සසර වනාහී ස්වභාවයෙන්ම අත්‍යන්ත අසාධාරණ නීච ස්වභාවයෙන් යුතු පීඩා සහිත තැනකි. සසරේ සැරිසරන සත්වයාට බොහෝවිට මුණගැසෙන්නේ සංසාරගත අසාධාරණකම් ය. කර්කෂ අමිහිරි දුක් පීඩාවන් ය. ලියා කෙළවරක් කළ නොහැකි, විස්තර කොට නිමාවක් කළ නොහැකි මේ සියලු දුක් පීඩා සසරට අයත් දේවල් ය. දුක නම් වූ ආර්ය සත්‍යයට අයත් වූ, දුක මත පිහිටි ලොවක වෙසෙන අප ‘මේ දුක් පීඩා අපට නොවේවා’ යි පැතුවාට, ලැබෙන දුක් පීඩා ගැන උරණ වූවාට, ඒ දුක් පීඩා වලින් තොරව වාසය කිරීමක් කෙසේ නම් ලබන්නට ද? මෙබඳු සසරක සත්වයාට ලැබිය හැකි එකම අස්වැසිල්ල නම් මේ සා අසාධාරණ වූ, මේ සා වෙහෙසකර වූ නින්දිත සසරෙන් එතෙර වීමට හැකි වීම පමණි.

එය ද පහසු දෙයක් නොවේ. ලොව ඇති අතිශය දුෂ්කර, බාධා අභියෝග වැඩිම කටයුත්ත එයයි. සසරේ මේ දුක්ඛිත ස්වභාවය දැන ළතෙත් සිත් ඇති මහා වීරයන් වහන්සේලා අනන්ත සසරේ දිගු කාල පරාසයක් පුරාවට බොහොමත්ම දුක සේ පින් පුරමින්, ගුණදහම් වඩමින් ලෝකාර්ථචර්යාවේ යෙදී අසාධාරණ සසරේ දුකට පත් සත්වයන්ට පිළිසරණක් වන්නට ලොවට වැඩම කරත්. ඒ වනාහී බුදුවරයන් වහන්සේලායි.

ඔබ ජීවිතයේ මුහුණ දෙන නින්දා අපහාස ගැරහුම් අවලාද ඇනුම් බැණුම් තාඩන පීඩන වධ බන්ධන ආදී මෙකී නොකී යම් තාක් දුක් ඇත්ද මේවා ලොව එක් ජාතියකට, එක් විශේෂ මිනිස් කොට්ඨාසයකට පමණක් මුහුණ දීමට තිබෙන දෙයක් නොව උපන් සියලු සත්වයන්ටම මුහුණ පෑමට සිදුවන දෙයකි. අනන්ත සසරේ බුදුවරුන් මුණගැසී සසරින් නිදහස් වෙන්නට ලැබුණු සියලු අවස්ථා පසෙක ලා ඔබත් මාත් ඇතුළු අසරණ සත්වයින් දුකින් මුදවාලීමේ පිවිතුරු අදහසින් නේක දුක් විඳිමින්, පාරමිතා පුරමින් පැමිණ සම්බෝධියෙන් අබිසෙස් ලැබ, ලෝ සත වෙත පතල මහා කරුණාවෙන් බුද්ධ චර්යාවේ යෙදුණ අපගේ ශාස්තෘන් වහන්සේට මුහුණ දෙන්නට වූ අසාධාරණකම්, නින්දා, අපහාස කොතෙක් ද? දේවදත්ත ගල් පෙරළුවේ ය. දිවි නසන්නට දුනුවායන් එවී ය. නාලාගිරි හස්තියාට රා පොවා, එන මගට මුදා හැරී ය. සංඝභේදය කොට ශ්‍රාවකයින් රැගෙන පලා ගියේ ය. චිංචිමානවිකාව දර මිටියක් බඩේ බැඳගෙන නින්දා අපහාස කරමින් දෙව්රමට පැමිණියා ය. නිගණ්ඨයෝ සුන්දරී මරා දෙව්රමේ සඟවා මුසා ගොතමින් නින්දා කළහ. මාගන්ධියා අසීමාන්තික පලිගැනීමක යෙදෙමින් දාස කම්කරුවන් ලවා නින්දා අපහාස කරවූවා ය. මේ සියල්ල අබියස භාග්‍යවතුන් වහන්සේ කම්පා නොවෙමින් ඉවසීම නම් වූ මහානීය දහම දරාගෙන නිවුනු සිතින් යුතුව වැඩ සිටි සේක. මෙකී සංසාරගත අසාධාරණයනට මුනිවරයන් වහන්සේලා පිළිතුරු දුන්නේ ඉවසීම නම් වූ සොඳුරු දහම හිස් මුදුනේ දරාගෙන ය.

සම්බුදු සිරිත කියවන කෙනෙකුට ශාස්තෘන් වහන්සේගේ අසිරිමත් ඉවසීමේ ගුණය ප්‍රකට කෙරෙන සිදුවීම් ගණනාවක් දැකිය හැකි ය. එයින් පෙනී යන්නේ තුන් ලොවටම අග්‍ර වූ මහා සම්බුදු බලයකින් වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේ පවා අර්බුදකාරී අවස්ථා ඉවසීමෙන් ම ජයගත් ආකාරයයි. එවැනි අවස්ථාවල දී ශාස්තෘන් වහන්සේත් ඉවසුවා නම් ප්‍රශ්න අර්බුද හමුවේ අප කෙසේ නම් ඉවසිය යුතු ද?

සියලු දුකින් නිදහස් වූ, සියලු කෙලෙස් පීඩා බැහැර කළ, සියලු ගුණයන්ගේ පරතෙර වැඩි අප ශාස්තෘන් වහන්සේගේ ඉවසීම නම් අරුමයක් නොවේ. පුදුම සහගත දෙය නම් කෙලෙස් සහිතව සිටි බෝසත් අවදියේ දී පවා උන්වහන්සේ තුළ පැවති ඉවසීමේ ගුණ මහිමයයි. බෝසතාණන් වහන්සේ එය සම්බුද්ධත්වය පිණිස උපකාරක ධර්මයක් වශයෙන් හඳුනාගෙන පූරණය කළ සේක. පාරමී, උප පාරමී, පරමත්ථ පාරමී වශයෙන් සිරුරේ අඟපසඟ පමණක් නොව මුළු දිවියම පුදා ඉවසීම පුරුදු කළ සේක. ක්‍ෂාන්තිවාදී ජාතකයේ දී දුෂ්ට සිත් ඇති කලාබු රජු ක්‍ෂාන්තිවාදී තාපසතුමන් කෙරෙහි කිපී කටු කසයෙන් කස පහර දෙදහසක් ගැස්සවී ය. බෝසතුන්ගේ සමේ සිවිය ද සම ද මස් ද පැලී ලේ වැගිරිණි. රජු ඉන් නොනැවතී අත් පා කැප්පවීය. කන් හා නාසය ද කැප්පවීය. මුළු සිරුර ම ලෙයින් වැකී ගියේ ය.

“දැන් තොපගේ ඉවසීම කොහේ තිබෙන්නේ දැ?” යි රජු අසන විට බෝසතාණන් වහන්සේ පැවසුවේ “රජතුමනි එය මාගේ හදවතේ ගැඹුරුම තැන පිහිටි දෙයකි.” යි කියා ය. එවිට රජු බෝසතුන්ගේ හදවතට පා පහරක් දී නික්ම ගියේ ය. රජු නික්ම ගිය කල්හි ළතෙත් සිත් ඇති සෙන්පති පැමිණ, “ස්වාමීනි, මහා වීරයන් වහන්ස, ඔබවහන්සේ කිපෙන්නේ නම් ඔබට අපරාධ කළ රජු කෙරෙහි කිපෙනු මැන. අන් අය කෙරෙහි නොකිපෙනු මැන. මේ රට නැසී යාවී.” යි පැවසීය.

එය අසා බෝසතාණන් වහන්සේ “යමෙක් මාගේ අත් පා කන් නාස සිඳවාපි ද ඒ රජතුමා බොහෝ කල් ජීවත් වේවා, ඔහුට නොකිපෙන්නෙමි. මා වැනි ඉවසීමේ බලයෙන් යුක්ත වූවන් ‘මොහු මට බැණ්නේ ය. පහර දුන්නේ ය. කපා දැමුවේ යැ’ යි නොකිපෙති.” යි කී සේක.

කෙලෙස් සහිතව සිටි බෝසත් කල පවා මෙබඳු ඉවසීමේ ගුණ මහිමයක් දරා සිටි අපගේ ශාස්තෘන් වහන්සේ ශ්‍රාවකයනට වදාළේ දරුණු හොරු ඇවිත් දෙපැත්ත මිට ඇති කියතකින් ශරීරය කපන විට පවා ඉවසීමත්, මෙත් සිතත් බලය කරගෙන කෝප නොවී යමෙක් සිටී නම් ඔහු ශාස්තෘ වචනය පිළිපදින කෙනෙක් බවයි. මෙබඳු අවස්ථාවක දී පවා ඉවසීම පුරුදු කළ හැකි බැවින්ය ශාස්තෘන් වහන්සේ එලෙස වදාළේ. කෙලෙස් සහිත වූවෙකුට පවා එවැනි බිහිසුණු අවස්ථාවක දී වුව ද ඉවසිය හැකි බව බෝසතාණන් වහන්සේ ලොවට පෙන්වූ සේක. එම ඉවසීම ඒකාන්තයෙන්ම බෝසතාණන් වහන්සේට මහත් වූ යහපත උදා කර දුනි. යොදුන් දෙලක්ෂ හතළිස් දහසකට වඩා ඝනකම මහ පොළොව පැළී විවර වී ගිනි දැල් මතු වී කලාබු රජු පණ පිටින් අවීචි මහා නරකයට ඇද වැටෙද්දී ඉවසීම නම් වූ උත්තම ශාන්තිය හදේ රුවා ගත් අප මහා බෝසතාණන් වහන්සේ කළුරිය කොට සුගති පරායන විය. ඒකාන්තයෙන් ම ඒ ඉවසීම සුගතිය පිණිස පමණක් නොව සම්බෝධිය පිණිස ද බෝසතුනට උපකාරී විය.

දිනක් මුගලන් මහරහතන් වහන්සේ දෙව්ලොව චාරිකාවේ වැඩම කරන විට ලස්සන දෙව් විමනක් දැක එහි දෙවඟනගෙන් කළ පින ගැන අසා වදාළ කල පින කීමට ඈ මැලි විය. යළි විමසන විට ඒ දෙවඟන පැවසුවේ මෙයයි, “ස්වාමීනී මං එදා දානය දුන්න කෙනෙක් නෙවෙයි. මට එහෙම යමක් තිබුණේ නැහැ. මං කාශ්‍යප බුද්ධ කාලයේ දාසියක් වෙලා සිටියා. මං ගොඩක් දුක් වින්දා. මං වැඩ කළ ගෙදර ස්වාමියා හරි නපුරුයි. මට ගහනවා. කීප වතාවක් මගේ හිස තුවාල වුණා. එතකොට මං හිතුවා ‘මට වෙන යන්න තැනක් නෑ. මං අකීකරු වුණොත් මගේ අතපය කපලා දමාවී. ඒ නිසා කෝප නොවී හිටපන්.’ කියලා මං මට ම අවවාද කර ගත්තා. ඊටපස්සේ මං කොච්චර හිංසා ලැබුණත් තරහා ගත්තේ නෑ. මෙත් සිතින් ම වාසය කළා. මරණින් මත්තේ මෙහි උපන්නා.”

එසේ නම් අපට සමහර විට වෙනත් පින් කර ගැනීමට අවස්ථාව නොලැබුණත් මෙත් සිතින් දුක් පීඩා ඉවසනවා නම් එයම දෙව්ලොව ඉපදීමට උපකාරී වෙනවා ඒකාන්තයි. එපමණක් නොව ධර්මාවබෝධ කර දුක් පිරුණු සසරින් එතෙර වීම පිණිසත් එය උපකාරී වේවි.

ඒ නිසා, ජීවිතයට දුක් පීඩා දැවිලි තැවිලි එන විට ‘දහම පිහිට කොට ඉවසනවා’ යැයි සිතන්න. ඒ සඳහා සිතට සවිය ලබා ගැනීම පිණිස අපගේ ශාස්තෘන් වහන්සේ ඉවසීමෙන් අර්බුද සංසිඳවූ සිදුවීම් ගැන ඇති දහම් පරියායයන් ඔබත් කියවන්න. බෝසත් කල ඉවසීම පුරුදු කළ ක්‍ෂාන්තිවාදී, චුල්ල ධම්මපාල, මහිස, ඛන්තිවණ්ණන, දද්දර ආදී ජාතක කථා කියවන්න. රහතන් වහන්සේලා ඉවසීමෙන් ප්‍රශ්නවලට මුහූණ දුන් ආකාරය ගැන කියවෙන ධර්මය කියවන්න. කියත උපමා කරගෙන ශාස්තෘන් වහන්සේ කළ අවවාදය නිතර සිහි කරන්න. ඉවසීමේ ආනිශංසත්, නොඉවසීමේ ආදීනවත් සිතන්න. අප සසරේ මීට වඩා බොහෝ දරුණු දුක් විඳි අය බවත්, අනාගත සසරේ ද දුක උරුමව ඇති බවත් සිතන්න. ඔබට මෙලොව සැනසීම උදා කර දෙන, පරලොව සුගතිය පිණිස හේතු වන, ධර්මාවබෝධයට පවා උපකාරී වන ඉවසීමේ ගුණය ගැන සිත පහදවාගෙන ඉවසීම පිණිස සූදානම් වූ – ඉවසීමෙන් සතුටු වන සිතක් උපදවා ගන්න. දුකින් පිරුණ මේ සසරේ එය ඔබට මහත් අස්වැසිල්ලක් වනු ඇත. ඉවසීමෙන් දුක නිවන දහම කියා දුන් අප ශාස්තෘන් වහන්සේගේ සම්බුදු සිරිපා අබියස අපගේ ජීවිත පූජා වේවා…!

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේනමක් විසිනි.