ජීවිතය කියල කියන්නෙ එදා මෙදා තුර ඉපදුනු බොහෝ දෙනෙකුට විසඳුමක් නැති ගැටළුවක් වුණු දෙයක්. ඒ නිසා ම ජීවන ගැටළුවෙන් මිදීමේ අරමුණින් මිනිස්සු විවිධ දේවල් අතීතයෙත් සිදු කළා. අදත් සිදු කරනවා. ඒ වගේ ම හෙටත්, මතු අනාගතයෙත් විවිධ දේවල් සිදු කරාවි.

රජ සම්පත් මැද කාමභෝගී ජීවිතයක් ගත කළ අවදියේ දී පවා අප ගේ මහා බෝධිසත්වයන් වහන්සේට ලෝක සත්වයා මුහුණ දෙන සංසාර ගැටළුව ගැන ඉතා හොඳ අවබෝධයක් තිබුණා.

ගිහි ජීවිතය අත්හැර දමලා, අනුත්තර වූ ශාන්ත වරපදය සොයා ගෙන ගිය මහබෝසතාණන් වහන්සේ ලෝක සත්වයාට මුහුණ දෙන්න සිදු වෙලා තිබෙන ජීවිතය නම් වූ ගැටළුවට විසඳුම් සෙව්වා. උන්වහන්සේ ලෝකය දෙස නුවණින් බලද්දී, ලෝකවාසීන් ගේ අර්බූදය දැක්කේ මේ විදියට යි.

කිච්ඡං වතායං ලෝකෝ ආපන්නෝ. ජායති ච ජීයති ච මීයති ච චවති ච උපපජ්ජති ච. අථ ච පනිමස්ස දුක්ඛස්ස නිස්සරණං නප්පජානාති ජරාමරණස්ස. කුදාස්සු නාම ඉමස්ස දුක්ඛස්ස නිස්සරණං පඤ්ඤායිස්සති ජරාමරණස්සාති?

ඒකාන්තයෙන් ම මේ ලෝකයා දුකට පත්වෙලයි ඉන්නේ. උපදිනවා, දිරනවා, මැරෙනවා, චුතවෙනවා, නැවත උපදිනවා, නමුත් මේ ජරා මරණ දුකෙන් නික්ම යෑමක් දන්නේ නැහැ. මේ ජරා මරණ දුකෙන් නිදහස් වීමක් පැණවෙන්නේ කොයි විදියට ද…? බෝධි සත්වයන් වහන්සේ එහෙම කල්පනා කළා.

ඔබට ත් මටත්, අපි හැම දෙනාටමත් මුහුණ දෙන්න වෙලා තිබෙන්නේ මේ තත්වයට ම නේ ද..? ලෝකය කෙතරම් දියුණු වුනත්, ජනසමාජ-සංස්කෘති වෙනස් වෙලා ගියත්, සම්බුදු පරිනිර්වානයෙන් බොහෝ කාලයක් ගත වෙලා ගිහින් තිබ්බත්, මේ ගැටළුව වෙනස් වෙලා නැහැ.

අදත් මිනිස්සු උපදිනවා, දිරනවා, මැරෙනවා, චුත වෙනවා, ආයිමත් දිරන-මැරෙන-දුක් විඳින ලෝකෙක උපදිනවා. මේ ගැටළුව හැම කාලෙකට ම අයිති එකක්. කාලයත් එක්ක ඒ ගැටළුව වෙනස් වෙලා නැහැ.

අවාසනාවන්ත සාමාන්‍ය ලෝකයාට ඇතැම්විට මේ දේ ගැටලූවක් හැටියට පේන්නෙ වත් නැහැ. දුක් විඳ විඳ ඒ දුකට ම ඇලී කල් ගත කිරීම ඇරෙන්න, මේ අර්බුදය දිහා නුවණින් බලන්න තරම් ප‍්‍රඥාවක් ඒ බොහෝ දෙනෙකුට නැහැ.

නමුත් අප ගේ ශාස්තෘන් වහන්සේ මේ ගැටළුව දුටුවා වගේ ම, එයට හේතුවත් සොයා ගත්තා. තණ්හාව නැමති ඒ හේතු ව නැති කිරීමෙන් හැම දුකක් ම දුරු වෙන බව ත් අවබෝධ කළා. ඒ හේතුව නැති කිරීමේ මාර්ගයත් සොයා ගත්තා. ඒ මාර්ගය අනුගමනය කිරීමෙන් සියළු දුකෙන් නිදහස් වුණා. තමන් වහන්සේ අවබෝධ කළ ධර්මය අනුකම්පාවෙන් ම අන් අයට තේරෙන අයුරින් කියා දුන්නා. ප‍්‍රඥාවන්ත බොහෝ පිරිසක් ඒ ධර්මය අවබෝධ කළා.

බුදු සමිඳුන් ගේ ඒකායන අරමුණ වුනේ, සත්වයා ව සංසාර දුකින් එතෙර කරවීම ම නිසා, උන්වහන්සේ ධර්මය දේශනා කළේ මිනිසුන්ට තේරෙන භාෂාවෙන්. අමුතු දර්ශනවාදයක් ලෝකයට බිහි කිරීම බුදු සමිඳුන් ගේ අපේක්ෂාවක් වුණේ නැහැ. භාෂා විශාරද නො වන සාමාන්‍ය මිනිසුන්ට පවා වැටහෙන අයුරින් දහම කියා දුන් නිසා ම එය සමාජයේ සෑම ස්ථරයක ම මිනිසුන් ගේ සංසාර දුක නිවන මහා ඔසුවක් බවට පත් වෙන්න වැඩි කාලයක් ගත වුණේ නැහැ.

නමුත් අවිද්‍යාවෙන් අන්ධ වුණු, මාන නළ ඔසවාගත්ත, ඇතැම් කුහක උදවියට, ඒ දහම රුචි වුණේ නැහැ. ඉරිසියාවෙන් ගුණමකුකමෙන් උසිගැන්වුනු ඒ උදවිය, නොයෙක් චෝදනා බුදු සමිඳුන්ට ත් ඒ ශ‍්‍රී සද්ධර්මයටත්, ආර්ය මහා සඟරුවනටත් එල්ල කළා. රජවරු සිටුවරු, ආදී සමාජයේ ඉහළ ස්ථරවල සිටි උදවිය ඒ සියල්ල අත හැර දමල, බුදු සමිදුන් ළඟ පැවදි වෙනකොට, මහා ජන පිරිස් බුදුසමිදුන් වෙත දහම් අසන්ට යනකොට, ඉරිසියා පරවශ සිත් අකුසලයෙන් ගිනි ගත්තා. එක් පිරිසකට දුක නිවන අමා ඔසුවක් වුන දහම, තවත් පිරිසකට හළා හල විශ වගේ වුණා. උපතිස්ස කෝලිත ප‍්‍රමුඛ සඤ්ජය පරිබ‍්‍රාජකයා ගේ ගෝල පිරිස බුදු රජාණන් වහන්සේ ළඟ පැවිදි වුණාට පස්සේ අකුසලයෙන් අන්ධ වුණ මිනිසුන් මේ විදියට යි බුදු සමිදුන්ට චෝදනා කළේ..

ආගතෝ ඛෝ මහාසමණෝ, මාගධානං ගිරිබ්බජං, සබ්බේ සඤ්ජෙය්‍යකේ නෙත්වා කංසු දානි නයිස්සති.

සඤ්ජය පිරිවැජියා ගේ සියලූ දෙනාවත් තමන් වෙත පමුණුවා ගෙන ඒ මහා ශ‍්‍රමණයා මගධ වැසියන් ගේ ගිරිබ්බජ නුවරට ආවා.. දැන් කාව අරගෙන යාවි ද..?

මේ චෝදනාවට මේ විදියට පිළිතුරු දෙන්න කියල බුදු සමිඳුන් ස්වාමීන් වහන්සේලාට උපදෙස් දුන්නා.

නයන්ති වෙ මහාවීරා, සද්ධම්මෙන තථාගතා.. ධම්මෙන නයමානානං, කා උසූයා විජානතං

මහා වීර වූ තථාගතයන් වහන්සේලා ඒකාන්තයෙන් ම සද්ධර්මයෙන් (මිනිසුන්ව නිවන වෙත) පමුණුවනවා. ධර්මයෙන් පමුණුවනු ලබන විට, තතු දත් උදවියට කවර නම් ඉරිසියාවක් ද..?

සම්බුදු පරිනිර්වාණයෙන් ගොඩක් කල් ගත වුනත්, ලෝකය වෙනස් වුනත්, දියුණුයි කියල සම්මත වුනත්, මිනිසුන් ගේ ප‍්‍රශ්න වෙනස් වෙලත් නැහැ, ඒ වගේ ම අධ්‍යාත්මිකව පිරිහුණු මිනිසුන් ගේ සිත්වල උපදින කෙලෙස් වෙනස් වෙලත් නැහැ. එදා වගේ ම අදත් මිනිසුන් ගේ සිත්වල ඉරිසියාව ගුණමකුකම, රාගය ද්වේශය ඇතුළු මේ හැම කෙලේසයක් ම ඇති වෙනවා. ඒවට යට වෙලා, මුලා වෙලා කටයුතු ත් කරනවා. පවුත් පුරෝ ගන්නවා.

එහෙව් ලෝකෙක ධර්මයේ හැසිරෙන එක ත් ලේසි පාසු දෙයක් නොවෙයි. ධර්මයේ හැසිරෙද්දි වුනත්, නොයෙක් බාධා චෝදනා, ගැරහුම් එල්ල වෙන්ට පුළුවන්. ඇත්තෙන් ම කියනව නම් පුළුවන් නෙමේ එල්ල වෙනවා.

බුදු සමිඳුන් ගේ යුගයේ දී නම්, මේ දහමට චෝදනා කළේ අන්‍යාගමිකයෝ. නමුත් අද කාලේ මිනිසුන් ගෙන් බුදු දහම ඈත් කරන්න පෙරමුණ අරගෙන ඉන්නේ බෞද්ධයින් විදියට ම පෙනී සිටින පිරිස්. ඒ උදවියගෙන් චෝදනා එල්ල වුණා හෝ නොවුණා හෝ, නින්දා කළා හෝ නො කළා හෝ ප‍්‍රශංසා කළා හෝ නො කළා හෝ ඔබේත් මගේත් ගැටළුව විසඳෙන්නේ නැහැ.

ඒ සංසාර ගැටළුව විසඳෙන්ට නම්, අපේ හිත්වල තිබෙන කෙලෙස් දුරු වෙලා යන්ට ඕන. සිතේ සංසිදීම ඇති වෙන්ට ඕන. පව වෙනුවට පින රැස් වෙන්ට ඕන. අකුසලයට වෙනුවට කුසලය වැඩෙන්ට ත් ඕන. එතකොට අපේ ගැටළුව විසඳිලා යනවා. ඒක වළක්වන්න කිසි ම කෙනෙකුට, කිසි ම චෝදනාවකට කිසි ම ගර්ජනාවකට බැහැ.

ඒ නිසා ධර්මයේ හැසිරෙන ඔබ තම තමන් ම මේ විදියට ප‍්‍රත්‍යෙව්ක්ෂා කරල බලන්න.

මම යම් තැනක් ඇසුරු කරද්දී, එහෙමත් නැත්නම්, යම් පුද්ගලයෙක් හෝ යම් පිරිසක් ඇසුර කරද්දී, පවින් වෙන් වෙලා මං තුළ පින් රැස් වෙනව ද.., අකුසලය ගෙවිල කුසලය වැඩෙනව ද…, මං තුළ සංසිඳීම දියුණු වෙනව ද, දයාව කරුණාව මෛත‍්‍රිය වැඩෙනව ද, අනුන්ට උපකාර කිරීම, ඉවසීම කළ ගුණ දන්නාකම ආදී ගුණ දහම් දියුණු වෙනව ද, කියල බලන්න.

ඒ විදියට ඒ ගුණ දහම් වැඩෙනවා නම් නිශ්චිත නිගමනයකට පත් වෙන්න, ඔබ ඇසුරු කරන තැනින්, ඒ පිරිසෙන් ඔබට සිදු වෙන්නේ යහපතක් ම යි. ඔබේ සංසාර ගැටළුවට එතනින් විසඳුම ලැබෙනවා.

නමුත් කෙලෙස් සහිත ලෝකයා සමහර විට ඔබට චෝදනා කරාවි, බලාගෙන ඔබ අසුවෙලා ඉන්නෙ කල්ලියකට, පරිස්සම් වෙන්න, ඔවුන් අනතුරු අඟවාවි.

එවිට ඔබ තේරුම් ගන්න, මම ඇසුරු කරන්නෙ කල්ලියක් නම්, එය එසේ වුණාවේ…..ඒ කල්ලිය ඇසුරු කිරීම නිසා මම පවින් වැළකෙනවා නේ …., මා තුළ පින වැඩෙනවා නේ …., අකුසලය ගෙවී කුසලය වැඩෙනවා නේ…, මං තුළ සංසිඳීමනෙ ඇති වෙන්නේ… එහෙනම් ඒ කල්ලිය නමින් චෝදනා ලබන පිරිස සුන්දර යි. සත්පුරුෂ යි. එතැනින් දෙව් මිනිසුන්ට යහපත සැළසෙනවා.

මොකද අසත්පුරුෂයෝ ලෝකය සන්සිඳවන්නේ නැහැ. සංසිඳවනවා වගේ මවා පෑවත් සැබෑ සංසිඳීමක් ඇති කරවන්න අසත්පුරුෂයන්ට බෑ.

කෙලෙස් සහිත ලෝකයා කියාවි, ඔතනින් ලැබෙන්නේ සීනි බෝල වචන නේ, ඕව වැඩක් නැහැ. අතහරින්න.

මදක් නැවතී සිතා බලන්න. මට ඇහෙන දේට සීනි බෝල වචන යැයි කිව්වාවේ.. ඒ තුළින් මගේ අකුසලය ගෙවෙනවා ද, කුසලය වැඩෙනවා ද, සතර අපාය උරුම කරගත්ත මට ඒ වචනවලින් පිහිටක් ලැබෙනවා ද…? කියල බලන්න.

ඒ බව ඔබට තේරෙනවා නම්, කැමති දෙයක් ලෝකයා කිව්වාවේ.. එයින් අපිට කම් නෑ. ඇයි ඒ..? අපිට ගැටළුවක් තිබෙනවා, ඒ තමයි සංසාර ගැටළුව. ඒ ගැටළුවට මොන වචනවලින් හෝ වේවා, තිබෙන්නෙ එක ම එක මාර්ගය යි. ඒ අකුසල් දුරු කිරීමේ ආර්ය මාර්ගය යි. ඒ මාර්ගය ඔබ අනුගමනය කරනවා නම්, අන් අය ගේ චෝදනාවලින් කුමක් කරන්ට ද..?

චෝදනා කිරීම මේ ලෝකයේ හැම දාම තිබෙන ධර්මයක්. ඒ බව බුදුසමිඳුන් මේ විදියට යි කියා දුන්නේ…

පෝරාණමේතං අතුල
නේතං අජ්ජතනාමිව
නින්දන්ති තුණ්හීමාසීනං
නින්දන්ති බහුභාණිනං
මිතභාණිම්පි නින්දන්ති
නත්ථි ලෝකේ අනින්දිතෝ

‘‘පින්වත් අතුල, මේදේ අද විතරක් නො වෙයි, ඈත අතීතයේ ඉඳලා ඔබ විදියම යි. නිශ්ශබ්ද ව ඉන්නකොට ත් බණිනවා. වැඩිපුර කථා කළත් බණිනවා. ප‍්‍රමාණයකට කථා කළත් බණිනවා. මේ ලෝකයේ නින්දා නො ලබපු කෙනෙක් නෑ”

න චාහු නච භවිස්සති – න චේතරහි විජ්ජති
ඒකන්තං නින්දිතෝ පෝසෝ – ඒකන්තං වා පසංසිතෝ

‘‘තනිකර ම නින්දා විතරක් ලැබූ කෙනෙක් වත් ප‍්‍රශංසා විතරක් ලැබූ කෙනෙක් වත් අතීතයේ හිටියෙත් නෑ. අනාගතේ ඇති වෙන්නෙත් නෑ. දැන් වර්තමානයේ දැකගන්ටත් නෑ”

බලන්න මේ ධර්මයේ සත්‍යතාවය අප ඉදිරියේ බැබළි බැබළී තිබෙනවා නේ ද..?

ඉතින් එක් දෙයක් වටහා ගන්න, නින්දා අපහාස කිරීම, අන් අය ගේ ගුණ නො දැකීම, සාමාන්‍ය ලෝකයේ ස්වභාවය යි. නමුත් ඒ ලෝකය ඔස්සේ අපිත් පැටලි පැටලි ගියොත්, අපි නිවනින් ඈත් වෙනවා. අපි සංසිඳුනොත් නිවනින් අපිව ඈත් කරන්න කාටවත් බැහැ.

බලන්න මම කියා අල්ලා ගත් ජීවිතේ වේගෙන් ගෙවිල යනවා. දැන් මේ ලෝකෙට අපි බිහිවෙලා අවුරුදු කීය ද..? තව ජීවත් වෙන්ට තිබෙන්නෙ සමහර විට බොහොම ටික කාලයක් වෙන්ට පුළුවනි.

ඒ ටික කාලය අපතේ දා ගන්න එපා. ඉක්මණින් ඉක්මණින්, කුසලය ම වඩන්න. නැසී යන්නට කලියෙන් ඔබේ ලෝකය අතහැරීමට පුරුදු වෙන්න. එය එසේ ම වේවා..

අත්තනාව කතං පාපං,
අත්තනා සංකිලිස්සති..
අත්තනා අකතං පාපං,
අත්තනාව විසුජ්ඣති..
සුද්ධී අසුද්ධි පච්චත්තං,
නාඤ්ඤමඤ්ඤො විසොධයේ.

‘‘තමන් ම කරන ලද පවින් තමන් ම යි අපිරිසිදු වෙන්නේ. තමන් පව් නො කිරීමෙන්, තමන් ම යි පිරිසිදු වෙන්නේ. පිරිසිදු බවත් අපිරිසිදු බවත් තම තමාට අයත් දෙයක්. තව කෙනෙක් තවත් කෙනෙක් ව පිරිසිදු කරන්නේ නෑ.”

සදා සැනසිල්ල වේවා…

තෙරුවන් සරණ යි…!

දිව්‍යාංජලී සූරියබණ්ඩාර