නිවසේ, සමාජයේ, රාජකාරි ස්ථානයේ දී අපට නිතර අසන්නට ලැබෙන වචනයක් තිබෙනවා. ඒ අරපිරිමැස්ම. ඒ වගේ ම අපි කියනවා ‘ලෝභකම් කරන්න එපා, ලෝභකමට යටවෙන්න එපා’ කියලා. නමුත් බොහෝ දෙනෙකුට අරපිරිමැස්මෙන් කටයුතු කරන්නට තේරෙන්නෙත් නැහැ. තමා තුළ ලෝභකමක් තිබෙනවා කියා තේරෙන්නෙත් නැහැ. මේ දෙකෙහි වෙනස හඳුනාගන්නට අපි මහමෙව්නාව අනගාරිකා අසපුවාසී පින්වත් මෑණියන් වහන්සේනමක් සමඟ සාකච්ඡා කළා.

***********************************************

අපේ සමාජයේ බොහෝ දෙනා නාස්තිය අඩුකොට අරපිරිමැස්මෙන් වැඩ කරන්න කියා කියනවා. නමුත් කාලයක් යද්දී අප නොදැනී ම ඒ අරපිරිමැස්ම ලෝභකමක් වෙලා. අපි ලෝභකම් කරන්නේ නැහැ කියමින් කියෝගෙන යනවා. නමුත් අරපිරිමැස්මෙන් කටයුතු කරලත් නැහැ.

භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශාසනය තරම් අරපිරිමැස්මෙන් කටයුතු කිරීම ගැන, ලෝභය දුරු කිරීම ගැන කතා කරන වෙන ශාස්තෘ ශාසනයක් නැති තරම්. විශේෂයෙන් ම අද අපේ සමාජයේ බොහෝ කාන්තාවන්ට එය තේරුම් ගන්න බැරි වෙලා තිබෙනවා. ඒ නිසා බොහෝ විට අරපිරිමැස්මෙන් කටයුතු කරනවා කියා ලෝභකමට යට වෙනවා. එයින් අකුසලය තමයි දියුණු වෙන්නේ. අපි ලෝභවෙන්න හොඳ නැහැ කියා සිතමින් කරන්නේ නාස්තියක්.

අපි සරණ ගිය අපගේ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශාසනය තුළ ලෝභකම දුරුකරලා අරපිරිමැස්මෙන් කටයුතු කරන්න වදාළ ආකාරය මෙසේ තේරුම් ගන්න.
වරක් කොසොල් රජතුමා ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් විමසූ කරුණකට පිළිතුරු වශයෙන් උන්වහන්සේ මෙසේ වදාළා. “මහරජ, අපි මේ පොරවන සිවුරු පරණ වූ විට අහක දමන්නෙ නැහැ. ඒවා ඇඳ ඇතිරිල්ලක් ලෙස පාවිච්චි කරනවා. තවත් පරණ වුණාම දොරකට, ජනේලයකට දාන්න පාවිච්චි කරනවා. එලෙසටත් පාවිච්චි කරන්න බැරි තරම් දිරනකොට ඒවායින් පාපිසි සකසා පාවිච්චි කරනවා. පාපිස්සක් ලෙසින්වත් පාවිච්චි කරන්න බැරි තරමට දිරාපත් වූ විට කුටි ආදිය පිළිසකර කිරීමේදී මැටිත් සමඟ ඒ රෙදි පාන්කඩ අනා බිත්තිවලට සවි කරනවා.” කියා වදාළා.

බාහිරෙන් මේ දෙස බැලූ විට අපට හිතෙනවා ‘මේක නම් ලෝභකමක්නේ’ කියලා. නමුත් භාග්‍යවතුන් වහන්සේ අරපිරිමැස්ම කියා වදාළේ එයට යි. බුද්ධ ශාසනයේ අරපිරිමැස්ම ඒ වගේ. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ ඒ ආකාරයට කටයුතු කරන්න කියලයි. එහෙනම් ගිහි ජීවිතය ගතකරන කාන්තාවට කොයිතරම් නම් අරපිරිමැස්මෙන් කටයුතු කරන්න වෙනවා ද? තමාගේ ඇඳුම් පැලඳුම් කවුරුත් පූජා කළ ඒවා නොවෙයි. තමන්ගේ ආහාර කවුරුවත් පිනට පූජා කළ ඒවා නො වේ. කනකර ආභරණ කවුරුත් පින් පිණිස පූජා කළ ඒවා නො වේ. තමන්ගේ ස්වාමියා වෙහෙස මහන්සි වෙලා තමයි ඔබේ සතුට පිණිස ඒවා ලබා දෙන්නේ. නැත්නම් ඔබ උදේ රැයින් නැගිටලා රැකියාවකට ගිහිල්ලා එතැනත් රාජකාරී කරලා බොහෝ දුක සේ උපයපු මුදලින් තමයි අඩුපාඩු සපුරා ගන්නේ. ඒ විදිහට වෙහෙස මහන්සිවෙලා ලැබෙන දෙය අරපිරිමැස්මෙන් පරිහරණය කරන්නට හුරු වෙන්න වෙනවා. ලෝභකම කියන අකුසලයට නොවැටී ලොකු අරපිරිමැස්මකින් කටයුතු කිරීම කාන්තාවකගේ යුතුකමක් වගේ ම වගකීමක් ද වෙනවා.

අද සමාජය දෙස බැලුවම අරපිරිමැස්ම කාන්තාව තුළ නැති තරම්. බොහෝ අය හැම දෙය ම වගේ නාස්ති කරනවා. භික්ෂුවට සිවුරක් ලැබුණාම ඒ සිවුර අඩු ම තරමේ අවුරුදු දෙක තුනක්වත් පොරවනවා. නමුත් කාන්තාව ඊට හාත්පසින් ම වෙනස්. එක් උත්සව අවස්ථාවකට එක් ඇඳුමක් ඇන්දොත් තවත් උත්සවයකට ඒ ඇඳුම ඇඳීම ඇය ප්‍රතික්ෂේප කරනවා. ඒ ඇඳුම, ඒ ආභරණය, ඒ පාවහන් නැවත ඇය පාවිච්චි කරන්න මැලි බවක් දක්වනවා. අනෙක් උත්සවයට ඒ සියල්ල ඇයට අලුතින් අවශ්‍යයි. එහෙම කාන්තාව තුළ අරපිරිමැස්ම කියන දෙය ගෑවිලාවත් නැහැ. ඇය අරපිරිමැස්මෙන් කටයුතු කරන්නේ නැහැ. ‘ස්වාමියා වෙහෙසිලා වෙහෙසිලා මහන්සි වෙලා නේ ද මේ මුදල් මට ගෙනත් දෙන්නේ? මේ මුදලින් මම උපරිම ප්‍රයෝජනය ගන්න ඕන. පරිස්සමින් කටයුතු කරන්න ඕන.’ කියලා අද සමාජයේ බොහෝ කාන්තාවන්ට තේරෙන්නේ නැහැ.

යම් නිවසක අම්මා නාස්තිකාරියක් නම්, අරපිරිමැස්මක් දන්නේ නැති නම් ඒ නිවසේ දරුවොත් නාස්තියට පුරුදු වෙනවා. දරුවොත් පෙළඹෙනවා අම්මා විදිහට ම අරපිරිමැස්මක් නැතිව කටයුතු කරන්න. ඔවුන්ට පාසල් ගෙනියන්න පෑන් පැන්සල් පහක් හයක් ඕනේ. වතුර බෝතල් වීසි කරලා පොළොවේ ගහලා කඩා ගන්නවා. බෑග් ඉරා ගන්නවා. ඔවුන්ට වැටහීමක් නැහැ ‘අපේ තාත්තා ගොඩාක් මහන්සි වෙලයි අපට මේවා ගෙනත් දෙන්නේ. ඒ නිසා අපි මේවා පරිස්සමට පාවිච්චි කරන්න ඕනේ’ කියලා. ඒ දරුවන්ට ඒ බව කියා දෙන්නට අම්මට ඕනකමකුත් නැහැ. ඇය දරුවා ඉල්ලන ඉල්ලන දේ දෙනවා. දරුවා ඉල්ලන හැම දෙයක් ම අරගෙන දීම ආදරය නො වේ. තාත්තා විඳින දුක දරුවන්ට කියා දිය යුත්තේ ගෙදරක අම්මා යි. පුංචි කාලේ ඉඳන් දරුවාට අරපිරිමැස්ම පුරුදු කරන්නත්, ලෝභය දුරු කරන්නත් අම්මා කියා දිය යුතු වෙනවා. ඒ සඳහා අම්මා දැනුවත් වීම මුලින් කළ යුතු දෙයක්.

අද කාලේ වගේ නො වේ අපේ පරම්පරාවේ සිටි කාන්තාවෝ. ඇය නිසි අධ්‍යාපනයක් ලබා නොසිටිය ද ලෝභකමෙයි, අරපිරිමැස්මෙයි වෙනස හොඳින් වටහාගෙනයි සිටියේ.

ඈත අතීතයේ දඹදිව උදේනි නුවර රජතුමාගේ බිසව සුරූපී තැනැත්තියක්. ඒ වගේ ම ඉතා ම ධනවත් කාන්තාවක්. නමුත් මේ දේවිය කුමන හෝ හේතුවක් නිසා බොහෝ අවුරුදු ගණනාවක් තිස්සේ හිසේ අමාරුවකින් පීඩා විඳිමින් සිටියේ. රාජකීය වෛද්‍යවරුන් පැමිණ බොහෝ ධනය වියදම් කර වෙදකම් කළත් කිසිදු ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. මුදල් වියදම් වුවත් කිසිදු සහනයක් නො ලැබුණු ඇයට අවුරුදු හත අටක් රාත්‍රියේ සුව නින්දක් ලැබුණෙත් නැහැ. එතරම් ඇයට හිසේ කැක්කුම පීඩාවක් ගෙන දුන්නා.

ඒ කාලයේ ජීවක වෙදතුමා ජීවත් වුණෙත් ඒ නගරෙ ම යි. ළමා විය ඉක්මවා තරුණ වියට පා තබා සිටි එතුමාට මේ ආරංචිය අහන්න ලැබුණා, ‘රජතුමාගේ දේවිය හිසේ අමාරු රෝගයක් නිසා බොහෝ පීඩාවෙන් ඉන්නේ. කෙතරම් මුදල් තිබුණත්, සැප සම්පත් තිබුණත් ඒවා ඇයට දැන් එපා වී තිබෙන්නේ.’ බව. ඉතිං ජීවක කුමාරයා ගිහින් දේවියට කියනවා “මට ඔබගේ රෝගය සුව කර දෙන්න පුළුවන්” කියලා. රාජමාලිගාවේ සිටින සිටුවරු, ඇමැතිවරු කතා වෙනවා “මේ රටේ සිටින දක්ෂ වෛද්‍යවරුන්, බොහෝ පණ්ඩිත වෙදැදුරන් පැමිණ අපගේ දේවියට ප්‍රතිකාර කළත් සුව කර ගැනීමට නොහැකි වුණා. ඉතින් කොහොමද මේ තරුණ ගැටවරයා අපේ දේවිය සුවපත් කරන්නේ?” කියලා. එවිට ඒ කුමාරයා කියනවා “මට තුටුපඬුරු එපා. මුලින් මම දේවින් වහන්සේ සුවපත් කරන්නම්. පසුව සුදුසු දෙයක් කරන්න” කියලා. ඒකට කැමැති වූ දේවිය ප්‍රතිකාර සඳහා සූදානම් වුණා.

මේ ජීවක කුමාරයා දේවිය පරීක්ෂාකර බලා ගිතෙල් පතක් ගෙන එයට අවශ්‍ය ඖෂධ එකතු කොට හිසට ටික ටික දැමුවා. ඒ ගිතෙල් ටික ටික හිසට කිඳා බැස්සා. එසේ ප්‍රතිකාර කරමින් සිටිද්දී ගිතෙල්පතෙන් ගිතෙල් ටිකක් බිමට වැටුණා. එය දුටු දේවිය ළඟ සිටි දාසියට කියනවා “මේ බිම වැටුන ගිතෙල් ටික පුලුන් කැබැල්ලකට ගෙන පරිස්සමට තියන්න” කියලා. ඒ වෙලාවේ ජීවක වෙදතුමාට සිතෙනවා ‘මෙතරම් ධනස්කන්ධයක් තිබෙන මේ දේවිය බිමට වැටුණු ගිතෙල් ටික පරිස්සම් කරන්න කියනවා නම් ඇයට ප්‍රතිකාර කොට මට නම් තුටුපඬුරු ලැබෙන එකක් නැහැ, මේ දේවිය මෙතරම් ම ලෝභ ද?’ කියා. දේවිය දැක්කා ජීවක වෙදතුමාගේ මුහුණ වෙනස් වෙනවා. දේවිය අසනවා “ඇයි ඔබගේ මුහුණේ ඉරියව් වෙනස් වුණේ?” කියලා. ජීවක වෙදතුමා කියනවා “දේවින් වහන්ස, බිම වැටුණු කිලිටි වූ මෙම ගිතෙල් ටික මෙහෙම පරිස්සම් කරන්න කිව්වා නම්, ඔබෙන් මට තුඩුපඬුරු ලැබෙන එකක් නැහැ කියලයි මට හිතුණේ.” කියලා.

දේවිය කියනවා “වෙදතුමනි, මම එසේ කිව්වේ ලෝභකමකට නො වේ. ඒ ගිතෙල් ටික අරන් තිබ්බොත් දුගී දුප්පත් කෙනෙක් ආවොත් අතේ පයේ ගාගන්න දෙන්න පුළුවන්. නැත්නම් අන්ධකාර වෙලාවට පහනක් පත්තු කර ගන්න පුළුවන්. කොයි අවස්ථාවක හරි එයින් ප්‍රයෝජනයක් ඒවි කියලයි.” බලන්න දැන් ඔබත් සමඟ ඒ කතාව සන්සන්දනය කරලා. මේ බිසවට මහා ධනස්කන්ධයක් තිබුණා. ඇය බිසවක්. කාන්තාවක්. අපට ඇයට මෙන් ධනය නැහැ. නමුත් ඇය හොඳින් අරපිරිමැස්ම පුරුදු වෙලා හිටියා. එහෙම නම් එදා සිටිය කාන්තාවයි, අද සිටින කාන්තාවයි කොතරම් වෙනස් ද? හරියට අහසට පොළොව වගේ.

අපේ බොහෝ නිවෙස්වල දවල්ට උයන කෑම රෑට කන්නේ නැහැ. එහෙම කන්න බැරි නම් දහවලට පවුලේ ප්‍රමාණයට කෑම පිළියල කරන්න කාන්තාව දැනගන්න ඕන. තිබුණ පලියට කෑම පිළියෙල කිරීම නාස්ති කිරීමක්. ඒ වගේ ම දරුවොත් මේ වැඩේට පුරුදු වෙලා නාස්තිකාර දරුවන් බවට පත් වෙනවා. එසේ කිරීම කිසිම කාන්තාවකට ගැළපෙන්නේ නැහැ. ඇය අනිවාර්යයෙන් ම අරපිරිමැස්මටත් හුරුපුරුදු වෙන්න ඕන. නමුත් අරපිරිමැස්ම අරපිරිමැස්ම කියමින් ලෝභකමට නම් වැටෙන්න හොඳ නැහැ. සමහර කාන්තාවන් හිතනවා ‘අපි අරපිරිමැස්මෙන් වැඩ කරන්න ඕන. ඒ නිසා ලස්සනට ඇඳුම් අඳින්න ඕන නැහැ, රසට කෑම කන්න ඕන නැහැ’ කියලා. ඔවුන් අවශ්‍ය තැනටවත් වියදම් කරන්නේ නැහැ. ඇය නොදැනී ම ලෝභකම කියන අකුසලයට යට වෙනවා. මේ දෙය නුවණින් තේරුම් ගැනීම තමයි වැදගත් වෙන්නේ.

ඒ නිසා අරපිරිමැස්මෙන් කටයුතු කරන්න පුරුදු වුණොත් ඔබත් නොදැනී ම ජීවිතයට පිනක් රැස් වෙනවා. යම් කෙනෙක් අරපිරිමැස්මෙන් අවශ්‍යතා සපුරා ගත්තොත් ඒ ඉතිරි මුදලෙන් සුන්දර පින්දහම් කරන්න පුළුවන්නේ. ඇයට ඒක ලොකු ලාභයක්. නමුත් ඒ නාමයෙන් ලෝභකම් නම් කරන්න එපා. ලෝභකම කියන්නේ හිතේ හටගන්නා මලකඩක්. ඒ නිසා ලෝභකමට වැටෙන්නේ නැතිව අරපිරිමැස්මෙන් යම් කාන්තාවකට වැඩකටයුතු කරන්න පුළුවන් නම් ස්වාමියා උපයන්නේ පොඩි මුදලක් වුවත් ඒ ගැන හඬා වැටෙන්නේ නැතිව සැහැල්ලුවෙන් ජීවිතයට මුහුණ දෙන්න පුළුවන්කම ලැබෙනවා.

එදා අපේ සමාජයේ ජීවත් වූ ආත්තම්මලා, අම්මලා ඉතාමත් අරපිරිමැස්මෙන් ජීවත්වෙලා තිබෙනවා. හාල් ටික ලිප තබන්න ඉස්සරවෙලා එයින් මිටක් අරන් තියන්නේ නැති දවසක ගන්නයි. ඇඳුමක් වුවත් පුළුවන් තරම් ප්‍රයෝජනයට අරගෙනයි එය ඉවත් කරන්නේ. අද කාලේ කාන්තාවට එහෙම හිතෙන්නේවත් නැහැනේ. අපේ අතීතයේ සිටි රජවරු පවා ඉතාමත් අරපිරිමැස්මෙන් කටයුතු සිදු කළේ. ඔවුන් අහසින් වැටෙන දිය බිඳක්වත් අපතේ නොයවා වැව් බැන්දේ අනාගතය ගැන සිතලයි. එය ලෝභකමක් නො වේ.

ශ්‍රී ලාංකික බෞද්ධ අපි කොහොමත් ලෝභය දුරු කරන්න වෙහෙසෙන පිරිසක්. ඈත අතීතයේ සිට අපේ මුතුන්මිත්තෝ අරපිරිමැස්ම පුරුදු කළ දෙයක්. එනිසා ලෝභය දුරු කොට අරපිරිමැස්මෙන් කටයුතු කළොත් අපේ පවුල් ගොඩ නැගෙනවා. පවුල තුළින් ගම දියුණු වෙනවා. ඒ තුළින් අපිත් නොදැනී ම අපේ රටත් දියුණු වෙනවා. එනිසා මුලින් ම කාන්තාව තමන්ගේ නිවසේ මුළුතැන්ගෙයින් අරපිරිමැස්ම පුරුදු කරන්නටත්, ලෝභය දුරු කරන්නටත් වීර්යය කළ යුතු වෙනවා.

සාකච්ඡා කළේ – නයනා නිල්මිණි