භාෂාව යනු මනුෂ්‍යන් එකිනෙකා අතර අදහස් හා ගනුදෙනු සිදු කරගැනීටම උපකාර වන්නා වූ සන්නිවේදන මාධ්‍යය වේ. එය විවිධ රටවල විවිධ ජාතීන්ට අනන්‍ය වූ තමතමන්ගේ සංස්කෘතියෙන් පෝෂණය වී, කාලයත් සමඟ විවිධ විකරණයන්ට භාජනය වෙමින් පවතින්නකි. සෑම භාෂාවක්ම ඉතා අලංකෘතය, සුගම ය. එය විවිධ ජාතීන් තමතමන්ගේ අනන්‍යතාවයන් මොනවට පැහැදිලි කරන සාධකයක් වේ.

භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී සද්ධර්මය තම ශ‍්‍රාවකයින්ට දේශනා කිරීමේ දී භාවිතා කළ පාලි හෙවත් මාගධී භාෂාවේ හැරෙන්නට සෑම භාෂාවකම සභ්‍ය හා අසභ්‍ය යන දෙආකාරයට බෙදිය හැකි වචන, පදගැලපුම් හමුවේ. පාලි භාෂාව යනු මේ මිහිපිට පවතින භාෂාවන්ගෙන් මිහිරිම, එකම හෝ අසභ්‍ය වචනයක් නොමැති ඉතාමත් සුන්දර, පාරිශුද්ධ ම භාෂාව යි. ලෝකයේ පවතින අනෙකුත් සෑම භාෂාවක ම සභ්‍ය වචන හා අසභ්‍ය වචන වශයෙන් සම්මත වී පවතී. බුදුරජාණන් වහන්සේ භාවිතා කළ පාලි භාෂාවෙන් කියැවෙන ධර්ම කාරණා ඒ ආකාරයෙන්ම ගැලපී යන, ඉතා හොඳින් අර්ථ වැටහෙන ලෙස වචන ඇති අනෙක් භාෂාව වන්නේ අප මව් භාෂාව වන සිංහල භාෂාව යි. එහි ඇති අගය තේරෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අප සිංහලෙන් අධ්‍යනය කරන විට ය. මේ වාසනාව ඉංග‍්‍රීසි, ප‍්‍රංශ, ඉතාලි වැනි භාෂා හිමියන්ට නොමැත.

දැනට ව්‍යවහාරික භාෂාවන් එකිනෙක අතර පැහැදිලි වෙනස්කම් තිබීම පැහැදිලි කරුණකි, නමුත් එක් භාෂාවක වුවද විවිධ ජනකොටස් අතර එය භාවිතා වන ආකාරය, වචන භාවිතය, පදගැලපුම්, උච්චාරන ක‍්‍රමය විවිධ වේ. මෙයට කදිම උදාහරණයක් වන්නේ කන්ද උඩරට ප‍්‍රදේශයේ ජනතාව හා දකුණු පළාතේ ජනතාව භාවිතා කරන භාෂා විලාශය යි. එහි එකිනෙකට වෙනස් ලක්ෂණ බොහෝ හඳුනා ගත හැකි වේ. දකුණේ මිනිසුන් කතා කරන දේ බොහෝ විට කන්ද උඩරට ජනතාවට නොතේරෙති. එය දකුණුලකට අනන්‍ය වූ ගති ලක්ෂණයක් වේ. මේ ආකාරයට ජනතාවක් ව්‍යවහාර කරන භාෂාව බොහෝ විට එකිනෙකාගේ සමාජ තත්වය, රැකියාව, වාසය කරන ප‍්‍රදේශය, ගති ලක්ෂණ, අධ්‍යාපන මට්ටම වැනි සාධක මත පදනම් වේ.

නමුත් බොහෝ විට තරුණයන් අතර විශේෂයෙන්ම සරසවි ශිෂ්‍යයන් අතර භාවිතා වන සාමාන්‍ය මිනිසාට හඳුනා ගත නොහැකි වෙනස්ම වූ භාෂා රටාවක් පවතී. සැබැවින් ම මෙම භාෂාව ‘‘කැම්පස් භාෂාව” ලෙස බොහෝ දෙනා හඳුන්වති. නමුත් මේ භාෂාවේ බොහෝ දේ දැනටමත් සමාජගත වී හමාරය. බොහෝ විට වර්තමානයේ තරුණයන් පිරිසක් කථා කරන දෙය තරුණියකට තේරුම් ගත නොහැක. ඒ තරමට ම මෙය තරුණයන්ට ම ආවේණික වූ දෙයක් බවට පත් වී හමාර ය. බොහෝ විට මෙය ඔවුන්ගේ විකෘති මානසිකත්වයත්, නොහික්මුණු අසංවරභාවයත් පෙන්නුම් කරන්නකි.

මෙම භාෂාව බොහෝ විට භාවිතා කරන්නේ සමාජයේ සම්මත වූ අසභ්‍ය වචන හෝ පිරිසක් අතර පැවසීමට අපහසු වචන අසම්මත ආකාරයකින් පැවසීමට යි. මෙමගින් ඔවුනට ලැබෙන ගජ වාසියක් වනුයේ පිරිසක් අතර ඕනෑම දරුණු අසභ්‍ය වචනයක් කිසිදු අපහසුතාවයක් නොමැතිව, නිර්ලජ්ජිතව අන් අයට නොදැනෙන ආකාරයට එම භාෂාව ම දන්නා වෙනත් අයෙකුට පැවසීමේ ඇති හැකියාව යි.

බොහෝ විට මෙම වචන රටාවන් බොහෝ අයට තේරුම් ගැනීම අපහසු ය. එවැනි වචන කිහිපයකි මේ,

ඉබ්බා ගහනවා – පොදු ප‍්‍රවාහන සේවයක මුදල් නොගෙවා හොරෙන් යනවා
ජරාව දෙනවා – කිසියම් වැඩක් අල්ලස් දීලා කරගන්නවා
තෙල බෙදනවා – කෙනෙකුගේ පවතින අදහස් වෙනස් කිරීමට කටයුතු කිරීම (Brain Wash)
වල බහිනව – අධ්‍යාපන කටයුතු වලින් ආදිය බැහැරව අනවශ්‍ය වැඩකට මිතුරන් සමඟ එකතු වීම
වලේ දානව – කෙනෙකුගේ අධ්‍යාපන කටයුතු අඩාල කිරීමට ඔහුව වෙනත් වැඩක් කිරීමට පෙළඹවීම
ගොඩ යනවා – තරුණියක් සමඟ හාද වීම
අල – නවක වදයට භාජනය නොවූ අය හැඳින්වීමට භාවිතා කරයි
අල වුනා – කිසියම් දෙයක් අසාර්ථක වූ විට භාවිතා වේ
අඤ්ඤ කොරොස් – තේරුම් ගත නොහැකි දෙයක්
බටයා – යටහත් පහත් ගෝලයා (හෙන්චයියා)
කොටුවක් පනිනවා – සමාජ අසම්මත සම්බන්ධතාවයක පැටලීම
පාන අල්ලනවා – කෙනෙකු සමඟ තනියට යෑම
දුමක් අරිනවා – සිගරට් පානය කිරීම
නැටුම් තෙල් – තදබල මත්ද්‍රව්‍ය පානය කිරීම
දඹයා – ඉන්දියානු ජාතිකයා
කල්ලතෝනි – විදේශිකයින් විශේෂයෙන් ම ඉන්දියානු ජාතිකයින්
ඩයල්එක – මුහුණුවර
කබරය දානව – බේබද්දෙකු විසින් වමනය කිරීම
පිට යනවා – විශේෂයෙන්ම ආදර සම්බන්ධතාවයක් පවතින තරුණියක් වෙනත් අයෙකු සමඟ සම්බන්ධතාවයක පැටලීම

මෙම සියලූම වචන පාහේ විශ්ව විද්‍යාල සිසුන්ට පමණක් ආවේණික වන වචන වන අතර මේවා ඉන් අතලොස්සක් පමණක් වේ, ඉතිරි අති බහුතරය අසභ්‍ය වචන වේ. ඒවා මෙහි සඳහන් කිරීමට නොහැක.

එමෙන් ම විශ්ව විද්‍යාල තුලින් ජීවය ලැබ සමාජගත වූ වචන බොහොමයක් පවතී, ඒවා බොහෝ විට භාවිතා කරන වචන වන අතර ඒවා සාමාන්‍ය ජනයාට තේරුම් ගැනීමට හැකියාවක් පවතී. ‘‘ගැන්සිය, කඩුව, කඩේ යනව, කින්ඩි, මාටිය ගහනව, සිරා, සොමිය, චාටර්, නෝණ්ඩි, මල පණිනව, මඤ්ඤං, කබ්බා, බෙබේ, එළකිරි, ගින්දර වගේ……” යන වචන ඉන් කිහිපයකි. මින් සමහර වචන ඉංග‍්‍රීසි වචන විකරණයන්ට ලක්කර සාදා ගත් ඒවා වන අතර තවත් බොහොමයක් ඒවා ඔවුනොවුන් විසින් ම සාදාගත් රළු අසභ්‍ය වචනයන් වේ.එ

සැබැවින්ම භාෂාවක් තිබිය යුත්තේ ගත සිත සැනසෙන වචන මුවපිරෙන සිනහවකින් යුතුව කෙනෙකුට පැවසීමට ය. යමෙකු විසින් භාවිතා කරන ශබ්දකෝෂය කෙනෙකුගේ සිත සැනසීමටත් සිත වැනසීමටත් ගතහැකි උපකරණයක් වැනි ය. භාග්‍යවතුන් වහන්සේ විසින් භාවිතා කරන ලද සුගම, සුමට, කාරුණික වදන් නිසා පිනැති දෙව්මිනිසුන් මේ සසරින් සදහට ම නිදහස් විය. උන්වහන්සේගේ ශබ්ද කෝෂයේ කිසිදු කුණුහරුපයක්, හිස්වචනයක්, කෙනෙකුගේ සිත පාරවන වචනයක්, දෙපැත්ත කැපෙන වචනයක්, දෙ තේරුම් ඇති වචනක් නොමැත. ඒ වදන් වල මිහිරි සුවය අපි අදටත් අත්විඳින්නෙමු. එබැවින් වැල යන අතට මැස්ස ගසන, සාම්ප‍්‍රදායික සරසවි සිසුන්, තරුණයින් වශයෙන් නොසිට බැහැර කළ යුත්ත බැහැර කර භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක දරුවන් වීමට අදිටන් කරගනිමු.

සී. නිවුන්හැල්ල
කොළඹ විශ්ව විද්‍යාලය