ඇතැම් විටක ඔබට සිතෙන්නට පුළුවනි ‘හා ! මේ ධුතාංග ධර්මයන් තිබෙන්නේ භික්‍ෂූන් වහන්සේලාට නොවැ. අපිට මෙය අදාළ නැහැනේ. එබැවින් මේ ගැන දැනගැනීමත් නිෂ්ඵලයි’ කියා. කිසිසේත් එසේ සිතිය යුතු නැහැ.
ලක්දිව බුදු සසුන බැබළවූ අතීත රාජරාජ මහාමාත්‍යාදීන්ගේ යුගයෙහි දී මේ උතුම් දහම් කරුණු රැය පහන් වන තුරු දේශනා කොට තිබෙනවා. අංගුත්තර නිකායෙහි අරියවංශ සූත්‍රය විස්තර කරමින් එම දම් දෙසුම් පැවැත්වුණා. ඒවා හැඳින්වූයේ අරියවංශ උත්සවය නමිනු යි.

සැවැත් නුවර දෙව්රම් වෙහෙරේ සතළිස් දහසක් මහ සඟ පිරිස මධ්‍යයේ වැඩහිඳ අපගේ ශාස්තෘන් වහන්සේ එම දෙසුම වදාළා. එහි අන්තර්ගතය මේ වන විටත් ඔබ දන්නවා. අතීත ශ්‍රී ලංකාවේ දී එම දෙසුම විස්තර කරන දිනය දන්සැල්, සල්පිල් සහිත මහත් උත්සවශ්‍රීයක් උසුලනු ලැබුවා. ඉදින් රුහුණේ තිස්සමහාරාමයේ අරියවංස උත්සවයක් පැවැත්වේ නම්, අනුරාධපුරයේ සිට මහ සඟ රුවනත්, උපාසක උපාසිකාවනුත් ඒ සඳහා දීර්ඝ මාර්ගය ගෙවාගෙන පැමිණෙනවා.
මූලික ව භික්‍ෂූන් වහන්සේලාට අදාළ ධර්ම කොටසක් ලෙස පෙනුනත්, අතීත රහතන් වහන්සේලා මෙය ගිහි පිරිසටත් ගැළපෙන පරිදි දස කථාව ඉස්මතු කරමින් දේශනා කළා. එබැවින් අරියවංශ උත්සවය ලක්දිව ජනයා අතර ඉතා ජනප්‍රියත්වයට පත් වුණා. අල්පේච්ඡ කථා, සන්තුට්ඨි කථා ආදි දස කථාව ගැන ඔබ දන්නවා නම්, මේ ධුතාංග ධර්මයන් එයට ගළපා බලන්න. මුළුමහත් දස කථාව ම ධුතාංගයන් තුළින් ඉස්මතු වන බව ඔබට යස අගේට වැටහේවි.
ඉතින් නිතර නිතර දහම් ඇසීම නිසා ලක්දිව ජනතාව වීර්යවන්ත වුණා. ඔවුන්ගේ ජීවිත ආශාවන් අඩු, භාවනාවේ ඇලී වසන ජීවිත බවට පරිවර්තනය වුණා. අමා නිවන උදෙසා ඔවුන් සිත් වේගවත් ගමනකට සුදුසු පරිදි සකස් වුණා. සුවසේ සසරින් එතෙර වුණා. මේ නිසා ශාසන පරිහානිය පමා වී බුදු සසුන බොහෝ සෙයින් බබළන්නට පටන්ගත්තා. (මෙම අරියවංස උත්සවය පිළිබඳ තවත් තොරතුරු ඔබ දැනගන්නට කැමති නම්, ශ්‍රී බුද්ධ වර්ෂ 2557 උඳුවප් මස මහාමේඝ කලාපයේ පළ වූ ‘රහතුන්ගේ යුගයේ පැවති – අද වනවිට අතුරුදහන් ව ඇති අරියවංශ උත්සවය’ නම් ලිපිය සොයාගෙන කියවන්න.)

මේ අපි ඉගෙනගනිමින් සිටින ධුතාංගයන් ද අයත් වන්නේ මෙම අරියවංශ ප්‍රතිපදාවට ම බව මේ වන විටත් ඔබ දන්නවා. දැන් අපි ඉගෙන ගන්නේ ඛලුපච්ඡාභත්තිකංගය නම් වූ සත්වන ධුතාංගය පිළිබඳ ව යි.

අපි මෙසේ සිතමු. දානය වළඳමින් සිටින භික්‍ෂූන් වහන්සේනමක් සිටිනවා. උන්වහන්සේ වෙත පැමිණෙන කෙනෙක් බත් ආදි ආහාරයක් බෙදන්නට යද්දී, එම භික්‍ෂුව විසින් එය ප්‍රතික්‍ෂේප කරනු ලබයි නම්, එසේ ප්‍රතික්ෂේප කිරීම භෝජන පවාරණය යනුවෙන් හඳුන්වනු ලබනවා. එසේ පවාරණය වූ පසු නැවත භික්‍ෂුවට ආහාර පිළිගෙන වැළඳිය නො හැකියි. නමුත් තවත් භික්‍ෂූන් වහන්සේනමක් ඉතිරි කර දෙන ආහාරය නම් වළඳන්නට පුළුවනි. එසේ ඉතිරි කර දෙන භෝජනය අතිරික්ත භෝජනය යනුවෙන් හැඳින්වෙනවා,

නමුත්, ඛලුපච්ඡාභත්තිකංගය සමාදන් වූ භික්‍ෂුව පවාරණය වීමෙන් පසුව, වැළඳීමට කැප වූ අතිරික්ත භෝජනයත් පිළිගැනීමෙන් වළකිනවා. පවාරණය වීමෙන් පසු ව මුළුමනින් ම ආහාර පිළිගෙන වැළඳීමෙන් වළකිනවා. ඛලුපච්ඡාභත්තිකංගය යනු එයයි.

අටුවාවේ එකරුණ උපමාවක් මගින් තවත් විස්තර කර තිබෙනවා. ඒ මේ අයුරිනුයි. ඛලු යන නාමයෙන් යුතු කිසියම් කුරුලු විශේෂයක් සිටිනවා. ඔවුන්ගේ විශේෂත්වය වන්නේ, තුඩින් ගත් ඵලය ඉදින් බිම වැටී ගියේ නම්, වෙනත් ඵලයක් අනුභව නොකිරීම යි. ඒ අයුරින් ම භික්‍ෂුවත් ආහාර ප්‍රතික්‍ෂේප කිරීමෙන් පසු නැවත ආහාර නො වළඳන්නේ නම්, එය ඛලුපච්ඡාභත්තිකංගය යි.

මෙම ධුතාංගය කෙතරම් උසස් ලෙස සපුරන පින්වතුන් වහන්සේලා සිටිනවා ද කිවහොත්, දෙවන බත් පිඬ වැළඳීමෙහි දී භෝජන පවාරණය සිදු වූයේ නම්, උන්වහන්සේලා එතැනින් ම දානය වැළඳීම නවතා දමනවා. එබැවින් කළ යුත්තේ, දානය පිළිගන්වා මඳ වෙලාවක් යන තුරු සඟරුවනට නිදහසේ වළඳන්නට ඉඩ සැලසීම යි. ටික වේලාවකින් පසු සැදැහැවතුන්ට නැවත දානය බෙදන්නට පුළුවනි.

ඇතැම් භික්‍ෂූන් වහන්සේලා යම් බොජුනක් වළඳන විට පවාරණය වූයේ නම්, එම බොජුන අවසාන වන තුරු වළඳනවා. වෙනත් ආහාරයක් වළඳන්නේ නහැ. මෙය මධ්‍යම ආකායෙන් ඛලුපච්ඡාභත්තිකංගය සම්පූර්ණ කිරීම යි. ලිහිල් ලෙස මෙම ධුතාංගය පුරන්නන් ආසනයෙන් නැගී සිටින තුරු ම ආහාර වළඳනවා. එහෙත් මේ තුන්නම ම අතිරික්ත භෝජනයක් වැළඳුවහොත්, එතැන දී ම මෙම ධුතාංගය බිඳී යනවා.

මෙම ධුතාංගය රැකගත හැක්කේ භික්‍ෂූන් වහන්සේලාට සහ සාමණේරයන් වහන්සේලාට පමණ යි. කාන්තාවන්ට ද ගිහියන්ට ද භාග්‍යවතුන් වහන්සේ විසින් මෙම ධුතාංගය තහනම් කොට වදාළා.

එක බත් පිඬුවකිනුත් ජීවත් විය හැකි භික්‍ෂුවක් නිර්මාණය වීම මෙම ධුතාංගයෙහි ඇති අසිරිමත් බව යි. මෙම ධුතාංගය සම්පූර්ණ කිරීමට අසාමාන්‍ය වීර්යයක්, ඉවසීමක්, සිහියක් හා මහා පින් මහිමයක් අත්‍යවශ්‍ය බව අමුතුවෙන් කිව යුතු නැහැ. නමුත් අප භාග්‍යවතුන් වහන්සේගේ දහස් ගණන් ශ්‍රාවක සංඝරත්නය මේ අති දුෂ්කර වූ, අති ගම්භීර වූ ධුතාංග ධර්මයන් සුවසේ දරා වැඩ සිටි සේක. එබැවින් ඒකාන්තයෙන් ම ඒ ශ්‍රාවක සංඝරත්නය පරම ආශ්චර්යවත් වන සේක! ශ්‍රී සද්ධර්මයෙන් ම නිර්මිත වූ අධ්‍යාත්මයක් නැති කෙනෙකු හට මෙම ධුතාංගයන් පිළිබඳව සිතීම පවා කළ නො හැකි දෙයක් ම ය. මෙම ධුතාංගය තුළ වාසය කරන මහෝත්තමයන් වහන්සේලා,

1. අතිරික්ත භෝජන වැළඳීමෙන් සිදු වන ඇවැත්වලට නො පැමිණෙති.

2. කෑදරකම නැත්තෝ වෙති.

3. ආහාරපාන රැස්කර ගැනීමක් නැත්තෝ වෙති.

4. නැවත නැවත අහර සෙවීමක් නැත්තෝ වෙති.

5. ආශාවන් අඩු බව ආදි ගුණයන්ට අනුකූල ව පවතින්නෝ වෙති.

ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයේ විස්මිත ගුණකඳ පිළිබඳ සිත පහදවාගැනීම පිණිස පහත සඳහන් වන ගාථා දෙකත් කියවන්න.

“පරියේසනාය ඛේදං න යාති – න කරෝති සන්නිධිං ධීරෝ
ඕදරිකත්තං පජහති – ඛලුපච්ඡාභත්තිකෝ යෝගී”

“පවාරණය වීමෙන් පසුව වැළඳීමෙන් වැළකී සිටින යෝගාවචර භික්‍ෂුව ආහාර සොයා යාමෙන් වෙහෙසට පත් නො වන්නේ ය. එමෙන් ම ඒ උතුම් නුවණැත්තා ආහාරපාන රැස් කිරීමක් ද නො කරන්නේ ය. බඩ පුරවා ගැනීමේ කෑදරකම ද දුරු කරන්නේ ය.”

“තස්මා සුගතප්පසත්ථං – සත්තෝස ගුණාදි වුද්ධි සංජනනං
‍ෙදා්සේ විධුනිතුකාමෝ – භජෙය්‍ය යෝගී ධුතමිදං”

“එබැවින් සුගතයන් වහන්සේ විසින් ප්‍රශංසා කරන ලද්දා වූ, ලද දෙයින් සතුටු වීම ආදී ගුණයන්ගේ වැඩි දියුණුව ඇති කරවන්නා වූ මෙම ධුතාංගය කෙලෙස් fදා්ෂයන් දුරු කරනු කැමති යෝගාවචර භික්‍ෂු තෙමේ ඇසුරු කරන්නේ ය.”

සටහන – රවීන් කෝදාගොඩ