මහා මහින්ද නම් වූ ඒ ශ්‍රේෂ්ඨ අරහත් මුනිඳාණන් සිරිලක් දෙරණ ඒකාලෝක කරමින් මිහින්තලා පව්වෙන් මේ මිහිමඬලට වැඩම කළ සේක. එහි ප්‍රතිඵලයක් ලෙසින් මේ මිහිමඬලේ නිකෙලෙස් අරහත් මුනිවරුන්ගේ යුගයක් ආරම්භ විය. සිංහතෙල් දරන්නා වූ රන් පාත්‍රයක් සෙයින් සර්වඥ සිංහරාජයාණන් වහන්සේගේ සද්ධර්මය නමැති සිංහ තෙල දරන්නා වූ මහා සඟරුවන වූ, නිධාන රකින්නා වූ මහා නාගයන් සෙයින් සර්වඥයන් වහන්සේ වදාළ සද්ධර්මය රකින්නට ම නියැළී වසන්නා වූ ඒ මහා සංඝරත්නයේ ගුණ මෙසේ සටහන් කරන්නෙමි.

අම්බඛාදක තිස්ස නම් තෙර නමක් මහා සාය (බැමිණිතියා සාය) කල්හී, මග වඩිමින් සිටියේ ය. දන් නොමැති හෙයින් විඩා වූ වේලෙහි නොකල්හි ඵල ගත් අඹ ගසක් මුල තමා ම හුනු අඹ ඵල බල බලා කැප අයුරින් පිළිගන්වන්නට කෙනෙකුන් නැති හෙයින් සා දුකින් පීඩිතව සමාදන් වූ සීලයට හානියක් නොකොට “පිළිගන්වන කෙනෙකුන් නැතිව මේ අඹ මම ගෙන වළඳත් නම්, මාගේ සර්වඥයන් වහන්සේ වදාළ ප්‍රතිපත්තියට පටහැනි වූ යමක් කළා වන්නේ වේ. එහෙයින් දිවි තොර වුව ද බුද්ධ වචනයට විරෝධයක් නොකරමි” යි එහි ම වැදහොත්තේ ය.

එසමයෙහි එක් උපාසකයෙක් දුර්වලව වැදහොත් තෙරුන් වහන්සේ සමීපයට ගොස් “වහන්ස, ඉතා විඩාවෙන් වගේ. අඹපැන් වැළඳුවහොත් ඉතා යහපතැ” යි අඹ පූජා කොට වැළඳවී ය. පයින් යාගත නො හැකි හෙයින් තමා පිට හිඳුවා තමා සිටින තැනට ගියේ ය. එකල්හී උන්වහන්සේ ද “මේ මා උසුලාගෙන යන්නා වූ උපාසක මාගේ පිය පක්ෂයෙහි හෝ මව් පක්ෂයෙහි හෝ නොවෙයි. සෙසු නෑ කෙනෙකුන් හෝ ගැති පක්ෂයෙහි හෝ නොවෙයි. එනමුදු මා සිල්වත් යැයි සිතා මා හට මේ සා උපකාර කරන්නේ” යයි තමන් වහන්සේට අවවාද කරන්නේ, ඔහු පිට හිඳ ම භාවනා කොට අරහත්වයට පත් වූ සේක. අප සරණ ගියේ මෙසේ දිවි පරදුවට තබා සිල් රැකි මහා සංඝරත්නය ම වේ.

මහා සංඝරක්ඛිත නම් වූ එක් තෙර නමක් සැට අවුරුද්දක් ආයු වළඳා මරණ මංචකයෙහි සිටියි. උන්වහන්සේ බැලීම පිණිස බොහෝ ජනයා නොයෙක් පිරිකර රැගෙන රැස් වූහ. “නුඹවහන්සේ පෘථග්ජනව කාලක්‍රියා කරන කල්හී නුඹ වහන්සේට පූජා භාණ්ඩ ගෙන රැස් වූ මහජනයාට බොහෝ පශ්චාත්තාප වන්නේ” යයි උපස්ථාන කරණ ළදරු භික්ෂූන් වහන්සේ දැන්වූ කල්හී තෙරුන් වහන්සේ, “ඇවැත්නි, මම මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ දකිමි’ යි විදර්ශනා නොවැඩීමි. එබැවින් මා ඔල්බවා හිඳුවාලා අවකාශ දෙව” යි වදාළ සේක.

උපස්ථායකයන් වහන්සේ තෙරුන් වහන්සේ වඩා හිඳුවා පිටතට වැඩි සේක. ගිය ක්ෂණයෙහි විදර්ශනා වඩා අරහත්වයට පත්වී වදාළ සේක. “ස්වාමීනී, මරණ මංචකයෙහි හෙව පවා ගුණ විශේෂය ලැබීම ඉතා ආශ්චර්යය යි.” කී කල්හී අරහත් මුනිඳුන් “පැවිදි වූ වේලෙහි පටන් මරණාන්තය දක්වා සුපරිශුද්ධ වූ සීලය රක්ෂා කළෙමි” යි වදාළ සේක. අප සරණ ගියේ ඒ මහා සංඝරත්නය ම වේ.

මහා සිව නම් තෙරුන් වහන්සේ නමක් මහගම තිස්ස මහා වෙහෙරෙහි වසමින් අර්ථ වශයෙන් හා පාළි වශයෙන් අටළොස් මහගණයක් උගන්වන සේක. ඒ තෙරුන් වහන්සේගේ අවවාදයෙහි සිට තිස් දහසක් භික්ෂූන් වහන්සේ රහත් වූ සේක. ඔවුන් අතරින් එක් කෙනෙකුන් වහන්සේ තමන් වහන්සේ ලද්දා වූ ධර්මය ම අරබයා උපන්නා වූ ප්‍රීති සොම්නස් ඇති සේක් “මේ වැනි අමා මහ නිවන් සුව අපගේ ආචාර්යයන් වහන්සේට ඇද්දෝ හෝ” යි බලන සේක් තෙරුන් වහන්සේ රහත් නො වූ බව දැන “මේ වැනි උපායකින් තෙරුන් වහන්සේට කලකිරීම උපදවමි” සිතා තමන් වහන්සේ දක්වා වැඩහුන් සේක.

ඉක්බිති තෙරුන් වහන්සේ “ඇවැත්නි, කුමක් පිණිස අවු දැ?”යි විචාළේ ය. උන්වහන්සේ ද “ස්වාමීනී, ඉදින් මට අවකාශයක් ලැබේ නම් එක් දහම් පදයක් උගන්නට ආමි” කීයේ ය. තෙරුන් වහන්සේ ද “ඇවැත්නී, බොහෝ දෙන උගන්නාහ. එහෙයින් තොපට අවසරයක් නැත” යි කීහ. භික්ෂූන් වහන්සේ සියලු රෑ දහවල් අවසරයක් නොලබන සේක් “ස්වාමීනී, මෙසේ අවකාශයක් නැති කල නුඹ වහන්සේ කරා එන මරුට කෙසේ අවසරයක් ලැබේ දැ” යි විචාළ සේක. එකල්හී තෙරුන් වහන්සේ “මොහු මා සමීපයෙන් කිසිවක් උගන්නට ආවා නොවෙයි. මට ම කලකිරීම පිණිස ම ආවා” යයි සිතා වදාළ සේක. තෙරුන් වහන්සේගේ ශ්‍රී පාදය වැඳ ඉන්ද්‍රනීල මාණික්‍යයක් සේ නිල් වූ අහසට නැගී තමන් වහන්සේ වසන තැනට වැඩම කළේ ය.

තෙරුන් වහන්සේ ඔවුන් වහන්සේ වැඩම කළ මොහොතේ පටන් ඇති වූ මහකලකිරීම් ඇති සේක් දහවල් දවස් ද ගණ හදාරවා පිරිවහවා පා සිවුරු අතපෙවෙන තැන්හි තබා උදෑසන පාළි වචන ඉගෙන ගන්නා වූ භික්ෂූන් වහන්සේ සමඟ පා සිවුරු ගෙන බැස තෙළෙස් ධුතාංගයන් පුරා සමාදන් වූයේ ය. ගම් කෙළවර ගල් ලෙනකට වැඩ එහි ඇඳ පුටු නගා ‘නොරහත්ව මාගේ පිට ඇඳක නොතබමි’ යි දැඩි කොට ඉටාගෙන සක්මනට ගොඩ වූයේ ය. “අද රහත් වෙමි. අද රහත් වෙමි” උත්සාහ කරමින් ම පවාරණය ආසන්න විය. එකල්හී ’පුහුදුන් බව හැර විසුද්ධි පවාරණයෙන් පවරමි’ යි සිතා වීර්යය කොට විඩාවට පත් විය. පවාරණ දිනය ආව ද මාර්ගයක් හෝ ඵලයක් උපදවන්නට නොහැකි විය. ‘රහත් වන්නෙමි’ යි සිතා එහි ම නැවතී සක්මන් කිරීමෙන් සිටීමෙන් තිස් අවුරුද්දක් ගත විය. මහා පවාරණ දිනෙක ආකාශ මධ්‍යයේ පිරුණු සඳ බලා “කිම් දෝහෝ?”යි පරීක්ෂා කරන සේක. ‘සඳ මඬලෙහි සස සලකුණ පෙනෙයි. මාගේ සීලයෙහි උපසම්පන්න වූ දවසේ පටන් අද දක්වා කැළලක් නැතැ’ යි බලා උපන්නා වූ ප්‍රීති හා සොම්නසින් මුහු කළා වූ ඤාණ ඇති බැවින් සිව්පිළිසිඹියා පත්ව අරහත්වයට පත් විය.

මෙසේ සඳ මඬල පවා අධික කොට ශත ගුණයෙන්, සහස්‍ර ගුණයෙන් තමන් වහන්සේගේ සීලය පිරිසිදු කොට ආරක්ෂා කළ, බුදුන් වහන්සේ වදාළ ප්‍රතිපත්ති වූ පරිද්දෙන් පුරන මහා සිව නම් තෙරුන් වහන්සේ ආදී මහා සංඝරත්නය ය අප සරණ ගියේ.

සැදැහැතිස් රජු “ස්වාමීනී, මා වැන්ද යුතු එක් ආර්යයන් වහන්සේ කෙනෙකුන් වදාළ මැනව” යි භික්ෂූන් වහන්සේගෙන් විචාළේ ය. භික්ෂූන් ද “මහරජ, මගුණ වැසි වූ මහාඛුජ්ජතිස්ස නම් තෙරුන් වහන්සේ වැන්ද යුතු ය” යි වදාළහ. රජු මහ පෙරහරින් පස් යොදුනක් පමණ මග ගෙවා තෙරුන් වහන්සේ සමීපයට ගියාහ. තෙරුන් වහන්සේ “ඇවැත්නි, අරගලයක්දැයි” භික්ෂූන්ගෙන් විචාළේ ය. භික්ෂූන් “ස්වාමීනී, රජු ඔබ වහන්සේ දැකීමට එන්නේ” යයි කීහ. ඛුජ්ජතිස්ස තෙරුන් වහන්සේ ද “දැන් මා මහලු ව ගිය කල්හී රජ ගෙයි කර්මාන්තයෙන් සෑහෙනු කිම්දැයි” සිතා දහවල් හිඳින තැන වැඩ හිඳ බිම ඉරි අඳින්නට විය. රජු “ඛුජ්ජතිස්ස තෙරුන් වහන්සේ කොහි දැ” යි අසා “දහවල් වැඩ හිඳිනා තැන යයි” අසා එතැනට ගොස් තෙරුන් වහන්සේ බිම ඉරි ඇඳ ඇඳ වැඩ සිටින’යුරු දැක, “ක්ෂීණාශ්‍රවයන්ගේ නම් හස්ත විකාරයක් නැත. මොවුන් වහන්සේ ක්ෂීණාශ්‍රව නො වන සේකැ” යි නොවැඳ ම නික්මුණාහ.

ඉක්බිති භික්ෂු සංඝයා වහන්සේ “ස්වාමීනී, මෙවැනි සැදැහැ ඇති රජ කෙනෙකුන් කවර හෙයකින් කළකිරවූ සේක්දැයි” විචාළහ. ඛුජ්ජතිස්ස තෙරුන් වහන්සේ “ඇවැත්නි, රජුව පැහැදීම ඔබට බැරි නො වේ” යයි වදාරා පසුව නිරුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානා සේක් “ඇවැත්නි, මාගේ කූටාගාරයේ අනෙකුත් පළඟකුත් පනව ව” යි භික්ෂු සංඝයා වහන්සේට වදාළ සේක.

තෙරුන් වහන්සේ පැවසූ අයුරින් තවත් පළඟක් සූදානම් කොට ඛුජ්ජතිස්ස තෙරුන් වහන්සේ “මේ කූටාගාරය අන් තැනක නොපිහිටා රජු දුටු විට ම බිම පිහිටාවයි” කියා අධිෂ්ඨාන කොට පිරිනිවන් පා වදාළ සේක.
කූටාගාරය අහසින් ම ගොස් ථූපාරාමයේ දකුණු පස ගල් දාගැබ පිහිටි තැන පිහිටියේ ය. තෙරවරුන් “තෙරුන් වහන්සේ පිරිනිවන් පෑ සේකැයි” රජුට පතක් යැවූහ. රජු නොඇදවූහ. රැස් වූ ජනයා සාදුකාර දෙන්නට විය.
එවේලෙහි මහා ව්‍යග්ඝ නම් තෙරුන් වහන්සේ ලෝවාමහාපායෙහි වැඩ හිඳ භික්ෂූන් වහන්සේට විනය කර්මයක් කරමින් සිටියේ ය. ඒ මහත් කෝලාහලය අසා “මේ කුමන අරගලයක් ද?” යි විචාළේ ය. භික්ෂූන් වහන්සේලා “ස්වාමීනී, ඛුජ්ජතිස්ස තෙරුන් වහන්සේ පිරිනිවන් පෑ සේක. කූටාගාරය අහසින් ම අවුත් මෙහි පිහිටියේ ය” යි කීහ.
මහාව්‍යග්ඝ නම් තෙරුන් වහන්සේ “ඇවැත්නි, පින්වතුන් නිසා මෙවැනි පූජාවක් ලබම්හ” යි කියා අහසින් අවුත් කූටාගාරයට විත් දෙවන පළඟෙහි සිට නිරුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ සේක.

ඉක්බිති රජු ද නොයෙක් සුවඳ මල් සුවඳ සුණු ආදී පූජා උපකරණ ආදිය රැගෙන ගොස් අහසේ තිබූ කූටාගාරය දැක මහත් සොම්නසින් පිනා ගියහ. කූටාගාරයට පූජා පැවැත්වූහ. කූටාගාරය අහසින් බැස පොළොවෙහි පිහිටියේ ය. රජු මහත් පෙරහරින් ආදාහන කෘත්‍ය කරවා ධාතූන් වහන්සේ ගෙන මහත් දාගැබක් බැඳවූහ.

මෙසේ තමන් වහන්සේගේ අධිෂ්ඨාන බලයෙන් පිරිනිවන් පෑ කල්හී පවා අහසින් ගොස් මහජනයා දොහොත් මුදුනෙහි තබා මහ පෙළහර දක්වා වදාළ, හැල් වපුරන හැල් කෙතක් සේ මහජනයා වපුරන කුසල් නමැති බිජුවට මහඵල මහානිසංශ කරන්නා වූ සරු කෙතක් බඳු වූ, බුදු සසුනෙහි නගාලූ අසහාය ධජයක් බඳු වූ මහා ක්ෂීණාශ්‍රව වූ මේ ඛුජ්ජතිස්ස තෙරුන් වහන්සේ හා මහා ව්‍යග්ඝ නම් තෙරුන් වහන්සේ ආදී වූ මහා සංඝරත්නය යි අප සරණ ගියේ….

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි