන්තී පන්තී පීනති බෝ සේ
අනුරාධ නගරය දැන් පෙනේ ඕසේ

මෙම ගීතයේ දක්නා විශේෂය නම් කුමාරවරුන් තිදෙනා කෙමෙන් කෙමෙන් අනුරාධපුර නුවර මධ්‍යයට පිවිසෙන අයුරින් පරිසරය නිර්මාණය කොට තිබීමයි. සිල්ගුණ පුරන භික්ෂූන් වහන්සේලා, උන්වහන්සේලා වැඩ වාසය කරන විහාරාරාම, ඍද්ධි බල සම්පන්න රහතන් වහන්සේලා අහසින් වැඩම කිරීම, වැව් පොකුණු සහිත පරිසරයේ විචිත්‍රභාවය ආදී සියල්ල කුමරුන්ගේ නෙතට හසුවී ඇති අයුරු ද ඔවුන්ගේ මනෝභාවයන් ද ගීතය පුරා විසිර පැතිර යන අයුරු අපූර්වතර ය.

සංඝතිස්ස කුමරා පෙර තමන් අසා තිබූ බෞද්ධාගමික පරිසරයත්, එහි වෙසෙන ගිහි පැවිදි උතුමන්ගේ සීල සමාධි ප්‍රඥා ගුණයත් පිළිබඳ ප්‍රසාදය පළ කරමින් පෙරටුව ගමන් කරයි. පූජනීය නගරයට පිවිසෙන සංඝබෝධි කුමාරයාගේ සිත බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඇලලී යයි. ඔහු අනුරපුරය දකින්නේ මහ පොළව මත දෙව්ලොව පහළ වූවා සේ ය. අහසින් වැඩම කරන රහතන් වහන්සේලා කොපමණ ද යත් හිරු රැස් පවා පොළවට පතිත නොවන අයුරු ඔහු පවසයි. එදවස වී පැදුරක් පවා වේළා ගැනීමට නොහැකි තරමට රහතන් වහන්සේලා අහසින් වැඩි සේක් යැයි පැවසෙන ජනප්‍රවාද කියුම් ද අපට සිහිපත් වෙයි.

ගෝඨාභය කුමරුගේ මනෝභාවයන් ඊට හාත්පසින්ම වෙනස් ය. ඔහු බුදු සසුන ගැනවත්, රහතන් වහන්සේලා ගැනවත් කිසිවක් නොකියයි. ඔහු දකින්නේ යස ඉසුරෙන් සපිරුණ නගරයේ භෞතික හා සෞන්දර්යාත්මක පරිසරයකි. මානෙල්, නෙළුම්, ඕළු මලින් ගැවසී ගත් වැව් සමූහය ඔහු දකින්නේ මහා පොකුණු පරිද්දෙනි. වැව්තලා මතින් පීනා යන සේරු පන්ති එකිනෙකා ලුහුබඳින අයුරු ඔහු දකියි. අනුරාධ නගරය සිත් සේ (ඕසේ) දකින ඔහු ලෞකික ආශාවන්ගෙන් ප්‍රබෝධයට පත් වෙයි. පසු කාලයේ රාජ්‍ය ලෝභය පතා ගෝඨාභය කුමරුන් ක්‍රිියා කළ ආකාරය විනිවිදින ඉඟියක් ඔහුගේ මුවට නැංවූ අවසාන ගී ඛණ්ඩයෙන් ධ්වනිත වෙයි.

කුමරුන් තිදෙනාගේ සිත් සතන් විනිවිද දකින විශ්ලේෂකයකු පරිද්දෙන් ජෝන් ද සිල්වා නූර්තිවේදියාණන් විසින් මෙම විශිෂ්ට ගීතය රචනා කරනු ලැබීම තත් යුගය හා සසඳන විට ඉතා විරල පරිකල්පනයක ඵලයක් යයි මට සිතෙයි. කුමරුන් තිදෙනාගෙන් වැඩිමලා වූ සංඝතිස්ස කුමරුගේ මුවට නැංවූ ස්ථායි ගී ඛණ්ඩයෙන් ධ්වනිත වන්නේ, නිබඳ පේ වී සිල් රකින සැදැහැවතුන් හා ඔවුනට අනුශාසනා කරන රහතන් වහන්සේලා ඇතුළු සඟරුවන පිළිබඳව ඔහු තුළ හටගත් බලවත් ප්‍රසාදයයි. දෙවැන්නා වූ සංඝබෝධි කුමරාගේ නිරාමිස සිතිවිලි දහරාව විහිද යන්නේ හුදෙක් රහතන් වහන්සේ කෙරෙහි ය. ඔහු අනුරපුර පින්බිම දකින්නේ සම්බුද්ධ ශාසනයේ ගුණ මහිමය ඉතිර පැතිර පවත්නා දෙව්ලොවක් මිහිපිට පහළ වූවා සේ ය.

දහනව වැනි සියවසේ අග භාගය වන විට බි්‍රතාන්‍ය ආධිපත්‍යය යටතේ බුදු දහම හා සිංහල භාෂාව යටපත්ව ගිය පසුබිමක මෙබඳු අසිරිමත් ගීතයක් රචනා කොට එය බෞද්ධ උරුමය හා දේශවාත්සල්‍යය ඉස්මතු කෙරෙන නූර්තියකට ඇතුළත් කොට මහජනතාව වෙත ප්‍රදර්ශනය කිරීමත්, සියවසක් ගෙවී ගිය පසුබිමක වුව ද රාජ්‍ය අනුග්‍රහය යටතේ ජාතික උරුමයක් ලෙස ඇගයීමකට ලක් වීමත් හේතුකොට ගෙන ජෝන් ද සිල්වා සිරිමතාණන් ලක්වාසීන්ගේ සදා බුහුමනට පාත්‍ර විය යුත්තේ ය.

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ධර්මස්කන්ධය හෙළ බසින් ලක්දිව පැතිර ගිය ආකාරයත්, ඉන් මෙරට ජනතාව සුඛිත මුදිතව පරිසරය පවා ප්‍රබෝධවත් වූ අයුරුත් මේ ගීතයෙන් කියැවෙයි. එදා මෙදා තුර සියවසක් කල් ශ්‍රාවක රසික ජන සමූහයා ආගමික හා දේශවාත්සල්‍යයෙන් ප්‍රබෝධවත් කරවන මේ ගී පබැදුම සිංහල ජාතිය හා භාෂාව පවත්නා තාක් කල් අපූර්වතර භක්ති ගීතයක් ව පවතිනු ඇත්තේ ය.

දයාපාල ජයනෙත්ති.