කාලයකට පෙර ලෝකය පිළිබඳ පොදු හැඟීමක් මසිතේ තිබුණා. ඒ මෙහෙමයි… අප සියල්ලෝ මව්කුසින් උපන්නවුන්. අප කාටත් ජරා ව්‍යාධි මරණ උරුමයි. සිනහවටත්, කඳුළටත්, සැපතටත්, විපතටත් දේශසීමා පැනවිය නොහැකි නම්, කෙසේ ද ලෝකය දේශසීමා හරහා බෙදා ගන්නේ? කෙසේ ද මනුෂ්‍ය වර්ගයා කාණ්ඩ කොට දක්වන්නේ? කෙසේ ද කිසිවෙකු අනෙකෙකුට වඩා උසස් හෝ පහත් යැයි සලකන්නේ? ‘ලෝකය තනි යායක්…!’ මේ සංකල්පයට බොහෝ සෙයින් ඇලුම් කළ කාලයක් ජීවිතයේ තිබුණා. ඇතැම් විට ඔබටත් එසේ ම වන්නට ඇති… සමහර විට, තවදුරටත් ඔබ එසේ ම සිතනවා වන්නට ද ඇති. හැබැයි… මා සිතූ අයුර වෙනස් කරන්නට මට බල කෙරූ කෙනෙක් සිටිනවා. පුද්ගලයෙකු නොවූවත්, එතරම් ම සජීව වූ අභිමානයක් උසුලා සිටින මගේ මව්බිමයි ඒ…!

ඔව්… අප සෙසු ලෝකයෙන් වෙනස්. සෙසු ලෝකයා හා මුසු නොවන අනන්‍යතාවයක් අපට තිබෙනවා. ඒ අනන්‍යතාවය අප සතු වුණ අයුර, වචන කිහිපයකින් පවසන්නට පුළුවනි. ‘මෙබිම උපන් අප මෙලොවත්, පරලොවත් ශ්‍රේෂ්ඨ වන්නා වූ උත්තම ධර්මය දායාද කර ගත්තවුන්…!’ එය ලෝකයේ දේශසීමාවන් අතර අප වෙන් වී සිටීම අර්ථ ගන්වන්නක්. ඒ ගැන ම යි මේ සටහන…

අසංඛෙය්‍ය කල්ප හතරකුත් කල්ප ලක්ෂයක් මුළුල්ලේ සම්මා සම්බුද්ධත්වය පිණිස ම පුරන ලද පුණ්‍ය පාරමී බල ඇති අපගේ මුනිරජාණන් වහන්සේ අවසන් සිරුර දරා ගනිමින් මනුලොව වැඩිය මොහොතේ දී ඒ උතුම් ජාතභූමියේ පැන නැගුනු රතු පියුම් බෝසත් සිරිපා කමල් පිළිගනු ලැබුවා. ඒ මොහොතේ මහ බඹුත්, දෙවියනුත් බෝසතාණන් වහන්සේට වන්දනා කළා. ලොව මුදුනින් හිඳිනා මහ බඹුගෙන් ද වැඳුම් ලබනා තමන් වහන්සේට වඩා අග්‍ර වූවෙක්, ශ්‍රේෂ්ඨ වූවෙක්, ජ්‍යේෂ්ඨ වූවෙක් තුන්ලොවෙහි ම නොවන බව දුටු උන්වහන්සේ ඒ බව පවසමින්, පුනර්භවයක් නොසකසන අවසන් උපත මෙය බවට සුරත ඉහළට ඔසවා සිංහනාද කළා. බෝසතාණන් වහන්සේ දෙසට පවා තුන්ලොවේ ම සිරස නැමී යනවා, උන්වහන්සේ වෙත කිසිවෙකුගේ ද පා යොමු කළ නොහැකියි. බෝසතාණන් වහන්සේගේ ද ආනුභාවය එබඳු නම්… සම්මා සම්බුද්ධානුභාවය ගැන අප කෙසේ කියන්න ද? අපගේ ශාස්තෘන් වහන්සේ ඒකඝන පින් පිඬක්, ඒකඝන ගුණකඳක්. උපතින් ම උන්වහන්සේ ව සරණ යන්නට මට ලැබුණේ මා මේ බිමේ උපන් නිසයි…

බ්‍රහ්මාතිබ්‍රහ්ම වූ, දේවාතිදේව වූ, නරපවර වූ ඒ මහා මුනිරජාණන් වහන්සේ ජම්බුද්වීපයෙන් බැහැර වූ යම් බිමකට තෙවරක් ම වැඩම කොට වදාරණ ලද්දේ නම් ඒ එක ම බිම මගේ මව්බිම යි. ඒ නිසා මේ බිමේ බොදුනුවෙකු ව ඉපිද බුදුරජාණන් වහන්සේ ව සරණ යන්නට ලැබීම ගැන මං සතුටු වෙනවා…

“මතු මාගේ ශාසනය මෙහි පිහිටන්නේ ය.” කියා යම් බිමක් ගැන බුදු මුවින් වදාරණ ලද්දේ නම් ඒ එක ම පින්බිම මගේ මව්බිම යි. ඒ නිසාත්, මේ බිමේ බොදුනුවෙකු ව ඉපිද බුදුරජාණන් වහන්සේ ව සරණ යන්නට ලැබීම ගැන මං සතුටු වෙනවා…

“පින්වත් දෙවිඳ, මේ බිම රකින්න.” කියා සම්බුදුරජාණන් වහන්සේ විසින් ම යම් බිමක් ආර්ය ශ්‍රාවක සක් දෙවිඳුන් හට භාර කරන ලද්දේ නම් ඒ එක ම පින්බිම මගේ මව්බිම යි. ඒ නිසාත්, මේ බිමේ බොදුනුවෙකු ව ඉපිද බුදුරජාණන් වහන්සේ ව සරණ යන්නට ලැබීම ගැන මං සතුටු වෙනවා…

ධර්මරාජ වූ, ධර්මස්වාමී වූ සම්බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩ සිටිද්දී ම උපාසක බවට පැමිණි මිනිසුන් විසින් ද උපාසක බවට පැමිණි දෙවිවරුන් විසින් ද මුනි ධාතු නිධන් කරවා චෛත්‍යයන් කරවන ලද පින්බිමක් ලොව වේ නම් ඒ එක ම බිම මගේ මව්බිම යි. ගිරිහඬු සෑයත්, මියුගුණ සෑයත් මා තුළ උපදවන්නේ ඒ අභිමානය යි. සාදු සාදු!!! ඒ නිසාත්, මේ බිමේ බොදුනුවෙකු ව ඉපිද බුදුරජාණන් වහන්සේ ව සරණ යන්නට ලැබීම ගැන මං සතුටු වෙනවා…

මින් වසර 2562කට පළමු එළඹි වෙසක් පුන් පොහෝ දිනයේ දී ලොව පහළ වූ ඒ මහා ප්‍රඥා ඇස නිවී ගියා. අප මහා මුනිරජුන් අම නිවන් වැඩියා. එයින් සත් දිනකට පසු කුසිනාරාවේ මල්ල රජ දරුවන්ගේ අභිෂේක මණ්ඩපයේ දී බුද්ධ ශ්‍රී දේහය තැන්පත් සඳුන් චිතකය දේවානුභාවයෙන් ගිනි දල්වනු ලැබුණා. ඒ චිතකය නිවී බුද්ධ අධිෂ්ඨානය පරිදි ම දෙව් මිනිස් ලෝකයාට වන්දනාමාන කරන්නට උතුම් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා බෙදී යන්නට ද පළමුව, ඍද්ධිමත් සරභූ මහරහතන් වහන්සේ විසින් අස්ථි සතකින් සමන්විත ග්‍රීවාස්ථි ධාතූන් වහන්සේ වෙන් කොට ගනු ලැබුවා. සම්බුදු ශ්‍රී දේහය දැවෙන චිතකයෙන් එසේ වෙන් කොට ගත් ග්‍රීවාස්ථි ධාතූන් වහන්සේ ඒ මොහොතේ ම හෙළදිවට වැඩම කරවා මියුගුණ සෑයේ රන් කරඬුවේ ම වඩා හිඳුවා සරභූ මහරහතන් වහන්සේ විසින් ඒ උතුම් සෑ රජුන් fදාළොස් රියනක් උස් කොට මේදවර්ණ පාෂාණයෙන් කංචුක සෑයක් කරවනු ලැබුවා. ගෞතම සම්බුදු සසුනේ සම්මුඛී මහරහතන් වහන්සේනමක් විසින් කරවන ලද ඒ එක ම සෑය සහිත වූ පින්බිම මගේ මව්බිම යි. සාදු සාදු!!! ඒ නිසාත්, මේ බිමේ බොදුනුවෙකු ව ඉපිද බුදුරජාණන් වහන්සේ ව සරණ යන්නට ලැබීම ගැන මං සතුටු වෙනවා…

සම්බුදු ශ්‍රී දේහය දැවෙමින් තිබිය දී ම ඍද්ධිමත් ඛේම මහරහතන් වහන්සේ වම් දළදා වහන්සේනමක් වෙන් කොටගෙන කළිඟුරට රාජකීයනට පුද සත්කාර පිණිස භාර කළා. එයින් කලකට පසු ඒ උතුම් දළදා වහන්සේ මේ බිමට වැඩම කරවනු ලැබුවා. අදත් සෙංකඩගල දළදා මැදුරේ විරාජමාන ව වැඩ වෙසෙමින් අපට අපමණ සුවය, සැපය සලසන්නේ ඒ උතුම් වාම ශ්‍රී දළදා වහන්සේ යි. එසේ, සම්බුදු ශ්‍රී දේහය දැවෙන චිතකයෙන් යම් ධාතූන් වහන්සේලා දෙනමක් අරහත් මුනිවරුන් විසින් වෙන් කොට ගනු ලැබුවා ද ඒ උතුම් ධාතූන් වහන්සේලා දෙනම ම වැඩ සිටින පින්බිම මගේ මව්බිම යි. සාදු සාදු!!! ඒ නිසාත්, මේ බිමේ බොදුනුවෙකු ව ඉපිද බුදුරජාණන් වහන්සේ ව සරණ යන්නට ලැබීම ගැන මං සතුටු වෙනවා…

මගේ සම්බුදු සමිඳුන්ගේ නොවිසිරුණු ධාතූන් වහන්සේලා සත්නමක් ශේෂ වූවා. ඒ අතර විශාලතම ධාතූන් වහන්සේ වූ ලලාට ධාතූන් වහන්සේ සේරුවිල මංගල මහා සෑයේ වැඩ හිඳිනවා. නොවිසිරුණු සප්ත ධාතූන් වහන්සේලාට අයත් දකුණු අකු ධාතූන් වහන්සේ ථූපාරාම සෑ රජුන් තුළ වැඩ හිඳිනවා. දකුණු ශ්‍රී දළදා වහන්සේ සෝමාවතිය සෑ රජුන් තුළ වැඩ හිඳිනවා. වාම ශ්‍රී දළදා වහන්සේ සෙංකඩගල දළදා මැදුරේ වැඩ හිඳිනවා. මෙසේ නොවිසිරුණු සර්වඥ ධාතූන් වහන්සේලා අතරින් සතරනමකට ම සුගන්ධ කුටිය බවට පත් වූ තුන්ලොව එක ම පින්බිම මගේ මව්බිම යි. සාදු සාදු!!! ඒ නිසාත්, මේ බිමේ බොදුනුවෙකු ව ඉපිද බුදුරජාණන් වහන්සේ ව සරණ යන්නට ලැබීම ගැන මං සතුටු වෙනවා…

බෝසතාණන් වහන්සේ මනුලොව උපන් දවසේ ම තවත් වස්තූන් සතක් ලෝකයේ පහළ වූවා. ඒ සහජාත වස්තූන් අතරට බෝධීන් වහන්සේ ද අයත්. ලුම්බිණි සල් වනයේ බෝසත් සිරිපා කමල් සිප ගනිමින් පියුම් පිපෙද්දී නේරංජරා ගඟ අසබඩ ගයාවේ ඇසතු වෘක්ෂ අංකුරයක් පැන නැංගා. ධර්මාවබෝධය කරන්නට සුදුසු පුණ්‍යස්කන්ධයකින් යුතුව සිටිය දී ම මතු ලෝ සත සසර දුකින් එතෙර කරවන්නට දීපංකර සම්බුදුරජුන්ගේ සිරිපාද මූලයේ නියත විවරණ ලැබූ අප මහා බෝසතාණන් වහන්සේ තමන් වහන්සේ තුළින් සියලු ලෝක අවබෝධ කොටගෙන සියලු ලෝකයන්ගෙන් නිදහස් වන ජය භූමිය වෙත කුසතණ අටමිටක් ගෙන පියමනිද්දී උන්වහන්සේ තිස්පස් හැවිරිදියි. උතුම් බෝධීන් වහන්සේ ද තිස්පස් හැවිරිදියි…! ඒ වජිරාසන භූමිය වෙත එළඹ අප මහා බෝසතාණන් වහන්සේ පධන් වෙර වඩද්දී වසවත් මරු ස්වකීය සේනාව එකෙකු නෑර ගෙනවිත් යුද වැදුනා. නවවිධ වර්ෂාවන් ආයුධය කොටගෙන පැමිණ යුද කළ පාපී මරුට නිරයෙන් උඩට ගත් ගිනි දැලින් බෝසතාණන් වහන්සේගේ රෝම කූපයක් තබා බෝධීන් වහන්සේගේ එක් බෝධි පත්‍රයක්වත් දවාලන්නට බැරි වුණා. “මහා වීරයාණෙනි, මේ සුදුසු කාලය යි. මව්කුස උපදින සේක්වා! ලෝ සත සසරින් එතෙර කරවන අමෘත පදය සාක්ෂාත් කරන සේක්වා!” කියා ආරාධනා කළ දෙව් බඹුන් පවා මරු හමුවේ බැහැර වද්දී අප බෝසතාණන් වහන්සේට තනිවට සිටියේ බෝධීන් වහන්සේ පමණයි. සම්බුද්ධාභිෂේකයේ ප්‍රභාෂ්වර බවින් සම්බුදුකාය ස්වර්ණවර්ණ රශ්මියෙන් වැසී යද්දී ඒ අසිරිය දුටු බෝ රජුන් දෙස පස්පැහැ විදුනා සොඳුරු අභිනීල මාංශ චක්ඛුව නොපියා අප මහා මුනිරජුන් සතියක් පුරා බලා සිටියා. නෙත් බැල්මෙන් පවා ලොව දුක් දුරලන මහා කාරුණිකයන් වහන්සේගේ නේත්‍රා බැල්ම නොසෙල්වී පිදුම් දුන් යමක් ලොව වේ ද ඒ උතුම් බෝධීන් වහන්සේගේ ජීවමාන ශාඛා වහන්සේනමක් ලෙස ලොව ඉතිරි වූයේ දක්ෂිණ ශාඛා වහන්සේ පමණයි. දිවමන් බුදුරජුන් සදිසි ඒ උතුම් බෝ රජුන් හට සුවසේ වැඩ වෙසෙන්නට සුදුසු යැයි කියා මගේ සම්බුදුරජුන් විසින් ම පෙන්වා වදහළ තුන්ලොව එක ම පින්බිම මගේ මව්බිම යි. සාදු සාදු!!! ඒ නිසාත්, මේ බිමේ බොදුනුවෙකු ව ඉපිද බුදුරජාණන් වහන්සේ ව සරණ යන්නට ලැබීම ගැන මං සතුටු වෙනවා…

“පිදිය යුතු තථාගතයන්ගේ ධාතූන් වහන්සේලා පුදව්. මෙසේ කරන්නා වූ නුවණැත්තෝ මිනිස් ලොවින් ස්වර්ගයට යන්නාහු ය.” යන යම් ධර්මයක් ලොව ඇති ද ඒ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවක්. අල්පායුෂ්ක මිනිසුන් වෙසෙන අවදියක මහා කරුණාවෙන් ලොව පහළ වූ අප මුනිරජුන් දෙවි මිනිසුන් හට බොහෝ කාලයක් පින් රැස් කර ගනු පිණිස ම ධාතූන් වහන්සේලා බෙදී යන්නට අධිෂ්ඨාන කොට වදාළා. ඒ සියලු ධාතූන් වහන්සේලා පමණින් ද්‍රෝණ අටක්. ඉන් ද්‍රෝණ හතක් ම දෙවියන්, මිනිසුන්, නාගයන් අතරේ බෙදී ගියා. එක් ද්‍රෝණයක් සම්බුදු අදිටනින් ගෞතම සම්බුදු සසුනේ මහා සෑය පිණිස නොබෙදා, වෙන් නොකොට සුරක්ෂිත කරලනු ලැබුවා. ඒ ද්‍රෝණයක් වූ උතුම් සර්වඥ ධාතූන් වහන්සේලාගේ ගඳකිළිය බවට පත් වූයේ ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේයි. මේ සා මුනි ධාතු එක ම තැනක වැඩ හිඳිනා තුන්ලොව එක ම පින්බිම මගේ මව්බිම යි. සාදු සාදු!!! ඒ නිසාත්, මේ බිමේ බොදුනුවෙකු ව ඉපිද බුදුරජාණන් වහන්සේ ව සරණ යන්නට ලැබීම ගැන මං සතුටු වෙනවා…

හතළිස් පස් වසරක් පුරා සම්බුදු කිස නිමවා අප මුනිරජුන් පිරිනිවන් වැඩි පසු සත් දිනකින් ඒ අසහාය වූ, වචනයට නගාලිය නොහැකි වූ, අචින්තනීය වූ සම්බුදු කාය දැක සැනසෙන්නට තිබූ වාසනාව ලොවෙන් ගිලිහුනා. නමුත් අදටත් දෙවි බඹුන්ටත්, ඍද්ධි ඇත්තවුන්ටත් සම්බුදු රූප කාය ජීවමාන අයුරින් ම දැක ගත හැකි එක ම එක තැනක් ලෝකයේ තිබෙනවා. ඒ, අපට දිවමන් මුනිඳු සදිසි වූ ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේ යි. මගේ ශාස්තෘන් වහන්සේගේ අධිෂ්ඨානය පරිදි ද්‍රෝණයක් මුනි ධාතු මේ උතුම් සෑ ගර්භයේ වැඩ සිටින්නේ ජීවමාන සම්බුදු කාය මවා පා, අප මුනිරජුන් කුසිනාරාවේ පිරිනිවන් මංචකයේ වැඩ සිටි අයුරින් බව ඒකාන්ත සත්‍යයක්. මෙසේ අදටත් පිනැති ඍද්ධිමතුන්ට ඒ ආනුභාවයෙන් හෝ දැක බලා සැනසෙන්නට හැකි ලෙසින් මුනිකාය දරා සිටිනා තුන්ලොව එක ම පින්බිම මගේ මව්බිම යි. සාදු සාදු!!! ඒ නිසාත්, මේ බිමේ බොදුනුවෙකු ව ඉපිද බුදුරජාණන් වහන්සේ ව සරණ යන්නට ලැබීම ගැන මං සතුටු වෙනවා…

සම්බුදුරජුන් පිරිනිවන් වැඩි නොබෝ කලකින් ම දඹදිව බුද්ධ භූමියෙන් බුදු සසුන තුරන් කෙරුණා. බුද්ධ රාජ්‍යයේ ආනුභාවයෙන් ශාක්‍යයන්ගේ රාජකීයත්වය ලොව චිරප්‍රකට වූ බුද්ධ කාලයේ ම දහම් ඇස පහළ කොටගෙන සතර අපායෙන් නිදහස් වූ ශාක්‍ය රජ කිරුළේ උරුමකරුවා ව සිටියේ මහානාම රජු. ඒ වගේ ම බුද්ධ පරිනිර්වාණයෙන් 235 වසරක් ගෙවී යද්දී සුවාසූදහසක් වෙහෙර විහාර කරවා තුන්වන ධර්ම සංගායනාවට ද අනුග්‍රහ දක්වා ශාසනික චිරස්ථිතිය පිණිස ධර්ම දූත සේවාවට ද අනුග්‍රහ කොට පිනෙන් වැඩී ගත් මහාධිරාජයා වූයේ ධර්මාශෝක නිරිඳු. මේ දෙදෙනා ම මේ ගෞතම සම්බුදු සසුනේ දී ම අම නිවන් වැඩියා. ඒ දෙදෙනා වහන්සේ ම නිකෙලෙස් බවට පැමිණ වදාළ පින්බිම මගේ මව්බිම යි. අධිගමයන්ට පත් වීම අත්දකිනා ප්‍රතිවේධ ශාසනය බුද්ධ භූමියට අහිමි වූවත් මේ බිම ඒ සසුන් බර දරාගන්නට වාසනාවන්ත වුණා. සාදු සාදු!!! ඒ නිසාත්, මේ බිමේ බොදුනුවෙකු ව ඉපිද බුදුරජාණන් වහන්සේ ව සරණ යන්නට ලැබීම ගැන මං සතුටු වෙනවා…

ධර්මයට විරුද්ධ වූ පෙනෙන නොපෙනෙන සියලු පාපී ලෝකයන්ගෙන් සම්බුදු සසුනට නේක උපද්‍රව එළඹුනා. අටලෝ දහම හමුවේ අකම්පිත සිත් ඇති ශ්‍රේෂ්ඨයන් බිහි කළ සම්බුදු සසුනේ ප්‍රතිවේධ, ප්‍රතිපත්ති පූරණය එන්න එන්න ම දුෂ්කර වුණා. ස්වභාවික උපද්‍රව හමුවේ මුඛ වචනයෙන් පවත්වාගෙන ආ පෙළ දහම නොනැසී රැකගැන්ම ද දුෂ්කර බව නිකෙලෙස් මුනිවරුන් අත්දැක්කා. උන්වහන්සේලා විසිනුයි ඒ පර්යාප්ති ශාසනය ග්‍රන්ථාරූඪ කළ යුතු බව තීරණය කළේ. අවිදු අඳුර බිඳලූ ප්‍රඥාලෝකය ලොවට පිදූ මගේ සම්බුදුරජුන්ගේ අවබෝධය ප්‍රකාශිත මිහිරි ශ්‍රී සද්ධර්මය නිර්මල ව ග්‍රන්ථාරූඪ කොට බොහෝ කාලයක් ලොවට ආලෝකය සලසනු වස් පර්යාප්ති ශාසනය එසේ සුරක්ෂිත කරලනු ලැබූ අලු විහාරය පිහිටි පින්බිම මගේ මව්බිම යි. අද ලොව යම් තැනක මේ පෙළදහම උපුටා දක්වනවා නම් ඒ ඒකාන්තයෙන් ම මේ පින්බිමේ ත්‍රිපිටක පොත් වහන්සේ ග්‍රන්ථාරූඪ කෙරුණු නිසාවෙන් ම යි. සාදු සාදු!!! ඒ නිසාත්, මේ බිමේ බොදුනුවෙකු ව ඉපිද බුදුරජාණන් වහන්සේ ව සරණ යන්නට ලැබීම ගැන මං සතුටු වෙනවා…

මගේ සම්බුදුරජුන් ජීවිතාවබෝධය පිණිස අභිනික්මන් කරමින් අනෝමා ගංතෙර දී හිසකෙස් කපාලූ මඟුල් කඩුව කතරගම කිරිවෙහෙරේ වඩා හිඳුවා තිබෙනවා. සසරේ සත්‍යවාදී ව සත්‍ය වචනය ම ගළප ගළපා කථා කිරීමේ පුණ්‍යානුභාවය නිසාවෙන් ලද, උන්වහන්සේගේ වචනය ඉක්මවා නොයන සිව්වණක් පිරිස පුණ්‍ය විපාකය ලෙස උරුම කරලූ මහා පුරිස් ලකුණ ව සම්බුදු සිරුරේ ඇහිබැම දෙක මැද පිහිටි දකුණට කරකැවී ගත් සුදුපැහැ ඌර්ණරෝම ධාතූන් වහන්සේ අෂ්ට වංක මාණික්‍යයක් තුළ මිහින්තලා පින්බිමේ වැඩහිඳිනවා. සම්බුදුරජුන්ගේ නඛ ධාතූන් වහන්සේලා දීඝවාපියේත්, එගොඩ කැලණියේත් වැඩ වෙසෙනවා. අභිනීල සර්වඥ කේශධාතූන් වහන්සේලා මේ බිමේ බොහෝ ස්ථූපයන්ගේ වැඩ වෙසෙනවා. මේ බිමේ කොතැන හිඳ බැලුවත් පැයක ගමනක් තුළ සම්බුදුරජුන්ගේ ශාරීරික ධාතූන් වහන්සේලා වැඩ වෙසෙන පින්බිමක් වෙත යා හැකියි. මගේ සම්බුදුරජුන්ගේ මුනි ධාතු සුරකින තුන්ලොව මහා ධාතු මංජුසාව මගේ මව්බිම යි. සාදු සාදු!!! ඒ නිසාත්, මේ බිමේ බොදුනුවෙකු ව ඉපිද බුදුරජාණන් වහන්සේ ව සරණ යන්නට ලැබීම ගැන මං සතුටු වෙනවා…

මහාමේඝ පුවත් සඟරාවට මේ ලිපිය සම්පාදනය කිරීම වෙනුවෙන් මාගේ කුල දේවතාවුන් වහන්සේලා වෙන් කර දුන් ඉඩ අවසන් වෙලා. එහෙත්, සම්බුදුරජුන්ගේ ශාස්තෘත්වය අපට උපතින් ම උරුමය කරලූ මේ පින්බිමේ අභිමානය කීර්තනය කිරීම අවසන් කරන්නට හැකි වූයේ නම් නැහැ… රාග ද්වේෂ මෝහ දුරලූ මහා මුනිරජුන් මාගේ ශාස්තෘන් වහන්සේ වගට පත් කරලූ මේ පුණ්‍ය භූමියේ ලද උපත මට මහා ලාභයක්. මනා වූ ලැබීමක්. ඒකාන්ත ලැබීමක්…! මේ බිමේ අප ලද උපත තුළ මා මුලින් ම සඳහන් කළ ‘වෙනස’ හැදෙන්නේ මෙහෙමයි. මේ පින හරියට භාවිත කළොත්, අප වැනිව ම වෙනසක් නැතිව ජරා ව්‍යාධි මරණ, කඳුළ සිනහව, දුක සතුට උරුම කර ගත් සෙසු ලෝකය මරණය හමුවේ දුගතියට ඇද වැටෙන ඉරණම ලබද්දී අපට සුගතිය රැක ගන්නට ඒකාන්තයෙන් ම පුළුවනි.

“යේ කේචි බුද්ධං සරණං ගතාසේ
න තේ ගමිස්සන්ති අපායං
පහාය මානුසං දේහං
දේවකායං පරිපූරෙස්සන්තී’ති”

“බුදු සමිඳුගෙ සරණ ලැබූ කෙනෙක් සිටිත් නම් මෙලොවේ
සතර අපායට නොවැටෙති ගිය විට ඒ අය එලොවේ
මිනිස් සිරුර අත්හළ විට ඔවුන් පිරෙත් ම ය දෙව්ලොව”

(මහා සමය සූත්‍රය)

ගෞතම සම්බුදු සසුනේ ථේරවාදී ධර්ම භාණ්ඩාගාරය වගට පත් වූ මේ පින්බිමේ අප ලද උතුම් මිනිස් ජීවිතය සැබෑ ශ්‍රාවකත්වයට එළඹ සුගතිය රැක ගැනීමෙන් අරුත් ගන්වන්නට අපට හැකි වේවා!!!
තෙරුවන් සරණයි!

සටහන – උදුලා පද්මාවතී