“මහරජාණෙනි, ජලයෙන් සේවනයක් නො ලද බීජයන්ගේ පැළ වීමක් සිදු නො වෙයි. කුසල් නොකළවුන් හට, පින් නොකළවුන් හට සුගති ගමනක් නැත්තේ ය. එසෙයින් ම මහරජාණෙනි, ධුත ගුණයන්ගෙන් පිරිසිදු නො වූවන් හට ධර්මාවබෝධය සිදු නො වෙයි… මහරජාණෙනි, ධුත ගුණ යනු අතුල්‍ය වූ, අප්‍රමෙය්‍ය වූ, අසම වූ, අප්ප්‍රතිභාග වූ, අප්ප්‍රතිශ්‍රේෂ්ඨ වූ, උත්තරීතර වූ, විශිෂ්ට වූ, අධික වූ, පළල් වූ, පුළුල් වූ, පැතිරුණු, විසිරුණු, ගරු වූ, බර වූ, මහත් වූ දෙයකි.”

(නාගසේන මහ රහතන් වහන්සේ, මිළිඳුරාජ ප්‍රශ්නය)

ඉදින් ඔබ මේ අසිරිමත් ධුතාංගයන්ගේ ගම්භීර බව දැනගන්නට කැමැත්තේ නම්, එකල්හි ඔබ බැලිය යුත්තේ මිළිඳුරාජ ප්‍රශ්නයේ අනුමාන වර්ගයට අයත් ධුතාංග පිළිබඳ ප්‍රශ්නය යි. එහි දී නාගසේන මහරහතන් වහන්සේ නොයෙක් ආකාරයෙන්, නොයෙක් විසිතුරු උපමා රූපකයන්ගෙන් ධුතාංග ධර්මයන්ගේ අද්භූත අසිරිමත් බව දක්වාලන සේක. ධුතාංග තුළ දක්නට ලැබෙන ගුණයන් 28ක් ද ධුතාංග ධර්මයන් සේවනය කරන්නා තුළ වැඩෙන ගුණයන් 18ක් ද පෙර භවයන්හි දී ධුතාංග වඩන ලද ආර්ය ශ්‍රාවකයා තුළ දක්නට ලැබෙන ගුණයන් 30ක් ද නාගසේනයන් වහන්සේ පෙන්වා දුන් සේක. එය අසන මිළිඳු මහරජු මෙසේ පවසයි.

“යම්කිසි නවාංගයෙන් යුතු ශාස්තෘ වචනයක් ඇද්ද, යම්කිසි ලොව්තුරු ක්‍රියාවක් ඇද්ද, ලෝකයෙහි කිසියම් උදාර වූ, උත්තම වූ, මාර්ගඵල ධ්‍යාන විමෝක්‍ෂ රූපාරූප සමාපත්ති ආදි අධිගම සම්පත්තියක් ඇද්ද, ඒ සියල්ල දහතුනක් වූ ධුතාංග ගුණයේ ම ඇතුළත් වීමට පැමිණියේ ය.”

මේ ආකාරයෙන් අග්‍ර වූ ධුතාංග ධර්මයන් අතුරින් සතරවැන්නයි දැන් ඔබට ඉගෙනගැනීමට ලැබෙන්නේ. මහා කාරුණික වූ භාග්‍යවතුන් වහන්සේ පිණ්ඩපාතය සම්බන්ධයෙන් දේශනා කරන ලද ධුතාංගයන් 5ක් ධර්මය තුළ සඳහන් වේ. ඒ අතරින් දෙවැන්න වන්නේ සපදානචාරිකංගය යි.

අපි මෙසේ සිතමු. භික්‍ෂුවක් පිඬුසිඟා වඩිනවා. හමුවන පළමු නිවසින් ප්‍රණීත භෝජනයක් ලැබෙනවා. දෙවැනි නිවස එතරම් ධනවත් නො වන දිළිඳු නිවසක්. ඔවුන් ප්‍රණීතව නොවන නමුත් කෙසේ හෝ දන් පැන් පුදනවා. භික්‍ෂුව එම නිවස දැක මෙසේ සිතනවා. ‘අප්පේ ! මොවුන්ගෙන් ලැබෙන්නේ කටුක බොජුන් ම නොවැ. ඊ ළඟ නිවසට ගියොත් නම්, පාත්‍රයෙහි ඉතිරිය පිරෙන්නට ම රසවත් බොජුන් ලැබිය හැක්කේ ය.’ මෙසේ සිතා දෙවැනි නිවස අතහැර තුන්වැනි නිවසට වඩිනවා.

එම භික්‍ෂුව එසේ නිවසක් අත්හැර පිඬුසිඟා වැඩියේ තෘෂ්ණා සහගත සිතුවිල්ලක් නිසා ය. එම රස තෘෂ්ණාවෙන් බැඳුණු සිතුවිලි ප්‍රහාණය කිරීමට ය භාග්‍යවතුන් වහන්සේ සපදානචාරිකංගය පනවා වදාළේ. සපදානචාරිකංගය සම්පූර්ණ කරන භික්‍ෂුව නිවෙස් පිළිවෙළ කඩ නො කොට පිළිවෙළින් පිඬුසිඟා වඩියි.

“මාන්නය බැහැර කරලා ගෙපිළිවෙළින් පිණ්ඩපාතේ යන ගමනක් තමයි එයාට හොඳ. ඒ ගමන ඉඳුරන් දමනය කරලා ඉතා හොඳට සංවර වෙච්ච ගමනක්. කටුක ආහාරවලින් වුණත් සතුටින් යැපෙන්න ඕනෑ. බොහෝ රසවත් නොයෙක් ආහාර ගැන සිතන්ට හොඳ නෑ. ආහාර රසයට ගිජු වුණොත් භාවනා කරන්නට සිත යොමු වන්නේ නෑ.”

(උපසේන ථේර ගාථා)

පිඬුසිඟා වැඩීම භාග්‍යවතුන් වහන්සේ පනවන ලද්දේ නිවන් මග වඩන භික්‍ෂුවගේ පහසු පැවැත්ම උදෙසා ය. එබැවින් පිඬුසිඟා වැඩීම නිසා භික්‍ෂුවගේ ජීවිතයට අනවශ්‍ය කරදර ඇති විය යුතු නොවේ. එනිසා ම සම්බුදුරජුන් උපද්‍රව සහිත ස්ථාන හඳුනාගෙන එවැනි ගම්, වීදි හා නිවෙස් නැතැයි සලකාගෙන අත්හැර පිඬුසිඟා වැඩීමට අනුදැන වදාරා තිබේ.

“මහණෙනි, අංග නවයකින් යුතු වූ නිවසකට නො එළඹුනේ එළඹෙන්නට හෝ සුදුසු නො වෙයි. එළඹුනු නමුත් හිඳගන්නට හෝ සුදුසු නො වෙයි. ඒ කවර අංග නවයක් ද යත්?

සතුටට පත් ව ආසනයෙන් නො නැගිටිති. සතුටට පත් ව වන්දනා නො කරති. ඔවුන් සතු දේවල් සඟවති. බොහෝ කොට තිබුණත් ස්වල්පයක් දෙති. ප්‍රණීත දේ තිබුණත් රූක්‍ෂ දේ දෙති. සකස් කොට නොව සකස් නො කොට දෙති. ධර්ම ශ්‍රවණයට සමීපයට පැමිණ වාඩි නො වෙති. පවසන ධර්මය ගැන අරුත් රස විඳිමින් සතුටු නො වෙති.”

(කුලෝපගමන සූත්‍රය – අං. නි. 5)

එමෙන් ම මිථ්‍යාදෘෂ්ටික නිවෙස්වලින් විෂ මුසු, හීල් වූ, විෂ සහිත සතුන් වැටී සිටි, තුවාල ආදිය පිසදැමූ ආහාර වර්ග ලබා දිය හැකි බැවින්, ඒ තැන් ද හඳුනාගෙන අත් හළ යුතු බව විනය ග්‍රන්ථයන්හි සඳහන් වෙනවා. මෙකරුණ පිළිබඳ ව නිකෙලෙස් මුනිවරයෙකු සඳහන් කරන ආකාරය බලන්න.

“පින්වත් පුතේ, චාරිකාවේ වඩිනකොට ඒ ඒ තැන්වල දී පහසුවෙන් දන් පැන් ටික ලැබේ නම්, ඒ තැන් යහපත් නම්, ආරක්‍ෂාව තිබේ නම්, ඒ තැන්වලට වඩින්න, වෙන තැන්වලට ගිහින් දුක් විඳින්න එපා!”

(කස්සප ථේරගාථා)

සපදානචාරිකංගය උසස් ලෙස පුරන භික්‍ෂුව වීදියේ ඉදිරියෙන් හෝ පසුපසින් ගෙනෙන බොජුන් නො පිළිගන්නා අතර, නිවසකින් දෙන දානය පමණක් පිළිගනී. එය පිළිගන්නේ වීදියේ වැඩහිඳිමින් ම ය. මධ්‍යම ආකාරයෙන් මෙය සපුරන භික්‍ෂුව වීදියේ ඉදිරිපසින් හා පසුපසින් ගෙනෙන දානය පවා පිළිගනී. යම් භික්‍ෂුවක් දානය බලාපොරොත්තුවෙන් නිවෙස්වලට පිවිස වැඩහිඳිත් නම්, එය ලිහිල් අයුරින් සපදානචාරිකංගය සම්පූර්ණ කිරීම යි.

මෙම ධුතාංගය සම්පූර්ණ කළ උතුමන් අතර පරම පූජනීය මහා කස්සප මහරහතන් වහන්සේට සමාන උතුමෙක් මේ මහා පෘථිවියෙහි ම නො වූ වග සඳහන් වේ. උන්වහන්සේ කෙතරම් උත්කෘෂ්ට ආකාරයෙන් මෙම සපදානචාරිකංගය සම්පූර්ණ කළ සේක් ද යත්, උන්වහන්සේගේ නිකෙලෙස් ගුණය පිළිබඳ සම්බුදුරජුන් පවා මෙසේ වදාරා තිබේ.

“පින්වත් මහණෙනි, දායක ගෙවල්වලට පිවිසෙන කස්සපගේ සිත ඒ දායකයන් ගැන ඇලෙන්නේ නෑ. ගැලෙන්නේ නෑ. බැඳෙන්නේ නෑ. ‘පින් ලබනු කැමති උදවිය පින් ලබා ගනිත්වා!’ පින් කරනු කැමති උදවිය පින් කර ගනිත්වා!’ කියලා තමන්ට ලැබිච්ච දෙයකින් සතුටු වෙලා සතුටු සිතින් ඉන්නවා. ඔය විදිහට අනුන්ගේ ලාභයේ දීත් සතුටු වෙලා සතුටු සිතින් ඉන්නවා. පින්වත් මහණෙනි, අන්න එබඳු භික්‍ෂුවක් තමයි දායක ගෙවල්වලට යන්න සුදුස්සෙක් වන්නේ.”

(චන්දූපම සූත්‍රය – සං. නි. 2)

පිඬුසිඟා වැඩීමෙහි දී සිහි කළ යුතු ඉතා සුන්දර අවවාදයක් බුදුරජුන් විසින් ඒ දෙසුමෙහි දී ම මෙසේ වදාරණ ලදී,

“පින්වත් මහණෙනි, දායක ගෙවල්වලට යන විට සඳක් වගේ යන්න. ඔවුන්ගෙන් කය ඉවත් කරගෙන ම, ඔවුන්ගෙන් සිත ඉවත් කරගෙන ම, (ආගන්තුකයෙක් වගේ) යන්න. හැම තිස්සේ ම අලුත් කෙනෙක් වගේ යන්න. දායකයින් එක්ක අනවශ්‍ය කුළුපඟකම් නැතුව යන්න.”

මෙසේ නො ඇලුණු සිතින්, ගෙපිළිවෙළින් පිඬුසිඟා වඩින භික්‍ෂුවට හිමි වන ආනිශංස ධර්මයන් පිළිබඳ ව පැරැන්නන් සුන්දර ගාථා රත්නයන්ට සංග්‍රහ කොට තිබෙන්නේ මේ ආකාරයෙනුයි.

චන්දූපමෝ නිච්ච නවෝ කුලේසු – අමච්ඡරී සබ්බසමානුකම්පෝ
කුලූපකාදීනව විප්පමුත්තෝ – හෝතී’ධ භික්ඛු සපදානචාරී

මෙහි ගෙපිළිවෙළින් පිඬු පිණිස වඩනා භික්‍ෂු තෙමේ

  1. කිසිදු තැනක නො ඇලෙන හෙයින් චන්ද්‍රයා බඳු වෙයි.
  2. කිසිදු නිවසකට නිතර නිතර නො වඩින හෙයින් සැමදා නිවෙස්වලට අලුත් වන්නේ වෙයි.
  3. අන්‍ය භික්‍ෂූන් තම දායක පවුල් වෙත පැමිණීම පිළිබඳ මසුරු බව නැත්තේ වෙයි.
  4. සැමට සම අනුකම්පා ඇත්තේ වෙයි.
  5. නිවෙස්වලට කුළුපග වීමෙන් සිදුවන කරදර – හිරිහැර නැත්තේ වෙයි.

මෙයට අමතරව තවත් ආනිශංස ධර්මයන් ත්‍රිත්වයක් ද සපදානචාරිකංගය පුරන්නන් හට ලැබේ.

  • දාන ආරාධනා ලැබීමෙන් ඇති වන තෘෂ්ණාව මිශ්‍ර සතුට නැත්තේ වෙයි.
  • දානය විහාරයට ගෙනැවිත් දීමෙන් ප්‍රයෝජනයක් නැත්තේ වෙයි.
  • ආශාවන් අඩු බව ආදි ගුණයන්ට අනුකූල ව පවතින්නේ වෙයි.

මේ වනාහි සපදානචාරිකංගයෙහි අටවැදෑරුම් ආනිශංසයෝ ය.

ලෝලුප්පචාරං ච පහාය තස්මා – ඔක්ඛිත්තචක්ඛු යුගමන්ත දස්සී
ආකංඛමානෝ භුවි සේරි චාරං – චරෙය්‍ය ධීරෝ සපදානචාරි

“එබැවින් ආහාරයට ලොල් වූ සිතුවිලි අතැර, බිම හෙළාගත් ඇස් ඇති ව, විය දණ්ඩක පමණ දුර බලමින්, නුවණැත්තා ගෙපිළිවෙළින් පිඬු පිණිස හැසිරෙන්නේ, ලෝකයෙහි ස්වෛරී විහරණය කැමති වන්නේ ය.”

සටහන – රවීන් කෝදාගොඩ