නොසිතූ විරූ හැලහැප්පිලි මැද්දේ අපේ ජීවිත ගත වෙනවා….

අපි හැමෝටම ආවේණික ප්‍රශ්න තියෙනවා. සමහරුන්ට ප්‍රශ්න අඩුයි. සමහරුන්ට ප්‍රශ්න වැඩියි. ජීවිතයට එන ප්‍රශ්නවලට උත්තර හොයන්න යෙදෙන ගමනෙදි ගොඩනැගුණු, තම තමන්ට ආවේණික ඒ ඒ ජීවිත රටාවන් මැද්දට තමයි හිටිහැටියේ ම කොවිඩ් – 19 කඩන් වැටුනේ. චීනයෙන් පටන් අරගෙන එක එක රටවල දවසින් දවස බරපතළම අර්බුදය බවට පත් වෙමින් කොවිඩ් රෝගය පැතිරී යමින් තිබුණු මුල් මාස හතරක කාලය තුළ අපට එය ගැන අසන්න දකින්න ලැබුණේ ‘ඔවුන්ගේ ප්‍රශ්නයක්’ විදිහට. හැබැයි, ඊටපස්සේ ඒක ‘අපේ ප්‍රශ්නයක්’ බවටත් පත් වුණා. දැන් කොවිඩ් කියන්නේ අපට තියෙන ලොකුම ප්‍රශ්නයක්…

ගෙවුණු මාස අටක කාලය කිසිම භේදයක් නැතිව හැම කෙනෙකුට ම ආදායම් ගැන, වියදම් ගැන බොහෝසෙයින් හිතන්න සිද්ධ වුණා. සමස්තයක් විදිහට මේ ගෙවුණු කාලය හැමෝටම අලාභ සිද්ධ වුණු කාලයක්. එදිනෙදා රැකියා කරමින් ඉපැයීම් කළ බහුතරයකට රැකියා හොයා ගන්න අපහසු වුණ, වගා කළ භෝග අලෙවි කරන්නට දුෂ්කර වුණ, අමතර ආදායම් මාර්ග බොහෝමයක් ඇහිරිලා ගිය කාලයක්.

තම අවශ්‍යතා වෙනුවෙන් සීරුවෙන් වියපැහැදම් කළ උදවියට අසීරුවෙන් ඒ දේවල් කළමනාකරණය කරගන්න සිද්ධ වුණා. ඇත්තටම මේක හැමෝටම වගේ දුෂ්කර කාලයක්. එක්තරා පර්යායකින් අපි හැමෝම කාල විපත්තියකට මුහුණ දීලා. කාල සම්පත්තියේ දී විපාක දීමට නොසමත් වුණ දුබල පාපකර්මයන් පවා කාල විපත්තියේ දී විපාක දීමට පටන් ගැනෙන බව ධර්මයේ කියැවෙනවා. ඉතින්, එළඹෙන දුෂ්කරතා හමුවේ නොසන්සුන් වීමේ කිසිම තේරුමක් නෑ. සසර කියන්නේ කර්මය දායාද කර ගත්ත ගමනක්. අපගේ උප්පත්ති ස්ථානය කියා කියන්නේ කර්මයටයි…

ජීවිතය සම්බන්ධයෙන් අප ගොඩනගාගෙන හිටපු සිහින සටහන දැන් සම්පූර්ණයෙන් ම වගේ වෙනස් වෙලා. උත්සව, ප්‍රියසම්භාෂණ, විනෝද චාරිකා, වන්දනා ගමන්, භවභෝග සම්පත් ඉපැයීම් කියන හැම දෙයක් ම – කොටින් ම අපේ ජීවිතවල පැවති හැම ස්වභාවයක් ම පාහේ මාස හත අටක් තුළ පුදුමාකාර වෙනසකට පරිවර්තනය වෙලා. අපේක්ෂා භංගත්වයට පත් වුණු, මානසික ආතතිය වැඩී ගිය ජනයා තුළ නුරුස්නා ස්වභාවයන් බහුල වන සමාජයීය අර්බුදයක් බවට කොවිඩ් – 19 වසංගතය පත් වෙන ලකුණු සෑම අතින් ම විද්‍යමාන වෙන්න පටන් අරන්. ‘කවදා මේක ඉවර වෙයි ද…?’ මේ විදිහට නොහිතුණු කෙනෙක් අප අතර නැති තරම්… මේ ව්‍යාධියේ අවසානය කවදා වේවි ද කියා අප කිසිවෙක් දන්නේ නැහැ. මේ ව්‍යාධි බිය තුරන් වන්නට ගත වන – ජීවිතය එන්න එන්නම දුෂ්කර වන්නට බොහෝ ඉඩ තිබෙන ඒ කාලයට සූදානමින් සිටීම සැබැවින් ම අපට ප්‍රයෝජනවත්…

විපතෙහි අවදානම දුටු මොහොතේ පටන් ජනයාගේ හිතසුව කැමැති, යහපත කැමැති කල්‍යාණමිත්‍රයාණන් වහන්සේලා පිරිත් ධර්මයන් සජ්ඣායනා කරමින්, උපාසක භාවයේ පිහිටි දෙවිවරුන්ගේ උපකාර ඉල්වමින් උවදුර දුරු කරනු පිණිස වෑයම් කරනු ලැබුවා. දැනුදු උන්වහන්සේලා නොපිරිහෙළා ඒ සමාජ මෙහෙවරෙහි නියැළෙනවා. සැදැහැ සිත් ඇති ජනයා ද පින්කම් කරමින්, පිරිත් සජ්ඣායනා කරමින් මේ දුෂ්කර කාලය ඉක්මවාලීම පිණිස කටයුතු ඉෂ්ටසිද්ධ කරමින් සිටිනවා. අත්නොහැර ඒ කාරණාවන් සම්පාදනය කරලීම අඛණ්ඩව සිදු කළ යුත්තක් බව අප ශ්‍රද්ධාවෙන් දරා ගත යුතු යි…

විපත්ති කාලයන් එළඹීම මානව ඉතිහාසයේ කලින් කල සිදු වූවක්. සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වී ජීවමානව වැඩ සිටින්නා වූ අතිශයින් දුර්ලභ, පුණ්‍යවන්ත කාලයන්හි පවා මෙවැනි ම වූ විපත් මිනිසුන් කරා පැමිණි බව අප අසා තිබෙනවා.

අපගේ ශාස්තෘන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩ සිටිය දී ඊට යොදුන් පහක් එපිටින් වූ විශාලා මහනුවර දුර්භික්ෂ, ව්‍යාධි, අමනුෂ්‍ය යන තුන්බිය පැතිරී එහි ජනයා දොළොස් අවුරුද්දක් පුරා මරණ බියෙන් ඇළලී වාසය කළා. ඉන්පසුවයි භාග්‍යවතුන් වහන්සේගේ වැඩමවීමෙන් එහි තුන්බිය සන්සිඳුවාලූ තෙරුවන් ගුණානුභාවය පිළිබඳ ව සත්‍යක්‍රියාව සිදු කෙරුණේ.

එසේ ම විපස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව වැඩ සිටිය දී පැතිරී ගිය වසංගත රෝගයකින් භාග්‍යවත් සම්බුදුරජාණන් වහන්සේ ද හය ලක්ෂයක් වූ ශ්‍රාවක රහතන් වහන්සේලා ද ගිලන් වූවා. එදා ඒ පැතිරෙමින් පැවති ව්‍යාධිය නසන ඔසු සපයා බුද්ධ ප්‍රමුඛ රහත් සඟ පිරිවරට උපස්ථාන කළේ එකල තාපසයෙකුව හුන් බක්කුල මහරහත් මුනිඳුන්. එපින් බෙලෙන් හා සසරේ ඒ ආකාරයන්ගෙන් බුද්ධෝත්පාද කාලයන්හි රැස් කරනා ලද පින් බෙලෙන් උන්වහන්සේ පිරිනිවන් පානා තෙක් ම සසරේ අල්පාබාධ සහිත ව දීර්ඝායුෂ සම්පත්තිය ලැබුවා.

වළගම්බා රජු ලක්දිව රජ පැමිණි කාලයේ දොළොස් අවුරුදු නියඟයක් වූවා. ඒ කාලයේ ම තිස්ස නම් වූ බ්‍රාහ්මණයෙක් පිරිස් බලය ඇති කරගෙන රාජ්‍යය ලබා ගනු පිණිස නොයෙක් අර්බුද උපදවන්නට පටන් ගත්තා. තිස්ස බ්‍රාහ්මණයා ද නියඟය ද නිසා උපන් ඒ දොළොස් අවුරුදු දුර්භික්ෂ කාලය ‘බ්‍රාහ්මණ තිස්සභය’ යන නමින් හැඳින්වෙනවා.

ඒ මහා විපත්ති කාලයේ දී සිතුල්පව්ව විහාරයෙහි ද තිස්සමහාරාමය හෙවත් සේරුවිල වෙහෙරෙහි ද වැඩවිසූ දොළොස්දහස බැගින් වූ රහතන් වහන්සේලා හට තුන් අවුරුද්දක කාලයකට සෑහෙන තරමින් වී තිබුණා. නමුත්, එක් රැයක දී ඒ වී සියල්ල මීයන් විසින් කා දමා සහමුලින් ම වනසන ලද්දේ විපත්ති කාලයෙහි දී සියල්ල විනාශ වන බව පෙන්වමින්.

වෙහෙර දෙකෙහි වැඩ සිටි රහත් සඟ පිරිවර අනිත් අනිත් වෙහෙරෙහි වී ඇතැයි සිතමින් වෙහෙර දෙකින් නික්මී අනෙක් වෙහෙර බලා වැඩම කළා. අතරමඟ වූ ගැඹුරු දිය පහරක් හමුවේ මුණගැසුණු උන්වහන්සේලා දෙවෙහෙරෙහි ම වී වැනසුණු බව දැනගත්තා. එවේලෙහි ඒ විසිහතර දහසක් වූ රහතන් වහන්සේලා තමන් වහන්සේලාගේ ආයුෂ අවසන් බව දැන වනයෙහි ඒ ඒ තැන්වල හිඳ සිටින ඉරියව්වෙන් වැඩ සිටිමින් පිරිනිවන් පා වදාළා. උන්වහන්සේලාගේ සිරුරු ආදාහනය කරන්නට හෝ කෙනෙකු එහි වූයේ නැහැ. විපත් කාලය අවසන් වූ පසුවයි සංඝයා වහන්සේලා ඒ අරහන්තක ධාතූන් වහන්සේලා වඩා හිඳුවා සෑයක් කරවන ලද්දේ…

ඒ විපත්ති කාලයේ රට පෙළෙන දුක්ඛිත ස්වභාවය පාලකයනට හෝ වැසියනට ඉක්මවාලිය නොහැකි බව දුටු ලක්දිව වැඩවිසූ රහත් මුනිවරුන් අතරින් අටනමක් තව්තිසා දෙව්ලොවට වැඩම කොට මේ අවස්ථාවට මැදිහත් වී උවදුරු නවත්වා රට සුඛිත මුදිත කරවන ලෙස සක් දෙවිඳුන්ගෙන් ඉල්ලා සිටියා. එවේලෙහි සක් දෙවිඳුන් කියා සිටියේ තමන්ට මේ උවදුර සන්සිඳුවාලන්නට හැකියාවක් නැති බවයි. එනිසා, සංඝයා වහන්සේලාට මුහුදින් එතෙරට වැඩම කරන ලෙස සක් දෙවිඳු ඉල්ලා සිටියා. ඒ ඉල්ලීම පරිදි දඹකොළපටුනට එක්රැස් වී දඹදිවට වැඩම කළ සඟ පිරිසට මුහුදේ දී ආරක්ෂාව සැලසුවේ ද සක් දෙවිඳුන්මයි. ඇතැම් කාරණාවල දී ඒවා ඉක්මවාලන්නට දෙවියන්ගේ දේවානුභාවයෙන් වුව ද නොහැකි බව මෙයින් අප තේරුම් ගත යුතුයි.

සංයුත්තභාණක චූලසීව තෙරුන් වහන්සේත්, ඉසිදත්ත තෙරුන් වහන්සේත්, මහාසෝණ තෙරුන් වහන්සේත් සයුරෙන් එතෙර නොගොස් මෙබිම නැවතී සිටීමට තීරණය කළා. චූලසීව තෙරුන් වහන්සේ දඹකොළ පටුනේ සිට අනුරාධපුර මහා සෑ බිමට වැඩම කරද්දී මහා සෑ මළුවෙහි එරඬු ගස් වැවී, සෑයෙහි සෙවෙල් බැඳී, තැනින් තැන වල් පැළෑටිවලින් වැසී තිබුණු බව කියැවෙනවා. දුර්භික්ෂ කාලය ඉක්මෙන තුරු ම උන්වහන්සේ කොළ කා ජීවිතය රැකගත් මිනිස් ග්‍රාමයක් ඇසුරේ ඒ ආකාරයෙන් ම ජීවිතය ගත කළා.

චාරිකාවේ හැසිරෙමින් වැඩම කළ ඉසිදත්ත හා මහාසෝණ යන තෙරුන් වහන්සේලා හට වරෙක දී සතියට ම ආහාරය වූයේ මිනිසුන් විසින් මදය ගෙන ඉවතලා ගිය මී ඇටවල පොතුයි. ගම්වැසි දරුවන් විසින් වැලි පිස පාත්‍රයට පූජා කළ මී පොතු වළඳා දිවි රැකගත් උන්වහන්සේලා තවත් සතියක් පුරා මිනිසුන් විසින් මල් කඩා ඉවත ලූ නෙළුම් දඬු තමන් වහන්සේලා වෙත පිළිගන්වනු ලැබ ඒ ආහාරයෙන් දිවි රැක ගත්තා. එහෙත්, ඒ කිසිම අවස්ථාවක දී උන්වහන්සේලා තමන් විසින් සොයා අතින් ගෙන කිසිවක් වැළඳුවේ නැහැ. දිවි ගිය ද සිල්පද නොකඩනා හික්මීමකින් යුතු වූ උන්වහන්සේලා කවුරුන් හෝ ඒවා පිළිගන්වනු ලැබීමෙන් පසුවයි ආහාර ලෙස වැළඳුවේ. උන්වහන්සේලා දෙනම ද කැලෑ කොළ කා ජීවත්වන මිනිස් ග්‍රාමයක් වෙත වැඩම කළා. “ස්වාමීනී, අපට ලැබෙනා සැටියකින් ඔබවහන්සේලාට සත්කාර කරන්නෙමු. ඔබවහන්සේලා මෙහිම වාසය කරන සේක්වා!” යන ආරාධනය ලැබ උන්වහන්සේලා එගම ඇසුරු කරගෙන දුර්භික්ෂ කාලය අවසන් වන තුරු වාසය කළා.

විපත්ති කාලය ඉක්ම ගියා. සයුරින් එතෙරට වැඩි සඟ පිරිස ද ලක්දිවට වැඩම කළා. මෙබිම වැඩ සිටිමින් ජීවිතය රැක ගත් මහාසෝණ තෙරුන් වහන්සේ සොයා වැඩම කළ උන්වහන්සේලා කාලක නම් ගමේ මණ්ඩලාරාම විහාරයේ දී සම්මුඛ වූවා. එදා රැයෙහි දෙවිවරු ගමේ සෑම ගෙයක් පාසා ම ගොස් මහාසෝණ මහතෙරුන් වහන්සේට කහවණුවක් අගනා පිණ්ඩපාතය ද නවරියන් සළුවක් ද හෙට දවසේ දී දානය ලෙස පිළිගන්වන්න යැයි දැනුම් දුන්නා. සංඝ ස්ථවිරයන් වහන්සේලාගේ සමාගමයෙහි අවසානයට වැඩ සිටි මහාසෝණ තෙරුන් වහන්සේටයි එදා දේවතාවුනගේ අනුග්‍රහයෙන් දායක පිරිස දන් පිළිගැන්වූයේ. උන්වහන්සේ ඒ ලාභයෙන් මහා සංඝයාට සංග්‍රහ කරනු ලැබුවා.

පසුව අනුරාධපුරයට වැඩම කොට මහා සෑය ද වැඳ දාන ශාලාව තෙක් වූ මාර්ගයට පිවිසි විට ඒ මාර්ගයේ දී ම උන්වහන්සේ කහවණු හැටක් අගනා පිණ්ඩපාත දානයන් ලැබුවා. ඉන් එපිටත් අප්‍රමාණ සත්කාර ලැබුවා. ඒ සා ප්‍රත්‍යයන් ලැබීමට පුණ්‍ය වාසනා සහිත වූ මහාසෝණ තෙරුන් වහන්සේට විපත්ති කාලයේ දී මී පොතු, නෙළුම් දඬු, කැලෑ කොළ පවා ලැබුණේ දුර්ලභවයි…

කාල විපත්තියේ දී පින් ඵල උපදින්නේ දුර්වලව බව අප තේරුම් ගත යුතුයි. එසේම, ශ්‍රද්ධා සම්පන්න වූ බොදු ජනයා විපත්ති කාලයේ දී වුවත් භික්ෂූන් වහන්සේලාව අත්නොහැර ඒ අනුත්තර වූ පින්කෙතෙහි දන්පැන් පුදමින් පින් කරගත් බව ද දැනගත යුතුයි…

සිල් ගුණ දම් පිරීම, දන් පැන් පිදීම, බණ භාවනා ආදී කොටගත් පින්දහම්හි නියැළෙමින් සුචරිතයේ හැසිරීම, පමණ දැන ආහාර ගැනීම, පමණ දැන වියදම් කිරීම ආදිය අයත් වන්නේ ප්‍රයෝග සම්පත්තියට යි. මෙසේ ප්‍රයෝග සම්පත්තියෙන් යුතුව සිටිනවා නම් බොහෝ අතීත පාපකර්මයන් තිබුණත් ඒවා බොහෝමයක් විපාක දීමට සමත් වන්නේ නැහැ. කාල විපත්තියත් සමඟ ම ප්‍රයෝග විපත්තියක් ද එළඹුණහොත් විපතින් විපතට ම පත් වීමක් මිස විපතින් නැගී සිටීමක් නම් සිදු වන්නේ නැහැ. එකරුණිනුත් මේ එළඹි කාල විපත්තියේ දී පිරිහෙන්නට නොදී ප්‍රයෝග සම්පත්තියෙන් යුතුව යම් සැනසීමක්, සුවපත් භාවයක් ලබන්නට ඉඩකඩ තිබෙනා බව අප තේරුම් ගත යුතුයි.

එනිසා, අත්නොහැර පින් කිරීමමයි වටින්නේ. අත්නොහැර සිල් රැකීමමයි වටින්නේ. එවිට පිරිහෙන කයක් ඇතිව, පිරිහෙන ආර්ථිකයක් ඇතිව, පිරිහෙන ආයුෂයක් ඇතිව වුණත් නොපිරිහී සිටින කෙනෙක් වන්නට පුළුවන්. අපි මොන දේ හරිහම්බ කළත්, මොන තරාතිරමක ජීවිත ගොඩනගා ගත්තත්, මොන තරම් සැලසුම් සහගත වුණත් මේ ජීවිතය මරණයෙන් කෙළවර වෙනවා ම යි. ඒ හැම දෙයක ම වටිනාකම මරණයේ දී නැත්තටම නැතිව යනවා. කිසිවකට, කිසිවෙකුට මරණය වළක්වන්නට බැහැ. ලෝකෙටම පොදු ඉරණම ඒක තමයි. ඒ තමයි සසර…

හැබැයි… අපි ඉපදුණේ පුදුමාකාර තරම් පින්වන්ත රටක. සම්බුද්ධ ආඥාවෙන් ලොව ධර්ම භාණ්ඩාගාරය බවට පත් වුණ මේ පින්බිමේ උපන් නිසා අපට ඉපදෙමින්, මැරෙමින් යන සංසාර ගමන නවතන දහම අසන්නටත්, පුරුදු කරන්නටත් ලැබුණා. ඒ ධර්මය නිසැකයෙන් ම දෙව්මිනිසුන්ගේ සියලු රෝගාබාධයන් නසාලන්නක්.

“මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් අනේක ඖෂධ වදාරණ ලද්දේ ය. ඒ ඖෂධයන්ගෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ දෙව්මිනිසුන් හට ප්‍රතිකාර කරන සේක. එනම්, සතර සතිපට්ඨානය ය, සතර සම්‍යක් ප්‍රධාන වීර්ය ය, සතර ඍද්ධිපාද ය, පංච ඉන්ද්‍රිය ය, පංච බල ය, සප්ත බොජ්ඣංගයන් ය, ආර්ය අෂ්ටාංගික මාර්ගය ය.

භාග්‍යවතුන් වහන්සේ මේ ඖෂධයන්ගෙන් මිථ්‍යා දෘෂ්ටිය විරේක කරවති. මිථ්‍යා සංකල්පය විරේක කරවති. මිථ්‍යා වචන විරේක කරවති. මිථ්‍යා ක්‍රියා විරේක කරවති. මිථ්‍යා ජීවිකාව විරේක කරවති. මිථ්‍යා වීර්යය විරේක කරවති. මිථ්‍යා සිහිය විරේක කරවති. මිථ්‍යා සමාධිය විරේක කරවති. ලෝභය වමන කරවති. ද්වේෂය වමන කරවති. මෝහය වමන කරවති. මාන්නය වමන කරවති. දෘෂ්ටි වමන කරවති. සැක වමන කරවති. විපිළිසර බව වමන කරවති. ථීනමිද්ධය වමන කරවති. පවට ලැජ්ජා – භය නැතිකම වමන කරවති. සියලු කෙලෙසුන් වමන කරවති. මහරජාණෙනි, මෙය භාග්‍යවතුන් වහන්සේගේ ඖෂධ වෙළෙඳසැලයැයි කියනු ලැබේ.”

යේ කේචි ඕසධා ලෝකේ – විජ්ජන්ති විවිධා බහූ
ධම්මෝසධසමං නත්ථි – ඒතං පිවත භික්ඛවෝ’ති

“ලෝකයෙහි විවිධාකාරයෙන් බොහෝ වූ යම්කිසි ඖෂධ ඇද්ද, ඒවා අතර ධර්මය නම් වූ ඖෂධයට සමාන අනෙකක් නැත. මහණෙනි, එය පානය කරව්.”

(මිළිඳු රාජ ප්‍රශ්නය – 4)

මේ විපත්පත් ලෝකයේ අනතුර ගෙදර එළිපත්තේ ම පවත්නා බව දැක දැක අපට කරන්නට තිබෙන්නේ ධර්මයේ පිහිට පිළිසරණ සෙවීම පමණයි. අනුන්ගේ සිත් දකින්නට හැකියාවක් නැති නම්, තමන්ගේ සිත විනිවිද දකින්න කියලයි සම්බුදුරජාණන් වහන්සේ වදාළේ. ‘මගේ සිත බහුල වශයෙන් පාපී අකුසල ධර්මයන්ට යටව පවතිනවා ද? නැති නම්, බහුල වශයෙන් කුසල ධර්මයන්හි පිහිටා පවතිනවා ද?’ වශයෙන් තමන්ගේ සිත මැනැවින් විමසා බලමින් දහම් ඔසුවෙන් පිළියම් යෙදීමයි පුණ්‍ය විපාකයෙන් ලද මේ මිනිස් ජීවිතය අහිමි වන්නට පෙර අප විසින් වහා වහා කළ යුත්තේ.

සසර අතිශයින් ම දුෂ්කර ගමනක්. සෑම කල්හිම විපත් පිරුණු කටුක ගමනක්. වෑයමෙන් ගොඩනගා ගත් සැපවත් භාවයන් සහමුලින් ම අහිමි කරවමින් එළඹෙන විපත් හිඟ නොවූ ඒ සසර ගමන කෙරෙහි කලකිරීමමයි වටින්නේ. ඒ කලකිරීම ඉපදුණොත් අප කුසල් දහම් සම්පාදනයෙහි ලා අප්‍රමාදී වනවා යන්න සිදු වනවා. එහෙයින් ම මේ කාල විපත්තියේ පීඩා ප්‍රයෝග සම්පත්තියෙන් මැඩලන්නවුන් බවට ද පත් වෙනවා. දුෂ්කර ව සිදු කරන පින්වලින් උපදනා මහත් වූ පුණ්‍ය විපාකයන්ගෙන් යුතු වෙමින් නිවනට ද සමීප වෙනවා.

සරණ සීලයෙහි පිහිටන්නට උපතින් ම වාසනාව ලද මේ ජීවිතයේ දී සසර ඉක්මවාලමින් උතුම් ධර්මාවබෝධය ලබන ශ්‍රාවකත්වයකට උරුමකම් කියන්නට අපට ද හැකි වේවා!

සටහන – උදුලා පද්මාවතී