කාර්ය බහුල ඔබේ ජීවිතයේ ලද විරාමයක
සොඳුරු අරණක සදහම් මිහිර විඳින්නට

පින් කැමති ඔබට ම යි…..

කාර්ය බහුල ජීවිතයේ ලද විවේකයක උතුම් සීලයක් සමාදන්ව පින්වත් ස්වාමීන් වහන්සේලා ඇසුරේ ධර්මය ඉගෙන ගනිමින්, බණ භාවනා කරමින් නිරාමිස සතුටක් අත්විඳින්නට, දෙලොව සැපවත් කරන පින් රැස් කරගන්නට අවස්ථාව පින් කැමැති ඔබ හට දැන් මාතර මහමෙව්නාව මහා විහාරයේ සළසා තිබේ.

මෙහි උපාසකවරුන් වෙනුවෙන් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පැවැත්වෙන සති භාවනා වැඩසටහනට සමගාමීව මාතර මහමෙව්නාව මහාවිහාරයේත් සති භාවනා වැඩසටහන දැන් ක්‍රියාත්මකයි. මෙම වැඩසටහන සදහා සම්බන්ධ වීමට කැමති ඔබ කළයුතු වන්නේ සති භාවනා වැඩසටහනට අදාළ අයදුම් පත්‍රය පුරවා මාතර මහමෙව්නාව මහා විහාරයට ලැබෙන්නට සැළැස්වීමයි. එම අයදුම් පත්‍රය මහමෙව්නාව නිල වෙබ් අඩවියේ සති භාවනාව සම්බන්ධ අනු පිටුවෙන් ද, පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවෙන් ද, උඩ අපරැක්ක මහමෙව්නාව මහා විහාරයෙන් ද ලබා ගත හැකිය. එසේත් නැතිනම් සබදෙ?ප්ය්පැඩබ්අ්ගකන යන ඊ මේල් ලිපිනයට ඉල්ලුම් ලිපියක් යොමු කිරීමෙන් හෝ මහමෙව්නාව මහා විහාරය. උඩ අපරැක්ක, මාතර යන ලිපිනයට ඉල්ලුම් ලිපියක් යොමු කිරීමෙන් ලබා ගත හැකිය.

ඔබ ලබා ගන්නා අයදුම්පතේ සති භාවනාවට සහභාගී විය හැකි දින සම්බන්ධයෙන් අනිවාර්යයෙන් සඳහන් කළ යුතුවෙනවා. අනෙකුත් සියලු විස්තර එම අයදුම්පතේ සඳහන්ව තිබේ.අවු 18ත් 40ත් අතර ගිහි උපාසක පින්වතුනට මෙම සති භාවනා වැඩසටහන හා සම්බන්ධ විය හැකියි.

ඉතින් කෝ අපිට වෙලාවක්…..?

ඇත්ත.. කෝ අපිට වෙලාවක්…..? මේ ප්‍රශ්නය සමහරුන්ට සාධාරණයි. නමුත් සමහරුන්ට ඇත්තේ වෙලාව නැතිකම නොවේ. ඒ සඳහා වීර්යය නැතිකමයි. එනිසා මේ පිළිබඳ ඔබටත් වෙලාව පිළිබඳ ප්‍රශ්නය ඇති වුනොත් තම සිතින් ම විමසා බලන්න ඇත්තටම මට වෙලාව නැතිද? එහෙම නැතිනම් වෙලාවක් වෙන් කරගන්න හැකියාව තිබියදී ඒ සඳහා වීර්යය උපදින්නේ නැතිද? කියලා. ඊට පස්සේ වීර්යය උපදින්න ඕනි විදියට කටයුතු කරන්න වෙනවා. මේ සඳහා සතියක කාලයක් වෙන් කරනවා කියන්නේ ඒ සතියේ තමාගේ සාමාන්‍ය කටයුතු බොහෝමයක් කල්දාන්න වෙනවා. සමහර වැඩ අත්හරින්න ම වෙනවා. සමහරවිට ලෞකික වශයෙන් ගත්තාම පාඩු විඳින්න සිදු වෙනවා. හිතවත් අයගෙන් ඈත් වෙන්න සිදු වෙනවා. ඉතින් මේ සියල්ල අභිබවා යන්න නම් ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. ඒ වගේ ම වීර්යයක් ඇති කරගත යුතු වෙනවා.

වීර්යය උපදින්න නම් මොනවද කරන්න ඕනි…?

මේ සඳහා වීර්යය උපදින්න නම් මේ උපක්‍රමයන් ඔස්සේ ඔබ කල්පනා කරන්න.

1. සති භාවනාවට සම්බන්ධ වීමේ ආනිසංස කල්පනා කරන්න.

මේ සඳහා ඔබ සම්බන්ධ වීමෙන් උතුම් සීලයක සමාදන් වෙන්න අවස්ථාව ලැබෙනවා. පින්වත් ස්වාමීන් වහන්සේලා ඇසුරේ ධර්මය ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. පින්වත් ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කරන්න අවස්ථාව ලැබෙනවා. බණ භාවනා කරන්න අවස්ථාව ලැබෙනවා. මෙලොව පරලොව යහපත පිණිස පවතින උතුම් පින් රාශියක් රැස් කරගන්න අවස්ථාව ලැබෙනවා. මුදලකින් ලබාගත නොහැකි නිරාමිස සතුටක් අත් විඳින්න අවස්ථාව ලැබෙනවා.
මේ සියලු ආනිසංස පිළිබඳ ඔබ නිතර නිතර කල්පනා කරන්න.

2. ලෞකික දේවල් පසුපස ම හඹායෑමේ ආදීනව කල්පනා කරන්න.

ලෞකික දේවල්වලට ම යට වීම නිසා ඔබට පින්රැස් කරගැනීමේ අවස්ථා මගහැරී යනවා. තව තවත් සසරට ම අයිති දේවල් සමගම හිත බැඳෙනවා. ප්‍රමාදී වෙනවා. ජීවිතයට අකුසල් රැස්වෙන්නටත් මුල් වෙනවා.

3. ඔබට මේ සඳහා සහභාගී වීමට අදහස ඇති වූ සැණින් ඒ සඳහා දින වෙන්කරගැනීම පිණිස ඔබ ඇමතුමක් ගන්න.

එවිට පින්වත් ස්වාමීන් වහන්සේ නමක් සමග කතා කොට ඔබට ඒ සඳහා වෙලාවක් වෙන් කරගත හැකිය. ඉන්පසු ඔබට ඊට අනුව තමාගේ අනෙකුත් කටයුතු සැළසුම් කරගත හැකිය. ඒ නිසා දුරකතන ඇමතුමක් ගන්න ප්‍රමාද වෙන්න එපා.මෙවන් වූ උපක්‍රම භාවිතා කර ඔබට මෙම අභියෝගය ජයගන්න වෙනවා. කෙසේ හෝ ඔබ සති භාවනා වැඩසටහනට සම්බන්ධ වී පින්වත් ස්වාමීන් වහන්සේලා ඇසුරේ ධර්ම විනය ඉගෙන ගනිමින් පින්රැස් කරගැනීමට සමත් වුවහොත් එය ඒකාන්තයෙන් ම ඔබේම යහපත පිණිස පවතීවි.

එනිසා මේ අප්‍රමාදී වෙන්න කාලයයි.
ඔබත් මාතර මහමෙව්නාව මහා විහාරයේ සති භාවනා වැඩසටහනට සම්බන්ධ වෙන්න.
විමසීම් – 041 4927915 / 0414935291
මහමෙව්නාව මහා විහාරය.
උඩ අපරැක්ක, අපරැක්ක, මාතර.
mahaviharaya@gmail.com