අමා නිවන් මග පුරුදු කරන තැනැත්තා සියලු පාපී අකුසල ධර්මයන් කම්පා කිරීම උදෙසා ධුතාංග ධර්මයන් සම්පූර්ණ කරන බව දැන් අපි දන්නවා. නාගසේන මහරහතන් වහන්සේ පවා වරෙක වදාළේ, බුදුරජුන් සමයේ දී ගිහි ගෙදර දී ම අමා නිවන් දුටු උපාසක උපාසිකාවන් සියලු දෙනා ම අතීත ජීවිතවල දී ධුතාංග ධර්මයන් සම්පූර්ණ කිරීමෙන් උත්සන්න වූ කුසල් මුල් ඇති අය බව යි. මේ ආකාරයෙන් සේඛ ශ්‍රාවකයන්ට ධුතාංග යනු නැති ව ම බැරි ගුණධර්මයන් කොටසක්.

නමුත් හික්මීම අවසන් කළ උතුම් රහතන් වහන්සේලා අරහත්වයෙන් පසු ව ද, ධුතාංග සම්පූර්ණ කිරීමෙන් සිදු කළ යුතු කටයුත්ත සිදු කොට අවසන් වූ පසු ව ද ධුතාංගයන් තුළ වාසය කොට තිබෙනවා. මහා කස්සපයන් වහන්සේ, කාළිගෝධාපුත්ත භද්දිය මහරහතන් වහන්සේ සහ වංගන්තපුත්ත උපසේන මහරහතන් වහන්සේ එසේ කටයුතු කළ බව ඉතා ප්‍රකට යි. එසේ වාසය කරන්නේ කුමන අරුතකින් ද යන වග අග්‍රධුතාංගධාරී වූ මහා කස්සපයන් වහන්සේ පැහැදිලි කොට වදාරා තියෙනවා. ඒ මේ අයුරිනුයි.

“ස්වාමීනි, ඇත්තෙන් ම මං ප්‍රයෝජන දෙකක් දකිමිනුයි දිගු කලක් මුළුල්ලේ වනාන්තරයේ වාසය කළේ. වනවාසය ගැන වර්ණනා කළේ. පිණ්ඩපාතයෙන් යැපුණේ… පාංශුකූල සිවුරු දැරුවේ… තුන් සිවුරු දැරුවේ… පළමුවෙනි එක තමයි මෙලොව දී ම තමන්ට සැපසේ වාසය කරන්න පුළුවන් බව. අනිත් එක පසුකාලීන ජනතාවට අනුකම්පා කිරීම. ”

(ඡින්න සූත්‍රය, සං. නි. 2)

පසුකාලීන භික්‍ෂූන් ‘අහෝ ! මහානුභාවසම්පන්න වූ, සම්පූර්ණ කර ගත් අමා නිවන් මග ඇති මහා කස්සපයන් වහන්සේ බඳු රහතුන් අරහත්වයෙන් පසු ව පවා ධුතාංගයන් තුළ වාසය කළා නොවැ. ඒකාන්තයෙන් මෙම ධුතාංගයන් නම් ඉතා අසිරිමත් දෙයක් විය යුතුයි’ යැයි සිතා ධුතාංග පූරණයෙහි උත්සාහවත් වෙනවා. ඒ සඳහා ආදර්ශවත් වීම පිණිස ධුතාංගයන් තුළ වාසය කිරීම යි පසුකාලීන ජනතාවට අනුකම්පා කිරීම කියා කියන්නේ. ඒ උතුම් රහතන් වහන්සේලා ලෝකයා දෙස කෙතරම් කරුණාවකින් බලා තියෙනවා ද?

මී ළඟට අපි ඉගෙනගන්නට යන ධුතාංගය අපි කාටත් ඉතා විශේෂ යි. මෙය භික්‍ෂු භික්‍ෂුණී යන පැවිදි පිරිසට සේ ම උපාසක, උපාසිකා යන අපිටත් සම්පූර්ණ කරන්නට භාග්‍යවතුන් වහන්සේ අවසර දී තිබෙනවා. එමෙන් ම මෙම ධුතාංගය පිරීමෙන් අප ඉදිරියේ දී ඉගෙනගන්නට බලාපොරොත්තු වන තවත් ධුතාංග දෙකක් සම්පූර්ණ වෙනවා. එබඳු අන්‍ය ධුතාංගයන්ට රුකුල් දෙන ධුතාංගයන් හඳුන්වන්නේ උත්තමාංග යන නමිනුයි. එසේ නොවන තනි තනි ව සම්පූර්ණ වන ධුතාංගයන් අසම්භින්නාංග යනුවෙන් හඳුන්වනවා.

මෙම ධුතාංගයේ නම ඒකාසනිකංගය යි. එනම් එක් අසුනක හිඳ වැළඳීම යි. මෙය සම්පූර්ණ කරන තැනැත්තා දිනකට සෑහෙන ආහාර එක ම අසුනක හිඳ, එක් වරකින් අනුභව කළ යුතු වෙනවා. උසස් ලෙස ඒකාසනිකංගය සම්පූර්ණ කරන තැනැත්තා පාත්‍රයට ආහාර පිළිගෙන වැළඳීම පිණිස හිඳගත් පසු නැවත පාත්‍රයට ආහාර පිළිගන්නේ නැහැ. පාත්‍රයෙහි ඇති දෙයින් දිනය ම යැපෙනවා. නොයෙක් නොයෙක් වාරයන්හි ඉඳ ගනිමින් වැළඳීම අත්හරිනවා. මෙබඳු අයකුට දහමේ හැසිරීමට පුළුල් කාල පරාසයක් මෙන් ම ඉතා පහසුවක් ද සැලසෙනවා.

දානය පිළිගෙන වැළඳීම පිණිස හිඳගන්නා තැනැත්තා, තම බඳුනේ ආහාර නිමවන තුරු ම පිළිගන්වන දානය පිළි ගනී නම්, එය මධ්‍යම අයුරින් ඒකාසනිකංගය සම්පූර්ණ කිරීම යි. එබඳු තැනැත්තන් භෝජන පරියන්තික යන නමින් හැඳින්වෙනවා. ඇතැම් භික්ෂූහු දානය වළඳා අවසන් වීමෙන් පසු පාත්‍රය සේදීම සඳහා ජලය පිළිගන්වන තාක් ම, පිළිගන්වන ආහාර පිළිගනිති. ඔවුහු උදක පරියන්තික හා ආසන පරියන්තික යන නාමයන්ගෙන් හඳුන්වනු ලැබෙනවා. ඔවුන් මෙම ධුතාංගය සම්පූර්ණ කරන්නේ ලිහිල් ලෙස යි. මේ තුන්නමට ම දෙවරක් හිඳගෙන වැළඳීම සුදුසු වන්නේ නැහැ.

පොහෝ දිනයක දී මෙම ධුතාංගය සමාදන් වී ආරක්‍ෂා කර ගැනීම ගිහියන් වන අපටත් ඉතා අගෙයි. ධුතාංග සම්පූර්ණ කිරීමකින් තොරව නිවන් දැකිය නො හැකි බව නාගසේන මහරහතන් වහන්සේත් වදාරා තිබේ. එහෙත් මෙය අනුන්ට පවසමින් ප්‍රසිද්ධියේ කළ යුතු දෙයක් නම් නො වෙයි. අප සතු ගුණධර්ම අපි ආභරණයක් ලෙස භාවිත කළ යුතු නැහැ. අපේ වටිනා ආභරණ අපි කාටවත් පෙනෙන්නට එළියේ තබන්නේ නැහැ නේ ද? ඒ අයුරින් ම අපේ වටිනා ගුණධර්ම අපි ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරන්නේ මන්ද? ගුණ සඟවාගෙන වාසය කිරීමත් අල්පේච්ඡතාව නම් තවත් ගුණයක් වන වග අප භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

එක් සමයෙක මිහින්තලයෙහි සහෝදර වූ භික්‍ෂූන් වහන්සේලා දෙනමක් වාසය කළා. එයින් වැඩිමහලු තෙරුන් වහන්සේ පනස් අවුරුද්දක් ඒකාසනිකංගය පිරූවෙක්. දිනක් බාල තෙරුන් උක් දණ්ඩක් රැගෙන වැඩිමහල් තෙරුන්ට පිදුවා. උන්වහන්සේ එය ප්‍රතික්ෂේප කළා. එවිට බාල තෙරුන් “ස්වාමීනි, ඔබ වහන්සේ ඒකාසනිකංගය පුරනවා නො වේදැ?” යි විමසුවා. එතෙක් කලක් තම ගුණය තම සහෝදරයාටවත් ප්‍රකට නො කළ මහතෙරුන් වහන්සේ වහා උක්දණ්ඩ ගෙන වළඳා නැවත ධුතාංගය අදිටන් කර ගත්තා. උන්වහන්සේ ධුතාංගය බිඳීමට වඩා භයානක ලෙස දුටුවේ තම ගුණ අනුන්ට ප්‍රකට කිරීම යි. එබඳු වූ සත්පුරුෂයන් වහන්සේලා තමා සමාදන් වූ ඒකාසනිකංගය හේතුවෙන්,

  1. නිරෝගී බව ලබති,
  2. ශරීරයෙහි දුක් නැත්තෝ වෙති.
  3. සැහැල්ලු පැවතුම් ඇත්තෝ වෙති.
  4. කායික බලය ඇත්තෝ වෙති.
  5. ඒකාසනිකංගය නොපිරීම නිසා පැමිණෙන ඇවැත්වලට පත් නො වෙති.
  6. රස තෘෂ්ණාව නැත්තෝ වෙති.
  7. ආශාවන් අඩු බව ආදි ගුණයන්ට අනුකූල ව පවතින්නෝ වෙති.

මේ වනාහි ඒකාසනිකංගයේ සත් වැදෑරුම් ආනිශංසයෝ යි. ඒකාසනිකංගය පිළිබඳ පහත සඳහන් වන සොඳුරු ගාථා රත්නයන් මෙම ධුතාංගය සම්පූර්ණ කිරීමට කැමති උපාසක – උපාසිකාවන්ටත් පාඩම් කර ගැනීම ඉතා වටිනවා.

“ඒකාසන භෝජනේ රතං – න යතිං භෝජන පච්චයා රුජා
විසහන්ති රසේ අලෝලුපෝ – පරිහාපේති න කම්මමත්තනෝ”

“එක් අසුනෙහි හිඳ වැළඳීමේ ඇලුණු භික්‍ෂුවට ආහාරය නිසා හටගන්නා රෝගයන් ඇති නො වන්නේ ය. රසයෙහි ලොල් නොවන හෙතෙමේ තමන්ගේ නිවන් මගෙහි කටයුතු ද පිරිහෙලා නො ගන්නේ ය.”

“ඉති ඵාසු විහාර කාරණේ – සුචි සල්ලේඛ රතූපසේවිතේ
ජනයේථ විසුද්ධ මානසා – රති මේකාසන භෝජනේ සදා”

“එබැවින් පහසු විහරණයට හේතු වන්නා වූ, පිරිසිදු නිකෙලෙස් විහරණයෙහි ඇලුම් කරන්නන් විසින් සේවනය කරන ලද්දා වූ, එක් අසුනෙහි හිඳ වැළඳීමට පිරිසිදු සිත් ඇති භික්‍ෂුව සැමදා ඇලුම් කරන්නේ ය.”

සටහන – රවීන් කෝදාගොඩ